Wednesday, October 21, 2015

ඉස්කෝලේ දැමීම


 

මේ දවස් වල ලබන අවුරුද්දට ඉස්කෝලවලට තෝරා ගත්ත දරුවන්ගේ නම් ලැයිස්තු දානවා, අම්මලා ආපහු ඇපීල් දානවා. මොනවා වෙයිද කියලා හිතා ගන්න බැරුව කොයි ක්‍රමයෙන් හරි තමන්ගේ ළමයා දාගන්න පුළුවන් විදිහ හොයනවා. දරුවා ඉපදුන දවසේ ඉඳලා ඉස්කෝලෙට දානකල්ම ඒ ගැන වද වෙන්න දෙමව්පියන්ට කාරණා තියනවා. ඒක ඉතිං ඉස්කෝලෙට දැම්මා කියලා වැඩේ ඉවරත් නැ. ඉස්කෝලේ පටන් ගත්ත දවසේ ඉඳලාම අපිත් මොනවා හරි දේකට අඩුම ගානේ ශ්‍රමදානෙකට කියලා හරි යන්න එපාය.

අපි හැමෝම බලන්නේ අපිට අඩියක් හරි ඉස්සරහින් අපේ දරුවන්ව තියන්න. ඒකේ කිසිම වැරැද්දක් මම දකින්නේ නෑ. ඒ හින්දාම තමයි ඉස්කෝලවලට මේ තරම් තරඟයක් එන්නේ. ලොකු වාසනාවකට අපේ රටේ තවමත් ඉගනීම අංක එක කියන තැන තමයි දෙමව්පියෝ ඉන්නේ. අපිට ඕන ඉස්කෝලෙට දරුවා දාගන්න බැරි වුනා කියලා දුක් වෙන දෙමව්පියන්ගේ ප්‍රමාණය සතුටු වෙන ප්‍රමාණයට වඩා වැඩි ඇති කියලා මට හිතෙන්නේ. ඒත් සමහර කාරණා දිහා බලපුවාම අපිට ඇත්තටම දුක් වෙන්න හේතුවක් තියනවද කියලත් හිතේවි.

“මම මේ කියන කාලේ අපේ රටේ යුද්ධය තදින්ම ඇවිලිලා තිබුණ කාලයක්.............. අපේ අය මාස තුනකින් ගෙවල් වල ගිහින් තිබුනේ නෑ. කිසිම කෙනෙක් ගෙවල්වල යන්න ඇහුවෙත් නෑ. ආය තමන්ගේ අය ළඟට යන්න පුළුවන් වෙයිද කියලා බලාපොරොත්තු තියා ගත්තෙත් නෑ................. “

                        හමුදා නිලධාරියා කතාව පටන් ගත්තේ එහෙමයි. මම එතන හිටිය අනිත් උසස් නිලධාරින් දිහා බැලුවේ ඒ අය අතීත ආවර්ජනයට කොහොම සවන් දෙනවාද කියලා බලන්න. හැමෝම බලාගෙන ඒ වෙලාවේ තිරයට දාලා තියපු ලංකාවේ සිතියම දිහා. ඒකේ රතු පාට කරලා තිබුණේ හමුදාව යටත් වුන කොටස්. කොළ පාටින් තිබුණා තවමත් හමුදා පාලනය යටතේ තිබුණ තැන් ටික. දින සති එක්ක සිතියම වෙනස් වෙන විදිහට තමා තිරය හදලා තිබුනේ. දවස් ඉස්සරහට යන කොට සිතියමේ රතු පාට වැඩ වුනා. නොහිතන විදිහට පළාතක්ම රතු වෙලා යනවා. හමුදාවේ අය ඒ තැන් වලින් පහු බැස්ස විදිහ, තමන්ගේ අය කරේ තියාගෙන මුහුදට පැන්න විදිහ , තුවාල වුන අතපය හොල්ලා ගන්න බැරුව කැලෑවේ වැතිරිලා දවස් ගනන් හිටපු විදිහ හමුදා නිලධාරියා විස්තර කරනවා. හතර වටේම සතුරාට අයිති වෙලා පුංචි කොලපාට කොටසක් ඉතුරු වුන තැනක හමුදා නිලධාරියාගේ ඇඟිල්ල නැවතුනා. ඒ කොටස කිලිනොච්චියේ කැලයක් සහ ගමක් අතර කොටසක්. සති දෙකක් දුෂ්කර සටනක යෙදිලා මේ කණ්ඩායමේ ඉතුරු වෙලා ඉන්නේ පස් දෙනයි. තමන්ගේ ඇස් ඉදිරි පිට සගයන් ජීවිතේ අතෑරලා ගියත් මේ කණ්ඩායමට සටන අතාරින්න බෑ. කෑම , වතුර හැමදේම සීමිත වුනත් අසීමිත ධෛර්යය නිසාම ඉදිරියට ඇදෙනවා. නොහිතපු පැත්තකින් ආපු වෙඩි ප්‍රහාරයකින් එක් කෙනෙකුට බරපතල තුවාල වුනා. පස් දෙනාම ප්‍රහාර ඉවර වෙනකල් නොහෙල්ලී ඉඳලා අවදානම ඉවර වුනාම තමන්ගේ සගයාට සාත්තු කරන්න බැලුවා. එයාගේ තත්වය ගොඩක් බරපතලයි. ඒක දෙගොල්ලන්ටම දැනුනා. සති දෙකක් එකට වෙඩි කාගෙන ඉඳපු පස්දෙනෙක් දැන් හතරක් වෙන්න යනකොට ඒක කොහොමට දැනෙයිද?

