Friday, May 27, 2016

එබිකම්


 

ගෑණු ළමයින්ගේ‍ හොස්ටල්වල, බෝඩින් වල , ඉස්කෝලේ ළඟ කැරකිලා යන බූතයෝ ඉන්නවා. එහෙම කෙනෙක් නොදැක්ක අය දැක්ක අයටත් වඩා හය්යෙන් කෑ ගහන හින්දා එහෙම බූතයෙක් ආව දවසට හරි කලබැගෑනියක් වෙනවා.

මම කොළඹ ආවට ඔය අනිත් හැමෝටම තියන නවාතැන් ප්‍රශ්නේ මට ආවේ නෑ. මගේ කළ්‍යාණ මිතුරියෝ තුන් දෙනෙක් කැම්පස් යන කාලේ නැවතුන තැනම තව දුරටත් නැවතිලා හිටපු නිසා මටත් එතනටම යන්න අවස්ථාව ආවා. ඒ ගෙදර උඩ තට්ටුව අපිට දීලා තිබුණේ. තවම කැම්පස් ඉන්න නංගිලා දෙන්නෙකුත් එක්ක අපි හය දෙනෙක් හිටියා. මට නම් දැනුනේ ආපහු හොස්ටල් ආවා වගේ.

මම ආවේ උඩ තට්ටුවේ අයිතිකාරයන් මාර්ගයෙන්නේ. අයිතිකාරයෝ කියන්නේ මේනුකා, නිසංසලා, ඉනෝකා සහ චමිලා. දුලානි ඒ වෙනකොට යාවජීව සාමාජිකත්වයෙන් අයින් වෙලා සති අන්තේ පශ්චාත් තාප ඩිග්‍රියට කැම්පස් යන්න තමා ඒ ගෙදරට ආවේ. රුවිනි ආවේ මම එතනට ගියාට පස්සේ.  ගෙදර  ඇත්තම ප්‍රධානියා හම්බ වෙලා කතා කරන එක යුතුකමක් නිසා අපි ගියා එයාව හම්බවෙන්න. ගෙදර අයිතිකාර අංකල් පිළිගැනීමේ කතාව කරනකොට එයාට තේ වතු රබර් වතු තිබුණා නම් අපිට සල්ලි නොගෙන නිකන්ම ඒ ගෙදර ඉන්න දෙනවා කියලා කීවා. අන්තිමටම

“ඔය අනං මනං කියලා මේ ළමයව බය කරන්න එපා”

 කියලා අනික් අයට අවවාද කරලා, ස්තුති කතාවත් එයාම කරලා අපිට යන්න අවසර දුන්නා. මට මාර ප්‍රශ්නේ‍. මොකද්ද මෙහේ මට බය හිතෙන්න තියෙන්නේ කියලා. අපරාදේ කියන්න බෑ අපේ අය වරකට දෙන්නා බැගින් ඒ කාරනේ පැහැදිළි කළා මට.

අපි හිටපු “ගිනි සිසිල”ට ( අපේ අය ගෙදරට දා ගත්ත නම) එහා පැත්තේ ලයින් ගෙවල් හයක් තියනවා. ඒ වගේ පැත්තක කොහොම ඒවා හැදුනද මන්දා. ඒකේ එක ගෙදරක ඉන්න මනුස්සයෙක් ඇවිත් රෑට හොල්මන් කරලා යනවා කියලා කට්ටිය දිලිසෙන ඇස් වලින් විස්තර කළා. මට ලොකු උවමනාවක් තිබ්බා ඒ අත්දැකීම විඳින්න . ඒ වුනත් තව සති දෙකක් විතර ඉවසන්න වෙන බව තමා යාළුවෝ ටික කීවේ.

“සොරි තමා. ලොකු අය්යා බලන්න තව සති දෙකක් විතර ඉන්න වෙනවා. එයාගේ අම්මා ඇප දෙන්න සල්ලි හොයා ගන්න කල්” සියළුම තොරතුරු වල‍ කේන්ද්‍රස්ථානය වන මේනුකා කීවා.

ලොකු අය්යා කියන සුරතල් නාමයෙන් හඳුන්වන්නේ මොනවා හරි ජිල්මාට් දාලා සල්ලි හොයන, සතියක් එළියේ සතියක් කූඩුවේ ඉන්න අවුරුදු හතලිහක විතර කෙනෙක් කියලා මට එයාලා කීවා. ලොකු අය්යා කියන නම වැටුනේ ඇයි කියන එකත් මට පැහැදිලි කලා.උඩ තට්ටුවේ අපි පාඩම් කරන තැන ජනේල් ඇරියාම හරියට ඒ ලයින් ගෙවල් වල මිදුලේ හිටියා වගේ තමා. පැහැදිළි දර්ශන.පුළුල් තිර. දවසක් මගේ යාළුවෝ ටික පාඩම් කර කර ඉන්නකොට නිසංසලාට මුළු පලාතම දෙබෑ කරගෙන කිබුහුමක් ගියාලු. එතකොට අර මනුස්සයා ගෙදර දොරකොඩ ඉඳගෙන

“දෙය්යො රකී...”

කීවලු. එච්චර කැක්කුමක් එන්න තමන්ගේ සහෝදරයෙක් වෙන්න එපැයි. ඒ නිසා එදා ඉඳන් එයා නිසංසලා ඇතුළු ප්‍රජාවගේ ලොකු අය්යා. ඒ විදිහට එයා මටත් ලොකු අය්යා වුනා. ලොකු අය්යා  දැක ගැනීමේ ස්වර්ණමය අවස්ථාව මට ආව කීවත් වගේම සති දෙකකින් විතර. කූඩුවෙන් එළියට ඇවිත් ගෙදර ඇවිල්ලා හිටිය ලොකු අය්යා හිටියායින් බාගයයි කියලා අපේ අය දුක් වුනා. මට ඉතිං එයාව දකින්න විතරයි තිබුණේ. සියලුම අංග ලක්ෂණ,   චරිත ස්වභාවය, හැසිරීම ගැන මට මනා වැටහීමක් ඇති කරලා තිබුණ නිසා මම දැක්ක ගමන් කෙනා කවුද කියලා හරියටම අනුමාන කලා.

එදා රෑම අපේ උඩතට්ටුවේ පඩිපෙළ ලඟ දොරේ බෝලේ  හය්යෙන් කරකවනවා ඇහුනා. අපි හෙමිහිට ජනෙල් රෙද්ද අයින් කරලා බලන කොට සුදු පාට රෙද්දක් ඔලුවට දා ගත්ත මිනිහෙක් වතුර ටැංකිය ළඟින් මාරු වෙලා යනවා දැක්කා. මොන කළුවරේ වුනත් අපේ අයට ‍ඒ ලොකු අය්යා කියලා අඳුරා ගන්න පුළුවන්. උදේ බලනකොට නිසංසලාගේ සුදුපාට සායක් තමා ඔලුවේ දාගෙන ඉඳලා තියෙන්නේ.

කොහොමත් ලොකු අය්යාගේ ඔරොප්පුවක් තිබුණා අපිත් එක්ක . අපි දිහා රවාගෙන තමා ඕනම වෙලාවක බලාගෙන ඉන්නේ. ඒ වුනත් අවුරුදු කාලේ මොකක් හරි රොබරියක පැටලිලා එයාව පොලිස් ජීප් එකේ දාගෙන ගියාම අපි හැමෝම අපේ ෆෙස්ටිවල් ඇඩ්වාන්ස්වලින් ඇප දෙන්න හිතාගෙන හිටියා කියලා එයා දන්නේ නැතුව ඇති.

