Monday, March 21, 2016

වෙනස


 

මළ ගෙදරක දී හිතවත් වුන යෙහෙළියෝ දෙන්නෙක් කතාවට වැටුනා. පුරුදු විදියටම කාළගුණේ ගැන කතා කළේ ඉස්සරලාම. බැලූ බැල්මටම එක්කනෙක් වයසින් වැඩිමල් අවුරුදු හැටක් විතර. හැබැයි කතාවට දක්ෂයි. බාල කෙනා ඇහුම්කන් දෙන්න කැමති කෙනෙක් වගේ පෙනුනා.

මේ මැරිලා ඉන්නේ මගේ නෑනා. ඒ කියන්නේ මගේ මහත්තයාගේ අක්කා. ඔයාගේ නෑදෑකම මොකද්ද? වැඩිමලා ඇහුවා.

නෑ කමක් තියනවා . ඒත් හිතවත් කම ඊට වැඩි.

අනේ මගේ නෑනා වුනත් මේ කියන්නේ මම නම් කිසිම පයුරුපාසානමක් තියාගත්තේ නෑ. ඒ වුනත් නෑදෑකම නිසා මේ ආවා……….”

අනික් කෙනා පුදුමෙන් බැලුවා. ඒ  බැල්මෙම තිබුණා එහෙම කියන්නේ ඇයි කියලා. වැඩි ආරධනාවක් නැතුවම වැඩිමලා කතාව පටන් ගත්තා.

මම බැඳලා එනකොට මේ නෑනා බැඳලා නෑ. බඳින්න කල්පනාවක් වත් නොතිබුණේ බණ භාවනා කරලාම ඔලුව නරක් වෙලා නිසා. අපේ මගුල් ගෙදර දවසේ ඇඳගෙන හිටියේ සුදු පාට වගේ සාරියක්. මම ඒකෙන්ම දැනගත්තා හැටි! උදේ හවස මල් පූජා කරනවා මටත් කතා කරනවා. මම ඉතිං පවු කරන්නේ නැති නිසා මල් ඔය පන්සල් බදාගෙන ඉන්න ඕන වුනේ නෑ. අපි බැන්දා විතරයි එයා වෙනම පදිංචි වුනා. අළුත් පවුලට නිදහසේ ජීවත් වෙන්න දෙන්න ඕන නිසා  එහෙම වෙන් වුනා කියලා තමා කීවේ . ඒ උනත් මට තේරුණා කපටි කම. තනියම ආදායම අරගෙන අපිට එක්ක උයලා පිහලා දෙන්න වෙයි කියලා තමා වෙන්වුනේ. මහත්තයාගේ අම්මා ජීවත් වෙලා හිටියා. එයා දේපල සමව අක්කටයි මල්ලිටයි බෙදලා තිබුණේ. ඒක වැරදිනේ. තනිකඩ ගෑණිට මොකටද ඔය තරම් දේපලක්. අනික පිරිමියාට එපැයි වැඩියෙන් දෙන්න. නැන්දම්මත් අක්කා එක්ක ඒ ගෙදරටම ගියා. අක්කා එයාව එතෙන්ට ගත්තේ නැන්දම්මාට පෙන්ෂන් එක තිබුණ නිසා. පෙන්ෂන් එක අපි දෙන්නා ගනීවි කියලා බය හිතෙන්න ඇති. අපිට ළමයි හම්බවුනාට පස්සේ වත් අපේ ගෙදර නවතින්න ආවේ නෑ. ළමයි බලලා දෙන්න වෙයි කියලා. ඒ වෙනුවට මට වැඩකාරයෝ හොයලා දුන්නා. උන්ට පඩි ගෙව්වෙත් එයාලා. එහෙම කළේ අපිව පාලනය කරන්න. ඒ මදිවට අපේ ළමයි වත් රවට්ටාගෙන හැම තිස්සෙම ඒ ගෙදරට ගෙන්නා ගත්තා අපේ ගැන කේලම් කියන්න. පොඩි වුන් මොනවා දන්වාද ? උන් හැම තිස්සේම අත්තම්මේ නැන්දේ කියාගෙන පස්සෙමයි. මට හදන දෙයක් ආසාවට කන්නෑ. ඇයි හැම තිස්සේම බඩ පුරවනවනේ නෑනා.

මට එපාම වුනේ ඒ ගෙදර වතු පාලනය කරන්න. අපිට ලියලා දුන්නානම් අයින් වෙන්න එපැයි. ඒ වත්තේ වැඩ කරන ඒවා ලේසි කරන්න කියලා ගමේම මිනිස්සු ගෙන්නා ගෙන පොහොර දම්මනවා, ගස් කප්පාදු කරනවා. ඒ මිනිස්සු එක්ක නෑනා හරිහරියට වැඩ කරනවා. අනේ මම නම් පැත්ත බලන්නෑ. හැන්දෑවට මට ඇහෙන්නත් එක්ක මහත්තයා එක්ක කියනවා එයා කරපු හරිය. මම අතගහන්නේ නැත්තේ මම තණ්හාවට ඕවා බදා ගත්තා කියයි කියලා. ලෝකෙට පේන්න ඕන නිසා සතයක් නෑර ඒ ආදායම මගේ මහත්තයා අතට දුන්නා.

නැන්දම්මා මැරුණා. වැඩේ කියන්නේ ඔච්චර තණ්හා කාරී කිසි දුකක් විඳින්නේ නැතුව මැරුණේ. අර නෑනා නෙවේ  එක කඳුලක් හෙළුවේ. ගමේ මිනිස්සු කීවේ බණ දහම් දන්න කෙනා කම්පා වෙන්නේ නෑ අම්මත් එක්ක ඒ තරම් ආදරෙන් ජීවත් වුනා , හැම යුතුකමක්ම කළා ඒ හින්දා අඩන්න ඕන නෑ කියලා.

අම්මට පින්සිද්ද වෙන්න කියලා නැති බැරි මිනිස්සුන්ට උදව් කළාට ඒ ඔක්කොම කළේ ලෝකෙට පේන්න. ඉඩම් වලින් කොටසක් ආපහු මගේ මහත්තයට ලීවේ ඒ ඔක්කොම බදා ගත්තා කියලා එයාගෙම හිත එයාට වද දුන්න හින්දා.

මම පුළුවන් තරම් කල් මේවා ඉවසන හිටියා. මට ඉහුලුම් නැති වුනේ කොහෙදෝ යන කාලකන්නි පවුලක් ගෙන්නගෙන ගෙදර නවත්තා ගත්තට පස්සේ. ඈතින් නෑදෑකමයක් තියනවලු. ළමයි තුන්දෙනා එක්ක අසරණ වෙලා කියලා මෙයා ඒ ළමයිගේ අම්මත් එක්ක ළමයි තුන්දෙනාම ගෙනත් තියා ගත්තා. අපේ මහත්තයත් උන්ට අනුකම්පා කරා මිසක එක වචනයක් කීවේ නෑ. ඒ ගෑණි මායම්කාරි. තමන්ගේ මිනිහා දාලා ගියේ වැරැද්දක් නිසානේ. ළමයිනුත් කන්න නැති වුනත් ඉටි රෑප වගේ. මම නම් කිසිම ආශ්‍රයක් තිබුණේ නෑ. උන් ඔක්කොම මායමට මම දැක්කම බිම බලාගෙන අයින් වෙනවා. අපේ ළමයිනුත් උන්ට අක්කේ අය්යේ කියාගෙන පස්සෙන් වැටෙනවා. පාඩම් පොත් අරගෙන දුවන්නෙත් එතෙන්ට. මට ටික දවසක් යන කොට ඒ ගෙදර එපා වුනා. මම බලකරලාම කියා හිටියා ළමයි කොළඹ ඉස්කෝලෙකට දාමු කියලා. ඒ විදිහට අපි කොළඹට වුනා. මම මේ ආවේ අවුරුදු විස්සකට පස්සේ. ඒත් නෑනා මැරුණ නිසා.“

බාල තැනැත්තිය බාගෙට ඇරුණු කට වහගන්න බැරුව බලා හිටියා.

“ඉතිං නංගි. ඔයා නම් මේ පළාතේ කෙනෙක් නෙවේ වගේ. මට දැකලා හුරුවක් ඇත්තෙම නෑ..........“

“මම දැං ඉන්නේ නුවර. මගේ මහත්තයාගේ ගමේ. මං පොඩි කාලේ ඉඳලාම ගොඩාක් දුක්වින්දා. අපිට හිටියේ අම්මා විතරයි. අපි තුන්දෙනා තාත්තා නැතුව ජීවත් වෙන්න පුරුදු වුනේ අපේ අම්මා හින්දා. අම්මා ගොඩක් ලස්සනයි. ඒත් අම්මට ජීවිතේට ඕනම කෙනා ළඟ හිටියේ නෑ. අපි දවස් දෙක තුන නොකා හිටියා. ඒත් ඉස්කෝලේ ගමන නැවැත්තුවේ නෑ. අන්තිමට ඉස්කෝලෙනුත් ප්‍රශ්ණ ආවා අපේ අඩු පාඩු කම් නිසා. අම්මගේ දුරින් නෑ කමක් තියන අක්කා කෙනෙක්  අපිට පිහිට වුනා. එයා බැඳලා නෑ. අපි හතර  දෙනා බාර අරගෙන අපිට ඉගැන්නුවා. අපිට ආරක්ෂාව දුන්නා. අපිට නැතිවුන හැම දෙයක්ම දුන්නා. අපි තුන්දෙනාම හොඳින් ඉගන ගත්තා. මල්ලි දොස්තර කෙනෙක් වුනේ ඒ ලොකු අම්මා නිසා. මම දැං අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක් . අනික් නංගි පිටරට ගියා වැඩි දුර ඉගන ගන්න. අම්මා කියන්නේ අම්මගේ ජීවිතේ හමුවුන උතුම්ම කෙනා ලොකු අම්මා කියලා. ඒ වගේ අනික් අය ගැන හිතන , අනිත් අයගේ දුකට පිහිට වෙන, කිසි දේකට ලෝබ කම් නොකරන කෙනෙක් මට තාම මට හමුවෙලා නෑ. කරුණාව පිරුණු හදවතක් ලොකු අම්මාට තිබුණේ.“

“ එහෙම අයත් මේ ලෝකේ ඉන්නවද? හොඳයි කොයි දැං ඒ ලොකු අම්මා ?

