Thursday, August 16, 2018

පාට පිරුණු ජීවිත


රූපවාහිනියට යාබද තණ බිස්සේ තැන් තැන් වල සවිකරපු පුවරු වල දරුවෝ චිත්‍ර අඳිනවා. එයාලාට උපදෙස් දෙන්න චිත්‍ර කර්මය හදාරපු ප්‍රවීණයෙක් සැරෙන් සැරේ ඒ පුවරු වලට එබෙනවා. මොකක් හරි පොඩි අඩුපාඩුවක් දැක්කත් බොහෝම උනන්දුවෙන් දරුවාට ඒක කියලා දෙනකොට මැද්දට පනිනවා අම්මලා. දරුවට හරි විදිහට උපදෙස අහන්න ලැබෙන්නේ නෑ. ඒ මදිවට මැද්දට පනින ඒ අම්මලාට මතක නෑ එයාලා බාධා කරන්නේ අනෙක් දරුවන්ට බව.
“කරුණාකරලා අම්මලා ටික එහා පැත්තට වෙලා මෙතන දරුවන්ට නිදහස් කරලා දෙන්නකෝ. අපි දැන් රූප ගත කිරීම් පටන් ගන්න යන්නේ”  පැහැදිළී විධානයක් ලැබුණා. ඒ පණිවිඩේ නා ගස් යට පුටුවල ඉඳගෙන හිටපු මටයි කාන්ති අක්කාටයි දෙන්නටම ඇහුණා.
“ මේ අම්මලා ගෙවල් වලත් ඔය විදිහම ඇති. අර බලන්නකෝ ඈත ඉඳන් ළමයින්ට උපදෙස් දෙන හැටි.. ඔයාකාර බලකරලා මොකද මේ රට අල්ලන්න හදන චිත්‍රයක් අඳිනවා නෙවෙයිනේ නේද නංගි”
කැළණියේ ඉඳන් තමන්ගේ දුව රූපවාහිනියේ චිත්‍ර පැය වැඩසටහන ආව කාන්ති අක්කා මට හම්බ වුනේ එ් විදිහට.
“ කාලෙකට පස්සේ කකුල් දෙක දිගෑරලා ඉඳගන ඉන්නේ. ගෙදර ඉතිං කප්පරකට වැඩ.. අද මේ ආවෙත් පොඩි දුවට දුක හිතෙන හින්දා.. අද මහත්තයා  ඉරිදා නිසා ගෙදර .. දවල්ට උයලා තියන්නම් කිව්වා. ඒ හින්දා මම මේ  ආවේ.”
“ මහත්තයා ගෙදර වැඩට උදව් කරනවා වගේ? “ මම ඇහැව්වා
“ ඒ ඉවිල්ලෙන් නම් ඉතිං මට වැඩ වැඩි වෙනවා . ඒත් මේ පොඩි දුවගේ වැඩේ නෙකෙරෙන නිසා මම කුස්සිය බාර දීලා අ‍ාවේ. අනික කෙල්ලගේ වැඩක් පාඩු වෙනවාට එයා කැමති නෑ.”
“ කාන්ති අක්කට ඉන්නේ මේ දුව විතරද?”
“ මේ මගේ නංගිගේ දුව.. මාස තුනේ ඉඳලා මම හදන්නේ....මගේ දුව වගේම තමා ඉතිං. මටත් වඩා මගේ මහත්තයා තමා එයාට ආදරේ...”
නොකියවුණු දිග කතාවක් කාන්ති අක්කගේ මූණේ ලියවුණා. සතුටයි දුකකි දෙකම මිශ්‍ර වුණු කතාවක  පෙරවදන මම තනියම කියෙව්වා. කතාව අහන්න ලොකු පෙළඹවීමක් ආවා වුනත් දැඩි ශෝකයෙන් මි‍රිකෙන ඇස් වලට ටික වෙලාවක් දෙන්න වෙන බව මට දැණුනා.