වෙසක් පෝය වැටුන සතියේ ලොකු අය්යා සියළුම වැඩ අතෑරලා ගෙදරටම වෙලා ඉන්නවා දැක්කා. ඉනෝකා නම් කීවේ පොලීසියෙන් හතර හන්දි කඩලා නැගිටින්න බැරුව ඇති කියලා. එහෙම වුනත් එයා මහ රෑක බකට් එකක් පත්තු කරගෙන එයාගේ නංගිලා ටික බලන්න ආවා. එදා අපි මොකක් හරි දිග කතාවකට වැටිලා තේත් බිබී අපේ කොන්ෆරන්ස් රූම් එකේ හිටියේ. එක පාරටම රුවිනි ‍ඇස් දෙක ලොකු කරලා ආපහු හීනි කරලා අපිට ජනේල පැත්ත පෙන්නුවා. ඉ‍ටි පන්දමක් ගහපු බකට් එකක් කොරිඩෝව දිගේ අහාට යනවා මෙහාට යනවා. අපිට හෙල්ලෙන්නත් බයයි. චමිලා  අපරාදේ කියන්න බෑ හිමිහිට ගිහින් ට්‍රිප් ස්විච් එක නිවුවා. ලොකු අය්යා කලබල වුනා . අපිට ලා එළියෙන් පේනවා බැල්කනියෙන් එයා එහා පැත්තේ ස්ලැබ් එකට පනින්න හදනවා. කොහොම හරි බකට් එක අපිට දීලා මිනිහා මාරු. පහුවදා අපි උදේ  එයාගේ ගෙදර ළඟින්  යනකොට වෙන කාට හරි කියනවා වගේ අහක බලාගෙන කියනවා

“යන හැටි විතරක්... ඔය කලිසම් ගලවන්න ඕන ඔලුවෙන්......”

ඉතිං එදා අපේ කලිසම් ඇඳපු අය විතරයි බය වුනේ!

ආය දවසක රෑ මම බාත් රූම් එකේ ලයිට් එක දානකොටම ජනේලේ ළඟින් කළු ගුලියක් වගේ එකක් මෑත් වෙනවා දැක්කා. මම හරිම හිමින් කෑ ගැහුවේ . එදා නම් ගෙදර පල්ලෙහා අයටත් දැනෙන විදිහට වැඩ සිද්ධ වුනා. ලොකු අය්යා වතුර බටේ දිගේ බහින්න ගිහින් වැහි පිහිලිත් ගලවාගෙනම දුවලා ති‍බුණේ.

ලොකු අය්යාගේ හවුසින් ස්කීම් එකට ප්‍රසිද්ධ ලේඛකයෙක් නිතර එනවා යනවා. ඒක හොයා ගත්තෙත් මේනකා. එන හේතුව නම් හරියටම දැනගන්න බැරි වුනා. එයා ආව දවසක අපි එහෙන් මෙහෙන් එබිලා අපේ රේඩාර් පද්ධතිය ක්‍රියාත්මක කරන්න බැලුවා. අපි හාංකවිසියක් දැනංහිටියේ නෑ ලොකු ‍අය්යා දොරට මුවා වෙලා අපි දිහා බලං හිටපු බව.

“ඇයි බලන්නේ...  තොරං ද?.. මෙහෙටත් වැදගත් මහත්තුරු එනවා අරිද..........?”

කියලා ඇහුවා. අනේ ඉතිං අපිටත් සන්තෝසයි ලොකු අය්යගේ වැදගත් කම ගැන හිතුවාම.

එක දවසක් ලයින් පේළියේ මහා කලබැගෑනියක්. ‍පොලිස් ජීප් දූවිලි අවුස්සාගෙන එනවා. මිනිස්සු පිරිලා. ලොකු අය්යා අළුත් සරමක් එහෙම ඇඳගෙන බොහොම ගාම්බීර විදිහට ගිහින් ජීප් එකට නැග්ගා. අර අපි ගෙදර ඉඳන් බෝඩිමට එනවා වගේ තමා ගියේ.

ඒ තමා අපි ඒ සහෝදරයා දැක්ක අන්තිම දවස. එයා අවුරුදු දහයකට හිරේ ගිය කියලා දැනගත්තම අපි එයා දාලා ගිය බකට් එකට අළුත් ඉටිපන්දමක් ගහලා ගේ ඇතුලේ පත්තු කළා.

Tuesday, May 24, 2016

එකක් කඩතොළු වසාගන්නට


 

අපේ ගෙදර එච්චර නෑදෑයෝ හිතමිත්‍රයෝ නිතර ගැවසුන තැනක් නෙවේ. අවුරුද්දට,  පිරිත් පිංකමකට හරි මොකක් හරි උත්සවයට වගේ වුනොත් මිසක නැත්තං විශේෂ හේතුවකට තමා කවුරු වුනත් එන්නේ. අපේ අම්මයි අප්පච්චි දෙන්නම ගුරවරු නිසා නිවාඩු කාලෙට විතරයි අපි ඇත්තටම ගෙදර  හිටියේ. අනික් දවස් වල දවල්ට ගෙදර වහලා නිසාත් සෙනසුරාදා ඉරිදා අපේ වැඩ වැඩි නිසාත් නිකමට ගෙට ගොඩවෙන අය අපේ ගෙදර ආවේ ගියේ නෑ.

කොහොම වුනත් අපේ ගෙදර ආව ගිය කෙනෙක් හිටියා. මොකක් හරි නෑදෑකමකුත් තිබුණා. එයා සේනානායක හාමිනේ .අම්මා කීවේ එයාට සේනානායක අක්කා කියලා. අපිත් කිව්වේ ඒ නම ම වෙන්න ඕනෑ. වැඩි ඈතක කෙනෙකුත් නෙවේ. මාස දෙක තුනකට සැරයක් ඇවිත් උදේ ඉඳන් හවස් වෙනකල් කතා කර කර ඉඳලා යනවා. මං හිතන්නේ ඒ විදිහට අපේ ගෙදරට ආව ගිය එකම එක්කනා එයා. ඒ වෙනකොට වයස අවුරුදු 50 ක් විතර  ඇති. ගොඩක් උස මහත පැහැපත් කෙනෙක්. ඇන්දේ ඔසරිය. රැළි තුනක් ඔසරි පොටට තියලා හොඳ පිළිවලට  ඇන්දා. ඕනෑම දෙයක් විනිවිද දකින්න පුළුවන් ඇස් දෙකක් තමා එයාට තිබුණේ.  අපි එයා එනවට කැමතියි මොකද කියන්නේ ආවහම අපේ අම්මා  කතාවට අහු වෙනවා. අපි නිදහස් එතකොට. ඒ වුනාට දහසකුත් එකක් ප්‍රශ්ණ අහනවා අපෙන්.

සේනානායක හාමිනේ ගොඩාක් ප්‍රසිද්ධ කාන්තාවක්. ඒ ඇස්වහ කටවහ සම්බන්ධයෙන්. මොකක් හරි දෙයක් කීවොත් නම් වෙනවම තමා. වැඩේ කියන්නේ හොඳ දෙයක් කලාතුරකින්වත් ඒ කටින් කියවෙන්නේ නැති එකනේ.

 සේනානායක හාමිනේ‍ගේ  කටහඩ ඈතින්ම ඇහෙන කොට අම්මා ඉදෙන්න හේත්තු කරලා තියන  කෙසෙල් කැන් ඇතුලේ කාමරෙන් අරං තියනවා. අහුලලා තියන දෙහි දොඩම් මොකක් හරි රෙද්දක් දාලා වහනවා. නැත්තං ගෙට ගොඩවෙන්නේම

“නංගියේ උපන්තේටකට දැකලා නෑ මෙහෙම කෙහෙල් කැනක්. කොහොම කාලා ඉවර කරන්නද නේද? ”කියාගෙන.