“ඒ ලොකු අම්මා තමා මේ......“ බාල යෙහෙළිය කඳුළු නවත්තා ගන්න උත්සාහ ගන්න ගමන් නිසල වුන සිරුර පෙන්නුවා.

Wednesday, February 24, 2016

තෙල් ගාලා හිස පීරන් නෑනෝ


 

 

අපේ ගමෙත් නෑනලා ඔක්කොම එකතු වෙනවා ගොයම් කපන්න. අත්තමට කපනවා වගේම කුලියට කපන්නත් කට්ටිය ආවා. අපි හොඳටම ගොයම් කැපිල්ලට සහභාගී වෙන්නේ අගෝස්තු මාසේ ගොයම් කැපිල්ලට . ඉස්කෝලේ නිවාඩු නිසා අපි පූර්ණ කාලීනව වෙලේ. කුරුණෑගලට ගිනි ගහන අව්ව ඒ කාලෙට.

ගොයම් රත්තරන් පාටට සිලි සිලි ගාලා වියළි හුළඟට නැමෙනවා. පැහිලා වැඩි වුනොත් කුඹරේම වී ඇට හැලිලා  යනවා. ඊට කලින් ගොයම් ගෙට ගන්න ඕනෑ. මුළු පළාතේම එකම කාලෙට ගොයම් කැපෙන නිසා දකින දකින තැන ගොයම් කොල ගොඩ ගහලා තියනවා දකින්න පුළුවන්. උදේ හත විතර වෙනකොට ගොයම් කපන කණ්ඩායම වෙලට බහිනවා. අපි කලින් දවසේ දෑකැති හොයලා ගෙදර ගොඩගහලා තියනවා. දෑකැති අරගෙන යන ගමන් වතුර පෝච්චියයිබුලත් වට්ටියයි අරගෙන යනවා. කටපුරාම බුලත් විටක් ඔබාගෙන  දෑකැත්තේ මුවහත පරීක්ෂා කරලා කුඹුරට බහිනවා. ගොයම් කපන්න කලින්  දෑකැත්ත බිමින් තියලා වඳිනවා. කට්ටිය පේළියට ඉඳලා සමාන්තරව ගොයම් කපාගෙන ඉස්සරහට යනවා. එතකොට ගොයම් අතෑරෙන්නේ නෑ වම් අතින් ගොයම් මිටක් තද කරලා අල්ලාගෙන දෑකැත්ත දකුණු අතින් අල්ලගෙන ගොයම් ගහ මුලින්ම කැපිලා එන්න ඇදලා ගන්නවා.  ගොයම් ගහේ බූව දාඩියත් එක්ක ගෑවිලා කසන්න ගන්නවා. ගින්දර වගේ අව්ව යන්තම් හරි තුනී වෙන්නේ නියරේ තියන ගහක හෙවනැල්ලකින් විතරයි. ගොයම් කපන ගොඩේ ඉන්න කව්රු හරි ශරීර හොරෙක් නිතරම ඇවිත් ඒ හෙවනැල්ලේ ඉඳගන්නවා. හෙවනේ හංගලා තියන වතුර පෝච්චියට කටට ඇල කරගෙන  බීලා අනික් අය ආපහු වැඩට බහිනවා.  කාන්තා පාර්ශවය ගොයම් කපන්න යනවා අඩුයි . එයාලා කරන්නේ ගොයම් එකතු කරන එක. එක පාරට එකතු කරන්න බෑ. කපලා දාලා ගොයම් පිඩි වේලුනාම අනික් පැත්ත හරවනවා. එකවටයක් හරවලා ඉවර වෙනකොට කුඹුරෙන් බාගයක් විතර කපලා ඉවරයි.

කුඹුරට තේ ගේන වෙලාව හරි. ලොකු තේ පෝච්චියකුයි, වීදුරුයි, හකුරු කැටයි අරගෙන එක්කෙනෙක් එනවා. අනිත් අය උදේට කන්න පාන්, කිරිබත් වගේ දෙයක් අරගෙන එනවා. තේ තියන පමාවෙන් කට්ටියම අතපය හෝදගෙන ඇවිත් හෙවනක ඉඳගන්නවා. පාන් වලට නම් පරිප්පු හොදි තියෙන්නම ඕනෑ. ලොකු පොල්කටු හැන්දකින් පිඟාන පිරෙන්න හොදි  බෙදනවා. කහට වීදුරුව පැත්තකින් තියාගෙන බීබී තමා සමහර අය කන්නේ. කන්න වැඩි වෙලාවක් ගන්නේ නෑ . අව්ව සැර වෙන්න ඉස්සර ගොයම් කපලා ඉවර කරගන්න එක ගැන තමා වැඩි කල්පනාව.

ආපහු වෙලට බහින්නේ බුලත් හප දෙක තුනක් කටේ හිර කරගෙන. එතන ඉදන් වතුර බොන එකේ ඉවරයක් නෑ. පාන් කාලා එන වතුර තිබහ මදිවට ගින්දර වගේ අව්ව මුලු ඇඟම පුච්චනවා. කොච්චර අපහසු කම් මැද වුනත් කිසි කෙනෙක් තරහින් අකමැත්තෙන් තමන්ගේ වැඩේ කරන්නේ නෑ. කුඹුරේ එහා කොනේ ඉඳලා මෙහා කොනට කෑ ගහ ගහ අවුරුදු ගානක් පරණ සිද්ධි කියලා එක එක්කනා බයිට් කරනවා. කොච්චර තරහා යන කාරණයක් වුනත් ඉවසන්න වෙනවා. නැත්තං ඊළඟ කන්නේ වපුරනකල්ම ඒ විහිලුව දුර දිග යනවා.

කොහොම හරි දවල්ට කන්නේ ගොයම් ටික කපලා ඉවර වෙලා. ගොයම් වේලෙන්න දාලා දවල්ට කන්න ගොඩට එනවා. කයිය අරන් එනවා වෙලටම. වට්ටක්කා උයලා, බල කරවල තෙල් දාලා, අගුණකොළ මැල්ලුම් හදලා, මිරිස් කරල් බැදලා තව පපඩම් බදිනවා. බත් ටිකක් බෙරි වෙන්න වගේ උයන්නේ. ප්ලාස්ටික් පිඟන් වලට කොත ගහලා බෙදලා දුන්නාම තම තමන්ට ඕන තරමට වෑංජන බෙදා ගන්නවා. කෑම බෙදා ගන්න හැටි දැක්කම තව කුඹුරක් වපුරන්න වෙයිද කියලත් ඒ අතරම කෙනෙක් අහනවා. අපි කොච්චර බඩගිනි වුනත් ගොයම් කපන අය කාලා ඉවර වෙනකල් කන්නේ නෑ. අපට කන්න දෙන්නෙත් නෑ. දවල්ට කාලා කට්ටියම පැයක් විතර වැටුන වැටුන තැන් වල නිදා ගන්නවා. අපිත් එතනම ඉඳගෙන කෑම කාලා බාජන එකතු කරගෙන ගෙදර යනවා.

වේලිච්ච ගොයම් මිටි දහයක් විතර එකතු කරලා එක මිටියක් බඳිනවා කොහු ලනුවකින් තද කරලා. කොල අදින්නේ පිරිමි අය. ගෑනු කට්ටිය කොල එකතු කරලා මිටිය බැඳලා ඔලුවට උස්සලා දෙනවා. මිටි අරගෙන ගිහින් කමතට දානවා. කමතේ ඉන්න කෙනා ඒවා ලෙහෙලා පාගන්න පුළුවන් විදිහට රවුමක් වගේ අතුරනවා.

අපිට දෙන එපාම කරපු වැඩේ තමා බැරි වුන කරල් අහුලන එක. මුළු කුඹුරෙම ඇවිදලා කරල් එකතු කරලා කමතට ගිහින් දානවා. හවස හතර වෙනකොට වැඩේ ඉවරයි. වහින්න වගේ එනවා නම් ගොයම් කොලේ වහනවා පිදුරු දාලා. හවස තේ බීලා කට්ටියම විසිරිලා යනවා. කාටු ගෑවිච්ච පිටවල් කහ කහ , කටගැට ආපු අත් අත ගගා හෙට දවසේ කොල පාගන එක කතා වෙනවා ඊට කලින්. දවසක මහන්සිය නෙවේ එක කන්නක මහන්සිය ඒ අය අරන් යනවා.

