Thursday, June 6, 2024

ටික් ටොක්

 

Are you quite sure that you want to buy that?

ඇමරිකානු එංගලන්ත අතරමැද උච්චාරණයක් සහිත ප්‍රශ්ණයක් මගේ පිටිපස්සෙන් ඇහුණා. අමාරුවෙන් ඇඟිලිතුඩු වලින් ඉස්සිලා ගවුම්වල  ප්‍රමාණය හොයන මට උදව් කරන්න එහෙම අහන්නේ  කඩේ ඉන්න කෙනෙක් වෙන්න ඇති කියලායි මම ඉක්මනට ආපහු හැරිලා බැලුවේ.

යුගයේ කොලු ගැටයෙක්. ඒ කියන්නේ පාට කීපයක කොණ්ඩයක් , කරාඹුවක්, චිත්‍ර පොතක් වැනි අත් දෙකක් තව කිහිප තැනක සුදු පාට ඇගේ ඇමිණුන වෙඩි උණ්ඩ හතරක් පයක් එක්ක ලොකු කලිසමක්.

ඒ කියන්නේ කඩේ කෙනෙක් නෙවේ. එහෙනං ඇයි මේ ඇදුම ගන්නව ද කියලා අහන්නේ ?

තේරුම් ගන්න බැරි තරම් කැලඹීමක් ඒ මූනේ තියනවා. එයාගේ අතේ මම තෝරන ජාතියේම ගවුමක්. එයාගේ මූනේ සිහින් වේදනාවක ලක්ෂණ.

මේ කොලු ගැටයා මොකට වේදනාවක් ගන්නවාද මම මේ හදිසියේ ඇදුම් තේරීම ගැන? ඇත්තටම මට නං හදිසියේ සාප්පු සවාරි යාම වේදනාවක්. හැම ජාතියේම ඇඳුම් බලලා, ජීවිතේ කිසි දවසක නොගන්න ඇදුම් ඇදලා බලලා , බොරු කකුල් තරම් උස සපත්තු දාලා බලලා තමා සාමාන්‍ය සාප්පු සවාරියක්  මම ඉවර කරන්නේ. ඒත් අද පැය බාගයයි. මදිවට රතු පාට ඇදුමක් වෙන්නත් ඕන.

මගේ යාලුවෙක් අර් ධ ශතකයකට ළඟා වෙනවා. ඒක සතුටට අපි මුහුදු වෙරළේ කේක් කපනවා. එදා ආරාධනාව උඩින් පල්ලෙන් කියෙව්වේ සතුට වැඩි කමට. අවුරුදු 20 කට පස්සේ හම්බ වෙන යාළුවොත් එදාට එතන ඉන්නවා.

හදිසියේ ආපු කෙටි පණිවිඩය දැක්කේ ඔෆිස් එකෙන් පිට වෙනකොට. රතු වෙනුවට මෙරූන් පාට උපන් දින සාදයට ඇන්දට ගාණක් නෑ නේද කියලා මේ ලෝකේ විදිහට පාට කියන සංකල්පය ගැන නොදන්න යාලුවෙක් අහලා තිබුණා. මගේ හිතට ආපු සැකේට ආරාධනා පත ආයම බලන කොට තමා දැක්කේ අද අපි විප්ලවීය රතු පාට ඇදුම් ඇදිය යුතු බව. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මෙතෙක් මට වඩාත්ම සාධාරණයක් කරලා තියන ඇදුම් සාප්පුවට  ගෙදර යන අතරම මගින් තකහනියේ බැස්සේ . එහෙව්   මගෙන් තමා අර කොලු ගැටයා එහෙම අහන්නේ.

I doubt …………

 මම උරහිස අකුලලා උත්තරයක් දුන්නේ අපි මනුස්සයෙකුට වචනයක් දෙනවා නං ඉස්තිරව දෙන්න ඕන නිසා. මීට ඉස්සරත් ඇඳලා බලපු ගොඩාක් ඇදුම් මගේ සිහින බොඳ කරලා තියන නිසා ඇඳලා මිසක දැන් මම ඇදුම් ගන්නේ නෑ.

ලා හිනාවක් කොල්ලගේ මුණට ආවා. මම ආයම හිතනවා මොකද ඒ සන්තෝසේ? මේ යකා අල්ලපු කඩේක කොල්ලෙක්ද ? මෙච්චර සන්තෝසෙ මම ඇදුම ගනීද කියන සැකයට?

ඇදලා බලපුවාම ඇදුම නරකමත් නෑ. විශේෂයෙන්ම වෙලාවේ හැටියට. මම තෝරපු අනික් ඇදුම් දෙකක් නරක නෑ. කෝකද ගන්නේ කියලා හිතමින්  එලියට එනකොට අර ගැටයා ඉන්නවා එතන. ඒ වයසේ කොලු ගැටයෙක් මට ආකර්ෂණය වෙලා  මම යන යන පස්සෙන්  නොයන බව හොදාකාරව දැන දැනත් මේකා මා පස්සේ මොකට පන්නවද කියන හිතුවිල්ල දරුණුවටම මට ආවා.