ආයි දෙකක් නෑ . එක්කෝ කෙහෙල් කැන මීයෝ කනවා. නැත්තං ආය කිසි දවසක ඒ ජාතියේ කෙසෙල් කැනක් අපේ වත්තේ හැදෙනවා බොරු.

එක සැරයක් අවුරුද්ද ළං වෙලා කැවිලි හදන දවසක සේනානායක හාමිනේ ආවා. අම්මා මුං කැවුම් හදන්න එදා උදව්වටත් කෙනෙක් ගෙන්න ගෙන. ඒ නැන්දට ඇස් දෙක පියාගෙන කැවුම් හැදුවත් පදම වරදින්නේ නෑ. සේනානායක හාමිනේට  තේ එකක් එහෙම බීලා අම්මගේ පරණ සාරියක් එයාගේ ඔසරිය උඩින් පටලගෙන කැවුම් උයන්න උදව් වෙන්න ආවා.

කැවුම් නැන්දාගේ මූණ හොඳ නෑ. එයා සද්ද නැතුව පැණි දදා පිටි අනනවා. සේනානායක හාමිනේ පැණි බෝතලේ දිහා බැලුවා.

“මේ පැණි නම් ඇඹුල් ඇති නංගියේ. මේවායින් නම් කැවුම් ගල් වෙනවා”

කැවුම් නැන්දා ගේ මූණ ගන්න දෙයක් නෑ. එයා ලොකු ළමයෙක් වෙන්නත් කලින්ලුනේ කැවුම් උයන්න ඉගෙන ගත්තේ. කොහොම හරි එදා කැවුම් හැදුවා කියමුකෝ. අවුරුද්දට කලින් කටේ තියන්‍න දෙන්නෙත් නෑනේ. අවුරුදු නැකතට අපි කෑවේ කලුගල් වගේ හය්ය ඇඹුල් රහ තියන කැවුම්. අපරාදේ කියන්න බෑ කැවුම් ටික විසිකරලත් අපි සේනානායක හාමිනේ අමතක කලේ නෑ.

තවත් දවසක එයා අපේ ගෙදර එනකොට පන්සලේ දානෙට උයන්න ගෙනාපු අල ගෝනියක් කුස්සියේ අතුරලා තිබ්බා.

“නංගියේ මෙහෙම අල තිබ්බම මීයෝ කන්නේ නැද්ද?”

කියලා කට කොනක් ඇද කරලා ඇහුවා.

පහුවදා දානේ උයන්න අම්මා බලන කොට හොඳම අල ගෙඩි ටික මීයෝ කාලා. වැඩේ කියන්නේ අපේ කුස්සියේ කිසි දවසක මීයෙකුට ඉන්න පූසා ඉඩ තියලා තිබුණෙත් නෑ.

 අපේ අක්කා පැල කරපු පේර ගහක් තිබුණා කුස්සියේ ජනේලේ ළඟ. ලොකු පේර හැදෙන්නේ. දැං ඔය කිලෝ පේර කියන්නේ අන්න ඒ වගේ පේර. අතු නැමිලා ගෙඩි හැදිලා තියන කාලෙක සේනානායක හාමිනේ ගහ දිහා බලං හිටියා. “ගහ කොහොම උහුලනවද දන්නෑ..” කියලා විතරයි කිවේ . සතියක් විතර  යනකොට ගහේ ගෙඩි වලට පණුවෝ ගැහුවා. කොළත් කොඩවුනා. ගහ අදටත් තියනවා. හැබැයි එක පේර ගෙඩියක් වත් කන්න ලැබෙන් නෑ.

අපේ කිරිඅම්මා ඒ කියන්නේ අප්පච්චිගේ ‍අම්මා ගොයම් කයියට එන අයට දෙන්න බුලත් කඩලා හෙප්පුවේ තියලා තිබුණා. සේනානායක හාමිනේත් එදා ඇවිල්ලා තේ බීලා කිරි අම්මා එක්ක කතාවට වැටුනා.

“ලොකු අම්මේ ..... මේ බුලත් කොළයෙන් බාගයක් නෑ අපේ බුලත් කොළයක්. ‍.......”

කිරි  අම්මට හීන් දාඩිය දැම්මේ බුලත් පාත්තියට දෙයියන්ගේ පිහිට නිසා. කටවහ තියන මනුස්සයාගෙන්ම ආපහු ඒකට අනික් පැත්තට වචනයක් කියවන්න එපායෑ.

“නෑ දුවේ .......... මේ මොන බුලත් ද? ඔහොමයෑ බුලත් හැදෙන්නේ සමහර පළාත්වල”

“ ඒ වුනාට ලොකු අම්මේ මෙහේ බුලත් පාත්ති හරි සරුයි. ඊට සරුයි ඒ මැද හැදිලා තියන කොච්චි ගස්. මෙහාට පේනවා . ගමටම බෙදන්න තරම් කොච්චි හැදිලා තියෙන්නේ.”

“අනේ.... මේ කොච්චි ගස් දෙක තුනෙන් මොනවා කරන්නද? ඔය නිකමට හැදිච්චනේ”

“එහෙම කියන්න එපා.. අර වැක්කෙරෙන්න හැදිලා තියන දෙල් ගහේ ගෙඩි තම්බලා  කොච්චි සම්බෝලයක් හදලා ගත්තා නම්  ආය කයියට  බත් මොකටද?”

එකක් කඩතොළු මකන්ට ගොස් කඩතොලු දහයක් හදාගත්තා වගේ නිසා කිරි අම්ම කට වහගත්තා.

“මේ ඔක්කොම ලොකු අම්මගේ අත්ගුණේට.... නැත්තං මේ අපිටත් මේ වගේ හරි යන්න එපාය. ලොකු අම්මා වැඩ කරන හැටි දැක්කම පිරිමි උනත් බය වෙනවා”

ඒ පාර නම් කිරි අම්මාගේ රැවිල්ලට සේනානායක හාමිනේ බය වෙලා කටවහගත්තා.

කොළ පාගලා වී ගෙට ගත්තා විතරයි එදා හවස වහින්න පටං ගත්තා . හුළඟට දෙල් ගහ ඇඹරිලා ඇඹරිලා  ඉදිරිලා වැටුනා බුලත් පාත්තිය උඩට. ඒ විතරක් නෙවේ දෙල් ගහේ ගෙඩි ටික කඩලා තියන්න ගිය කිරි අම්මා ලෙස්සලා වැටිලා දකුණු අත කඩා ගත්තා.

Wednesday, May 11, 2016

නැති බැරි මොහොතක


 

මොරටුව කැම්පස් එක තියන හරියෙන් ගෑනු ළමයෙකුට නවතින් තැනක් හොයාගන්න අමාරුයි. අමාරුයි කියන්නේ ගමෙන් ආව ළමයෙකුට තවත් අමාරුයි. අනික් එක අම්මායි තාත්තයි හිතන්නේ ඉස්කෝලේ ගිහින් ඉවර වුන, කැම්පස් එකටත් තේරුණ තමන්ගේ දරුවා කිරි සප්පයෙක් කියලනේ. අනික මුළු ලෝකෙම තියෙන හොඳම තැන වෙන්න එපායෑ තමන්ගේ දරුවා නවත්වන්න.