මේ කියන කතාව ගොයම් කපන එකට සම්බන්ධයි.මම දන්න කියන කෙනෙක් ගැන. එයාගේ තාත්තා කුඹුරට තේ ගේන එක බාර දෙන්නේ මේ කොල්ලාටයි, අක්කාටයි. එදා තිබිලා තියෙන්නේ පරිප්පුයි පානුයි තේ වලට. ලොකු හැලියක පරිප්පු උයලා තාත්තා තව කෙනෙක් එක්ක එකතු වෙලා පරිප්පු  මුට්ටිටය වෙල ළඟින් තියලා තේ බොන අයට කතා කරන්න ගියා. මේ කොල්ලට තමා පරිප්පු එක බාර දීලා තියෙන්නේ පරෙස්සම් කරන්න. කොහොමත් සිහියක් පතක් ඒ වයසට නෑනේ. තාත්තා එනකල් අරහේ මෙහේ දුවලා හදිසියේම පරිප්පු මුට්ටිය මතක් වුනා. ඒ වෙලාවේ කාක්කෙක් මුට්ටියේ ගැට්ටේ වාඩි වෙලා ඔලුව නමලා පරිප්පු හොද්ද බොනවලු. ඔලුව පුරාම පරිප්පු ගැවිලා. යන්තං තාත්තා එන්න ඉස්සර වෙලා කාක්කා එලෙව්වලු. තාත්තා කට්ටියට තේ දීලා මෙයාටත් පාන් කන්න කීවලු. වෙනදා නම් කියන්න ඉස්සරලා අහලා පාන් කන කෙනා “ එපා එපා , අද නම් කීයටවත්  මට පාන් කන්න බෑ“ කියලා මගෑරලා ගියාලු.

Monday, January 25, 2016

කෙස් ගහට


 

අපේ කාලේ කොහොමත් ගෑනු ළමයි , පිරිමි ළමයි කියලා වෙනසක් නෑ කොණ්ඩේ කපන කොට. පැත්තෙන් පීරුවා, කොරල් එක උඩට හිටින්න කැපුවා. ඒ සීමාව ඇතුලේ යම් යම් වෙනස් කම් එක්ක කොණ්ඩේ කපන එක සිද්ධ වෙන්න පුළුවන්. ඒක ඉතිං සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ බාබර්ගේ නම්‍යශීලීකම උඩ. සමහර බාබර්ලා ඉන්නවනේ ලෝකේ වෙනස් වුනත් තමන්ගේ ප්‍රතිපත්ති කෙස් ගහට ක්‍රියාත්මක කරන අය. එක අතකට එයාලා ලඟ සමානාත්මතාව තියනවා. එන්නේ කවුද කොණ්ඩේ කපන්නේ එකම විදිහට. කොන්ඩේ ඉත්තෑකූරු වුනත් එකම කට් එක. කොණ්ඩේ රෝල් වුනත් එකම කට් එක. සමහර බාබර්ලා නම් අම්මලා කියලා එවන විදිහටම කපනවා.

නිවාඩු කාලේ ඉවර වෙන්න සතියක් විතර තියලා අම්මලා මේ අවස්ථාව සූදානම් කරනවා. අපි කොණ්ඩේ කැපුවේ අපේ ගෙදර ළඟ ඉඳලා පයින් යන දුරක තිබුණ බාබර් සාප්පුවේ. ඒවට තමා මම හිතන්නේ දැං සැලෝන් කියලා කියන්නේ. එහෙම බැලුවොත් අපි කොණ්ඩේ කැපුවේ රන්හාමි සැලෝන් වලින්.

සෙනසුරාදා උදේ තමයි අපි සැලෝන් යන්නේ. කොහොමත් අපි ඔක්කොම හත් අට දෙනෙක් ඉන්නවා ඒ වැඩේට. උදේ නමය වෙනකොට රන් බාබර් ඇවිල්ලා. අපි තාර පාර දිගේ ගිහිල්ලා බණ්ඩයියාගේ කඩේ ළඟින් හැරෙනවා. එතන කජු ගහේ ගහපු ලීයක ලියලා තියනවා “කොණ්ඩා කැපීම“  කියලා .අපි සේරම පෝළිමට බාබර් සාප්පුවට හැරෙනවා. මට නිතරඟයෙන්ම පෝළිමේ පළවෙනි ස්ථානය ලැබෙනවා. රන් මාමා ඔලුව එලියට දාලා “හා බබාලා “ කියලා කියනවා. කොච්චර අකමැති වුනත් මෙතෙන්ට ආවම කොණ්ඩේ කපන්නම වෙනවනේ. මම මගේ අවස්ථාව ගන්නවා. බාබර් සාප්පුව පුංචි කාමරයක්. එකේ වහලට වීදුරුවක් දාලා තියෙන්නේ හොඳට එළිය වැටෙන්න. කොහෙමත් රූප ලාවන්‍ය කටයුතු වලදී මනා ආලෝකය වැදගත්නේ. එතන දිගට ගහපු ලෑල්ලක් තියනවා. ඒකට දැං කියන්නේ ඩ්‍රෙසින් ටේබල් කියලා. ඒක උඩ බාබර්ගේ සියලුම අඩුම කුඩුම ටික තියලා තියනවා.තැඹිලි පාට පව්ඩර් ටින් එකක්, පියරු මල, කතුරු සෙට් එක, දැලි පිහිය හැම දැම එකම විදිහයි.  පුටු ජාති දෙකක් තියනවා. සාමාන්‍ය ලී පුටුවකුයි තව ටිකක් උස ඇඳි තියන පුටුවකුයි.

මම ගියාම අර උස පුටුවේ ඇඳි දෙකට ලීයක් දාලා මාව ඉන්දවනවා. ඊට පස්සේ හැමෝටම දාන සුදු පාට රෙද්ද ගසලා ගසලා බෙල්ල වටේ බඳිනවා. කොහොමත් අපි යද්දිම කතා වෙලා යන්නේ ඒක බඳින කොට හොරෙන් බෙල්ලට ඇඟිලි දෙකක් තියා ගමු කියලා.නැත්තං ඒක බැන්දාම හුස්ම ගන්න බැරුව මැරිලා වැටෙනවා. ඇඟිලි දෙක තියාගන්න බැරි වුනොත් බෙල්ල පුම්බගෙන ඉන්නවා රෙද්ද බැඳලා ඉවර වෙනකල්.  පනාව අරගෙන මැදින් රොදක් තියලා කෙස්ටික උඩින් ගිහින් අනික් පැත්තට වැටෙන විදිහට පීරනවා. රන් මාමා  ටිකක් නැමිලා පැත්තකට බර වෙලා රොද හරිද කියලා බලනවා. බරස් බරස් ගාලා කොණ්ඩේ ගැට ටික කඩලා පිළිවෙළක් කරගන්නවා. වතුර විදගෙන යනකොට හරි සනීපයි. ඉස්සරලාම ගන්නේ දැති දැති තියන කතුර. බෙල්ල පල්ලහාට නමලා කෙස් ටික කපන්න ඕන විදිහට තුනී කර ගන්නවා ඒකෙන්. කෙස් තීරු තීරු සුද රෙද්දට වැටෙනවා. ඒවා අහුලන්න හදනකොටම හොල්ලන්න එපා කියනවා. අනික් කතුර අරගෙන ගානට කොණ්ඩේ කපාගෙන යනවා.  කන ළඟ කපන කොට කන පොඩ්ඩක් නමනවා. ඒත් කතුර අගට කනේ කෑල්ලක් අහුවෙනවා. ඒ දැවිල්ල හොඳටම දැනෙන්නේ ගෙදර ගිහින් නානකොට.ඉස්සරහට කොණ්ඩේ දාලා කපන කොට ඉවසන්න බෑ. ඇහැටමයි වැටෙන්නේ. මුළු මූණම කසනවා. කොණ්ඩේ කපලා ඉවරයි කියලා දැන ගන්නේ බෙල්ලේ බැඳලා තියන රෙද්ද ගලවලා ඒකෙන් ගසලා කෙස් කොට ගසන නිසා. දැනෙන සනීපේ කියන්න බෑ. බාබර්ම මාව බිමින් තියනවා.

ඊළඟට එන්නේ අක්කලාගේ වාරේ. එයාලා උස නිසා ලෑල්ල දාන්න වෙන්නෑ. පුටුවේ ඇඹරි ඇඹරි කොණ්ඩේ කපනවා දැක්කම මට හරි සන්තෝසයි. මම ඒ වෙලාවට කරන්නේ ජනෙල් කූරු වලින් එල්ලිලා ඒ දර්ශනය නරඹන ගමන් මගේ නිදහස භුක්ති විඳින එක. අයියලා කොණ්ඩේ කපන ස්වර්ණමය අවස්ථාන ඊළඟට එනවා. ඒ වෙනකොටත් එතන නටලා හොඳට දාඩිය පෙරාගෙන. බාබර් නහය අකුලගෙන තමා එක එක්කනාව ඇතුලට ගන්නේ. සුදු රෙද්ද බෙල්ල වටේ ඔතන්නෙත් හරිම  අකමැත්තෙන්. ඇත්තම කීවොත් ඒ සුදු රෙද්දේ තරම් ජරාව නෑ කොහේවත්. එයාලගේ කොණ්ඩේ කපන්න ට්‍රැක්ටර් එකක් තියනවා. ඒක ටිකි ටිකි ගාලා බෙල්ලේ කොණ්ඩේ කොටකරන හැටි හරිම පුදුමයි. අන්තිමට දැලි පිහිය අරං එල්ලලා තියන රබර් පටියේ දෙපැත්ත ගාලා  බෙල්ලේ කොණ්ඩය සීරුවට බානවා. වැඩේ ඉවර වෙනකන් කට්ටියම මොනවට හරි බැනුම් අහනවාමයි. මොන චණ්ඩියා වුනත් ඒ වෙලාවට සරෙන්ඩර්. කොල්ලන්ගේ කොණ්ඩේ කපලා ඉවර වුනාම අපායෙන් නිදහස් වුනා වගේ හැඟීමක් බාබර්ගේ මූනේ තියනවා. බලනකොට කොල්ලන්ගේ මූනේ තියෙන්නෙත් ඒ ගැඟීමමයි. දැලි පිහියට කැපිච්ච තැන් අතගගා, බාබර්ට කුටු කුටු ගගා බැන බැන එලියට එන අය්යලා අපේ මූණු වල තියන පවුඩර් දැක්කම අසාධාරණට විරුද්ධ වෙලා ආපහු ගිහින් පව්ඩර් ඉල්ලනවා. රන් මාමා ගේ මූඩ් එක හොඳයි නම් රතු වෙලා තියෙන බෙල්ලේ පව්ඩර් ටිකක් අතුල්ලනවා. නැත්තං නොමිලේ ලැබෙන හුළං තමා බෙල්ලේ අතුල්ලා ගන්න වෙන්නේ.

