Wednesday, October 28, 2015

චිමිනි ලාම්පු


 

අපි පොඩි කාලේ චිමිනි ලාම්පු වලින් තමා පාඩම් වැඩ කළේ. ලයිට් තිබුණේ නැති නිසා රෑට හැම ගෙදරක ලාම්පු පත්තු කළා. පැට්‍රොමැක්ස්, චිමිනි ලාම්පු, කුප්පි ලාම්පු කියලා කීප ජාතියක් තිබුණත් වඩාත්ම ජනප්‍රිය වුනේ චිමිනි ලාම්පු . ඒ ලාම්පු තෙල් මිලට සාධාරණයක් කරලා ආලෝකය දෙන නිසා.

ලාම්පුවේ කොටස් තුනයි. චිමිනිය ගලවලා වෙන් කරපුවාම ඉතුරු වෙනවා තෙල් දාන කොටස. ඒක මිටි මහත බෝතලයක්. බෝතලේ කටට හයි කරලා තියනවා පිත්තල කොටසක්.

චිමිනිය හදලා තියෙන්නේ වීදුරු වලින්. එක එක ගණන් වලට චිමිනි තියනවා. හැඩය එකයි. ස්ටෑන්ඩර්ඩ් සයිස්. කොහොම උනත් වීදුරු නම් බාලයි. කොච්චර පරෙස්සමින් පාවිච්චි කලත් මාස තුනක් වගේ පාවිච්චි කරන කොට පිපිරිලා යනවා. කලාතුරකින් තමයි පරමායුෂ ඉවර වෙනකල් චිමිනියක් පාවිච්චි කරන්න ලැබෙන්නේ. හෝදන කොට හරි, ලාම්පුව අහාට මෙහාට ගෙනියන කොට චිමිනිය වැටිලා බිදෙනවාමයි. දවසක් ඇර දවසක්වත් චිමිනිය හෝදන්න වෙනවා. ඉස්සරලාම දැලි බැදෙන්නේ උඩ කොටසේ. දැලි නොබැඳුනත් චිමිනිය දුඹුරු  පාට වෙනවා. එතකොට එළිය අඩු වෙනවා. චිමිනිය හෝදන එක පරෙස්සමට කරන්න ඕන දෙයක්. පොල් කොස්සකට සබන් වතුර ටිකක් දාලා හිමින් චිමිනිය ඇතුල අතුල්ලලා ගත්තාම මේ දැං කඩෙන් ගත්ත එකක් වගේ  දිලිසෙනවා.

චිමිනිය දාන්න තියෙන්නේ අර පිත්තල වලින් හදපු කොටසට. ඒ රවුම වටේට අඟල් දෙකක් විතර උස කූරු හතරක් තියනවා. ඒ හතර ඇතුලට චිමිනිය දාලා තද කරන්න ඕනෑ. එක කූරක් හරි පැන්නිලා තිබුණොත් අලුත් චිමිනියකට ඕඩරයක් දෙන්න වෙනවා. තිරය දාන්න තියෙන්නේ මේ කොටසට. කඩේ ගන්න තියනවා ඝනකම රෙද්දකින් හදපු තිර. ඒක අඟලක් විතර පළලයි. අපට ඕන ප්‍රමාණය තමා මැනලා දෙන්නේ. යාරයක් විතර ගත්තාම සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. තිරය සුදු පාටයි. නිල් පාට මහත නූලකින් ඉරි දෙකක් සමාන්තරව වැටිලා තියනවා. පිත්තල කොටසේ යටින් තිරය ඇතුලට දාලා තිරය උස් පහත් කරන්න තියන ඇනය කරකවපුවාම නිකන්ම උඩට එනවා. ලාම්පුව පරණ වෙන කොට ඒ ඇනය ගෙවිලා ගිහින් තිරය උඩට එන එක නවතිනවා. එතකොට හැට්ට කට්ටක් අරගෙන ඇන ඇන තමා තිරය ගන්න වෙන්නේ. තිරය ටික ටික කපන්නන ඕන දවස් තුනකට සැරයක් වගේ. තිරයෙන් හරියට දැල්ල එන්නේ නෑ එහෙම නොවුනාම. කපලා කපලා  තිරය කොටවුනාම තමා අළුත් එකක් දාන්නේ. අළුත් තිරය දාලා පැය දෙක තුනක් යනකල් පත්තු කරන්න බෑ. තිරේට ලාම්පු තෙල් අල්ලන කන් ඉන්න ඕනෑ.

 
මිටි මහත බෝතලේ හරිම සරලයි. තෙල් දැම්මා පිත්තල උඩ කොටස තද කරා එච්චරයි. බෝතලේ කට ළඟටම ලාම්පු තෙල් පුරවන්නේ නෑ. එතකොට තෙල් හැලෙනවා. ඒ දවස්වල ලාම්පු තෙල් රතු පාටයි. පස්සේ නම් නිල් පාට කොළ පාට ලාම්පු තෙලුත් ආවා.

