Thursday, July 21, 2016

රුවට යටින්


 

චැන්ගි ගුවන් තොටුපළ පැය විසිහතරම හරිම ක්‍රියාශීලී තැනක්. ඒත් කිසි කලබලයක් මතුපිටින් පේන්නේ නෑ. රාජකාරි ගමනකින් පස්සේ බංගලාදේශයේ ඉඳන් ඇවිත් මම මේ ගුවන් තොටුපලට වෙලා බලාගෙන ඉන්නේ මගේ පවුලේ තුන්දෙනා එනකකල්. මම එනකොට උදේ පහ හමාරයි. එයාලා එන්නේ උදේ හත හමාරට. පැය දෙකක් මම කොච්චර නොඉවසිල්ලකින් ගෙවන්නද? ගුවන් තොටුපලෙන් එලියට ඇවිල්ලා මම කැෆේ එකක අයිනේ ආසනයක ඉඳ ගත්තා. බොහොම හිමින් කිරි තේ ලොකු කෝප්පයකුයි ටෝස්‍ට් කරපු පාන් පෙති කීපයකුයි කාලා වෙලාව බැලුවා. විනාඩි පහළවයි ගිහින් තියෙන්නේ. නිදිමතට ඇස් වැහෙනවා. අනික් පැත්තේ තියන දිග ආසනයකට මාරු වුනේ ටිකක් හරි නිදාගන්න බලන්න. එක පාරයි ඇස් වැහුනේ.

“ඔයා ලංකාවෙන් නේද?” මට ඉස්සරහා හිටිය අවුරුදු පනහක විතර පිරිමි කෙනෙක් දෙමළ උච්චාරණයක් සහිත ඉංග්‍රීසියෙන් ඇහුවා.

“ මම බෑග් එකේ ලියලා තියන එකෙන් දැනගත්තේ. හිටියා. අසනීපයක් වෙලා මම ගිය මාසේ ලංකාවේ හොස්පිටල් එකක හිටියා” එයා ස්වේච්ඡාවෙන් කීවා.

ඒ විශ්වාදරන්. ඉන්දීය ජාතිකයෙක්. විද්‍යා උපාධිධාරීයෙක්. රජයේ නිලධාරියෙක් විදිහට සේවය කරලා දුවලා දෙන්නගේ අධ්‍යාපන වැඩ නිසා කලින්ම සේවයෙන් අයින් වුනා කීවා. එයා බිරිඳ නැතිවුන දවසේ ඉඳලා දරුවෝ දෙන්නා ජීවිතේ එකම වස්තුව විදිහට සලකලා ජීවත් වෙන කෙනෙක් බව මට දැනුනා.

“මම මගේ දුවලා දෙන්නයි මහත්තයයි එනකල් මේ ඉන්නේ?” නිකම්ම කට පියාගෙන ඉන්න බැරි නිසාත් වෙන මොකක් හරි හේතුවක් නිසාත් මම කීවා.

“දුවලා දෙන්නෙක්.......... ? දෙන්නම දුවලද?”  විශ්වා බයවෙලා වගේ ඇහුවා.

මට දුවලා දෙන්නෙක් ඉන්න එකට එයා බය වෙන්නේ ඇයි?

විශ්වා ලොකු හුස්මක් පහළ දාලා කතාවක් පටන් ගත්තා.

“ මම මේ කතාව කාටවත් කියන්න හිතුවේ නෑ... ඒත් මට දැං ඒක කියන්න හිතෙනවා. මම බොහොම සැපට මගේ පොඩි කාලේ ගෙවපු කෙනෙක් . මගේ අම්මටයි තාත්තටයි හිටියේ මම විතරයි. මම ඉගනගන්න ගොඩක්  උනන්දුවක් දක්වපු කෙනෙක් නෙවේ. ඒත් ‍විද්‍යා උපාධියක් ගත්තා. ලේසියෙන්ම රස්සාවක් හොයා ගත්තා. අනික් අයට තිබුණ ප්‍රශ්ණ මට තිබුණේ නෑ. එකම ප්‍රශ්ණයකට තිබුණේ මට පොඩි කාලෙම බඳින්න කතා කරලා තිබුණ මගේ නෑදැයෙක්ගේ දුවව කසාද බඳින්න මට බෑකියලා හිතුන එක. මම ගෙදරට ඒ ගැන කීවා. අම්මයි තාත්තයි විරුද්ධ වුනා මම සාවිත්‍රි ඒ ‍කියන්නේ  මට කැම්පස් එකේදී හමුවුන ගෑණු ළමයා බඳිනවාට. මම එයාව බැන්දා. මුම්බායට මාරුවක් හදා ගත්තා. අතේ තිබුණ සල්ලි වලින් ගෙයක් ගත්තා. කාරෙකක් ගත්තා. අපි දෙන්නා හරිම හොඳ ජීවිතයක් පටං ගත්තා. මුබ්බාය කියන්නේ ෆිල්ම් වලට හැදුන තැනක් . අපි දෙන්නා හැමදාම ෆිල්ම් එකක් බලන්න ගියා. ඒ ෆිල්ම්වල හිටපු නිළියන්ට වඩා සාවිත්‍රි ගොඩක් ලස්සනයි. කොටින්ම කියනවානම් එයා යනකොට නිළියොත් හැරි හැරී බලනවා. මම ඒකට ගොඩක් ආඩම්බර වුනා. මම හැමතිස්සෙම එයාගේ ලස්සන පරෙස්සම් කරන්න හැදුවේ. සාවිත්‍රි රස්සාවකට යැව්වෙත් නෑනේ මම. එයා දවසම ගෙදරට වෙලා අව්වෙන් වැස්සෙන් පරෙස්සම් වෙලා , රූපේ ලස්සන වෙන දේ කාලා, මූණේ ගාලා  තවත් ලස්සන ‍වුනා. ඒත් ඒ වගේ ලස්සනක් දැකලාවත් අපේ අම්මගේ හිත හැදුනේ නෑ. මගේ විනාසය ඕක තමා කියලා කීවේ. ටික දවසක් යන කොට සාවිත්‍රිට නිළියක් වෙන්න ඕන වුනා. මම ඒකට නම් අවසර දුන්නේ නෑ. අපි දෙන්නා ගැටුම් ඇති කර ගත්තා ඒ නිසා. සාවිත්‍රි නොකා නොබී දුක් වුනා මගේ තීරණයට . අන්තිමට එයා තීරණය කළා එයාට බැරි දේ එයාගේ දරුවෝ ලවා කරවන්න. එයා හිතුවා වගේම අපට දෙපාරම ලැබුණේ දුවලා දෙන්නෙක්. පොඩි කාලේ ඉඳලාම ලස්සනයි. අපේ ලොකු දුවට අවුරුදු 5ක් වෙනකොට පොඩි දුවත් ලැබුණා. මුම්බායේ තියනවා රූප රැජිනියෝ බිහි කරන පාසල්. සාවිත්‍රි ලොකු දුව අවුරුදු හය සම්පූර්ණ කරනකල් බලාගෙන ඉඳලා එයාව ඒ පාසලකට දැම්මා තනි කැමැත්තට. ඒ පා‍සලෙන් කරන්නේ රූප රැජිනියකට ඒ තරඟවලට ගිහින් දිනන්න අවශ්‍ය සියළුම දේ උගන්නන එක. සාවිත්‍රිගේ ගතිගුණම දුවට ඇවිත් තියන නිසා වෙන්න ඇති එයා හරිම දක්ෂ විදිහට ඒ දේවල් ඉගන ගත්තා. ගෙදර ඇවිත් ඇවිද්දෙත් ඒ උගන්නපු විදිහට. මටත් හිත යටින් ආඩම්බරයක් දැනුනා. ඒත් අපි ඉගන ගත්ත දේවල් ඉගන ගන්න ඒ ළමයට අවස්ථාව නැති වුනා නේද කියලා මගේ හිතේ හැම වෙලාවෙම තැවුලක් තිබුණා......”

විශ්වා කතාව නවත්තලා වතුර බෝතලෙන් වතුර ටිකක් බීවා. ඒ බෝතලේ වතුර ප්‍රමාණය පැහැදිලිව සටහන් කරලා තිබුණා. එහෙම මැනලා වතුර බොන්නේ එයාගේ අසනීපය නිසා බවත් මට කීවා. ආයම කතාව.