කොණ්ඩා කැපීමේ මහා උත්සවය ඉවර වෙලා අපි එතන තියන බණ්ඩයියාගේ කඩෙන් ශත වර්ෂයක් පරණ  ඉස්කිරිඤ්ඤා අරගෙන කකා එනවා. ඒ වෙලාවට බඩගින්නයි, බෙල්ලේ දැවිල්ලයි, කෙස් කොට නිසා එන කැසිල්ලයි මදිවට බාබර් බැනපු එකේ තරහයි එක්ක අපි එන්නේ හරිම නොරිස්සුමකින්. එහෙම එන අපෙන්

“ ආ..... නෑඹිලිය තියලද කොණ්ඩේ කැපුවේ ? “
                                                                             කියලා අහන එක හරිද?

Thursday, January 14, 2016

තොවිල්


 

යක්කුන්ට බය වුනත්, ලෙඩ දුකක් වුනත් , ඉවරයක් නැති කරදර ආවත් ගමේ තොවිලයක් කරන කාලයක් තිබුණා. දැං නම් ඒවා බලන්න කිඹුලාවල හන්දියේ තියන කමතට එන්න වෙනවා. ඒවා ඉතිං කාට හරි  නැරඹීමේ අවශ්‍යතාව සපුරා ලීම සඳහා කරන ඒවා මිසක ඇත්තම ඒවා නෙවේනේ. ඒක හින්දා ඒක අනුකරණයක්.

ගමේ තොවිලයක් කියන්නේ උත්සව අවස්ථාවක් හා සමානයි. ඒවට විශේෂඥ දැනුමක් තියන තියන අය මුල ඉඳලාම සහභාගි වෙනවා. ගමේ ගුරුන්නාන්සේට බැරි නම් අල්ලපු ගමේ ගුරන්නාන්සේට හරි ඒක බාර ගන්න වෙනවා.ඒත් බෑ කියන්නේ අමාරුම කාරණයක්. එතකොට මාතර  ගුරුනාන්සේ බය නැත්තං ඌ යකෙක් වෙන්න බෑ.  මාතර ගුරුන්නාන්සේ එනවා කියන්නේ එදාට අල්ලපු ගම් වලිනුත් එනවා කියන එක. ඒත් එක්ක වැඩ ටික කර ගන්න ගෝලයෝ ටිකත් එනවා.තොවිලේ තියන දවසේ උදේම තමා වැඩ පටන් ගන්නේ.

තොවිල්  ජාති කීපයක් තියනවා. එකක් කරනවා හූනියම් කපන්න. ඒවට තමා පුහුල් , එක නැට්ටේ දෙහි , කොඩොල් අල , අහු එහෙම ගන්නේ. හවස හයට විතර පොල් අත්තක් නවලා හදපු පහන් පැල පත්තු කරලා පේ වෙලා ඉන්න ගුරුන්නාන්සේ මැතිරිල්ල පටන් ගන්නවා. කට්ටිය ටික ටික එක් රැස් වෙනවා ගෙදරට. දුම්මල අල්ලන ගෝලයාටත් ටික ටික ආඩම්බර හිතෙනවා කට්ටිය වැඩි වෙනකොට. පැය දෙකක් විතර මතුරලා තුන් සරණ ගිහිල්ලා මූලික වතාවත් කරලා ගුරුන්නාන්සේ පොඩි විවේකයක් ගන්නවා. මේ වෙලාවේ ගෙදර ආව අයට කඩි මුඩියේ කන්න දීලා එකලාසයක් කර ගන්නවා.

ආපහු දෙවනි වටේ පටන් ගන්නවා. එතකොට ගුරුන්නාන්සේ පා සළඹක් එහෙම දාලා සම්පූර්ණ කට්ටඩි ඇඳුම අඳිනවා. සාලේ මැද තට්ටුවක් තියනවා. මාළු පිණි හතක් එක්ක කහ කිරිබතක් ලුණු නොදා උයලා පිඟනක් තියනවා මැද. වතුර එකකුත් තියනවා. මල් ජාති හතක් පාන් පැලට තියනවා. වටේට පහන් ප්‍රමාණයක් පත්තු වෙනවා. මැටි වලින් , කොඩොල් අල වලින් , කිරි බත් වලින් රූප හදලා  තට්ටුවේ තියනවා. ගුරුන්නාන්සේ විතරක් දන්න භාෂාවකින් මතුර මතුරා සැරෙන්  සැරේ හූනියම කෙරිලා තියන අයට ආශීර්වාද කරනවා. පැය තුනක් විතර මෙහෙම එක දිගට සළඹ අතර අරං සද්දෙට මතුරනවා. රෑ මැදක් වෙන කොට ගුරුන්නාන්සේ ආවේස වෙලා වගේ ගෝලයොත් එක්ක ගෙදර වත්තේ කොහේ හරි තැනකට පැනලා බිම හාරලා මොකක් හරි අමුතු දෙයක් හොයලා ගන්නවා. ඒක තමා හූනියම. ඒක අරන් ඇවිත් තියන දස වද ඔක්කොම දීලා  මල් බුලත් තට්ටුවේ තියලා පාන්දර මිනිස්සු ඇහැරෙන්න කලින් ගෙනිහිල්ලා තුන් මං හන්දියක තියනවා. සමහර අය නම් වතුරේ පා කරලාත් යවනවා. ආපහු ගෙදර ඇවිත් ගෙදර අයට ශාන්ති කරලා දෙහි කපලා ඇස් වහ කට වහ දෝෂ අයින් කරලා ගුරුන්නාන්සේ තමන්ගේ යුතුකම ඉෂ්ඨ කරනවා.

අනිත් තොවිල් ජාතිය ශාන්ති කර්මයක් විදිහට කරන එකක්. ගමේ අස්වනු අරන් ඉවර වුනාම විවේක කාලයක් එනවා ගොවියන්ට වුනත් මේ අපට නැතුවාට. එතකොට  වෙල්යාය පිට්ටනියක් වගේ ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මේවායේ ගරා යක්කු නටනවා. ගොරක් ගස් දෙකක් හරි ඒ වගේ  ශක්තිමත් ගස් දෙකක් තෝරා ගෙන  දිග ලීයක් බඳිනවා. ඒක උඩ තමා ගරා යකා නටන්නේ. ලස්සනට සද්දෙට කුඹුරු යායේ එහා කොටන ඇහෙන්න ශාන්ති කර්ම කවි කියනවා. රෑ පටන් ගත්තා ම උදේ තමා ඉවර කරන්නේ. ඒ කාලෙට කන බොන දේවලුත් හිඟ නැති නිසා ගමේ අයම කැවිලි පෙවිලි හදාගෙන එනවා. ශාන්ති කර්මේ ඉවර කරන්නේ ගොරොක් ගහේ අත්තක් කඩා ගෙන පාන්දර යාමේ නටන යකා බිමට පැන්නාම.

වාහල නැටුම නටන තවත් තොවිල් ජාතියක් තියනවා. ඒකෙදි ගුරුන්නාන්සේ ආවේශ වෙනවා. ඒ ආවේශ වෙන්නේ එක්කෝ මල ගිය ප්‍රාණ කාරයෙක් එහෙමත් නැත්තං යකෙක්. යකෙක් ආවේශ වුනොත් නම් ගුරුන්නාන්සේ යකා තමා. ඒ තොවිල් වල දී කුරාලයක් මිදුලේ හයි කරනවා. කුරාලේ කියන්නේ ලොකු පුවක් ගහකට හරි උස කණුවකට හරි. ඒක මිදුලේ ලොකු වලක් හාරලා අඩි දෙකක් විතර යට කරලා නොහෙලවෙන්න හයි කරනවා. යකා ආවේශ වෙන ගුරා රෑ මැදියමට එක හුස්මට කුරාලේ නැගලා මතුරලා දුම්මලා ගහලා යකා පරාජය කරනවා.

තොවිල් ජාතියක් තියනවා ඒකේ අවසාන අංගේ තමා දරහැවේ යන එක. මේ තොවිලේ කරන්නේ අසාධ්‍ය ලෙඩ්ඩු සනීප කරන්න. මාරයා පරාජය කරන්න වෙනත් විදිහට කිව්වොත්. අසනීපකාරයාට වරුවක් තිස්සේ දුම්මල ගහලා තෙල් ගාලා දෙහි කපලා සෙත් කවි කියලා ආශීර්වාද කරනවා. රෑ දෙකට තුනට විතර ගුරුන්නාන්සෙ සුදු රෙද්දක් ඔලුවේ ඉඳලා ඔතාගෙන හුස්ම ඇදලා ඇදලා මැරෙනවා. එහෙම කරන්නේ මාරයා රවට්ටන්න. දැං මාරයා හිතන්නේ ලෙඩා මැරිලා. ඒ නිසා වින කරලා වැඩක් නෑ .මම වෙන කෙනෙක් ළඟට යනවා කියලා. දැං ගුරුන්නාන්සේ මැරිලා. සොහානට ගෙනියන්න යන්නේ. දර වලින් හදපු යහනක ඒ කියන්නේ දර හැවේ දාගෙන උස්සගෙන යනවා. මේ වෙලාවට තොවිලේ බලන්න නිදාගෙන හිටපු අයත් ඇහැරලා එනවා. මළ ගෙදරක වගේම අඞ අඞා දර හැව පිටිපස්සේ යනවා. දුම්මල ගහ ගහ සොහොනට ගෙනිගිල්ලා දාලා කට්ටිය එනවා. ගුරුන්නාන්සේ තට්ට තනියම සොහොනේ ඉඳලා මතුරලා මාර පරාජය කරලා ඇවිත් ආතුරයාට නූලක් දාලා සුටුස් ගාලා ගැටයක් දැම්මා ම ලෙඩේ සනීපයි.