බදුල්ලේ සීතල කඳු අතරේ ඉඳලා ඇවිත් ඉංජිනේරු ෆැකල්ටි එකට තේරුණ දුවට  නවතින්න තැනක් හොයන්න මුළු දවසක්ම ගියා. හැම ගෙදරකම මොකක් හරි ප්‍රශ්ණයක්. එක්කෝ දුර වැඩියි. නැත්තං එක කාමරේ හතර පස් දෙනෙක්. නැත්තං කොල්ලොයි කෙල්ලොයි දෙගොල්ලම එක තැන. කරුවල වැටෙන කොටත් කිසිම තැනක් හොයා ගන්න බැරුව අම්මයි තාත්තයි , දුවයි තුන්දෙනාම හෙම්බත් වෙලා. රෑ අටට විතර  නෑදෑයෙක් දුන්න පණිවිඩයක් අනුව තට්ටු දෙකේ ගෙදරක් ළඟට ගිහින් තුන්දෙනාම බෙල් එක ගැහුවා. දෙපාරක් බෙල් එක ගහන්න නොතියා වයසක ජෝඩුවක් ඇවිත් ගේට්ටුව ඇරියා. බොහෝම හිතවත් විදිහට ගෙදර ඇතුලට ආරාධනා කළා. අම්මටයි තාත්තටයි මේ ගෙදර නම් දුවට හරි යයි කියලා හිතුණා. ඒත් තමන්ගේ උවමනාව පැහැදිළි කරන්නත් ඉස්සරලා ගෙදර ගෘහ මූලිකයා කතා කළා

“අපි කවුරුත් ගෙදර නවත්වාගන්නේ නෑ. මම ඔයාලට එන්න කීවේ අද ආපහු යන්න බැරිව අතරමං වෙන නිසා. දවස් දෙක තුනක් මෙහේ ඉඳලා දුවට හොඳ තැනක් හොයා ගෙන එයා නවත්වන්න.. අපි බොහෝම නිදහසේ ඉන්න දෙන්නෙක්. අපේ ළමයි තුන් දෙනාම ඉන්නේ පිටරට. අපිත් ඉතිං එයාලා නවත්තන්න තැන් හොයන්න ගිහින් ඔය වගේම අතරමං වුනා. ඒත් දැං නම් හිත හදාගෙන අපි මෙහාට වෙලා ඉන්නවා. අපිට නිවාඩුවට ටිකට් එව්වම ගිහින් ඒ තුන්දෙනාව බලලා එනවා.’’

මොකද්ද මේ දරුවගේ නම’’ ? නෝනා ඇහුවා

“මාධවී……..’’

අපේ ලොකු දුවගේ නමත් මාධවී . මට මේ දරුවා දැක්ක වෙලාවේ මතක් වුනෙත් ලොකු දුවමයි’’. ආපහු නෝනා කීවා.

අම්මයි තාත්තයි දවස් දෙකක් විතර මහන්සි වෙලා මාධවී නවත්වන්න තැනක් හෙවුවා. අන්තිමට තනි කාමරයක් හොයා ගන්න පුළුවන් වුනා. ආපහු බෑග් ටික අහුරාගෙන තුන්දෙනාම සමරසිංහ යුවළගෙන් සමුගන්න ගියේ. ඒත් දෙගොල්ලන්ටම ඒක ටිකක් අපහසු බව දැනුනා.

සමරසිංහ මහත්තයා ඉස්සරලාම කතා කළා.

“අපි දෙන්නා ඊයේ රෑ තිස්සේ කල්පනා කළේ මේ දරුවා නාඳුනන තැනක නවත්තන්නේ කොහොමද කියලා. මට අපේ දරුවෝ තුන්දෙනත් කීවා මේ දරුවා නවත්තා ගන්න කියලා. හැබැයි අපේ නීති රීති තදයි. අනික අපි  පෙන්ෂන්කාරයෝ. ඒ හින්දා මට නවාතැන් ගාස්තුවක් ගන්නත් වෙනවා. ’’

ඒ තීරණය බලාපොරොත්තුවෙන් හිටියා වගේ මාධවීට දැනුනේ. ඒ මොහොතේම තුන්දෙනා ඒ තීරණයට එකඟ වුනා. අර කාමරයට ගෙවන්න හිටපු රුපියල් හයදාහ මෙතන්ට දෙන්න තාත්තා පොරොන්දු වුනා. රුපියල් හයදාහක් මාසෙකට දෙන්න අමාරු ගානක්. ඒත් කොළඹ නවාතැන් හරි ගණන්!

එදා රෑම සමරසිංහ නෝනා මාධවීට නීති රීති ලැයිස්තුව දුන්නා. රෑ වෙන්න බෑ. අම්මටයි තාත්තටයි ඇරුනාම කිසි කෙනෙකුට එයාව බලන්න එන්න බෑ. ගෙදර උයන දේවල් කන්න ඕන. රෑ තිස්සේ ටී.වී. බලන්න බෑ. හරියට විසිපස් වෙනිදා වෙනකොට නවාතැන් ගාස්තුව ගෙවන්න ඕනෑ. පාටි වලට යනවා නම් අම්මගේ තාත්තගේ අවසරය අරං දන්වන්න ඕනෑ. තමන් ඉන්න කාමරය අස් කරලා ලස්සනට තියාගන්න ඕනෑ. මාධවී කොහොමත් නිවිච්ච ගති ගුණ තියන කිසි කෙනෙකුගේ හිත රිදවන්න කැමති නැති කෙනෙක්. ඒ නීති රිති මැද්දේ තමන්ට තියන ආරක්ෂාව එයා තේරුම් ගත්තා. සමරසිංහ යුවළ හිතුවටත් වඩා එයා ඉහලින්ම නීති පිළිපැද්දා. කිසි දවසක ගෙදර උපකරණයක් අහන්නේ නැතුව පාවිච්චි කළේ නෑ . ගෙදර හැමෝටම කලින් නැගිටලා තුන්දෙනාටම තේ හැදුවේ එයා. ගෙදර උදව්වටවත් කෙනෙක් නොහිටියේ වයසක දෙන්නගේ  නිදහසට බාදාවක් කියලා සලකපු නිසා වෙන්න ඇති. කැම්පස් යන්න කලින් මාධවී දෙන්නටම වැඳලයි ගියේ. තමන්ට අමතර යතුරු දීලා තිබුණත් කාමරේට එළියේ දොරින් ඇතුළුවුනා මිසක කවදාකවත් ඒ දෙන්නා නැති වෙලාවට ගෙදර දොරවල් ඇරියේ නෑ. සෙනසුරාදට මුළු ගෙදරම අතුගාලා සුද්ද කළා. ගෙදර උයන පිහින වැඩෙත් නිවාඩු දවසට බාර ගත්තා.

ටික දවසක් යනකොට සමරසිංහ මහත්තයා බලු පැටියෙක් අරං ආවා මාධවී පාඩම් කරනකල් ඇහැරලා ඉන්න කෙනෙක් ඕන කියලා. මාධවී ගෙදර එන්න පරක්කු වෙන දවසට ඌ ගේට්ටුව යටින් බල බලා උඩු බුරලනවා කියලා ගෙදරට එන යාළුවන්ට සමරසිංහ මහත්තයා කියනවා. පෝය දවසට  ජෝඩුව සිල් ගන්න යන්නේ මේ දෙන්නට ගෙවල් බාර දීලා.