“සාවිත්‍රි මගේ විරුද්ධත්වය තකන්නේ නැතුව පොඩි දුවවත් ඒ ඉස්කෝලෙට දැම්මා. සාවිත්‍රිට වෙන ලෝකයක් නෑ. දුවලට කෑම හදනවා. ඇඳුම් හොයනවා. සපත්තු හොයනවා. ඒ තරඟ වලට ගෙනියනවා. කොටින්ම කීවොත් අපේ ගෙදර එකම දේ වුනේ රූප රැජිනියක් බිහිකරන අරමුණට වැඩ කරන එක විතරයි. මම හම්බ කරන දේ මදි වුනා වියදම් කරන්න. මට ඕන වුනා ළමයි දෙන්නා සාමාන්‍ය ඉස්කෝල දෙකකට දාන්න. ඒ වෙලාවේ තුන්දෙනාම මට විරුද්ධ වුනා. මම ගොඩක් අසරණ වුනා. මම ටික ටික මගේ ඉතුරු කරලා තිබුණ සල්ලි වියදම් කරලා ඉවර කළා. දුවලා දෙන්නගේම නහයේ හැඩ වෙනස් කළා ප්ලාස්ටික් සර්ජරි කරලා. තව දත් හදන්න ගොඩක් වියදම් කළා. මට අම්මාගෙන් තාත්තාගෙන් කිසි දෙයක් ලැබුණේ නැති වෙලා මම ණය වෙලා හිටියේ. ඒත් මගේ දුවලා දෙන්නා යන යන තරඟ වලින් දිනනවා. ඒ දෙන්නා ගැන ඉන්දියාවට බලාපොරොත්තු තියාගන්න පුළුවන් බව තමා විදුහල්පතිනිය කීවේ.එයාලට පිටරට තරඟයකට යන්න අපේ ගෙදර විකුණන්න වුනා. ඒකට මම අකමැති ‍වුනා අන්තිමට සාවිත්‍රි එයා දිවි නසා ගන්නවා කියලා මට තර්ජනය කළා. මට ඒකටත් කැමති වෙන්න වුනා. මට ඉතුරු වුනේ රස්සාව විතරයි. අන්තිමට සාවිත්‍රි සල්ලි නැතුව ඇති වුන ප්‍රශ්ණ නිසා දිවි නසා ගත්තා. මට දුවලා දෙන්නාව  ඉස්කෝලෙන් අස්කරගන්නත් බෑ . වියදම් කරන්න සල්ලිත් නෑ. මේ අතරෙදි මගේ රස්සාවත් නැතිවුනා. ලොකු දුවගේ අවසාන අවුරුද්දේ තරඟයට ලක්ෂ ගාණක් වියදම් කරන්න වෙනවා කියලා දැනගත්ත දවසේ මටත් සාවිත්‍රි කරගත්ත දේම කරගන්න හිතුනා. ඒත් මම දරුවෝ අතෑරලා ගියොත් එයාලා තනි වෙනවා කියලා මට දැනුනා.”

“කොහොමද සල්ලි හොයා ගත්තේ...? විශ්වා හරිම අසරණ හිනාවකින් උත්තර දුන්නා.

“මම ඒකට තමා ලංකාවට ගියේ...”

“ඒ ගියේ අසනීපෙකට කියලනේ කී‍වේ ?” මම ඇහුවා.

“නෑ .... මම මගේ වකුගඩුවක් විකුණුවා... මට කරන්න තිබුණේ ඒ දේ විතරයි. මට ඒක කරන්‍න කීවෙත් මගේ දුව.. මේක ඉන්දියාවෙයි ලංකාවෙයි කෙරෙන බිස්නස් එකක්.  මට කිසි දුකක් නෑ මට ඕන සල්ලි ලැබුණා. මගේ දුවට මිස් ඉන්දියා වෙන්න ඉදිරිපත් වෙන්න ඉස්කෝලේ අනුමැතිය ලැබුනා.”

මම කැළඹුන සිතුවිලි වලින් විශ්වා දිහා බලාගෙන හිටියා.

“මම මේ සිංගප්පූරුවට ආවේ දුවලගේ වැඩකට. මට තවත් සැනසීමක් නෑ ‍මේ දේවල් වලින්....”

“ඇයි දැන් දුවගේ ප්‍රශ්ණේ හරිනේ... එයා දිනුවම හැම දේම හරියයි...” මම කීවා.

“ නෑ ... දැං අනික් දුව මට බලකරනවා මගේ අනිත් වකුගඩුවත් විකුණලා එයාගේ වියදම් ටික කරන්න කියලා....”

මම ඉහලට ගත්ත හුස්ම පහලට ගත්තේ නෑ.

“ඔයාටත් ඉන්නේ දුවලා දෙන්නෙක් නේද?” විශ්වා ආයමත් ඉස්සරලා අහපු ප්‍රශ්ණය ඇහුවා.

Wednesday, July 13, 2016

ගුණදාස


 

මම ගුණදාස ඉස්සරලාම දැක්කේ මගේ රස්සාවට ආව දෙවනි දවසේ. මම ඔෆිස් ගිය පළවෙනි දවසේ ගුණදාස ඇවිත් හිටියේ නෑ. දෙවනි දවසේ පඩිපෙළ උඩට නගිද්දී මට ඉඩ දීලා පොඩ්ඩක් අයින් වෙලා මූණේ පොඩි හිනාවක් එක්ක සුදු සරමකුයි කමිසයකුයි ඇඳපු අවුරුදු පනහක විතර උස කෙට්ටු කෙනෙක් හම්බ වුනා. එයා තමා ගුණදාස. අපේ රියදුරු මහතා බව දැනගත්තා පස්සේ. ඇත්තමට කීවොත් අපේ ප්‍රධානියාගේ රියදුරු. අපි දහ දෙනෙකුගෙන් යුත් විශාල කාර්යය මණ්ඩලයට රියදුරෝ තුන්දෙනෙක්ම හිටියා. ඒ අයගෙන් ගුණදාස තමා අඩුවෙන්ම අපේ වැඩ වලට ආවේ.

ගුණදාස ඇන්දේ සුදු පාට සරමයි කමිසෙයි විතරයි. දකුණු පළාතේ කෙනෙක්. ඒත් දීර්ඝ කාලයක් තිස්සේ කිරුලපනේ එයාලගේ අක්කගේ ගෙදර තමා නැවතිලා හිටියේ. කිරුලපනේ පාලම ළඟින් ඇතුලට යන පාරේ තමා ගේ තියෙන්නේ. ගුණදාස හරිම අඩුවෙන් කතා බහ කරන කෙනෙක් . මම හිතන්නේ ඒ සුදුසු කම නිසාම තමා එයා අපේ වැඩවලට නොඑන්නෙත් අපේ ප්‍රධානියාගේ වැඩ වලට එන්නෙත්. ඒ නුසුදුසු කම නිසාම , තනිකඩයෙක්.

“ගුණදාස හරි රෙගුලාසි කාරයා.........” පේරාදෙණිය කැම්පස් එකේ , අංශ ප්‍රධානියෙක් වෙලා ඉඳලා අවුරුදු ගණනාවක් දෙස් විදෙස් රටවල සේවය කරපු අපේ ප්‍රධානියා මට එයා ගැන පළමු හැඳින්වීම කරේ තද කරගත්ත හිනාවක් එක්ක.  මම අහන්නෙත් නැතුව නිධාන කතාව පටන් ගත්තා.

“ ගුණදාස  ආපු දවසේම මට  තේරුණා‍ බොහොම තැන්පත්, පිළිවෙලකට හැදිච්ච මනුස්සයෙක් කියලා. මම එයාව ගත්තෙත් ඒකයි. අනික් එක කතාව හරිම අඩුයි. මම ලෙක්චර්ස් වලට සූදානම් වෙන්නේ  කාරෙකේ යන අතරෙදි නේ. මට ඒ පිළිවෙල හරිම ලේසියි. කිසි දවසක පිටින් කන්නේ බොන්නේ නැති නිසා අතරමග ඒවට වාහන නවත්තන්නෙත් නෑ. හැබැයි හරියට දොළහට දවල්ට කන්න ඕනෑ කියලා වැඩ බාරගන්න කලින්ම මට කීවා. ඒක එච්චර දෙයක් නෙවේනේ. මම එකඟ වුනා. මම ගුණදාසත් එක්ක දෙවනි පාරට ගිය දවසේ ගියේ එම්බසි එකකට එහේ ජාතික දිනේ සමරන්න. උදේ එකොළහට ඇතුලට ගියපු මම එළියට එනකොට දෙකයි වෙලාව. අපි දෙන්නම කතාවක් නැතුව ගෙදර ආවා. වැඩ ඉවර වෙලා ගුණදාස ගියා. පහුවදා මම උදේ දහයට පදනම් ආයතනට යන්න ලෑස්තිවෙලා බලං ඉන්නවා ඉන්නවා ගුණදාස නෑ. මම කෝල් කරාම එයාගේ අක්කා කීවා මල්ලි ආය වැඩට එන්නේ නෑ මහත්තයා කියලා . මම එහෙම්මම කාරෙක අරගෙන ගුණදාස  ඉන්න ගෙදරට ගියා. මෙන්න ගුණදාස ගෙදර ඉන්නවා දොරකඩ පුටුවේ පත්තරයක් බල බලා. මම ඇහුවා ඇයි වැඩට නොඑන්න කා‍රණේ කියලා. කාරණේ එදා මම එක්ක ගිය දවසේ දවල් දොළහ පහුවෙලා එයාට කෑම කන්න බැරි වෙලා නිසා. මම කීවා මට සමාවෙන්න ආයෙමත් ඒ වැරැද්ද වෙන්නෑ කියලා. ඒ පාර එකඟ වුනා ආපහු වැඩට එන්න. එදා ඉඳන් මම දවස් දොළහට කොහොම හරි දවල් කෑම එක කන්න වැඩ පිළිවෙල හදලා දෙනවා. කොහේ ගියත් අක්කා කීයට හරි නැගිටලා හදලා දෙන කෑම එකනේ ......”