මේ කියපු දරහැවේ දැං ගුරුන්නාන්සේ කෙනෙක් යනවා. හුස්ම ගන්නේ වත් නැති තරමට සජීවී මළ මිනියක්. ගමේ කොල්ලෝ කුරුට්ටෝත් පස්සෙන්ම සොහොනට යනවනේ. දුම්මල ගහන කොල්ලා වගේම අඩන තැනත් නාහෙට අහන්නැති එව්වන්ගෙන් එකෙක් හිටියා. ගුරුන්නාන්සේගේ මූණටම දුම්මල ගහනවා. නාහෙට යන දුම්මල දුම ගුරන්නාන්සේගේ ඉහ මොළ රත්කරගෙන යනවා. ඒත් ඉතිං මැරිලනේ. දැඟලුවොත් මාරයා රවට්ටන්න බැරි නිසා ගුරා දත් සෙට් එක හපා ගෙන ඉන්නවා. දිගටම දුම්මල ගහනවා විතරක් නෙවේ හීනි ඉරටෙකින් අඩන ගමන් කකුලේ යටි පතුලට අනිනවා. ගුරුන්නාන්සේ සියළුම මුඛයන් තද කරගෙන ඉන්නවා  එහෙම නැත්තං මෙච්චර කරපු තොවිලේ වතුරේ. සොහොන පේන නොපෙනෙ මානෙට ආවම අර කොල්ලා ඉතුරු දුම්මල ටික ඔක්කොම එකට දාලා ගුරුන්නාසේගේ නහයටම සෙන්ටර් කරලා දුම ඇල්ලුවා. ඒ වෙනකොට ගුරුන්නාන්සේගේ ඉවසන තැන ගෙවිලා තිබුණේ.

“තොපේ ................. ..............................“ කියාගෙන ගුරුන්නාන්සේ දර හැවෙන් බිමට පැන්නම අනික් අයට කලින් මාරයා බයවෙලා දිව්වලු.

Thursday, November 19, 2015

ස්කූල් බස්


 

ඉස්කෝලේ ගිය කාලේ  අමතක වුනා කියමු. ඒත් ස්කූල් බස් මතකය නම් අමතක වෙන එකක් නෑ. මේ දවස්වල ෂෝක් බයිට් එක කියලා කෙල්ලන්ගේ බස් එකකට බැරි වෙලා නැග්ග කොල්ලෙක් පෙන්වන බිස්කට් දැන්වීමකුත් තියෙන්නේ. මේවා ඇත්තටම   කරපු අය අද තමන්ගේ දරුවොත් එක්ක ටී.වී එකේ යන මේ දැන්වීම බලනවා ඇති.

ස්කූල් බස් කීවට ඒක ඒ බස් පාරේ තියන එකම ලංගම බස් එක වෙන්න පුළුවන්. උදේ බස් එක යන වෙලාවට ඉස්කෝලේ අය හැමෝම ඒකට නගින නිසා ඒක නිකම්ම ස්කූල් බස් එක වෙනවා. පයින් යන දුරක ඉස්කෝලේ තිබුණ අයට නම් මේවායේ ගානක් නෑ. ඒ දවස් වල ස්කූල් වෑන් තිබුණෙත් නැති නිසා වෙන විකල්පත් නෑ.

අපි අපේ බස් එකට කීවේ හයයි කාලේ බස් එක කියලා. ඒ අපේ ගෙදර ළඟින් යන්නේ ඒ වෙලාව නිසා. හවසට බස් එක අන්තිමට යනකොට අපි බලා ගන්නවා ඩ්‍රයිවර් කවුද කියලා. එයාම තමා පහුවදා උදේට එන්නෙත්. ඩ්‍රයිවර් අනුවත් වෙලාව වෙනස් වෙනවා. ඒ බස් එක බැරි වුනොත් එන අනික් බස් එක ටවුන් එකට යනකොට ඉස්කෝලේ පටන් ගන්න වෙලාව පැනලා. අනික ඒ බස් එකේ ඔෆිස් යන අය පිරිලා. බැරි වෙලා හරි උදේ බස් එක නැති වුනොත් අපිට දෙවනි බස් එකක් නෑ කියලා හිත හදා ගෙන වෙන ක්‍රමයකට ඉස්කෝලේ යන්න වෙනවා. නැතිවුන බස් එකේ සෙනඟයි ඒ බස් එකේ සෙනඟයි නිසා අපට බස් එක නවත්තන්නේ නෑ.

අපේ බස් එක කිලෝ මීටර දොළහක් විතර ගෙවලා අපේ ගෙවල් ළඟට එනකොට. තවත් කිලෝ මීටර හතරක් තියනවා එතන ඉඳන්. බස් එක උදේ පහයි හතළිස් පහට විතර පටන් ගන්නවා. එතනින්ම නගින අයට කැමති සීට් අල්ලා ගන්න පුළුවන්. අපි නගින තැන වෙනකොට අපිට ඒ සීට් අල්ලාගෙන හිටගෙන යන්න පුළුවන්.

ගොඩක් වෙලාවට අපිට ස්ථිර තැන් තිබුණා බස් එකේ හිටගෙන යන්න. තඩි බෑග් පිටේ පටවාගෙන බස් එකේ සෙනඟ පීරඟෙන යාළුවෝ ඉන්න තැනට එනවා. අනික් අයගේ මූණවල් සමතලා කරගෙන බෑග් ගලවලා ඉඳගෙන ඉන්න අයගේ ඔඩොක්කුවට දෙනවා. ඒ අය වැහෙන තරමටම බෑග් පිරෙනවා ටික දුරක් යනකොට. ෆුඩ් බෝඩ් වල එල්ලෙන කොල්ලන්ගේ පොත් මිටි ජනෙල් වලින් ඇතුලට අතාරිනවා. ඒ දවස් වල හිතා ගන්න බෑ ඒ අය්යලාගේ පොත් මිටි ඒ අක්කලාගේම ඔඩොක්කුවට වැටෙන්නේ කොහාමද කියලා.  ඉඳගෙන ඉන්න ඒ අක්කගේ හිත වේදනාවෙන් පිරිලා යනවා තනි කකුලෙන් ෆුඩ් බෝඩ් යන අය්යා දැක්කම. පස්සේ දැන ගත්තා ඒකට තමා කියන්නේ කැපවීම කියලා.

අපේ බස් එකේ ප්‍රබලම චරිතය තමා කොන්දොස්තර. ළමයි නැග්ග වෙලේ ඉඳලාම එයා කෑ ගහනවා. බස් එකේ සීට් ටික පිරෙනවා පළවෙනි කිලෝ මීටර දෙක එනකොටම. එතන ඉඳන් ළමයි නැග්ගාම “"පුතාලා ඉස්සරහාට යන්න" කියනවා.

තවත් කිලෝ මීටර දෙකක් විතර ගියාම බස් එක සෑහෙන්න පිරිලා. එතකොට "ළමයි කතාකර  කර ඉන්නේ නැතුව ඉස්සරහාට යන්න" කියලා කට හඩ උස් කරලා කියනවා.

තව කිලෝ මීටර හතරක් යද්දී බස් එක පිරිලා. "මේ ඕයි කන් ඇහෙන්නේ නැද්ද යනවලාකෝ ඉස්සරහට ඔය කණු ඇතෑරලා" කියලා කෑ  ගහනවා.

තවත් කිලෝ මීටර දෙකක් යද්දී කොන්දොස්තර තනි කකුලෙන් හිටාගන ටිකට් ලියනවා. සීසන් චෙක් කරනවා. ෆුඩ් බෝඩ් එකේ ඉඳලා සෙනඟ පිරිලා හුස්ම ගන්නවත් බෑ. තවත් ළමයි නගිනවා. " යකෝ කන්  ඇහෙන්නේ නැද්ද? පලයව් කෝ ඉස්සරහට. මේ ළමයිට නගින්න ඉඩ දීලා .... කල්පනා කරපල්ලකෝ තමුන්ගේ යාළුවෝ නේද කියලා.. " මෙහෙම කෑ ගහලා කොහොම හරි ළමයි ටික දාගන්නවා.

තවත් කිලෝ මීටරයක් විතර යන්න තියනවා. එතනදි එයා බැහැලා ඒ ඉඩත් ළමයින්ට දීලා පිම්බිලා තියන බස් එකට ටිකට් පොතෙන් තඩි බාලා මැද ඉන්න ළමයි කිටි කිටියේ ළං කරවනවා. "යකුනේ දැං මං එන්නේ පයින්ද? "කියලා බිම  ඉඳලා කෑ ගහනවා. එතකොට ඩ්‍රයිවර් කියනවා "කොන්දොස්තර නැතුව මට බස් එක අදින්න බෑ" කියලා. එතකොට ළමයි සීට් අස්සටත් රිංගලා ඉඩ අරන් දෙනවා. කොන්දොස්තර බස් එකේ එල්ලිලා "හරී යං" කියනවා. ඒ බෙල් එක ගහන්න තියා බෙල් එක තියන තැනවත් හොයා ගන්න බැරි නිසා.