මාධවී තේරුම් ගත්ත එක දෙයක් තිබුණා . ඒ මේ යුවළගේ තියන සකසුරුවම් කම. අන්තිම සතේට ගනුදෙනු බේරණවා. ගෙදර තිබුණ බඩු ගොඩාක් පරණ ඒවා. ඒත් හරිම පරෙස්සමින් පාවිච්චි කරලා තිබුණේ. තමන්ට කියලා කිසිම දෙයක් නැතුව ජීවිතේ ගොඩනගාගත්ත විදිය සමරසිංහ මහත්තයා මාධවීට කිසිදවසක අමතක නොවන විදිහට කියලා දීලා තිබුණා. ඒ නෝනයි මහත්තයි දෙන්නම යාළුවෙලා තියෙන්නෙත් කැම්පස් එකේදී. බොහෝම දුක් මහන්සියෙන් රස්සා කරලා ගෙවල් දොරවල් හදාගෙන ළමයින්ට උගන්නපු විදිහ ගැන කියන කොට  විශ්වාස කරන්නත් අමාරුයි. උසස් සමාජ තලයක ජීවත්වෙමින් පරණ අතීතයට ආදරය කරන අය හරිම අඩුයි. ඒත් ඒ දෙන්නා තුල තිබුණ විනය සහ ඉවසීම ජීවිතේ ආව හැම අභියෝගයක්ම ජය අරගෙන තිබුණා. එයාලා තමන්ගේ දරුවෝ හදලා තිබුණෙත් ඒ විදිහට. එයාට මාධවීගෙනුත් අපේක්ෂා කරේ ඒ හැසිරීම. හැම වෙලාවෙම මාධවී ගැන අනුකම්පාවක් එයාලගේ හිතේ තිබුණා. ජීවිතේ පළමු වරට කොළඹ ආපු, නන්නාදුන තැනක නවතින්න යන දරුවා තමන්ගේ ලඟ නවත්වාගන්න තීරණය කළෙත් ඒකයි. හැබැයි ඒ තීරණය ඒ දෙන්නට ලොකු සතුටක් ලබා දුන්නා. කිසි දවසක තමන්ගේ වචනයට පිටු නොපාපු දරුවෙක් විදිහට එයාලා මාධවීව දැක්කේ. ඒ වගේම හරිම නිදහසේ තමන්ගේ රට ඉන්න දරුවෝ ළඟ නිවාඩුව ගත කරලා ආවේ මාධවිගේ අම්මටයි තාත්තාටයි ගේ බලාගන්න බාර දීලා.

කැම්පස් එකේ අවසාන අවුරුද්දේ මාධවීට සති දෙකක පුහුණුවක් ලැබුණා ඇමරිකාවේ සුවිසල් සමාගමක. නමුත් ගමන් ගාස්තු තමන් දරන්න ඕනෑ. ලක්ෂ කිහිපයක වියදමක් සහිත ගමනක් වුනත් ඒකෙන් එයාගේ ඉදිරි රැකියාව තීරණය වෙනවා. අම්මලා ලඟ ඒ තරම් මුදලක් නැති බව ස්ථිරයි.

සමාගමේ නම අහලා සමරසිංහ මහත්තයා ඇස් උඩ තියාගත්තා. දවසකට හරි ඒ සමාගමේ වැඩකරන්න ලැබීම ගෞරවයක්. අනික මේක දීලා තියෙන්නේ ලංකාවෙන් ම තුන්දෙනෙකුට විතරයි.! ඒත් යන වියදම ගැන ප්‍රශ්ණයක් තියනවා.

තමන්ගේ අවස්ථාව වෙන කෙනෙකුට දීලා හිත හදාගන්න මාධවී තීරණය කළා. මුළු රෑම නිදන්නේ නැතුව ගත කළේ. කිසිදාක නොදැනුන ලෝබ කමකින් හිත පෙළුනා. තමන් කාලයක් තිස්සේ බලාගෙන හිටපු දෙයක් පෙනි පෙනී අහිමි වෙනවා වගේ එයාට දැනුනේ.

පීඨාධිපතිට නිදහසට කරුණු කියලා ලියුම ලියද්දී සමරසිංහ මහත්තයා ආවා. උදේම ගිහින් බැංකුවේ ඉන්න එයාගේ ඥාතියා හම්බවෙලා මොකක් හරි ක්‍රමයක් තියනවා ද බලලාම තීරණයක් ගන්න කීවා. බැංකුවේ නම කියද්දී නම් එයාට මතක් වුනා තමන් අවුරුදු ගානකට කලින් ගිණුමක් ඇරියා කියලා. ඒත් ඒ සමරසිංහ නෝනාගේ බලේට. ගිනුම් පොත තිබුනෙත් නෝනා  ලඟ. අනිත් එක ඉතුරු කරන්න තරම් සල්ලියක් එයාට තිබුණෙත් නෑ.

බැංකුවට ගියත් කරන්නේ මොකක්ද කියලා එයාට හිතා ගන්න බැරි වුනා. සමරසිංහ මහත්තයාගේ ඥාතියා එයාගේ අතට බැංකු පොත දීලා ඕක දිගෑරලා බලන්න කියලා වගේ එයා දිහා බලාගෙන හිටියා. ඒ පොතේ හැම විසි හය වෙනිදාකම රුපියල් හයදාහක් වැටිලා තිබුණා. හැම තිස්වෙනිදාකම තවත් රුපියල් හාරදාහක් වැටිලා තිබුණා. ඒ තමන් නවාතැන් ගාස්තු විදිහට ගෙවපු මුදලයි, සමරසිංහ යුවළගේ ලොකු දුව එයා වෙනුවෙන් හැම මාසෙකම එවපු සල්ලියි.

“ඔයාගේ හැම ප්‍රශ්ණයක්ම මේකෙන් විසඳෙයි..... ඔයා කොච්චර හොඳ කෙනෙක් ද කියලා මාත් දැනගෙන හිටියා’’. බැංකු මහත්තයා කීවා.

“තමන්ගේ හොඳ තමන්ටම පිහිට වෙනවා...... ’’ සමරසිංහ මහත්තයා නිතර කියන කියමන ඒ වෙලාවේ මාධවිට ඇහෙනවා ඇහෙනවා වගේ දැනුනා.

Monday, May 2, 2016

සිතට දරනු බැරි දුක්


 

අපේ කැම්පස් එකේ සංගීත සංදර්ශන කියන්නේ අමුතු දෙයක් නෙවේ. මොකක් හරි පීඨයකින් සංවිධානය කරන සංගීත සංදර්ශනයක් මාසෙකට සැරයක් නම් තියනවාමයි. තියෙන්නෙත් ජිම් එකේ. විශ්ව විද්‍යාල ප්‍රජාවට දෙපාරක් නොහිතා ගන්න පුළුවන් ගානට ටිකට් විකුණන නිසාත්, සම්භාව්‍ය සංගීතය රස විඳින්න පුළුවන් නිසාත් කවදාවත් සෙනග අඩුවෙන්නේ නෑ. ප්‍රේමය , විරහව ගැන වින්දනීය සිංදු අහන්න ප්‍රේමවන්තයෝ වගේම විරහව විඳින පරාජිතයොත් එකට ඉඳගන්නවා. කිසිම හේතුවක් නිසා වත් නිශ්ශබ්ද නොවන ශිෂ්‍ය ප්‍රජාව එදාට නිශ්ශබ්ද වෙනවා.

මේ සංගීත ප්‍රසංගය සංවිධානය කරලා තිබුනේ විද්‍යා පීඨයෙන්. පළවෙනියට ආපු ගායිකාව ආදරයේ මිහිර හැම හදවතකටම දනවලා වේදිකාවෙන් බැස්සා. දෙවනියට වේදිකාවට ආවේ ගායකයෙක්. පළවෙනියටම කිව්ව සිංදුවේ අන්තරා කොටස කියද්දි එයාගේ ඇස්වල කඳුලු කඩා වැටුණා..

“ කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම්රිය මොහොතක් නතර වුනේ......“

සිංදුව ඉවර වෙනකොට කවුරුවත් අත්පුඩි ගැහුවේ නෑ. අසාමාන්‍ය නිශ්ශබ්දතාවයක් ශාලාව පුරාම පැතිරුනා.