ඒ මුළු කතාවම ඉවර වෙනකල් අපේ ප්‍රධානියාගේ මූණේ තිබුනේ උපහාසයක් සහ ලැජ්ජාවක් මිශ්‍ර වුන හිනාවක්. අපේ ලොකු තැනට මෙහෙම නම් අපට මොන වගේ වෙයිද කියලයි මට හිතුනේ.

ගුණදාසක් එක්ක අපි කතා කරන්නේ බලෙන්. සමහර වෙලාවට අපි අහස පොළොව නුහුලන විහිළු කරගන්න කොට නම් එයාටත් හිනා යනවා. එතකොට තමා මම දැක්කේ ඉස්සරහ දත් දෙක නෑ කියලා. අපේ එකවුන්ටන් නෝනා කියනවා ඊළඟ ඉන්ක්‍රිමන්ට් එක දුන්නාම දත් දෙක දාගන්න කියලා. එතකොට ඔලුව බාගෙන නමලා ලාවට හිනාවෙලා ලිස්සලා යනවා. අපි මොකක් හරි හේතුවක් හොයා ගෙන පාටි දාපු දවසට ගුණදාසට මාර අප්සෙට්. මොන හෝටලේකින් ගෙනාවත් කේක් කන්නෑ. අපි බලකරන කොට තියන පුංචිම කෑල්ල අරං පහළට ගිහින් කුස්සියෙන් තියනවා.

ගුණදාස ඔෆිස් එන්නේ බයිසිකලේ. පරණ රැලේ බයිසිකලයක්. දවල්ට අපි එයාගෙන් ඒකේ යතුර ඉල්ලගෙන  බයිසිකල් පදිනවා. ඒ වෙලාවට නම් පණ යනකල් ගුණදාස හිනා.

අපේ ප්‍රොජෙක්ට්වල වැඩ වලට අපි නිතර ලංකාව පුරා ඇවිද්දා. කලාතුරකින් තමා ගුණදාස එන්නේ රියදුරු විදිහට . එදාට වාහනේ ඇතුලේ වැඩිය කෑ ගහන්නේ නැතුව යන්න අපි වගබලා ගන්නවා. රඹුටන් ගන්න, ගල් සියඹලා ගන්න නෝනිස් එකේ අළුවා ගන්න නතර කරගන්නේ වැඳලා. ඉස්සරහා බලාගෙන එක දිගට පැය ගානක්  වාහනේ  එලෙව්වත්  මැස්සෙක්වත් එයාගේ අතින් හැප්පෙන්නේ නෑ. අපි කොහේ හරි බැස්සොත් ගුණදාස වාහනේ අයිනක නවත්තලා එනවාමයි. ඇවිත් හරිම නොඉවසිල්ලෙන් අපි මොනවා හරි ගන්නකල් ඉඳලා ඉක්මනට ආපහු වාහනේට අපිට යන්න කියනවා. අපේ නවාතැන් වලට අපිව රෑ වෙන්න කලින් දාන්න ඕනෑ කියන එක ගුණදාසගේ ඔලුවේ හැම තිස්සේම තියන දෙයක්. අපි රෑ වුනාට කමක් නෑ කිව්වොත්

“මිස්ලා නං කියයි...... තනි පිරිමියා මම .. ආවා වගේම  පරෙස්සම් කරලා ආපහු ගිහින් දාන්න එපැයි” කියලා ‍බොහොම වැඩිහිටි විදිහට කියනවා.

එක දවසක් අපි පුත්තලමේ ගියා. අපි යන්නේ ගුණදාස එක්ක බව දැනගත්ත නිසා වෙලාවටත් කලින් මම ලෑස්ති වෙලා හිටියා. ඊටත් කලින් ගුණදාස ඇවිත්. අපි කියපු වෙලාවට කලින් ගමන පටන් ගත්තත් දවල් දොළහ වෙනකොට අතරමග හිටියේ. අපි දන්න තැනක වාහනේ නවත්තලා ගුණදාසට කෑම කන්න කීවා. අපි ඉතිං ශාරීරික අවශ්‍යතා කරගෙන වඩේ එකක් කාලා එහෙම ආපහු   එනකොටත් ගුණදාස වාහනේ ඉඳගෙන. කෑම කාලත් නෑ.

“මට විතරක් කන්න බෑ.......” කියලා උත්තර දුන්නා.

දොළහට කන්න දුන්නේ නැත්තං ආපහු ‍වැඩට එන්නේ නෑනේ. ඒ හින්දා අපි එදා එතන හෝටලෙන් මඩ පුවක් ගඳ ගහන හාලෙන් උයපු දවල් කෑම කෑවා ගුණදාසට එයාගේ කෑම එක කන්න කියලා.

අපේ රස්සාවේ එක අංගයක් තමා ෂොපින් යන එක. ඒකට අපි අපේ හාෆ් ඩේ එකක් කැපකරලා මාසේ අන්තිම දවසේ අවසර ඉල්ලා ගන්නවා. එදාට රාජ්‍ය අනුග්‍රහයෙන් වාහනේකුයි රියදුරු මහතෙකුයි ලැබෙනවා. බැරිවෙලා හරි ගුණදාස රියදුරු කමට ආවොත් අපි පොළිසියෙන් ෂොපින් ගියා වගේ තමා. ගියා , පළවෙනියටම දැක්ක ඇඳුම ගත්තා , ආවා.

ගුණදාස තවම බැඳලා නැත්තේ ඇයි කියන එක අපි සමහර දාට විග්‍රහ කරනවා. ගුණදාසගේ නීති රීති, කඩචෝරු නොකෑම , ඉස්සරහා දත් නැති වීම, උස වැඩි නිසා අනික් කෙනාගේ ඇස් දිහා බලාගෙන කතා කරන්න බැරි වීම ආදී කාරණා නිසා යාළු වෙලා හිටපු ගෑනු ළමයා වෙන කෙනෙකුට බහ දෙන්න ඇති කියලා අන්තිමට අපිම තීරණය කරනවා.

මම ඒ ඔෆිස් එකෙන් අයින් වෙන දවසේ ගුණදාස නවත්තන්නේ නැතුව කතා කරා. කොහෙමත් මම දැනගෙන හිටියා බොහෝම හොඳ ගතිගුණ එයා ළඟ තියනවා කියලා. එදා ඒක තවත් දැනුවා. ඊට පස්සේ මට පරණ ඔෆිස් එකට ගිය හැමදාකම එයාව මුණ ගැහුණා. බොහොම හිතවත් කමට කතා කරා මාත් එක්ක.

මට ආයෙම ගුණදාස මුණ ගැහුණ දවසේ එයාට කතා කරන්න බෑ. ඒ එයාගේ අක්කලාගේ ගෙදරදී. අපේ යාළුවෙක් එක්ක උදේ මාතර යන්න පිටත් වෙච්චි ගුණදාසගේ වෑන් එක ගාල්ල හරියෙදි කන්ටේනර් එකකට යටවෙලා.  ‍ඒ දෙන්නා අඳුරා ගන්නවත් බැරි විදිහට තමයි ඒ අනතුර වෙලා තියෙන්නේ. වුනේ මොකක්ද කියලා අහගන්න දෙන්නම ජීවත් වෙලා හිටියේ නෑ. කන්ටේනර් එකේ රියදුරු කිව්වලු වෑන් එක වැරදි පැත්තෙන් ආවා කියලා. ඒත් ඒ වාහනේ පැදෙව්වේ ගුණදාස. මම එයාගේ මරණයට වඩා විශ්වාස කරනවා එයා අතින් වැරැද්දක් වුනේ නෑ කියන එක.

Monday, May 30, 2016

ඇති නැති


 

‘අපේ තාත්තාගේ තමා අර පේන හොස්පිටල් එක......’

 ඈතට අත දික් කරපු කණ්නාඩි දෙකක් දාගෙන හිටපු කොලු පැංචා කීවා. අවුරුදු දොළහක විතර රවුම් මූණක් තියන ඊටත් වඩා රවුම් කණ්නාඩියක් දාගත්ත ‍පොඩ්‍ඩෙක්. බැලූ බැල්මටම පේනවා සැපට හැදුන පාට. ඉස්තරම්ම වර්ගයේ කමිසයක් ඇඳලා , හොඳම ජාතියේ සපත්තු දාලා හිටියා. මේසේ උඩ දෙකට නමලා හිටවලා තිබුණා නවීන උපකරණයක්.  විරුද්ධ පැත්තේ පුටුවේ හිටියා අවුරුදු දහයක විතර ගෑනු ළමයෙක් . එයා උනන්දුවෙන් පෙන්නපු දිහාව බැලුවා. මුහුදු හුළඟට අවුල් වුන හිසකේ තද කරලා අල්ලා ගන්න ගමන් හොස්පිටල් එකේ දිග පළල මැන ගත්තා.