“ මගේ නංගි හරි ලස්සනයි ඒ වගේ ම හිතුවක්කාරයි. ඉස්කෝලේ යන කාලේ සෙල්ලක්කාර කමට  යාළු වෙච්ච කෙනාම බැන්දා. අපි දන්නා තරම් කිව්වා ඒ කෙනා නංගිට ගැලපෙන්නේ නැති බව. මොන කනකට ගත්‍තේ නෑ. අන්තිමට දෙන්නා පැනලා ගියාම අපේ මහත්තයා කොහොම හරි දෙන්නාව ගෙනල්ලා බන්දලා දුන්නා. එතකොට මගේ පුතාට අවුරුදු හතක් විතර ඇති. ප්‍රශනේ පටන් ගත්තේ එතන ඉඳන්. අපේ මහ ගෙදර මගේ නමට ලියලා තිබුණු එකට නංගි පටන් ගත්තා රණ්ඩුව..  මගේ අම්මලාට කනක් ඇහිලා ඉන්න නැති පාර ඒක අපි දෙන්නම කතා වෙලා නංගි‍ගේ නමට ලිව්වා. ඒකට එයාගේ මහත්තයා අයිතිවාසිකම් කියන්න පටන් ගත්තා. අපිට දෙමව්පියෝ බලන්නවත් යන්න බැරි තැනට ප්‍රශ්ණ ආවේ. එයාගේ මහත්තයා බීමට ඇබ්බැහි වෙලා අන්තිමට නංගි දෙන්නා අතරේ කෙළවරක් නැති රණ්ඩු සරුවල් ආවා. එක දවසක් ලොකු රණ්ඩුවක් වෙලා මේ මිනිහා ගෙදරින් පැනලාම යන්න ගියා එයා ගහපු පාරකට නංගී මැරුණාම තමා කියලා හිතාගෙන . නංගිගේ ජීවිතේ බේරුණා. ඉස්පිරිතාලේ ඉඳලා ඇවිත් එයාට සාත්තු කරන්න මගේ වයසක අම්මාට බැරි හින්දා මම නංගිව ගෙදර ගෙනාවා. නංගිට ආපහු පවුල් කන්න උවමනාවක් තිබුනේ නෑ . එයාට ඕන වුනේ රට යන්න. අපි විරුද්ධ වුනා. මේ තරුණ කෙල්ල නොදන්න රටවල වහල් කමට යන්න පුළුවන්ද?”
“ ඉතිං නංගි ඒ අදහස අත් ඇරියද?
“ඔව් ටික දවසකට..”
“........................”
“ මොකද නංගි ඒ වෙලාවේ තමා දැනගත්තේ එයාට බබෙක් ලැබෙන්න බව.... එයාට ඕන වුනේ දරුවාව නැති කරලා නිදහස් වෙලා යන්න. අපි දෙන්නා ඒකට විරුද්ධ වුණා. එතන ප්‍රශ්ණ ගොඩක්. නංගිට දැන් මහත්තයකුත් නෑ, රස්සාවකුත් නෑ . අපිට තිබුනෙත් මහත්තයාගේ රස්සාව විතරයි. එයා බස් ඩ්‍රයිවර් කෙනෙක්. ඒ ආදායම අමාරුවෙන් පිරිමහගෙන හිටියේ. ඒත් දරුවෙක් නැති කරන්න හිතන්නේ කොහොමද? ඒ හැමදේම ඉවසන්න පුළුවන් අර අසත්පුරුෂයා එක එක්කනාට ආරංචි වෙන විදිහට කියන්න අරන් තිබුණා ඒ නංගිගේ බඩේ ඉන්නේ එයාගේ දරුවෙක් නොවන බව...”
“ ඓහමෙ ප්‍රශ්ණයකුත් තිබුණාද?”
“ ඒ මිනිහා ගොතපු බොරු. තමන්ගේ දරුවාගේ පියා කියලා පිළීගන්න කැමති නැති නරුමයෙක්”
කාන්ති අක්කා නොසරුප් වචනයක් කිව්වත් ආපහු මම දිහා බලලා සමාව ඉල්ලුවා.