“ අපිව දාලා එයාට යන්න වෙලාව ලඟයි කියලා  අපි දැනගත්තා. ඒ වෙලාවේ එයා හෙලෙව්වේ තොල් දෙක විතරයි. එක්කෙනෙකුගේ බෝතලේ වතුර ටිකක් තිබුණා. අපි ළඟ එයාට ඒ වෙලාවේ දෙන්න තිබුණේ ඒක විතරයි. වතුර ටික කටට හලන්න යද්දී එයා මුහුණ අනික් පැත්ත හැරෙව්වා. මම තව විනාඩි ගානකින් මැරෙනවා. සර්ලා ඔය වතුර ටික බීලා අපේ අය එනකල් මෙතන අල්ලගෙන ඉන්න කියලා වෙව්ල වෙව්ලා කිව්වා. ටිකෙන් ටික එයා දුර්වල වෙනවා අපිට පෙනුනා. එක පාරටම ඇස් දෙක සම්පූර්ණයෙන්ම ඇරලා මට කතා කළා. ආපහු වතුර ඉල්ලන්න වෙන්න ඇති කියලා මට හිතුනේ. වතුර බෝතලේ ගේන්න කියලා මම එක්කෙනෙකුට අතින් සන් කළා.

“සර් මගේ දුව ලබන අවුරුද්දේ ඉස්කෝලෙට බාර දෙන්න තියනවා........ඒක බලන්න“ .

එහෙම කියලා විනාඩියක් ගියේ නෑ සදහටම ඇස් දෙක වැහුනා.

 හමුදාවේ විශේෂ කාර්යය බලකායේ උසස්ම නිලධාරියෙක් වුනත් ඒ අත්දැකීම අපට විස්තර කරන වෙලාවේ වචන වෙව්ලලා ගියා.  මම ආපහු සිතියම දිහා බැලුවා . සිතියමේ රතුයි කොළයි හරි හරියට තිබුණත් මුළු රටේම හදවත් නම් ගිනි අරගෙන තිබුණේ කියන එක මතක් වුනා. අන්තිමට අපි දිනුවා තමයි. ඒත් යුද්ධයක් කියන්නේ කවදාවත් කිසිම කෙනෙක් දිනන දෙයක් නෙවේ කියන එක මට ආපහු ආපහු තේරුම් ගියා.

 රට වෙනුවෙන් මැරෙණ මොහොතේ තමන්ගේ දුව පාසලට දාන එක මතක් වෙන්නේ තාත්තගේ හිතේ දුවට උගන්නන්න මහමෙරක් තරමට බලාපොරොත්තුවක් තිබුණ නිසා. ඒ තාත්තගේ දුව මේ ලංකාවේ කොහෝ හරි ඉස්කෝලෙක ඇති. තමන්ගේ ජීවිතේ ඉගනුමෙන් දිනා ගන්න කල් තාත්තාත් බලාගෙන ඇති.

2 comments:

  1. Franjipani මාලාවේ හිත කීරි ගැහුණු කථාවක්. ඉදිරිපත් කිරීම හරිම අපූරුයි.

    ReplyDelete
  2. ඒක දැනෙන්නේ ඔයත් ඔයාගේ දුව දිහා බලාගෙන ඉන්න හින්දා විතරක් නෙවේ. අපේ රටේ යුද්ධය වෙනුවෙන් සියළුම දේ කැප කරපු අය ගැන තාමත් ගෞරවයක් තියන හින්දා.

    ReplyDelete