“ අපේ තාත්තා නම් කවදාවත් මෙහේ හොස්පිටල් වලට යන්නෑ............ අපි යන්නේ සිංගපූර්වලට...” කෙල්ල කීවා.

“නියමයි... කොහේ හරි යන්න ඕනේ කියලා අපේ අම්මි කීවාම අපි යන්නෙත් එහේ. මේ ටැබ් එක ගත්තෙත්  ගිය පාර ගියාට පස්සේ...ඔයා ගිහින් තියනවද ඔචාර්ඩ් හවුස් .. ඒකෙන් ගත්තේ” කොල්ලා කියනවා.

“ඔචාර්ඩ් හවුස් ... අර  මිනිස්සු ගොඩක් නිතර ඉන්න තැනද? අපේ අම්මි ඒ තැන්වලට යන්නේ නෑ. අපි නැවතෙන හොටෙල් එක  වටේ තියන තැන් වලට විතරයි යන්නේ. ඒ තැන් වලට එන්නේ ලොකු ලොකු අය නිසා එහෙම තැන් වල බඩු හොඳයි”

“ මේකත් හොදම බ්‍රෑන්ඩ් එක මේ...” පිරිමි ලමයා  ටැබ් එක පෙන්නුවා.

“ ආ... ඔව් ඕක හොඳ එකක්.... අය්යාටත් තියනවා. මම නම් ගත්තේ නෑ ඒ ජාතිය එකක්. මම ආසා පාට තිබුණේ නැති නිසා” දෙන්නා පළමු වරට එක් දෙයකට එකඟ වුනා.

දෙන්නම තමන්ගේ පාසැල් ගැන කතා කරන්න පටන් ගත්තා. වටේ තියන ලස්සන මුහුද වත් වැලි කඳුවල සෙල්ලම් කරන ළමයි වත් ඒ දෙන්නට බලන්න ඉස්පාසුවක් නෑ. තමන්ගේ මිල අධික සෙල්ලම් බඩු, ගුවන් ගමන් , දේශීය සංචාර වල අතරමං වෙලා හිටියේ .

ඒක පොඩි සාදයක් එහෙම නැත්තං හමුවීමක් . පවුල් හතරක් විතර මුහුද අයිනේ හෝටලයක හැන්දෑව ගත කරන්න ඇවිත් . පොඩි දෙන්නෙකුට හිටියේ මේ දෙන්නා විතරයි. තාත්තලා එක මේසෙක. අම්මලා තව මේසෙක. කාගෙන් වත් කාටවත් බාධාවක් නෑ.

යන්තම් කරුවල ගලාගෙන එනකොට පුංචි කොට කෑල්ලකට නැග ගත්ත කාලවර්ණ කොලු ගැටයෙක් හරිම හුරුබුහුටි විදිහට එලියේ වහලවල් වල වීදුරු ලාම්පු පත්තු කරලා එල්ලුවා. ගෑනු ළමයා නහය අකුලාගෙන ඇස් කොනින් තමන්ගේ යාළුවට අර කොලු ගැටයා පෙන්නුවා. මේ වගේ ‍අය මොනවට මේ තැන්වල පේන්නවත් ඉන්නවද කියලා වගේ හැඟීමක් මූණේ තද කරගෙන රෝස පාට ඇඟලි තුඩු අගින් ජංගම දුරකතනය ඔබන්න පටන් ගත්තා. අන්තිම ලාම්පුව එල්ලලා ඉවර වුනත් කොල්ලට යන්න කල්පනාවක් නෑ. ඇස් පිය ගහන්නේ නැතුව ගෑණු ළමයා දිහායි පිරිමි ළමයායි දිහා බලාගෙන හිටිය කොලු ගැටයාට ඈතින් ඇනවුමක් ලැබුණා එන්න කියලා. එයා එක පිම්මේ දිව්වා හෝටලය පැත්තට.

සුදු ඇඳගත්ත වේටර්ලා කෑම පුරවපු පිඟන් බෙදන්න පටන් ගත්තා. ඒත් එක්කම තවත් තාත්තා කෙනෙකුයි පුතෙකුයි එතනට ඇවිත් හැමෝටම අත  දීලා අචාර කළා. පුතා කිසිම කුලෑටි කමක් නැතුව ඇවිත් අර ළමයි දෙන්නා ළඟ වාඩිවෙන්න ද කියලා අචාරශීලී විදිහට ඇහුවා. ළමයි දෙන්නා කිසිම අකමැත්තක් පෙන්නුවේ නෑ. ඒ ළමයාත් බොහෝම මිල අධික පාටයි.

“ඔයාගේ තාත්තා මොකද කරන්නේ? අනික් පිරිමි ළමයා ඇහුවා.

“මේ හෝටලේ අපේ තාත්තගේ.”

හෝටලේට දීලා තිබුණ තරු ගානම ගෑණු ළමයාගේ මූනේ පිපුණා. තමන්ට ගැලපෙන යාළුවෝ ලැබෙන කොට සන්තෝසයි නේ.

ආපහු තුන්දෙනා මුල ඉඳලාම කතා පටන් ගත්තා. එක්කෙනෙකුට එක්කනෙක් පරදින්නෑ. වයසින් විතරයි වෙනස්. හෝටල් හිමියාගේ පුතා තමා වැඩිමල්ම කෙනා. එයා අවුරුදු දහතුනක වගේ කෙනෙක්. තමන්ගේ හෝටලේ ගැන එයා අනික් අයට කියලා දුන්නා.

“මේක හොඳම හෝටලේ විදිහට තුන් පාරක් තේරුණා. අපි හැමෝටම මේකට එන්න බැරි විදිහට මේකේ ගාන වැඩි කරලා තියෙන්නේ. සමහර අය ආවහම හරියට හැඳ ගෑරුප්පු වලින්වත් කන්න දන්නෑ........ අපි වුනත් නිවාඩු ආවම මෙහෙට එන්නෑ. අපි රට යනවා එතකොට..” කතාව මොහොතකට නවත්තලා එයා ඈත බලලා කෑ ගැහුවා,

“චාලි .... චාලි..!”

එතකොටම විදුලියක් වගේ අර ලාම්පු පත්තු කරලා ගිය කොලු ගැටයා ආවා... අතේ තිබුණා ලොකු අවානක්. අමුත්තන්ට බාධා වෙන විදිහට හැසිරෙන කාක්කෝ එළවන්න තමා එයාව කැඳවලා තිබුණේ. වම් පැත්තටයි දකුණු පැත්තටයි දුව දුවා කාක්කේ එළවන්න ගත්ත කොල්ලා කකුල් රිදෙනකොට වැල්ලේ හයි කරපු ලී කොටේක ඉඳගන්නවා.

ආපහු තුන්දෙනා කතාව පටං අරගෙන.

“මට නම් ලංකාවේ කෑම කන්න එපා වෙලා. අපි  ඉන්ග්ලන්ඩ් ගියාම කන කෑම තරම් කොහේවත් කෑම රස නෑ. අපේ තාත්තට ගොඩක් සල්ලි තියන නිසා  කියන ඕන දෙයක් මට අරං දෙනවා..” ගෑණු ළමයා බැදපු මාළු කෑල්ලකට ඕනවට එපාවට ගෑරුප්පුවෙන් අනින ගමන් කීවා.

“නෑ මේවා හොඳම දේවල්.  අද හැදුවේ ‍ගොඩක් පිටරටින් ගෙනාපු  දේවල්. අපි මෙහෙම වෙලාවට ගන්න ඕස්ට්‍රේලියාවෙන් ගෙන්නපු ඒවා තියාගන්නවා. අපේ තාත්තා හැම වෙලාවෙම ගන්නේ ලෝකේ තියන හොඳම දේ. අපි ගෙදර කන්නෙත් ලෝකේ හොඳම දේවල්” හෝටල් හිමියාගේ පුතා කීවා.

“අපේ තාත්තා හැම වෙලාවෙම රටවල් වලට යන නිසා මම ඔයාලට වැඩිය එක එක රටවල කෑම කනවා. අපි නම් මෙහේ කිරි වත් බොන්නේ නෑ. ලෝකේ ඉන්න හොඳම චෙෆ් හදපු කෑමත් අපි කාලා තියනවා. ඒ චෙෆ් ට බ්ලූ ෆින් ටූනා කපලා දෙන්නෙත් ලෝකේ ඉන්න හොඳම මාළු කපන්නා” අනික් පිරිමි ළමයා කීවා.

හොඳම මාළු කපන්නා.....! චාලිට ඒ කෑල්ල පැහැදිලිව ඇහුනා.

“ඒ අපේ තාත්තා. මේ හෝටලේ මාළු කපන්නේ අ‍පේ තාත්තා. එයා තමා මේ ලෝකේ ඉන්න හොඳම මාළු කපන්නා.  ඒත් ..ඒත් ..මං කවදාකවත් ඒ හදන කෑම කාලා නෑ..............”