“ඇයි දුවේ හදිසි වුනේ?........... කියලා ගායකයා ඇහුයා. ඊට පස්සේ ආපහු සිංදුවේ පද වැලක් කීවා.

වරක් නෙතඟ කඳුලැලි සැලුනාදෝ

සිතට දරා ගනු බැරි දුක් වීදෝ........ කියන පද දෙක කියලා වේදිකාවෙන් බැස්සා.

මට සමාවෙන්න. ඉතුරු සිංදු ටික මම පස්සේ කියන්නම්“…. එයා කීවා. මුළු සභාවම බිමට මුහුණ නැඹුරු කර ගත්තා.

අපි අතරන් වෙන්වුන ඒ සහෝදරියට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු ….“කියලා නිවේදකයා බොහොම ශෝකී ස්වරයෙන්  ආපහු වැඩසටහනට යොමු වුනා.

මට ඉතුරු සිංදු මැදින් හැම වෙලේම නදීගේ මූණ මැවිලා පෙනුනා. මේ කතාවේ ප්‍රධාන චරිතය නදී . මට වඩා එක අවුරුදු තුනක් බාලයි. බොහොම නිවුණ ගතිගුණ තිබුණ , ඉගනීමේ දී එච්චර දක්ෂකම් දක්වපු  කෙනෙක් නෙවෙයි. ඒ වුනත් දාහක් මැද තිබුණත් ලස්සනයි කියන රූපයක් තිබුණා. රූපය නිසාම පිරිමි ළමයින්ගේ ඇවිටිලි නිසා පීඩා වින්දා. ඒත් හොඳ යාළුවෝ ටිකක් හැම වෙලේම එයා වටේ හිටිය නිසා නදී ලොකු කරදර වලට මූණ දුන්නේ නෑ.

මේ කතාවේ ඉතුරු ටික මම දැනගත්තේ එයාගේ හොඳම යෙහෙළියගෙන්. පාසල් කාලෙදි ම නදී ප්‍රේම කතාවක පැටලුනා. ඇත්තටම බැලුවොත් පටලා ගත්තා. ඒ එයා එක්ක පොඩි කාලේ ඉඳන්ම හැදුන වැඩුන එයාගේ මාමගේ පුතා එක්ක. නදීගේ පවුලේ හැමෝම එක වගේ රූප සම්පත්තිය පිහිටපු අය. ප්‍රේමයේ හැඟීම් එන වයස , ඒ වගේම ප්‍රේමයට සියළුම සුදුසුකම් සම්පූර්ණ කරලා තියන වෙලාවක නදී එයාගේ කඩවසම් පොඩි අය්යා - සුරාජ් එක්ක ආදරයකට මුල පිරුවා. සුරාජ් ඒ වෙනකොට පේරාදෙණියේ මෙඩිකල් ෆැකල්ටි එකට තේරිලා තිබුණේ. නදීට ඒ කාරණේත් බොහොම තදට හිතට වැදුනා. හැබැයි එයාගේ හිතේ නෑදෑකම ගැන ප්‍රශ්ණයක් තිබුණා. එත් සුරාජ් බොහොම ලස්සනට ඒ ප්‍රශ්ණ නදීගේ හිතෙන් අයින් කරලා දැම්මා. පොඩි කාළේ ඉඳන් එකට හැදුන දෙන්නා නිසා ගෙදරින් මේ දෙන්නගේ හිතවත් කම් ගැන සැකයක් තිබුණේ නෑ. සුරාජ් පේරාදෙණියට ආවට පස්සේ නදී ගොඩක් තනි වුණා වගේ පෙණුනා. නදීගේ අම්මාටත් වෙනසක් පෙනිලා තිබුණත් තමන්ගේ සහෝදරයෙක් වගේ හිටපු කෙනා වෙන් වුන නිසා වෙන්නැති කියලායි අම්මා හිතලා තිබුණේ.

සුරාජ්ට අසීමිත පිළිගැනීමක් තිබුණා පවුලෙන්. ඒකෙන් එයා ලොකු නිදහසක් නදීට අරගෙන දුන්නා. තරුණ හිත්, නිදහස , ලස්සන ඒ වගේම විශ්වාසය යන සියළු කාරණා ඒකරාශී වුනාම ආදරයට සීමා මායිම් තියනවද? නදීට මහමෙරක් තරම් තමන්ගේ ආදරේ ගැන විශ්වාසයක් තිබුණා. ඒත් සුරාජ්ට ඒ විශ්වාසයට නිසි ගෞරවයක් දෙන්න බැරි වුනා. කැම්පස් එකේ තියන අසීමිත නිදහසයි, චමත්කාර ජනක පරිසරයයි තමන්ගේ අධ්‍යාපන කටයුතු වලින් ආව පීඩනයයි නිසා සුරාජ් තව ආදර සම්බන්ධයක් ඇති කරගත්තා. නදීට මේ ගැන ආරංචි වුනත් එයා ඒක පිළිගත්තේ නෑ. ඒ විදහේ චරිත දෙකක් රඟපාන්න පොඩි අය්යාට බෑ කියලා එයා විශ්වාස කළා. සුරාජ්ගේ කඩවසම්කමටයි, එයාගේ ඉදිරි වෘත්තියටයි ගෑණු ළමයි බොහොම කැමැත්තෙන් ඉන්න බව සුරාජ් විහිලුවෙන් වගේ නදීට කියලයි තිබුණේ. අන්තිමට මේ ආරංචි ඇත්තක් බව නදීටම තේරුම් යන දවසක් ආවා. ඒ අවුරුද්දට ගෙදර ආව පොඩි අය්යා තමන්ව බලන්නවත් නෑවිත් ආපු පයින්ම කැම්පස් එකට ගිය නිසා. ඒ ගියේ එයාගේ ගෑණු ළමයා එක්ක බව නදී දැනගත්තා නන්නාදුන කෙනෙක් එවලා තිබුණ ෆොටෝ බලලා.

ඒ වෙනකොට  සුරාජ් නදීව මගාරිනවා. නෑදෑකම් නොගැලපෙන බව, වයස නොගැලපෙන බව, අධ්‍යාපන සුදුසුකම් නැති කම හැම දේම සුරාජ්ට මතක් වෙන්න පටන් අරගෙන.ගෙදරින්වත් , තමන්ගේ යාළුවන්ගෙන්වත් පිහිටක් ගන්න බැරි තැනක නදී හිටියේ. එයා කාටත් නොකියා තමන්ගේ පොඩි අය්යා හම්බවෙන්න කැම්පස් එකට ආවා. සුරාජ් එයාට මුහුණ දුන්නේ අමාරුවෙන්. මොන විදිහටවත් නදීගේ ආවේගය පාලනය කරන්න එයාට බැරිවුනා. කොච්චර බොරු කීවත් නදී දැනගෙන හිටිය ඇත්ත වහන්න එයාට බැරි වුනා. එයා කලේ නදී ව බලෙන්ම වගේ අරගෙන ඇවිත් බස් නැවතුමට දාලා අතුරුදහන් වෙච්ච එක.

ආපහු ගෙදර යන්න බැරි බව නදීට දැනුනා. එයා විජේවර්ධන ශාලාව ළඟින් පහලට බැස්සා. විනාඩි දෙකක් ගියේ නෑ ඒ රේල් පාරේ ආව කෝච්චියට නදී පැන්නා. ඒක දැකපු අය එයාව බේරාගන්න දුවගෙන එනකොටත් නදී එයාගේ ඉරණම සදාකාලිකව විසඳගෙන. ඒත් එතන මේ ලෝකේ එළිය නොදැකපු කෙනෙකුගෙත් ඉරණම විසඳිලා තිබුණා.