කොහොමත් ස්කූල් බස් එකේ කණ්ඩායම් කීපයක් හිටියා. සමහර අයට සෙට් වෙන්න කණ්ඩායමක් නැති වුනාම හොඳටම නැගලා යන කණ්ඩායමක කෙල්ලන්ට කෝචොක් කර කර වෙලාව ගෙවා ගන්නවා. තමන්ගේ ඉස්කෝලෙට මොකක් හරි කිව්වොත් ඒක ඉතිං සදාකල් පවතින තරහක්.

"මේ ඉස්කෝලෙට මොනවත් කියන්න එපා හරිද ? "

කියලා තමයි වලිය පටං ගන්නේ එදා බස් එකෙන් බැහැලා යනකොටත් ඒ කොල්ලන්න රව රවා තමා යන්නේ. ඒත් ඒ ළමයි පහුවදා බෑග් එක දුන්නොත් රවාගෙන හරි ගන්නවා. තනි කකුලෙන් බස් එකේ යන අමාරුව හැමෝම දන්නවා . අනික් එක ළමයෙකුට යන ඉඩකට වඩා ඉඩක් බෑග් එකකට යන නිසා ඒක කාට හරි දෙන්නම වෙනවා. සමහර ළමයි හිටියා සුදු ගවුම පොඩි වෙයි කියලා වැඩිය බෑග් ගන්නේ නැති අය. එතකොට නසරානි කොල්ලෝ කරන්නේ අනික් අයගේ බෑග් බලෙන් අරගෙන එහෙම කෙල්ලන්ට පටවන එක. අය්යලා නිසා බෑ කියන්නත් බෑ. සුදු ගවුම පොඩි වෙන නිසා අරගන්නත් බෑ. සමහර   වෙලාවට බෑග් එකේ පිටිපස්සේ පටි දෙක බකල් එකෙන් ගලවලා හිමිහිට ආපහු දෙනවා. නොබලා කරේ දාගත්තොත් බෑග් එක  බිම. කෙල්ලන්ගේ රිබන් එකට බඳන එක, ගවුම් එකට තියලා කටු ගහන එක මම හිතන්නේ හැමෝටම පොදු අත්දැකීමක්.

ඒ දවස් වල අපි දැම්මේ කැන්වස් සපත්තු . ඒ වගේ කීප දෙනෙකුගේ අඩි පාරවල් තියනවා බහින කොට. සපත්තු දෙක පෑගෙන එක ගැන නම් පොඩි අකමැත්තක් තියනවා. මොකද සතිය මැද ඒක හෝදන එක කීයටවත් කරන්න බැරි නිසා. ටවුන් එකට එනකොට සෙනඟ ටිකක් තුනී වෙලා අතරමග තියන ඉස්කෝල වල ළමයි බැහැලා නිසා. අපිත් බිමට බැහැලා සපත්තු පොළවේ ගහලා , අතපය දිගෑරලා ඇඟේ හැඩේ හදාගෙන කොන්ද දෙකට කැඩෙන බෑග් එක දාගෙන ඉස්කෝලෙට දුවනවා.

දැං නම් අපේ දරුවෝ ඉස්කෝලේ එක්කගෙන යන විදිහ කල්පනා කරන කොට අපි මොන දුකක් විඳලා තියනවද කියලා හිතෙනවා. ඒත් ඒ කාලේ ඒක මොනතරම් සතුටක්ද? ස්කූල් බස් එක නැතිවුන දාට තියන පාළුව කොච්චරක්ද?

Wednesday, November 11, 2015

ඇස්ටෝං ගෙවල්


 

ගමේ ගොඩක් ජනප්‍රිය හමුවක් . පාටි එකක් කියන්නත් බෑ. මොකද තේ මේසයක් විතරයි ඇස්ටෝං ගෙයක තියෙන්නේ. ගෑණු ළමයෙක්ගේ උත්සවයක්, ගෙට ගෙවදීමක් වගේ දෙයක් තමයි  ගොඩක් වෙලාවට නිමිත්ත වෙන්නේ. ඒත් සමහර වෙලාවට හෝම් කමින් එකක් වුනත් මේ විදිහට ගන්නවා. 

සතියකට විතර කලින්  බුලත් අතක් අරගෙන ගමේ හැම ගෙදරකටම යනවා ආරාධනා කරන්න. මේකට දවල් වෙලාවට එන්නේ නෑ. රෑට කොයි කවුරුත් ගෙවල් වල ඉන්න නිසා එන්නේ ඒ වෙලාවට. ආරාධනාව අරන් එන කෙනා තනියම එන්නෙත් නෑ. ගෑනු ළමයෙක් සම්බන්ධයෙන් නම් ඒ ළමයාගේ අම්මයි නැන්දයි තමා එන්නේ. හෝම් කමින් එකක් නම් මනමාල මහත්තයයි එයාගේ තාත්තයි එනවා. ගෙට ගෙවදීමක් නම් දෙමහල්ලෝම එනවා.

ආරාධනාව කරන්න ආවට එක පාරටම ඒ ගැන කියන්නේ නෑ. කොහොමත් ගමේ දෙයක් නිසා හැමෝම  ඒක දන්නවා. ගෙදරට ඇවිල්ලා කාලගුණය ගැන කතා කරලා , වාත අමාරු වැඩි වෙන එක ගැන කතා කරලා වටින් ගොඩින් මාතෘකාවට එනවා. අපේ මේ චුටි දුව....... ඉතිං දිය වැක්කිරිල්ල තියෙන්නේ හෙට උදේ. ඇස්ටෝං එකට මේ .... එන්න කියලා කියන්න ඉතිං ............. ඔය වගේ බාගෙට තමා කියන්නේ. එහෙම කියලා අරන් එන බුලත් අත ගෙදර තියන බුලත් හෙප්පුව උඩ තියලා සුදු රෙදි කෑල්ලකින් වහලා ඒ ගෙදර අයට දෙනවා. ඒක ගන්න කෙනා බුලත් කොළයක් ගත්තොත් එදා උත්සවයට එන්නේ එක්කනයි. දෙකක් ගත්තොත් දෙන්නම එනවා කියන එක.  ගෙදරින් එක්කනෙක් විතරක් යන්නේ ටිකක් නෑ කමිනුත් ඈත හිතවත්කමිනුත් ඈත ගෙදරක උත්සවයකට. දෙන්නම යනවා නම් අපිටත් යන්න චාන්ස් එකක් එනවා. අපිව අමතක වෙයි කියන බයට බුලත් දෙනකල් අපිත් දැවටි දැවටි ඉන්නවා. අම්මටයි අප්පච්චිටයි බුලත් දීලා යන්න පිටත් වෙද්දී අපේ ඔලුවත් අතගලා “ කැවුම් ගෙඩියක් කාලා යන්න එන්ඩ ඈ...“  කියලා අපට ආරාධනාව කරනවා. හිතේ ලොකු ගින්දරක් නිවුණා වගේ. එවලේ ඉඳලාම ඒ උත්සවේ ගැන අහනවා. මොකටද එන්න කීවේ. ඒ අක්කට මොකද්ද වෙලා තියෙන්නේ? ඉතිං ලොකු ළමයෙක් කියන්නේ එයා එක පාරටම උස ගිහින්ද වගේ අපභ්‍රංශ ප්‍රශ්ණ කෙලවර වෙන්නේ අම්මගෙන් හොඳ සැරට එකක් අහගත්තාම. ඊට පස්සේ  අපි අපි කතා වෙලා දන්න තරමින් ඒ ප්‍රශ්ණ විසඳා ගන්නවා.

හෝම් කමින් එකක් නම් එච්චර ඇඹරි ඇඹරී කියන්න තරම් දෙයක් නෙවේ. ඒත් ඉතිං මනමාල මහත්තයාට නම් ලැජ්ජා පාටයි. සමහර විට මනමාලකම කියන්නේ ඒක වෙන්න ඇති. ඒ ඇස්ටෝං වලට මනමාලිගේ පැත්තෙන් එන්න ඉස්සරලා ගමේ ආරාධිතයන් ගිහින් ඉන්න ඕනෑ. නැත්තං ගෙවල් හිස් වගේනේ. අපිටත් මේ තරම් නෑදෑ පරපුරක් ඉන්නවා කියලා මනමාලිගේ පැත්තට පෙන්නන්න එපායෑ. උදේ දහය වගේ වෙනකොට තේ මේසේ අරින නිසා නමය විතර වෙනකොට වත් කට්ටිය ගිහින් ඉන්න ඕනෑ. සිරිතක් විදිහට මනමාලි ගැනත් අහනවා. අන්තිමට එයාට මොකක් හරි නෑ කමකුත් තියනවා ගමේ කාගේ හරි. මනමාල මහත්තයා කරන්නේ එයාගේ තාත්තගේ මූණ බලන එක ප්‍රශ්ණ අහන ගානට. හැබැයි බුලත් හෙප්පුව අරගෙන ආරාධනා කරන්නේ එයා. අපිත් එක්කත් ලැජ්ජාවට වගේ හිනාවෙලා එදාට අම්මලා එක්ක එන්න කියලා කියනවා. මේ ගැන නම් ප්‍රශ්ණ අහන්නේ නෑ. අපිට වෙන්නේ මොකද්ද කියලා තේරෙනවා.

ගෙට ගෙවදිල්ලක් නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. බවුන්ඩේසං කපන දවසේ ඉඳන්ම දන්නවා ආරාධනාව ලැබෙන එක ගැන. ඒත් ඉතිං අපිව අමතක වෙයි කියන බයට ආරාධනාව කරන කල් දැවටි දැවටී ඉන්නවා.