Friday, May 27, 2016

එබිකම්


 

ගෑණු ළමයින්ගේ‍ හොස්ටල්වල, බෝඩින් වල , ඉස්කෝලේ ළඟ කැරකිලා යන බූතයෝ ඉන්නවා. එහෙම කෙනෙක් නොදැක්ක අය දැක්ක අයටත් වඩා හය්යෙන් කෑ ගහන හින්දා එහෙම බූතයෙක් ආව දවසට හරි කලබැගෑනියක් වෙනවා.

මම කොළඹ ආවට ඔය අනිත් හැමෝටම තියන නවාතැන් ප්‍රශ්නේ මට ආවේ නෑ. මගේ කළ්‍යාණ මිතුරියෝ තුන් දෙනෙක් කැම්පස් යන කාලේ නැවතුන තැනම තව දුරටත් නැවතිලා හිටපු නිසා මටත් එතනටම යන්න අවස්ථාව ආවා. ඒ ගෙදර උඩ තට්ටුව අපිට දීලා තිබුණේ. තවම කැම්පස් ඉන්න නංගිලා දෙන්නෙකුත් එක්ක අපි හය දෙනෙක් හිටියා. මට නම් දැනුනේ ආපහු හොස්ටල් ආවා වගේ.

මම ආවේ උඩ තට්ටුවේ අයිතිකාරයන් මාර්ගයෙන්නේ. අයිතිකාරයෝ කියන්නේ මේනුකා, නිසංසලා, ඉනෝකා සහ චමිලා. දුලානි ඒ වෙනකොට යාවජීව සාමාජිකත්වයෙන් අයින් වෙලා සති අන්තේ පශ්චාත් තාප ඩිග්‍රියට කැම්පස් යන්න තමා ඒ ගෙදරට ආවේ. රුවිනි ආවේ මම එතනට ගියාට පස්සේ.  ගෙදර  ඇත්තම ප්‍රධානියා හම්බ වෙලා කතා කරන එක යුතුකමක් නිසා අපි ගියා එයාව හම්බවෙන්න. ගෙදර අයිතිකාර අංකල් පිළිගැනීමේ කතාව කරනකොට එයාට තේ වතු රබර් වතු තිබුණා නම් අපිට සල්ලි නොගෙන නිකන්ම ඒ ගෙදර ඉන්න දෙනවා කියලා කීවා. අන්තිමටම

“ඔය අනං මනං කියලා මේ ළමයව බය කරන්න එපා”

 කියලා අනික් අයට අවවාද කරලා, ස්තුති කතාවත් එයාම කරලා අපිට යන්න අවසර දුන්නා. මට මාර ප්‍රශ්නේ‍. මොකද්ද මෙහේ මට බය හිතෙන්න තියෙන්නේ කියලා. අපරාදේ කියන්න බෑ අපේ අය වරකට දෙන්නා බැගින් ඒ කාරනේ පැහැදිළි කළා මට.

අපි හිටපු “ගිනි සිසිල”ට ( අපේ අය ගෙදරට දා ගත්ත නම) එහා පැත්තේ ලයින් ගෙවල් හයක් තියනවා. ඒ වගේ පැත්තක කොහොම ඒවා හැදුනද මන්දා. ඒකේ එක ගෙදරක ඉන්න මනුස්සයෙක් ඇවිත් රෑට හොල්මන් කරලා යනවා කියලා කට්ටිය දිලිසෙන ඇස් වලින් විස්තර කළා. මට ලොකු උවමනාවක් තිබ්බා ඒ අත්දැකීම විඳින්න . ඒ වුනත් තව සති දෙකක් විතර ඉවසන්න වෙන බව තමා යාළුවෝ ටික කීවේ.

“සොරි තමා. ලොකු අය්යා බලන්න තව සති දෙකක් විතර ඉන්න වෙනවා. එයාගේ අම්මා ඇප දෙන්න සල්ලි හොයා ගන්න කල්” සියළුම තොරතුරු වල‍ කේන්ද්‍රස්ථානය වන මේනුකා කීවා.

ලොකු අය්යා කියන සුරතල් නාමයෙන් හඳුන්වන්නේ මොනවා හරි ජිල්මාට් දාලා සල්ලි හොයන, සතියක් එළියේ සතියක් කූඩුවේ ඉන්න අවුරුදු හතලිහක විතර කෙනෙක් කියලා මට එයාලා කීවා. ලොකු අය්යා කියන නම වැටුනේ ඇයි කියන එකත් මට පැහැදිලි කලා.උඩ තට්ටුවේ අපි පාඩම් කරන තැන ජනේල් ඇරියාම හරියට ඒ ලයින් ගෙවල් වල මිදුලේ හිටියා වගේ තමා. පැහැදිළි දර්ශන.පුළුල් තිර. දවසක් මගේ යාළුවෝ ටික පාඩම් කර කර ඉන්නකොට නිසංසලාට මුළු පලාතම දෙබෑ කරගෙන කිබුහුමක් ගියාලු. එතකොට අර මනුස්සයා ගෙදර දොරකොඩ ඉඳගෙන

“දෙය්යො රකී...”

කීවලු. එච්චර කැක්කුමක් එන්න තමන්ගේ සහෝදරයෙක් වෙන්න එපැයි. ඒ නිසා එදා ඉඳන් එයා නිසංසලා ඇතුළු ප්‍රජාවගේ ලොකු අය්යා. ඒ විදිහට එයා මටත් ලොකු අය්යා වුනා. ලොකු අය්යා  දැක ගැනීමේ ස්වර්ණමය අවස්ථාව මට ආව කීවත් වගේම සති දෙකකින් විතර. කූඩුවෙන් එළියට ඇවිත් ගෙදර ඇවිල්ලා හිටිය ලොකු අය්යා හිටියායින් බාගයයි කියලා අපේ අය දුක් වුනා. මට ඉතිං එයාව දකින්න විතරයි තිබුණේ. සියලුම අංග ලක්ෂණ,   චරිත ස්වභාවය, හැසිරීම ගැන මට මනා වැටහීමක් ඇති කරලා තිබුණ නිසා මම දැක්ක ගමන් කෙනා කවුද කියලා හරියටම අනුමාන කලා.

එදා රෑම අපේ උඩතට්ටුවේ පඩිපෙළ ලඟ දොරේ බෝලේ  හය්යෙන් කරකවනවා ඇහුනා. අපි හෙමිහිට ජනෙල් රෙද්ද අයින් කරලා බලන කොට සුදු පාට රෙද්දක් ඔලුවට දා ගත්ත මිනිහෙක් වතුර ටැංකිය ළඟින් මාරු වෙලා යනවා දැක්කා. මොන කළුවරේ වුනත් අපේ අයට ‍ඒ ලොකු අය්යා කියලා අඳුරා ගන්න පුළුවන්. උදේ බලනකොට නිසංසලාගේ සුදුපාට සායක් තමා ඔලුවේ දාගෙන ඉඳලා තියෙන්නේ.

කොහොමත් ලොකු අය්යාගේ ඔරොප්පුවක් තිබුණා අපිත් එක්ක . අපි දිහා රවාගෙන තමා ඕනම වෙලාවක බලාගෙන ඉන්නේ. ඒ වුනත් අවුරුදු කාලේ මොකක් හරි රොබරියක පැටලිලා එයාව පොලිස් ජීප් එකේ දාගෙන ගියාම අපි හැමෝම අපේ ෆෙස්ටිවල් ඇඩ්වාන්ස්වලින් ඇප දෙන්න හිතාගෙන හිටියා කියලා එයා දන්නේ නැතුව ඇති.

වෙසක් පෝය වැටුන සතියේ ලොකු අය්යා සියළුම වැඩ අතෑරලා ගෙදරටම වෙලා ඉන්නවා දැක්කා. ඉනෝකා නම් කීවේ පොලීසියෙන් හතර හන්දි කඩලා නැගිටින්න බැරුව ඇති කියලා. එහෙම වුනත් එයා මහ රෑක බකට් එකක් පත්තු කරගෙන එයාගේ නංගිලා ටික බලන්න ආවා. එදා අපි මොකක් හරි දිග කතාවකට වැටිලා තේත් බිබී අපේ කොන්ෆරන්ස් රූම් එකේ හිටියේ. එක පාරටම රුවිනි ‍ඇස් දෙක ලොකු කරලා ආපහු හීනි කරලා අපිට ජනේල පැත්ත පෙන්නුවා. ඉ‍ටි පන්දමක් ගහපු බකට් එකක් කොරිඩෝව දිගේ අහාට යනවා මෙහාට යනවා. අපිට හෙල්ලෙන්නත් බයයි. චමිලා  අපරාදේ කියන්න බෑ හිමිහිට ගිහින් ට්‍රිප් ස්විච් එක නිවුවා. ලොකු අය්යා කලබල වුනා . අපිට ලා එළියෙන් පේනවා බැල්කනියෙන් එයා එහා පැත්තේ ස්ලැබ් එකට පනින්න හදනවා. කොහොම හරි බකට් එක අපිට දීලා මිනිහා මාරු. පහුවදා අපි උදේ  එයාගේ ගෙදර ළඟින්  යනකොට වෙන කාට හරි කියනවා වගේ අහක බලාගෙන කියනවා

“යන හැටි විතරක්... ඔය කලිසම් ගලවන්න ඕන ඔලුවෙන්......”