“ ඒක නෙවේ දරුණුම කතාව. ඒ දරුවා මගේ මහත්තාගේය කියලා තමා ගමේ කතාව හදලා තිබුණේ. මට මුලින්ම ඉහිලුම් දුන‍්නේ නෑ.. මම දන්නවා මගේ මහත්තයා එයාගේ නෑනා දිහා බැලුවේ තමන්ගේ දරුවෙක් දිහා වගේ බව. ඒත් මගේ හිතට හරි වේදනවාවක් ඒ කතාව. නංගි ඉන්න තත්ත්වේ අනුව අපිට එයාට දුකක් දෙන්න බෑ. ඒ හින්දා අපි දෙන්නා කොහොම හරි එයාව බලාගෙන දරුවා ලැබෙන්න ඉස්පිරිතාලෙට නංගි ඇතුල් කළා. ඒ ලැබුනේ මේ දුව. ගෙදර ආවම නංගි දරුවා ගැන බැලුවේම නෑ.. එයාට රට යන පිස්සුවම තමා තිබුණේ. මට හරි කේන්තියි ඒකට. අපි දෙන්නා දවසක් වාද වුණාම මගේ නංගී මගේ මූණටම කිව්වා එයාගේ දරුවාගේ තාත්තා මගේ මහත්තයා බව. ඒ වෙලාවේ මගේ මහත්තයාට හැදුනා පපුවේ අමාරුවක්. ගමේ අය එකතු වෙලා එයාව ඉස්පිරිතානේ නොගෙනියන්න එයා අද ජීවතුන් අතර නෑ.”
“ නංගි කිව්වේ බොරුවක්ද?
“ඔව් මොකද මට අපේ මිඩ්වයිෆ් නෝනා ඒ කාරණේ පහදලා දුන්නා. මේක මේ අර විරසකය වෙන්න කලින් සිද්ද වුණ බව දින ගාන ගැනල‍ාම. එහෙම නොවෙන්න මාත් මගේ මහත්තයාව සැක කරයි. ඒ රණ්ඩුවෙන් පස්සේ නංගි ළමයා අපට දාලා ගියා. පස්සේ දිග ලියමනක් එවලා තිබ්බා එයාගේ දුව බලාගන්න ආයම මේ රටට එන්නෙ නෑ කියලා. කොටින්ම අපිට අන්තිම යුතුකම විදිහට මහ ගෙදරත් උකස් කරලායි ගිහින් රට තිබුණේ....”
“ දරුවාව අපි දෙන්නගේ නමට උප්පැන්නේ දාලා හැදුවා. මගේ මහත්තයා බෝධි සත්වයෙක්. දුවට කිසිදාක අඩුවක් කළේ නෑ. එයාට වැඩිකල් රස්සාව කරන්න බැරි වුනා . දියවැඩියාව ඇවිත් කකුලක් කපන්න වුනා. හැමදේම වුනේ මානසික පිීඩාව නිසා. මගේ පුතත් කරදරයක් නැති දරුවෙක්. එයාත් ඉගෙන ගත්තා. “
“දුව අම්මා ගැන දන්නේ නැද්ද?”
“ දන්නවා. එයා දැන් හත වසරේ ඉන්නේ. අපි හැමදේම කිව්වා පිටින් ආරංචි වෙන්න කලින්. එයාට අපෙන් අඩුවක් නොවුණු නිසා හොඳ කීකරුව ඉන්න දරුවෙක් වුනා. වැඩිම ආදරේ එයාගේ තාත්තාට තමා මටත් වැඩිය. දැං මහත්තයා රෑට සෙකුයුරිටි ‍ජොබ් එකක් කරනවා. එයාට දවල් වැඩ කරන්න බෑ..
“ඇයි ඉතිං ඔය අසනීප වලටත් හොඳ නෑනේ නිදිමරන්න?”
“මේකනේ නංගි දවල් සෙකුරිටි වැඩ කළෙ‍ාත්  සපත්තු දාන්න වෙනවා. එයාට තියෙන්නේ එක කකුලයිනේ..”
මේ සංවාදය දරුවො චිත්‍ර අඳිනකම්ම කෙරිලා තියන බව අපට දැනුනේ දරුවන්ගේ චිත්‍ර විග්‍රය පටන් ගත්තාම.