ඇස්ටෝං ගෙවල් වල යද්දී මගුල් ගෙවල් වල යනවා තරම් හොඳට  ඇඳගෙන යන්නෑ. ඒත් ඒකත් උත්සවයක් නිසා පිළිවෙලකට යනවා. ඇස්ටෝං ගෙදර පේන මානයේ නම් ටිකක් බලනවා කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. කීප දෙනෙක් එන්න ඇරලා අපිත් යනවා. ආයුබෝං කියලා පිළිඅරගෙන ගේ ඇතුලේ හරි අලුතින් හදපු ටෙන්ට් එක ඇතුලේ හරි ඉඳගන්න කියනවා. ගෑනු ළමයගේ කටයුත්තක් නම් එයාට ගෙනියපු තෑගි ටික එයා අතට දෙනවා  එයා හැමෝටම වඳිනවා.

තේ මේසේ හදලා තියෙන්නේ ගෙයින් එළියේ අමු පොල් අතු වියලා හදපු මඩුවක. ඒකේ වහලෙටත් අමු පොල් අතු. පොල් අත්තේ හිල් අස්සෙන් ක්‍රේප් පටි දාලා බැලුන් පුම්බලා බැඳලා තියනවා. අව්ව වැටෙද්දී එක දෙක ඩෝං පටෝං ගාන කොට අළුත් බැලුන් එතනට බඳිනවා. අපිට ඉන්න කම්මැලි හිතුනාම ක්‍රේප් පටිවල අග්ගිස්ස කඩාගෙන කටේ දාලා හපනවා. එතකොට කට ඒ ක්‍රේප් පටියේ පාට වෙනවා. මනමාල ජෝඩුව එනකොට හැමෝම නැගිටලා ආචාර කරනවා. එයාලා කෙලින්ම තේ මේසෙට ඉන්දවලා ඉඩ තියන විදිහට ගමේ අයට වතුර වීදුරුවක් අල්ලලා මේසෙට ආරාධනා කරනවා. වතුර අල්ලන්නේ ගෙදරට ආව පිළිවලට. මේසේ වහලා තියෙන්නේ සුදු රෙද්දකින්. එක්කනෙක් ඒක අයින් කරනවා. තව එක්කනෙක් අනිත් පැත්ත හරවලා තියන පිඟන් හරි පැත්ත හරව හරවා යනවා. ඒ වෙනකොට කැසට් එක එහෙම  හය්යෙන් දාලා. තමන් කැමති දේවල් පිඟානට දාගෙන කන්නයි තියෙන්නේ. පොඩි අයට නම් බල කර කර කවන්න හීන් අඩියකින් රත් වුන  කෙනෙක් ඉන්නවාමයි. කන්න බෑ කිවුවත් මොනවා හරි පිඟානට බෙදනවා. කාලා ඉවර වේගන එද්දී තේ අරගෙන එනවා. ඒ තේ මේසෙන් නැගිට්ටාම කලබලේට පිඟන් අස් කරලා අළුත් ඒවා තියලා  , මේසෙට අඩුපාඩු තියලා   අනිත් අයට ආරාධනා කරනවා. පොඩි අයට නම් ඕන වෙලාවට වතුර ඇල්ලුවත් නැතත් මේසෙට ඉඳගන්න පුළුවන්. ඒත් අපි ලැජ්ජාවට අම්මලත් එක්කමයි යන්නේ. මනමාල ජෝඩුවට තෑගි දීලා කට්ටිය ආපහු එනවා.

ගෙට ගෙවදිල්ලක් නම් ගෙදරට ගියපු ගමන් වුනත් මේසෙට ඉඳගෙන කාලා තේ බීලා එන්න පුළුවන්. කොහොමත් දවල් කෑම කන වෙලාව වෙනකොට මේස අස්කරලා ඇස්ටෝං ඉවර කරනවා. බැලුම් බෝලත් ඉවරයි එක්කෝ ළමයි ගෙනිහිං නැත්තං පිපිරිලා. ඉතුරු කරපු කෑම කන්න පිරිච්ච බල්ලෝ ඇරුණාම ළඟම නෑදැයෝ විතරයි ඒ වෙලාවට ඉන්නේ. එයාලත් පිඟන් කෝප්ප අස් කරලා හෝදලා පිහලා එක ගොඩකින් තියනවා.

හවසට වෙන ගෙවල් වලින් අරන් ගිය මේස පුටු , පිඟන් බෙදාගෙන යනවා. අපි ඒ වෙනකල් බලාගෙන ඉන්නේ. අපේ ගෙවල් වලින් අරන් ගිය බඩුත් එක්ක ලොකු කැවිලි පාර්සලක් හම්බ වෙනවා. ඒක කාපු හැටි මතක් වෙනකොට හිතෙනවා ඒ කාලේ ආමාශ දෙකක් තියෙන්න ඇති කියලා!

Monday, November 2, 2015

අපිටත් අවුරුදු


 

 
අප්‍රේල් නිවාඩුව හම්බවෙනවා පළවෙනි සතියේ සිකුරාදා වෙනකොට. ඒ තරම් ආසාවෙන් බලාගෙන ඉන්න නිවාඩුවක් නම් තවත් නෑ. හරියටම මාසයකට කිට්ටු වෙන්න නිවාඩුව තියෙනවා. ඉස්කෝලේ වැඩ පටවන්නෙත් නැති නිසා අපි නිදහස්. අවුරුදු පරිසරය එන්නේ මාර්තු අග ඉඳන්. දිග ඉඩෝරේ ඉවර වෙලා රෑට වහිනවා. උදේ නැගිටිනකොට පොළවේ නැවුම් සුවඳයි, එක එක මල් ජාතිවල සුවඳයි කලවම් වෙලා අවුරුදු සුවඳ එනවා. ජනේලය ඇරපුවාම මග රැකගෙන හිටියා වගේ සීතල හුළඟ කඩා වදිනවා. ඒ වුනත් දවල් කාලය නම් හරිම ඌෂ්ණයි. ඒ රස්නෙට තමා අඹ මල් , කජු මල් පීදෙන්නේ.

නිවාඩුව දුන්න ගමන් අම්මා අපේ ගවුම් මහලා ඉවර කරනවා. මල් තියන ගවුම් . කොලර් එකක් දාලා මැදින් බොත්තම් පේළියක් දාලා රැළි සාය, බෝරිච්චි අත් දෙක. පිටිපස්සට බඳන්න පටි දෙකක් තියනවා. ඒක කිටි කිටියේ ගැට ගහලා තමා ඇඟේ හැඩේ ගන්නේ.

අවුරුදු නිවාඩුවේ මුල ඉඳන්ම කරන්න තියන දේවල් අතර ගස් ගානේ ඇවිද ඇවිද ගෙඩි කඩාගෙන කන එක ඉදිරියෙන්ම තියනවා. පළතුරු වැඩියෙන්ම හැදෙන්නේ මේ කාලේ. අපිටයි සත්තුන්ටයි දෙගොල්ලොම කාලා ගස් යට වැටෙන්න තරම් පළතුරු හැදෙනවා. අවුරුදු ගේන කොහා වගේම එරබදු මල් අද නම් දකින්න ලැබෙන්නේ කලාතුරකින්.

අවුරුදු ළං වුනාම ගෙවල් දොරවල් සුද්ද කරන එක අනිවාර්යයි. ගොඩක් වෙලාවට අළුතින් තීන්ත ගානවා. ඊට කලින් පොල් අත්තක් හරි කැප්පිටියා කොල හරි බැඳපු ලීයක් අරගෙන මකුළු දැල් සුද්ද කරලා වහලයත් සුද්ද කරනවා. දැං වගේ වැහි පිහිළි දාපු ගෙවල් වැඩිය තිබුනේ නෑ. වැහි පිහිළි තියනවා නම් ඒ වැඩ  ටික ඉවර කරගන්න දවසක් විතර ගත වෙනවා. තීන්ත ගෑවාම මුළු ගෙදරම අලුත් වෙනවා. ඒ දවස් වලට බාස්ලා අල්ලන්න හරිම අමාරුයි. ගෙවල් ඇතුලත් ඒ වගේම අළුත් වෙනවා. පුටු කවර හෝදලා, මැක්‍රම් වලට අළුත් මල් දාලා දොර ජනෙල් රෙදි වෙනස් කරලා අවුරුද්දට ලෑස්ති වෙන්නේ. අවුරුද්දට දවස් හතරක් පහක් තියලා කැවුම් උයනවා. මුං කැවුම් , අතිරස , කොකිස් හැම ගෙදරකම හදනවා. ආස්මී හදන්නේ ඒකට විශේෂයෙන් හැකියාවක් තියන අය විතරයි. එක එක ගෙවල් තියනවා එක එක කෑමට විශේෂ වුන. අපි ඒ ගෙවල් වලට යන්නේ ඒ කෑම ජාතිය කන්න බලාගෙනමයි. කැවුම් හදන දවසට අහල පහල කීප දෙනෙක් එකතු වෙනවා. කැවුම් උයන කුස්සිය පළාතේ පොඩි ළමයින්ට එන්න දෙන්නෑ. අපිව ගන්නේ අත් උදව් දෙන්න විතරයි. පුංචි කෑලි වලට හනසු ඉරලා දෙන්න, පොඩි දර කෝටු ගෙනත් දෙන්න, කැවුම් අතුරන වට්ටි හෝදලා පිහලා දෙන්න, පොල් ගාලා දෙන්න, කෙසෙල් කොළ කපලා දෙන්න නම් අපිට කතා කරනවා. කොහොමත් අඟහරුවාදා දවස් වලට කැවුම් උයන්න ගන්නේ නෑ තෙල් පිච්චෙනවා වැඩි නිසා. එකම දවස් වලට ගමේ කීප තැනකම කැවුම් උයන නිසා හැම තැනින්ම තෙල් සුවඳ එනවා. ගොඩක් වෙලාවට එකම දවසේ තමා මුං කැවුනුයි කොකිසුයි හදන්නේ. කොකිස් හදන්න හොඳම අච්චු තියෙන්නේ ගමටම දෙක තුනක් විතරයි. ඒ හින්දා හිතූ හිතූ විදිහට කොකිස් හදන්නත් බෑ .වට්ටි ගානක් කැවුම් කොකිස් හැදුවට එකක්වත් කන්න ලැබෙන්නේ නෑ. අඩුම ගානේ දාලා කරවෙලා ගිය එකක්වත්. මුට්ටිවලට දාලා පත්තර පිටු තුන හතරික් වහලා සැනෙල් ලනු පොටවල් කීපයකින් කට තද කරනවා. අපිත් කට තදකරගෙන ඒක බලාගෙන ඉන්නවා. අතිරස හදනවා පහුවදාට. එතකොට ලොකු වැඩ ඉවරයි. අවුරුදු කිට්ටු කරලා දොදොල් , අළුවා , වැලි තලප වගේ දේවල් හදා ගන්නවා.