ඉතිං එදා අපේ කලිසම් ඇඳපු අය විතරයි බය වුනේ!

ආය දවසක රෑ මම බාත් රූම් එකේ ලයිට් එක දානකොටම ජනේලේ ළඟින් කළු ගුලියක් වගේ එකක් මෑත් වෙනවා දැක්කා. මම හරිම හිමින් කෑ ගැහුවේ . එදා නම් ගෙදර පල්ලෙහා අයටත් දැනෙන විදිහට වැඩ සිද්ධ වුනා. ලොකු අය්යා වතුර බටේ දිගේ බහින්න ගිහින් වැහි පිහිලිත් ගලවාගෙනම දුවලා ති‍බුණේ.

ලොකු අය්යාගේ හවුසින් ස්කීම් එකට ප්‍රසිද්ධ ලේඛකයෙක් නිතර එනවා යනවා. ඒක හොයා ගත්තෙත් මේනකා. එන හේතුව නම් හරියටම දැනගන්න බැරි වුනා. එයා ආව දවසක අපි එහෙන් මෙහෙන් එබිලා අපේ රේඩාර් පද්ධතිය ක්‍රියාත්මක කරන්න බැලුවා. අපි හාංකවිසියක් දැනංහිටියේ නෑ ලොකු ‍අය්යා දොරට මුවා වෙලා අපි දිහා බලං හිටපු බව.

“ඇයි බලන්නේ...  තොරං ද?.. මෙහෙටත් වැදගත් මහත්තුරු එනවා අරිද..........?”

කියලා ඇහුවා. අනේ ඉතිං අපිටත් සන්තෝසයි ලොකු අය්යගේ වැදගත් කම ගැන හිතුවාම.

එක දවසක් ලයින් පේළියේ මහා කලබැගෑනියක්. ‍පොලිස් ජීප් දූවිලි අවුස්සාගෙන එනවා. මිනිස්සු පිරිලා. ලොකු අය්යා අළුත් සරමක් එහෙම ඇඳගෙන බොහොම ගාම්බීර විදිහට ගිහින් ජීප් එකට නැග්ගා. අර අපි ගෙදර ඉඳන් බෝඩිමට එනවා වගේ තමා ගියේ.

ඒ තමා අපි ඒ සහෝදරයා දැක්ක අන්තිම දවස. එයා අවුරුදු දහයකට හිරේ ගිය කියලා දැනගත්තම අපි එයා දාලා ගිය බකට් එකට අළුත් ඉටිපන්දමක් ගහලා ගේ ඇතුලේ පත්තු කළා.

Tuesday, May 24, 2016

එකක් කඩතොළු වසාගන්නට


 

අපේ ගෙදර එච්චර නෑදෑයෝ හිතමිත්‍රයෝ නිතර ගැවසුන තැනක් නෙවේ. අවුරුද්දට,  පිරිත් පිංකමකට හරි මොකක් හරි උත්සවයට වගේ වුනොත් මිසක නැත්තං විශේෂ හේතුවකට තමා කවුරු වුනත් එන්නේ. අපේ අම්මයි අප්පච්චි දෙන්නම ගුරවරු නිසා නිවාඩු කාලෙට විතරයි අපි ඇත්තටම ගෙදර  හිටියේ. අනික් දවස් වල දවල්ට ගෙදර වහලා නිසාත් සෙනසුරාදා ඉරිදා අපේ වැඩ වැඩි නිසාත් නිකමට ගෙට ගොඩවෙන අය අපේ ගෙදර ආවේ ගියේ නෑ.

කොහොම වුනත් අපේ ගෙදර ආව ගිය කෙනෙක් හිටියා. මොකක් හරි නෑදෑකමකුත් තිබුණා. එයා සේනානායක හාමිනේ .අම්මා කීවේ එයාට සේනානායක අක්කා කියලා. අපිත් කිව්වේ ඒ නම ම වෙන්න ඕනෑ. වැඩි ඈතක කෙනෙකුත් නෙවේ. මාස දෙක තුනකට සැරයක් ඇවිත් උදේ ඉඳන් හවස් වෙනකල් කතා කර කර ඉඳලා යනවා. මං හිතන්නේ ඒ විදිහට අපේ ගෙදරට ආව ගිය එකම එක්කනා එයා. ඒ වෙනකොට වයස අවුරුදු 50 ක් විතර  ඇති. ගොඩක් උස මහත පැහැපත් කෙනෙක්. ඇන්දේ ඔසරිය. රැළි තුනක් ඔසරි පොටට තියලා හොඳ පිළිවලට  ඇන්දා. ඕනෑම දෙයක් විනිවිද දකින්න පුළුවන් ඇස් දෙකක් තමා එයාට තිබුණේ.  අපි එයා එනවට කැමතියි මොකද කියන්නේ ආවහම අපේ අම්මා  කතාවට අහු වෙනවා. අපි නිදහස් එතකොට. ඒ වුනාට දහසකුත් එකක් ප්‍රශ්ණ අහනවා අපෙන්.

සේනානායක හාමිනේ ගොඩාක් ප්‍රසිද්ධ කාන්තාවක්. ඒ ඇස්වහ කටවහ සම්බන්ධයෙන්. මොකක් හරි දෙයක් කීවොත් නම් වෙනවම තමා. වැඩේ කියන්නේ හොඳ දෙයක් කලාතුරකින්වත් ඒ කටින් කියවෙන්නේ නැති එකනේ.

 සේනානායක හාමිනේ‍ගේ  කටහඩ ඈතින්ම ඇහෙන කොට අම්මා ඉදෙන්න හේත්තු කරලා තියන  කෙසෙල් කැන් ඇතුලේ කාමරෙන් අරං තියනවා. අහුලලා තියන දෙහි දොඩම් මොකක් හරි රෙද්දක් දාලා වහනවා. නැත්තං ගෙට ගොඩවෙන්නේම

“නංගියේ උපන්තේටකට දැකලා නෑ මෙහෙම කෙහෙල් කැනක්. කොහොම කාලා ඉවර කරන්නද නේද? ”කියාගෙන.

ආයි දෙකක් නෑ . එක්කෝ කෙහෙල් කැන මීයෝ කනවා. නැත්තං ආය කිසි දවසක ඒ ජාතියේ කෙසෙල් කැනක් අපේ වත්තේ හැදෙනවා බොරු.

එක සැරයක් අවුරුද්ද ළං වෙලා කැවිලි හදන දවසක සේනානායක හාමිනේ ආවා. අම්මා මුං කැවුම් හදන්න එදා උදව්වටත් කෙනෙක් ගෙන්න ගෙන. ඒ නැන්දට ඇස් දෙක පියාගෙන කැවුම් හැදුවත් පදම වරදින්නේ නෑ. සේනානායක හාමිනේට  තේ එකක් එහෙම බීලා අම්මගේ පරණ සාරියක් එයාගේ ඔසරිය උඩින් පටලගෙන කැවුම් උයන්න උදව් වෙන්න ආවා.

කැවුම් නැන්දාගේ මූණ හොඳ නෑ. එයා සද්ද නැතුව පැණි දදා පිටි අනනවා. සේනානායක හාමිනේ පැණි බෝතලේ දිහා බැලුවා.

“මේ පැණි නම් ඇඹුල් ඇති නංගියේ. මේවායින් නම් කැවුම් ගල් වෙනවා”

කැවුම් නැන්දා ගේ මූණ ගන්න දෙයක් නෑ. එයා ලොකු ළමයෙක් වෙන්නත් කලින්ලුනේ කැවුම් උයන්න ඉගෙන ගත්තේ. කොහොම හරි එදා කැවුම් හැදුවා කියමුකෝ. අවුරුද්දට කලින් කටේ තියන්‍න දෙන්නෙත් නෑනේ. අවුරුදු නැකතට අපි කෑවේ කලුගල් වගේ හය්ය ඇඹුල් රහ තියන කැවුම්. අපරාදේ කියන්න බෑ කැවුම් ටික විසිකරලත් අපි සේනානායක හාමිනේ අමතක කලේ නෑ.

තවත් දවසක එයා අපේ ගෙදර එනකොට පන්සලේ දානෙට උයන්න ගෙනාපු අල ගෝනියක් කුස්සියේ අතුරලා තිබ්බා.

“නංගියේ මෙහෙම අල තිබ්බම මීයෝ කන්නේ නැද්ද?”

කියලා කට කොනක් ඇද කරලා ඇහුවා.

පහුවදා දානේ උයන්න අම්මා බලන කොට හොඳම අල ගෙඩි ටික මීයෝ කාලා. වැඩේ කියන්නේ අපේ කුස්සියේ කිසි දවසක මීයෙකුට ඉන්න පූසා ඉඩ තියලා තිබුණෙත් නෑ.