සුරාජ්ට ආරංචිය ලැබුණා. ඒත් තමන්ගේ නම පරෙස්සම් කරගන්න ඕන නිසා එයා මෝචරියට යන්න අකමැති වුනා. නමුත් මිතුරන් බලහත්කාරකමින් එයාව ඇදගෙන ගියා. තමන් එකට හැදුන වැඩුන, එකට සෙල්ලම් කරපු , ප්‍රේමයේ අකුරු කියලා දුන්න පුංචි කෙල්ල කෝච්චියට තැලිලා පොඩිවෙලා ඉන්නනවා එයා අදුරාගත්තා. නදීගේ අම්මලාට කතා කරලා වෙලා තියෙන දේ දැන්නුවා. සුරාජ්ට පමා වෙවී ඉන්න වෙලාවක් නෑ. තමන්ගේ ගෑනු ළමයට කතා කරලා කීවා කැම්පස් එකේ නරක ආරංචියක් යනවා එයා ගැන ඒ හින්දා ටික දවසකට ගෙදර ගිහින් ඉන්න කියලා එයාව ගෙදර ගිහින් ඇරලුවා.

නදීගේ මරණය සුරාජ්ට කොහොම දැනුනද කියන එක මට විග්‍රහ කරන්න බෑ. ඒත් හැමෝටම හෘද සාක්ෂියක් තියනවා. තමන්ට තමන් කතා කරන මොහොතක් එනවා. ඒ වෙලාවට දැනෙන හැඟීමට බොරු කරන්න කාටවත් බෑ.

කෝච්චියට පනින වෙලාවේ නදීගේ හිත කියවන්න පුළුවන් වුනා නම් “දුකම කොයි තරම් සතුටක් දෝ ...........“ කියලා  ගීත රචකයෙක් ලියන එකක් නෑ. තමන් කිසිදාක නොදැකපු යුවතියකගේ මරණය වෙනුවෙන් ඒ ගායකයා දක්වපු සංවේදී කමෙන් සියයෙන් එකක් සුරාජ්ට තිබුණා නම් ,

 නදී ඔයා අදත් ජීවතුන් අතර...........!

Wednesday, April 20, 2016

අරුන්දතී


 

කාලෙකට පස්සේ තුඹහේ නාට්‍යක් බැලුවා. කොයි වෙලේ හරි මැදින් නැගිටලා ගෙදර එන්න වෙයි කියලා අපි ඉඳගත්තේ අයිනෙම පුටුවල. බොහොම පොඩි පුටු ප්‍රමාණයක් නේ තියෙන්නේ. නාට්‍ය සිංහ බාහු. පොඩි දෙන්නා ඉවර වෙනකල්ම ප්‍රශ්ණ ඇහුවා ඒත් හෙල්ලෙන්නේ නැතුව නාට්‍ය බැලුවා. මම මැද විවේකෙදි ඇහුවා තේරෙනවද කියලත් . ඔක්කොම තේරුනේ නැති වුනත් නාට්‍ය හරිම ලස්සනයි කියලා ඒ දෙන්නා කීවේ. මම සිංහබාහු බලපු හැම සැරේකටම වඩා මේ පාර ලස්සනයි කියලා මටත් හිතුනා. ලබන සැරේ ඊටත් වඩා ලස්සන වෙයි.  සර්ව කාලීනයි කියන්නේ ඒක තමා!

ඒකේ එක තැනක කියනවා කාලය විසින් ගෙන දෙන රුදුරු පීඩා වලට ආදරය කියන අඳුන දිව ඔසුවක් කියලා. මට අරුන්දතී මතක් වුනා.

මට අරුන්දතී ඉස්සරලාම හම්බවුනේ කැම්පස් එකේ පුස්තකාලේ කවුන්ටරයක් ළඟදි. එයා එතන ඉන්න අයගෙන්  පොතක් තියාගන්න දෙන කාලය  දික් කරගන්න විදිය අහනවා. ඒ වුනාට ඒ පොත වෙන ගොඩක් අය ඉල්ලලා තියන නිසා ආයම පාරක් එයාට දෙන්න බෑ කියන එකට වාදයක්. අරුන්දතී වාද කාළේ අපි මේ නිකමට  කතා කරන තරම් හෙමින්. කොච්චර හිමින් කතා කරත් හරිම පැහැදිළි තීව්‍ර කටහඩක්. ඒ අසාමාන්‍ය කම නිසාම මම එයා දිහා බැලුවා. අපි කැම්පස් ඇවිල්ලා මාස 05 විතර ඒ වෙනකොට. අන්තිමට අරුන්දතී පොත අතෑරලා වෙන්න ඇති වෙන පොතක් අරගෙන පුස්තකාලෙන් එලියට ආවා මාත් එක්කම. එයා දැනගෙන ඉන්න ඇති මමයි එයයි එකම බැච් එකේ කියලා.

‘’මට ඒ පොත මෙහෙන් ගන්න ඕන නෑ  අය්යා හිටියා නම්.....’’.

අරුන්දතී එක පාරටම මට කීවා. මම එයා දිහා බැලුවේ ඒක පැහැදිළි කරලා තේරුම් ගන්න පුළුවන් විදිහට මට කියන්න කියලා.

‘’අය්යා මේ දවස්වල පී.එච්.ඩී එකට රට ගිහිල්ලා. එයා ළඟ මේ හැම පොතක්ම තියනවා.’’

අරුන්දතී මාතලේ. ගෙදර ඉඳන් තමා කැම්පස් ආවේ. අය්යා කීවේ එයා යාළු වෙලා හිටපු කෙනාට. එදා මම දැනගත්තේ එච්චරයි.

දෙවනි පාරට හම්බ වුනේ වලේ නාට්‍යක් බලන කොට. එදා එයා මම ළඟින්ම ඉඳ ගත්තා. හරිම තෝරා ගත්ත පිරිසක් ආශ්‍රය කරපු කෙනෙක් නිසා මගේ හිතෙත් අරුන්දතීට කැමැත්තක් තිබුණා.

අරුන්දතී හරිම පැහැපත් පාටක් සහ හරිම ලස්සන මූණක් තිබුණ කෙනෙක්. ටිකක් මහත ගතියක් තිබුණේ උස අඩු නිසා. කැරලි වැටුන කොණ්ඩේ දනිස්සෙන් පහලට තිබුණත් ගොඩක් වෙලාවට හිස් මුදුනේ ගෙඩියක් බැඳගෙන තමා හිටියේ. අර භාව භාව ලීලා, කටාක්ෂ නිරීක්ෂණ, මන්දස්මිත හැම දේම මූනේ තිබුණා. මම අහන්නේ නැතුව එයා ගැන විස්තර කීවා. නාට්‍ය ඉවර වෙනකල්ම පඩි පෙලට වැටුන මල් පොඩිකර කර හිටියට නාට්‍ය බැලුවේ නැති බව පෙනුනා.

මම මේකේ රඟපාලා තියනවා ..........’’ එයා එක පාරටම කීවා. මම කළේ පොඩි චරිතයක්.  ප්‍රධාන නිළිය නැති දවසට ඒකත් මම කළා.

හැබැයි ඒක ඇත්තක් කියලා මට තේරුණා. ඒ චරිතටය සියළුම සුදුසුකම් එයාට තිබුණා.

ඇයි අතෑරියේ ?. මේ වගේ අවස්ථාවක් මම ඇහුවා.

අය්යා කීව නිසා. ඔයා දන්නවාද මගේ අය්යා කියන්නේ අහවලාගේ පුතා....