කාන්ති අක්කයි මමයි කොච්චර වෙලා කතා කරලා තිබුණද කියලා  කිව්වොත් ඒ කාල සීමාව ඇතුළත සුදු පාට පිටුවල ළමයින්ගේ ලෝක මැවිලා තිබුණා. ඈත මුහුදේ යන බෝට්ටු කිසි හව්හරණක් නැතුව පාවෙමින් තිබුණා. ඒවට එළිය  පෙන්නලා දෙන්න ප්‍රදීපාගාරයක්වත් අඳින්න දරුවට අමතක වෙලා හැඩයි. ඒත් සමහර වෙලාවට කොච්චර මග පෙන්නන්න එළියක් දුන්නත් ඒ කිසි දෙයක් ප්‍රයෝජනයට නොගන්න බෝට්ටුත් තියනවනේ.
සමහර චිත්‍ර වල තිබුණා වර්ණ තැවරුණු හැන්දෑවල්. කළු සුදු විතරක් තියන ජීවිත වලට වර්ණ තියන හැන්දෑවල් අත්දකින්න ලැබෙන්නේ නෑ.
තවත් සමහර චිත්‍රවල කිසිදාක දැකලා නැති ඝන කැලෑ. අපි පොඩි කාලේ නම් කැළෑවක් අඳින්න හිතුවේ වත් නෑ. ඒ අමුතුවෙන් අඳින්න ආසාවක් නැති නිසා. කොයි පැත්ත බැලුවත් කොළ පාට කැලෑවක් පේන්න තිබුණනේ. ඒත් මේ දරුවෝ ගොඩක් අය ඒ දර්ශන ඇඳලා තිබ්බේ තමුන්ට ඒවා දකින්න තිබුණ ආසාව නිසා වෙන්න ඇති.
චිත්‍ර ගුරුතුමා කොළ ටික ලොකු ලෑල්ලක එල්ලලා ප්ලාස්ටික් කූරු දෙකක් ගැහැව්වා. ‍චිත්‍ර වල අයිතිකාරයෝ පිළිවෙලකට එතන්ට ගිහින් ටීවී එකට තමන්ගේ නිර්මාණය ගැන කතා කරනවා.
කාන්ති අක්කගේ දුවගේ චිත්‍රය තිබුණේ තුන්වෙනියට. දෙපැත්තට දාලා තියන කොණ්ඩ දෙක වන වනා ගිහිල්ලා පොඩි කෙල්ල ඉඳගත්තා උස පුටුවේ. ඒ මූණත් චිත්‍රයක් වගේමයි. හැඟීම් ගොඩක එකතුවක්.
ඒ දුව ඇඳලා තිබුණේ තමන්ගේ ගෙදර. පාට පිරුණු ලස්සන චිත්‍රයක්. ඒ මගේ විග්‍රහය.
චිත්‍ර ගුරුවරයා දැක්කා ඊට වඩා දෙයක්. ගෙදරක් පසුබිම් කරගත් චිත්‍රයේ බාගෙට ඇරුණු ගේට්ටුවක් ළඟ පුංචි දරුවෙක් ඉන්නවා. එයා පාර දිහා බලාගෙන ඉන්නවා. පාරේ එනවා වැඩට ගිහින් එන තාත්තා. එතකොට මේ දුව ඉන්නේ තාත්තා එනකල්.
“මොකද්ද මේ චිත්‍රයෙන් කියවෙන්නේ දුවේ?”
“ මේ මගේ තාත්තා වැඩ ඇරිලා ගෙදර එනවා. මම හැන්දෑවට හැමදාම බලාගෙන ඉන්නවා එයා එනකල් . ඒක තමා මම ඇන්දේ...”
“ඇත්තද දුවේ ..... ඇයි ඒ තරම් ආසා දුව තාත්තා හවස ගෙදර එනවට..?”
“ඒ මගේ තාත්තාට කවදාකවත් හවසට ගෙදර එන්න නැති නිසා... ඒ කියන්නේ ...ඒ කියන්නේ එයා රෑ වැඩ රස්සාවක් කරන්නේ... මම හින්දා... ඒත් මම  ආසයි තාත්තා හවසට ගෙදර එනවා නම්... ඒකයි...මේ ඇන්දේ ”
චිත්‍ර ගුරුතුමා ආයාසයකින් කතාව වෙනස් කලා.