 අපේ අක්කා පැල කරපු පේර ගහක් තිබුණා කුස්සියේ ජනේලේ ළඟ. ලොකු පේර හැදෙන්නේ. දැං ඔය කිලෝ පේර කියන්නේ අන්න ඒ වගේ පේර. අතු නැමිලා ගෙඩි හැදිලා තියන කාලෙක සේනානායක හාමිනේ ගහ දිහා බලං හිටියා. “ගහ කොහොම උහුලනවද දන්නෑ..” කියලා විතරයි කිවේ . සතියක් විතර  යනකොට ගහේ ගෙඩි වලට පණුවෝ ගැහුවා. කොළත් කොඩවුනා. ගහ අදටත් තියනවා. හැබැයි එක පේර ගෙඩියක් වත් කන්න ලැබෙන් නෑ.

අපේ කිරිඅම්මා ඒ කියන්නේ අප්පච්චිගේ ‍අම්මා ගොයම් කයියට එන අයට දෙන්න බුලත් කඩලා හෙප්පුවේ තියලා තිබුණා. සේනානායක හාමිනේත් එදා ඇවිල්ලා තේ බීලා කිරි අම්මා එක්ක කතාවට වැටුනා.

“ලොකු අම්මේ ..... මේ බුලත් කොළයෙන් බාගයක් නෑ අපේ බුලත් කොළයක්. ‍.......”

කිරි  අම්මට හීන් දාඩිය දැම්මේ බුලත් පාත්තියට දෙයියන්ගේ පිහිට නිසා. කටවහ තියන මනුස්සයාගෙන්ම ආපහු ඒකට අනික් පැත්තට වචනයක් කියවන්න එපායෑ.

“නෑ දුවේ .......... මේ මොන බුලත් ද? ඔහොමයෑ බුලත් හැදෙන්නේ සමහර පළාත්වල”

“ ඒ වුනාට ලොකු අම්මේ මෙහේ බුලත් පාත්ති හරි සරුයි. ඊට සරුයි ඒ මැද හැදිලා තියන කොච්චි ගස්. මෙහාට පේනවා . ගමටම බෙදන්න තරම් කොච්චි හැදිලා තියෙන්නේ.”

“අනේ.... මේ කොච්චි ගස් දෙක තුනෙන් මොනවා කරන්නද? ඔය නිකමට හැදිච්චනේ”

“එහෙම කියන්න එපා.. අර වැක්කෙරෙන්න හැදිලා තියන දෙල් ගහේ ගෙඩි තම්බලා  කොච්චි සම්බෝලයක් හදලා ගත්තා නම්  ආය කයියට  බත් මොකටද?”

එකක් කඩතොළු මකන්ට ගොස් කඩතොලු දහයක් හදාගත්තා වගේ නිසා කිරි අම්ම කට වහගත්තා.

“මේ ඔක්කොම ලොකු අම්මගේ අත්ගුණේට.... නැත්තං මේ අපිටත් මේ වගේ හරි යන්න එපාය. ලොකු අම්මා වැඩ කරන හැටි දැක්කම පිරිමි උනත් බය වෙනවා”

ඒ පාර නම් කිරි අම්මාගේ රැවිල්ලට සේනානායක හාමිනේ බය වෙලා කටවහගත්තා.

කොළ පාගලා වී ගෙට ගත්තා විතරයි එදා හවස වහින්න පටං ගත්තා . හුළඟට දෙල් ගහ ඇඹරිලා ඇඹරිලා  ඉදිරිලා වැටුනා බුලත් පාත්තිය උඩට. ඒ විතරක් නෙවේ දෙල් ගහේ ගෙඩි ටික කඩලා තියන්න ගිය කිරි අම්මා ලෙස්සලා වැටිලා දකුණු අත කඩා ගත්තා.

Wednesday, May 11, 2016

නැති බැරි මොහොතක


 

මොරටුව කැම්පස් එක තියන හරියෙන් ගෑනු ළමයෙකුට නවතින් තැනක් හොයාගන්න අමාරුයි. අමාරුයි කියන්නේ ගමෙන් ආව ළමයෙකුට තවත් අමාරුයි. අනික් එක අම්මායි තාත්තයි හිතන්නේ ඉස්කෝලේ ගිහින් ඉවර වුන, කැම්පස් එකටත් තේරුණ තමන්ගේ දරුවා කිරි සප්පයෙක් කියලනේ. අනික මුළු ලෝකෙම තියෙන හොඳම තැන වෙන්න එපායෑ තමන්ගේ දරුවා නවත්වන්න.

බදුල්ලේ සීතල කඳු අතරේ ඉඳලා ඇවිත් ඉංජිනේරු ෆැකල්ටි එකට තේරුණ දුවට  නවතින්න තැනක් හොයන්න මුළු දවසක්ම ගියා. හැම ගෙදරකම මොකක් හරි ප්‍රශ්ණයක්. එක්කෝ දුර වැඩියි. නැත්තං එක කාමරේ හතර පස් දෙනෙක්. නැත්තං කොල්ලොයි කෙල්ලොයි දෙගොල්ලම එක තැන. කරුවල වැටෙන කොටත් කිසිම තැනක් හොයා ගන්න බැරුව අම්මයි තාත්තයි , දුවයි තුන්දෙනාම හෙම්බත් වෙලා. රෑ අටට විතර  නෑදෑයෙක් දුන්න පණිවිඩයක් අනුව තට්ටු දෙකේ ගෙදරක් ළඟට ගිහින් තුන්දෙනාම බෙල් එක ගැහුවා. දෙපාරක් බෙල් එක ගහන්න නොතියා වයසක ජෝඩුවක් ඇවිත් ගේට්ටුව ඇරියා. බොහෝම හිතවත් විදිහට ගෙදර ඇතුලට ආරාධනා කළා. අම්මටයි තාත්තටයි මේ ගෙදර නම් දුවට හරි යයි කියලා හිතුණා. ඒත් තමන්ගේ උවමනාව පැහැදිළි කරන්නත් ඉස්සරලා ගෙදර ගෘහ මූලිකයා කතා කළා

“අපි කවුරුත් ගෙදර නවත්වාගන්නේ නෑ. මම ඔයාලට එන්න කීවේ අද ආපහු යන්න බැරිව අතරමං වෙන නිසා. දවස් දෙක තුනක් මෙහේ ඉඳලා දුවට හොඳ තැනක් හොයා ගෙන එයා නවත්වන්න.. අපි බොහෝම නිදහසේ ඉන්න දෙන්නෙක්. අපේ ළමයි තුන් දෙනාම ඉන්නේ පිටරට. අපිත් ඉතිං එයාලා නවත්තන්න තැන් හොයන්න ගිහින් ඔය වගේම අතරමං වුනා. ඒත් දැං නම් හිත හදාගෙන අපි මෙහාට වෙලා ඉන්නවා. අපිට නිවාඩුවට ටිකට් එව්වම ගිහින් ඒ තුන්දෙනාව බලලා එනවා.’’

මොකද්ද මේ දරුවගේ නම’’ ? නෝනා ඇහුවා

“මාධවී……..’’

අපේ ලොකු දුවගේ නමත් මාධවී . මට මේ දරුවා දැක්ක වෙලාවේ මතක් වුනෙත් ලොකු දුවමයි’’. ආපහු නෝනා කීවා.

අම්මයි තාත්තයි දවස් දෙකක් විතර මහන්සි වෙලා මාධවී නවත්වන්න තැනක් හෙවුවා. අන්තිමට තනි කාමරයක් හොයා ගන්න පුළුවන් වුනා. ආපහු බෑග් ටික අහුරාගෙන තුන්දෙනාම සමරසිංහ යුවළගෙන් සමුගන්න ගියේ. ඒත් දෙගොල්ලන්ටම ඒක ටිකක් අපහසු බව දැනුනා.

සමරසිංහ මහත්තයා ඉස්සරලාම කතා කළා.

“අපි දෙන්නා ඊයේ රෑ තිස්සේ කල්පනා කළේ මේ දරුවා නාඳුනන තැනක නවත්තන්නේ කොහොමද කියලා. මට අපේ දරුවෝ තුන්දෙනත් කීවා මේ දරුවා නවත්තා ගන්න කියලා. හැබැයි අපේ නීති රීති තදයි. අනික අපි  පෙන්ෂන්කාරයෝ. ඒ හින්දා මට නවාතැන් ගාස්තුවක් ගන්නත් වෙනවා. ’’

ඒ තීරණය බලාපොරොත්තුවෙන් හිටියා වගේ මාධවීට දැනුනේ. ඒ මොහොතේම තුන්දෙනා ඒ තීරණයට එකඟ වුනා. අර කාමරයට ගෙවන්න හිටපු රුපියල් හයදාහ මෙතන්ට දෙන්න තාත්තා පොරොන්දු වුනා. රුපියල් හයදාහක් මාසෙකට දෙන්න අමාරු ගානක්. ඒත් කොළඹ නවාතැන් හරි ගණන්!