මගේ ඇස් දෙක උඩ ගියා. රටේ කලාවට සම්බන්ධ ප්‍රධාන චරිතයක පුතෙක්!

නාට්‍ය මැද ඒ ප්‍රේම කතාව කියද්දී අරුන්දතීගේ කටහඩ වේවලනවා. සමහර තැන්වලදි අඩනවා. මට නම් ඒ කතාවේ අඩන්න කිසි දෙයක් නෑ. නාට්‍යකටම සුදුසු කතාවක්. සමහර විට අඩන්නේ තාවකාලික වෙන්වීම නිසා වෙන්න ඇති.

පුදුමේ කියන්නේ ඊට පස්සේ අරුන්දතී මගේ මූණවත් නොබලා හිටියා මාස ගාණක්.අපි හන්තානේ නගින්න ගිය දවසේ අරුන්දතී අපේ බැච් එකේ ළමයි එක්ක බොහොම කටකාර විදිහට කතා කර කර හිනා වෙවි එයා නාට්‍ය කරපු විදිහ විස්තර කරනවා ඇහුනා. අර නාරි ලතා කොහේද ගියේ?

ටිකක් අතිශෝක්තියක් එක්ක කීව නිසා මට නොගැලපෙන ගතියකුත් දැනුනා. හැබැයි කොයිම වෙලාවකවත් තමන්ගේ පෙම්වතා ගැන කීවේ නෑ. අපේ පිරිමි ළමයි එයා ගැන ඒ ගමනින් පස්සේ ගොඩක් උනන්දු වුනා. මම ඒක දැනගත්තේ එයා මාස ගාණක් කැම්පස් ආවේ නෑ කියලා කට්ටිය කතා වෙද්දී.

තමන්ගෙම කියලා නිවාඩුවක් අරගෙන අරුන්දතී ආපහු ආවට පස්සේ මට මුණ ගැහුණා. කාලාන්තරයක් තිස්සේ ආශ්‍රය කරපු යාළුකමක් තියනවා වගේ මාත් එක්ක කතා කළේ. කැම්පස් එන්න කම්මැලි හිතුන නිසා ගෙදරට වෙලා ටික දවසක් හිටියා කීවේ. අපි නම් එක දවසක් ලෙක්චර් එකක් මගෑරුනොත් ඒ ගැන හිතේ අමාරුවක් ඇති කර ගන්නවා.

පළවෙනි අවුරුද්දේ විභාගේ ඉවර වෙලා යනකොට කීවා මම නම් බැන්දොත් ආය කැම්පස් එන්නෑ. අය්යා ඉන්න රටටම යනවා කියලා. මට ඉතිං මැජික්. අපට තව මොන බැඳිල්ලක් ද?

දෙවනි අවුරුද්දේ අපි හොස්ටල් ගන්න  ආව දවසේ අරුන්දතී ඇවිත් හිටියා එයාගේ අය්යත් එක්ක. බඳිනවා කීව කෙනා මේං හොස්ටල් ඉල්ලලා. අරුන්දතී එක්ක ඉස්කෝලේ ඉඳන්ම ආශ්‍රය කරපු , නාට්‍ය කරපු මගේ හොඳම යාළුවෙක් එදා කැම්පස් එකට නිකමට වගේ ඇවිත් හිටියා. මම ඇහුවා අරුන්දතී බඳින්න ඉන්නේ අහවලාගේ පුතා ද කියන එක. මගේ යාළුවා කීවේ

 ‘’එයා නම් නෙවේ මේ. ඒ සම්බන්ධය නැතිවෙලා ගොඩක් කල්. දැං එයා රටෙත් නෑ.මෙයා අන්තිමට හිත හදා ගත්තේ ඒ රූපයට බොහොම සමාන කෙනෙක් හොයාගෙන’’

තුන්වෙනි අවුරුද්ද වගේ වෙනකොට අරුන්දතී උපාධිය පැත්තකින් තියලා  එයාගේ නැතිවුන ප්‍රේමය  හැබෑවක් කර ගන්න හැම උත්සාහයක් ම දරන බව මට පෙනුනා. අර හිටපු ප්‍රේමවන්තයාගේ රටට පී.එච්.ඩී කරන්න එයත් යනවා කීවා. ඒත් උපාධිය ඉස්සරලා අරගන්න එපැයි. ලෙක්චර්ස් යන්නේ නැතුව කැම්පස් එකේ ලස්සනට මල් පිපිච්ච ගස් යට වාඩි වෙලා ඈත බලාගෙන ඉන්න එක නිතර දකින්න පුළුවන් වුන දර්ශනයක් තිබුණා. කැම්පස් එකේ තිබුණ ලස්සනයි, අරුන්දතීගේ ලස්සනයි එකට එකතු වුනාම ඕන කෙනෙකුට ඒ දිහා බලාගෙන ඉන්න හිතෙනවා. කහ මල් පිපුණ දවසක දිග සුදු ගවුමක් ඇඳලා නාට්‍යාංගනාවක් වගේ වැටිච්ච ගල් කනුවක් උඩ ඉඳගෙන සෙනෙට් ගොඩනැගිල්ල දිහා බලං හිටපු අරුන්දතීගේ රූපය  පස්සේ කාලෙක කැම්පස් එකේ තිබුණ චිත්‍ර ප්‍රදර්ශනයකත් සටහන් වෙලා තිබුණා.

ඒ වගේ සුන්දර හිතක් තියන, සුන්දර රූපයක් තියන කෙනෙක්ව ලබා ගන්න අකමැති කවුද? ඒත් අරුන්දතී බලා ගෙන හිටියේ අකාරුණික විදිහට තමන්ව අමතක කරපු ප්‍රේමය එයාව හොයාගෙන එකකල් . එයාගේ ප්‍රේම කතාවේ මම නොදැක්ක හිස්තැනක් ප්‍රේමවන්තයා දකින්න ඇති. මුලදී අරුන්දතී එයාගේ පහන් තරුව කීවට පස්සේ නිකම්ම නිකන් තාරකාවක් වෙලා නිවිලා යන්න ඇති. ඒත් අරුන්දතී කිසි දවසක ප්‍රේමයෙන් පරාජය වුන විදිහට හිටියේ නෑ . එයා හැම වෙලේම ජීවත් වුනේ එයාගේ ලෝකේ.

 අන්තිමට මට අරුන්දතීව හම්බ වුනේ සැප්තැම්බර් මාසේ. අනෝරා වැහි වහින කාලේ. මම හොස්ටල් එකට යන්න කන්දෙන් පඩිපෙල නගිද්දී කුඩයක් වත් නැතුව ගහක් යට තෙමි තෙමී හිටියා. මාව නොදැක්ක වගේ අනික් පැත්ත හැරුණා. මට ආය අරුන්දතී  දකින්න වෙන්නේ නෑ කියලා දන්නවා නම්  මම කොහොම හරි එදා එයත් එක්ක කතා කරනවා.

මේ වෙනකල් මම ආය එයාව දැක්කේ නෑ. අරුන්දතී අසනීප වෙලා කියලා දැන ගන්න ලැබුණා. අපි හැමෝම අන්තිම විභාගයෙන් වෙන් වෙලා කැම්පස් එකේ මතකය  අරන් ආවා. අරුන්දතී ඔයත් ඒ මතකයේ ඉන්නවා. තමන්ගේ ප්‍රේමය ජීවිතය කරගත්ත, සියළුම අරමුණ ඒ වෙනුවෙන් කැප කරපු , තවක් කෙනෙක් වෙනුවෙන් සදාකල් මග  බලාගෙන හිටපු ඔයා මගේ මතකයේ ඉන්නවා.

ප්‍රේමතී ජායතෝ සෝකෝ!