චිමිනි ලාම්පු දෙජාතියක් තමා මට හොඳටම මතක. එකක් සාමාන්‍ය එක. අනිකට ඇලඩින් ලාම්පු කියලා කියන්නේ. ඒක උසයි. ලොකුයි. වඩාත් පරෙස්සම්. ඒ උනත් ලාම්පු තෙල් යනවා වැඩියි. පාඩම් කරන්න කියාපු ලාම්පුව. චිමිනිය රවුම් හැඩයක් ගන්නේ . චිමිනියේ මැද කොටස තද සුදු පාටයි. එකෙන් හොඳ එළියක් ඇති වෙනවා. ලාම්පුවට තෙල් දාන කොටසත් පිත්තල වලින් හදලා තියෙන්නේ. ලාම්පු තෙල් දාලා වහන්න මූඩියක් තියනවා. ඒක නම් හරිම අප්‍රසන්න ගඳක් තමා ඇති කරන්නේ. කොච්චර අත හෝදා ගත්තත් ඒ ගඳ යන්නේ නැ. අනික ලාම්පු තෙල් දාන කොට ඇතුල පේන්නේ නැති හින්දා දන්නෙම නැතුව උතුරලා යනවා. එක වැඩේ දෙක වෙනවා කියන්නේ මේ වගේ වෙලාවට. ලාම්පුව වටේම තෙල් පැතිරිලා ඒක පිහලා , බිමත් පිහලා ලාම්පුව තියන්න පත්තර දෙක තුනකුත් හොයන්න වෙනවා.

ගෙදර හැම තැනම ලාම්පු පත්තු කරන්නේ නැති හින්දා හිතූ හිතූ තැන්වල වැටිලා පත්තර පොත් බලන්න බෑ. හැමෝම කෑම මේසෙට එකතු වෙලා එකම වෙලාවක දී පාඩම් වැඩ කරනවා. මේසේ හරි මැද තමා ලාම්පුව තියන්නේ. එක අඟලක් අහාට මෙහාට වුනොත් යුධ ප්‍රකාශ වෙනවා. ඒත් මේසේ දිග එකක් නම් අයිනේ පුටු අතෑරලා මැද පුටු වලට එන්න වෙනවා. අපට කවදාකවත් ලාම්පු එලිය මදියි කියලා හිතිලා නෑ. පාඩම් කරලා කම්මැලි හිතුනාම ලාම්පුව වටේ වැටිලා ඉන්න කළු  පාට සත්තුන්ව පෑනෙන් තද කර කර ඉන්නවා. වහින දවසට චිමිනියේ උඩ කොටස අල්ල අල්ලා ඇඟිලි ටික රත් කර ගන්නවා.

ගෙදර ලයිට් ගියාම පත්තු කරන්න මම පුංචි චිමිනි ලාම්පුවක් තියාගෙන ඉන්නවා. ඒත් ගේ ඇතුලේ මාව හැප්පෙනවාමයි. පොඩි කාලේ පුංචිම අකුරු පෙන්නලා දුන්න ලාම්පු එලිය දැං නුහුරුයි.

දැං නම් බල්බ් ජාතිම කීයක් තියනවද? තමන්ට ඕන ඕන විදිහේ විදුලි ලාම්පු තියනවද? මේ හැම දේම තියාගෙනත් අනිත් අයගේ නින්දට බාධා වෙන නිසා මම රෑට පොත් කියවන කොට පොතේම හයි කර ගන්න පුළුවන් ලයිට් එකක් දානවා.

4 comments:

  1. Thanks kich
    Like • Reply • 19 hrs

    Remove
    Malkanthi Jayarathne nice one...eth mama nam kemathi oyage Frangipani eke tibuna kalin photo ekata
    Like • Reply • 39 mins

    Remove
    Renu Tennakoon thanks for the comment. I took is serious
    Like • Reply • Just now

    ReplyDelete
  2. Renu..You explained the features and functions perfectly. when I read, my memory gone back to my childhood. Truly in this modern isolated world, how simple was our past......thanks for sharing..

    ReplyDelete
    Replies
    1. Thank you for reading my blog and sharing your experience. Hope you continue reading.

      Delete
  3. Hi Renu!! How r u?? I started reafing your articles! They r really interesting and u are a GREAT writer!! Feel so.....proud about my naughty, uni friend! Why don't u write about the fun that we used to have at Pera? 😀😀😀 hope your kids are also naughty like u? Do u have any contacts with Upendra and Gamaani? Are they on fb? So, how is life? Where do you stay in colombo?

    ReplyDelete