එදා රෑම සමරසිංහ නෝනා මාධවීට නීති රීති ලැයිස්තුව දුන්නා. රෑ වෙන්න බෑ. අම්මටයි තාත්තටයි ඇරුනාම කිසි කෙනෙකුට එයාව බලන්න එන්න බෑ. ගෙදර උයන දේවල් කන්න ඕන. රෑ තිස්සේ ටී.වී. බලන්න බෑ. හරියට විසිපස් වෙනිදා වෙනකොට නවාතැන් ගාස්තුව ගෙවන්න ඕනෑ. පාටි වලට යනවා නම් අම්මගේ තාත්තගේ අවසරය අරං දන්වන්න ඕනෑ. තමන් ඉන්න කාමරය අස් කරලා ලස්සනට තියාගන්න ඕනෑ. මාධවී කොහොමත් නිවිච්ච ගති ගුණ තියන කිසි කෙනෙකුගේ හිත රිදවන්න කැමති නැති කෙනෙක්. ඒ නීති රිති මැද්දේ තමන්ට තියන ආරක්ෂාව එයා තේරුම් ගත්තා. සමරසිංහ යුවළ හිතුවටත් වඩා එයා ඉහලින්ම නීති පිළිපැද්දා. කිසි දවසක ගෙදර උපකරණයක් අහන්නේ නැතුව පාවිච්චි කළේ නෑ . ගෙදර හැමෝටම කලින් නැගිටලා තුන්දෙනාටම තේ හැදුවේ එයා. ගෙදර උදව්වටවත් කෙනෙක් නොහිටියේ වයසක දෙන්නගේ  නිදහසට බාදාවක් කියලා සලකපු නිසා වෙන්න ඇති. කැම්පස් යන්න කලින් මාධවී දෙන්නටම වැඳලයි ගියේ. තමන්ට අමතර යතුරු දීලා තිබුණත් කාමරේට එළියේ දොරින් ඇතුළුවුනා මිසක කවදාකවත් ඒ දෙන්නා නැති වෙලාවට ගෙදර දොරවල් ඇරියේ නෑ. සෙනසුරාදට මුළු ගෙදරම අතුගාලා සුද්ද කළා. ගෙදර උයන පිහින වැඩෙත් නිවාඩු දවසට බාර ගත්තා.

ටික දවසක් යනකොට සමරසිංහ මහත්තයා බලු පැටියෙක් අරං ආවා මාධවී පාඩම් කරනකල් ඇහැරලා ඉන්න කෙනෙක් ඕන කියලා. මාධවී ගෙදර එන්න පරක්කු වෙන දවසට ඌ ගේට්ටුව යටින් බල බලා උඩු බුරලනවා කියලා ගෙදරට එන යාළුවන්ට සමරසිංහ මහත්තයා කියනවා. පෝය දවසට  ජෝඩුව සිල් ගන්න යන්නේ මේ දෙන්නට ගෙවල් බාර දීලා.

මාධවී තේරුම් ගත්ත එක දෙයක් තිබුණා . ඒ මේ යුවළගේ තියන සකසුරුවම් කම. අන්තිම සතේට ගනුදෙනු බේරණවා. ගෙදර තිබුණ බඩු ගොඩාක් පරණ ඒවා. ඒත් හරිම පරෙස්සමින් පාවිච්චි කරලා තිබුණේ. තමන්ට කියලා කිසිම දෙයක් නැතුව ජීවිතේ ගොඩනගාගත්ත විදිය සමරසිංහ මහත්තයා මාධවීට කිසිදවසක අමතක නොවන විදිහට කියලා දීලා තිබුණා. ඒ නෝනයි මහත්තයි දෙන්නම යාළුවෙලා තියෙන්නෙත් කැම්පස් එකේදී. බොහෝම දුක් මහන්සියෙන් රස්සා කරලා ගෙවල් දොරවල් හදාගෙන ළමයින්ට උගන්නපු විදිහ ගැන කියන කොට  විශ්වාස කරන්නත් අමාරුයි. උසස් සමාජ තලයක ජීවත්වෙමින් පරණ අතීතයට ආදරය කරන අය හරිම අඩුයි. ඒත් ඒ දෙන්නා තුල තිබුණ විනය සහ ඉවසීම ජීවිතේ ආව හැම අභියෝගයක්ම ජය අරගෙන තිබුණා. එයාලා තමන්ගේ දරුවෝ හදලා තිබුණෙත් ඒ විදිහට. එයාට මාධවීගෙනුත් අපේක්ෂා කරේ ඒ හැසිරීම. හැම වෙලාවෙම මාධවී ගැන අනුකම්පාවක් එයාලගේ හිතේ තිබුණා. ජීවිතේ පළමු වරට කොළඹ ආපු, නන්නාදුන තැනක නවතින්න යන දරුවා තමන්ගේ ලඟ නවත්වාගන්න තීරණය කළෙත් ඒකයි. හැබැයි ඒ තීරණය ඒ දෙන්නට ලොකු සතුටක් ලබා දුන්නා. කිසි දවසක තමන්ගේ වචනයට පිටු නොපාපු දරුවෙක් විදිහට එයාලා මාධවීව දැක්කේ. ඒ වගේම හරිම නිදහසේ තමන්ගේ රට ඉන්න දරුවෝ ළඟ නිවාඩුව ගත කරලා ආවේ මාධවිගේ අම්මටයි තාත්තාටයි ගේ බලාගන්න බාර දීලා.

කැම්පස් එකේ අවසාන අවුරුද්දේ මාධවීට සති දෙකක පුහුණුවක් ලැබුණා ඇමරිකාවේ සුවිසල් සමාගමක. නමුත් ගමන් ගාස්තු තමන් දරන්න ඕනෑ. ලක්ෂ කිහිපයක වියදමක් සහිත ගමනක් වුනත් ඒකෙන් එයාගේ ඉදිරි රැකියාව තීරණය වෙනවා. අම්මලා ලඟ ඒ තරම් මුදලක් නැති බව ස්ථිරයි.

සමාගමේ නම අහලා සමරසිංහ මහත්තයා ඇස් උඩ තියාගත්තා. දවසකට හරි ඒ සමාගමේ වැඩකරන්න ලැබීම ගෞරවයක්. අනික මේක දීලා තියෙන්නේ ලංකාවෙන් ම තුන්දෙනෙකුට විතරයි.! ඒත් යන වියදම ගැන ප්‍රශ්ණයක් තියනවා.

තමන්ගේ අවස්ථාව වෙන කෙනෙකුට දීලා හිත හදාගන්න මාධවී තීරණය කළා. මුළු රෑම නිදන්නේ නැතුව ගත කළේ. කිසිදාක නොදැනුන ලෝබ කමකින් හිත පෙළුනා. තමන් කාලයක් තිස්සේ බලාගෙන හිටපු දෙයක් පෙනි පෙනී අහිමි වෙනවා වගේ එයාට දැනුනේ.

පීඨාධිපතිට නිදහසට කරුණු කියලා ලියුම ලියද්දී සමරසිංහ මහත්තයා ආවා. උදේම ගිහින් බැංකුවේ ඉන්න එයාගේ ඥාතියා හම්බවෙලා මොකක් හරි ක්‍රමයක් තියනවා ද බලලාම තීරණයක් ගන්න කීවා. බැංකුවේ නම කියද්දී නම් එයාට මතක් වුනා තමන් අවුරුදු ගානකට කලින් ගිණුමක් ඇරියා කියලා. ඒත් ඒ සමරසිංහ නෝනාගේ බලේට. ගිනුම් පොත තිබුනෙත් නෝනා  ලඟ. අනිත් එක ඉතුරු කරන්න තරම් සල්ලියක් එයාට තිබුණෙත් නෑ.

බැංකුවට ගියත් කරන්නේ මොකක්ද කියලා එයාට හිතා ගන්න බැරි වුනා. සමරසිංහ මහත්තයාගේ ඥාතියා එයාගේ අතට බැංකු පොත දීලා ඕක දිගෑරලා බලන්න කියලා වගේ එයා දිහා බලාගෙන හිටියා. ඒ පොතේ හැම විසි හය වෙනිදාකම රුපියල් හයදාහක් වැටිලා තිබුණා. හැම තිස්වෙනිදාකම තවත් රුපියල් හාරදාහක් වැටිලා තිබුණා. ඒ තමන් නවාතැන් ගාස්තු විදිහට ගෙවපු මුදලයි, සමරසිංහ යුවළගේ ලොකු දුව එයා වෙනුවෙන් හැම මාසෙකම එවපු සල්ලියි.

“ඔයාගේ හැම ප්‍රශ්ණයක්ම මේකෙන් විසඳෙයි..... ඔයා කොච්චර හොඳ කෙනෙක් ද කියලා මාත් දැනගෙන හිටියා’’. බැංකු මහත්තයා කීවා.

“තමන්ගේ හොඳ තමන්ටම පිහිට වෙනවා...... ’’ සමරසිංහ මහත්තයා නිතර කියන කියමන ඒ වෙලාවේ මාධවිට ඇහෙනවා ඇහෙනවා වගේ දැනුනා.