“This one is perfect ……..”

 ඒ පාර අඩි රූලක් තරම් මහත ගෑනු ළමයෙක් ඇදුම් ඇදලා බලන කාමරේ ඉඳන් පූස් ගමනින් ඇවිත් කොල්ලගේ අතේ එල්ලිලා මම තෝරා  ගත්ත ගවුමේම තව එකක්  දිගෑරලා පෙන්නුවා. ඒක  ගවුම තමා ඒ ගැටයාගේ අතේ තිබුණේ ඉස්සරලා.

කොල්ලා ආයමත් මා දිහා බැලුවා.

Are you going to buy that ..?

මගෙන් අහන්නේ. මම ගත්තා තද තීරණයක්. ඇදුම මම ගන්නවා. මගේ තීරණය දැනුම් දුන්නා.

හුළං ගිය බැලුම් බෝල දෙකක් මා ඉස්සරහා පෙනුනා. දෙයි හාමුදුරුවනේ මගේ ඇදුම මම ගනිච්චාවේ .  අඩිරූල් කෙල්ල එයාගේ ඇදුම ගනිච්චාවේ.

කොලු ගැටයා මාත් එක්ක සාමදාන කතාවකට ලෑස්තියි. ඒත් මට සාමදාන වෙන්න තිබුනේ කාලයත් එක්ක විතරයි. තව විනාඩි 45 ක් ඇතුලත මම මුහුදු වෙරළේ උපන් දින සැමරුමේ කොටසක් වුනේ නැත්තං මට මේ සංසාරේ ඉවර වෙන තාක් කල් අපවාද අහන්න වෙනවා.

සල්ලි ගෙවන කවුන්ටරයට ඇවිත් හැරිලා බලන කොට අර ජෝඩුව මගේ පිටිපස්සෙන්. නාහම බැරි නිසා මා විසින් ඒ දෙන්නගේ හිතේ ඇති කරපු කරදරේ මොකක්ද කියන එක  ඇහුවා.

My baby wants to by this ......“

 කෙල්ලගේ අතේ තිබුණ ඇඳුම  පෙන්නලා මේ කොල්ලා කියන්නේ. හෑ....... බබෙක් කොහොමද ඒක අදින්නේ. ඒකට බේබි ඇදුම් තියන තැනට ගිහින් තෝරා ගන්න එපැයි?

You know she is a tick tocker … a star !

කෙල්ල එල්ලුනා කොල්ලගේ උරිස්සේ බොහාම නෝක්කාඩු මූණක් හදාගෙන.මුලු ලෝකෙම එපා වෙච්ච ගානයි.

දැං කතාව මේකයි. මේ ටික් ටොක් තරුවට අනුගාමිකන් කී දහක් දෝ එකතු විම නිමිත්තෙන් කරන රූ ගත කිරීමට අදින්න මේ ගවුම අරගෙන තියෙන්නේ. හැබැයි  මමත් ඒක  ජාතියම එකත් තොරා ගත්ත එකයි ප්‍රශ්නේ.

“You would understand my baby is very famous…..If a woman at your age will wear the same, definitely her followers lose their hopes…….”

දැං මම වගේ වයසක කෙනෙක් මේ තරුව අදින ඇදුම අදින එක වැරදියි. කොටින්ම ඩයනා කුමාරිටත් ඉහල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සහිත තරුවක්.

“And this does not suit your shape “  

අර තරුව බොහොම කර් කෂ විදිහට ඇස් වලින් ගිණි පුළිගු විහිදුවමින් කිව්වා.

ඕං එයා  ඒ පාර මගේ රූප ලාවන්‍ය උපදේශකත් වෙලා.

මම ආපහු සැරයක් ඒ කිසිදු ඇදක් පලුද්දක් නොමැති අසමසම තරු රූපය දිහා බැලුවා. මුළු ලෝකයේම අවධානය ප්‍රාත්‍ර වුණු ටික් ටික් යෙදවුමේ පතාක වීරවරිය දිහා හොදින් බැලුවා. මේ සා ජනප්‍රියකමක් සහිත දැරිවියකගේ පරම අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමෙන් ජාත්‍යන්තර ප්‍රශ්ණයක් ඇතිවෙයි කියලා මගේ හිත කසු කුසු ගෑවා. මගේ තීරණය ජාත්‍යන්තර යුද්ධයක්  ඇති කරා වුණත් වෙනස් කරන්නෑ කියලා හිතලා ඒක දැනුම් දුන්නා

I buy this to remember the day I met a star like you. It's nice to know that both of our choices are the same......“

මගේ හිතේ කිසි කහටක් නැතුව කරපු  ප්‍රකාශයෙන් තරුවේ ආලෝකය අඩු වුනා. අතේ තිබුණ ගවුම කවුන්ටරයට දමලා ගහපු එයා මේකේ ලියන්න බැරි වචනයක් මුමුණමින් බැස ගියා.

ග‍ෙදර ගෙනාවට මාත් ඒ ඇදුම එක දවසක් වත් ඇන්දේ නෑ.

 

No comments:

Post a Comment