දොදොල් හදන්න ගන්නේ හවස් වරුවේ. අඩුම ගානේ පොල් ගෙඩි දොලහක් වත් අපි ගානවා. පැය හතරක් විතර හැඳි ගාලා ට්‍රේ වලට දාලා නිමෙන්න අරිනවා. එදාට තියන ලොකුම වැඩේ තමා සිමෙන්තිය මදින එක. දොදොල් වලට ගාපු පොල් වල ඉතුරු වෙන පොල් කුඩු මේකට කියාපු දේ. ගෙදර පුටු අස් කරලා අතු ගාලා කොනක ඉඳන් පොල් කුඩු දාලා කකුලෙන් අතුල්ලනවා. දාර නම් අතින් අතුල්ලන්න වෙනවා. පොල් කුඩු කලු පාට වෙනකොට ගේ සිමෙන්තිය රතු පාටින් දිලිසෙනවා. තෙල් ගතියත් එක්ක පොලිෂ් කරාට වැඩිය ලස්සනයි. ඒ වැඩ ටික ඉවර වෙනකොට මහ රෑ වෙනවා. ඒ වෙනකොට අපි කතා කරන දේ අපිට ඇහෙන්නේ නැති වෙන තරමට වැස්ස. අකුණු ගහනවා. ගොරවනවා. ඇඳට වැටෙනවා විතරයි දන්නේ. පහුවදා නැගිටින කොට අත පය තලලා දාලා වගේ. ඒත් පහුවදාටත් කරන්න වැඩ තියනවා.

අළුත් මේස රෙදි දාලා පිඟන් කෝප්ප කබඩ් ඇතුලෙන් අරන් හෝදනවා. ඒවා වතුර බේරෙන්න පත්තර පිටු උඩින් නමනවා. කුස්සියේ අච්චාරු දාන එකට ලූණු පොතු අරින්නත් අහු වෙනවා. කඳුලු පෙරිලාම වෙලාවට ඇස් නොපෙනී යනවා. ඒ  වෙලාවට අම්මා අපිව යවනවා අමු ගස් ලබු කඩා ගෙන එන්න. ලීයක් අරගෙන උඩ පැන පැන ගස් ලබු වලට අනින කොට හිතෙනවා ගෙදර බංකුවට වෙලා ලූණු පොතු අරින එක මීට වඩා හොඳයි කියලා.

අවුරුද්ද හෙටයි කියලා ලොකු කිරි කජු ගෝනියක් කඩවා ගන්නවා වත්තේ වැඩ කරන කාට හරි කියලා . මට පෙන්නන්නම බැරි වැඩේ ඒක තමා. කපන කිරි කජු ගලවන්න දෙන්නේ අපිට. බිම බලා ගෙන වරුවක් තිස්සේ ඉරට දෙකින් කජු මද ගලව ගලවා වතුර බාජනේට දානවා. ඉඳලා හිටලා හරි එකක් කෑවොත් ලෝක විනාසේ වුනා වගේ දකින කෙනා කෑ ගහන්නේ. තව ජාති හයක් ඒකට එකතු කරලා හත් මාළුව හදනවා අවුරුදු දවසේ දවල්ට කන්න. හවසට දහඅට මාසේ ගහෙන් පොළොස් ගෙඩි පහක් විතර ගෙනත් පොළොස් ඇඹුලක් හදලා එළියේ ලිපේ තැම්බෙන්න අරිනවා. ඒකට දාන්නේ බුරුත දර. ඒකට පොල් ගෙඩි දහයක් විතර ගානවා. ඒ පොල් කුඩු වලින් කුස්සියේ බිම සුද්ද කරනවා. ආය මේ කුස්සියේ උයන්නේ අලුත් අවුරුද්දට. ඒ වෙනකොට අළුත් ලිපක් තියනවා මැටි ගාලා හදපු. ඒ නැකතට කිරි උතුර වන්න. කොහොමත් කලින් දවසේ රෑ කෑම එච්චර සැලකිල්ලකින් හදන්නේ නෑ. පහුවදාට හදන දේවල් ඉවර කර ගන්න තමා බලන්නේ. දුම් ගහලා ඉදවපු කෙසෙල් කැන් ගෙදර ගෙනත් පරෙස්සමින් ඇවරි වලට කපලා බිම පැදුරක් දාලා අතුරනවා. ඒ කාමරේට ගියත් බඩ පිරෙනවා වගේ . කැවුම් සුවඳයි කෙසෙල් සුවඳයි කලවම් වෙලා .

තැන් තැන් වලින් රතිඤ්ඤා ඇහුනට කවුරුත් එක දිගට පත්තු කරන්නේ නෑ. අපරාදේ කියන්න බෑ වෙනදා කොහේද කියලා හොයා ගන්න බැරි බල්ලෝ ඒ දවස් වල ගේ ඇතුලටම වෙලා ඉන්නවා. අපි අපේ ළඟම නෑදෑයන්නේ ගෙවල් වල යන්නේ පරණ අවුරුදු දවසේ රෑ. බුලත් දීලා වැඳලා එනවා.

මට මතක තියන කාලේ ඉඳලාම නොනගතේ ආවේ උදේ වරුවේ. එහෙමයි කියලා අපි නොකා නම් ඉඳලා නෑ. හැබැයි උයන්නේ නෑ. රෑට වැඩියෙන් උයපුවා කාලා නැකැත් වෙලාව එනකල් ඇති තරම් සෙල්ලම් කරනවා. බැනුම් අහන්නේ නැතුව සෙල්ලමක් කරන්න තියන එකම වෙලාව ඒක විතරයි.

අළුත් අවුරුද්ද ලබන වෙලාවට එකම රතිඤ්ඤා සද්දයක්. ඒත් එක්කම වගේ කිරි උතුරවන වෙලාවත් එන නිසා කුස්සියේ කලබලය ආය පටන් ගන්නවා. අප්පච්චි ඔරලෝසුව ළඟ ඉඳගෙන වෙලාව බලාගෙන දැන් ළඟයි දැන් ළඟයි කියනවා. අම්මා දිසාව බලාගෙන ලිප පැත්තට හනස්ස දික්කර ගෙන ඉන්නවා. තව කෙනෙක් ගිනි පෙට්ටියට ගිනි කූර තියාගෙන බලාගෙන ඉන්නවා. අනිත් අය රතිඤ්ඤා වැල ළඟ. වෙලාව හරී කියන කොට ගිනි කූර  ගැහුවත් කලබලේට වදින්නේ නෑ. අඩුම ගානේ ගිනි කූරු පහක් විතර ගහන්න වෙනවා. ඒ වෙනකොට රතිඤ්ඤා පත්තු වෙලත් ඉවරයි. අළුත් අවුරුද්දේ බනින්න බැරි හින්දා අම්මා තරහව පෙන්නනනේ නැතිව ඉන්නවා. කිරි උතුරන වෙලාවට හැමෝම ඒක බලන්න එනවා. බුලත් කොලේකින් උතුරන කිරි ටික ටික අපේ ඔලුවේ ගානවා. අළුත් අවුරුද්ද ඇවිල්ලා.

අවුරුදු මේසෙට ගෙදර තියන හැම කෑමක්ම තියනවා. නැකත එනකල් ඉන්නේ අමාරුවෙන්. පහන පත්තු කරලා නැකතට කිරිබත් කනකොට මොන බඩගින්නක් තිබිලා තියනවාද කියලා දැනෙනවා. බුලත් දීලා අම්මටයි අප්පච්චිටයි වැන්දට අපට නම් ඒ වෙලාවට තෑගි වත් සල්ලි වත් ලැබිලා නෑ. ඒත් සමහර පළාත්වල නම් ඒ වෙලාවට ළමයින්ටත් සල්ලි දෙනවලු. අපරාදේ අපේ පවුලත් ඒ වගේ පළාතක ඉපදෙන්න තිබ්බේ!

අපේ ගමේ ගෙවල් හතලිහක් විතර තිබුණා. ඒ හැම ගෙදරකට කැවුම් පිඟානක් අරගෙන යනවා. ඒ හැම ගෙදරකින්ම කැවුම් කොකිස් කනවා. එක ගෙදරකින් තේ දුන්නොත් අනික් ගෙදරින් කිරි තේ. අනික් ගෙදරින් කෝපි. අනිත් ගෙදරින් ඔරේන්ජ් බාර්ලි. හවස වැස්සේ තෙමි තෙමී , වැටවල් වලින් පැන පැන , හපන්න එන බල්ලන්ගෙන් බේරිලා ගෙදර දුවගෙන එද්දී අර කාපු බීපු ඔක්කොම  එකට එකතු වෙලා හරියට බඩ ඇතුලේ පිස්සු බල්ලෝ වගේ!.