“ කොච්චර හොඳ හැඟීමක්ද බලන්නකෝ.. ඉතිං දුව කියන්න බලන්න මේ චිත්‍රයේ තාත්තාගේ සපත්තු දෙක මෙච්චර ලස්සනට ඇඳලා තියෙන්නේ ඇයි කියලා...” චිත්‍ර ගුරුතුමා  ආපහු අහනවා.
“ මගේ තාත්තට කිසි දවසක මේ වගේ සපත්තු දාන්න ලැබෙන්නේ නෑ... එයාගේ කකුලක් නෑනේ... මං ආසයි මගේ තාත්තාට ලස්සන සපත්තු දෙකක් දාන්න ලැබෙනවා නම් ඒකයි මෙහෙම ඇන්දේ ...”





Sunday, June 17, 2018

දේව වරම


අනෝ හාමි කකුල් දෙකම අතගාලා හිරමණේට ඉඳගත්තා. ටික කාලෙක ඉඳලා දණිස් අමාරුව. වෙද මහත්තුරු දෙන්නෙක්ගෙන් බෙහෙත් බීවට කිසි ගුණයක් නෑ. පුතා නම් කියනවා ඔය ලෙඩේ සුරුස් ගාලා ඉවරයි කියලා ඉංගිරිසි බෙහෙතක් බිව්වා නම් .
“ අනේ මේ අළුත් පන්‍නේ වැඩ..ඔය දොස්තර මහත්තැන් කොහොමද පපුවට නලාව තියලා ලෙඩ හොයන්නේ..ඒකට නාඩි බලන්න එපාය..”
“ ‍මොනවද අම්මා තනියම කියවන්නේ..? කුසුමා ඇහුවේ බැරිම තැන. ඉස්සර නම් අනෝ හාමිගේ කට ගමටම ඇහෙනවා. දැන් දැන් කැමැත්ත තියෙන්නෙ තනියම කියවන්න.
“ මේ ගෙදර එකෙක් ඉන්නවවද මම කියන ඒවා අහන්න..ඒ හින්දා තනියම තමා මට කියවන්න වෙලා තියෙන්නේ.. මේ කකුල් රුදාව කොයි කාලේ ඉඳලාද මම කියන්නේ.. මේ දණිස් අමාරුවෙන් මම මැරුණ දාට අඬාපල්ලා..”
අනෝ හාමිට කොයි වෙලාවෙත් ලේලි කියන ඒවට තරහා යනවා. කුසුමාත් වැඩිය ඉවසන කෙනෙක් නෙවේ. කුසුමා නම් කියන‍්නේ තමුන් මේ ගෙදරට ආව දවසේ ඉඳන්ම නැන්දම්මා කරපු වෙනස්කම්ම තමා.
“ හෙට යනින් ගමන් මම නොම්මරයක් අරං බස් එකේ එවන්නම් ... කුසුමා  දහය හමාරේ බස් එකේ අම්මා එක්ක එන්න.. මට පැනගන්න බැරි වෙයි හෙට ලොක්කා දවසම ඔෆිස් එකේ වැඩ..” සරත් ‍කුස්සියට ආවේ නැන්දම්මාගෙයි ලේලිගෙයි කතාව කොහෙන් නවතියිද දන්නේ නැති හින්දා. එයාටත් අම්මාගේ වැඩ සමහර වෙලාවට ඉවසන්න අමාරුයි.
කුසුමා නොරිස්සිල්ලෙන් හිස ගැස්සුවා. ළමයින්ගේ වැඩයි, මහත්තයාගේ වැඩයි , නැන්දම්මාගේ වැඩයි මදිවට තව සමිති සමාගම් ඔක්කගේම වැඩයත් තමන්ගේ පිට. අනික නැන්දම්මා කොච්චර හොඳ කරත් කියන්නේ තමන් කිසි දෙයක් කරේ නෑ කියලාම‍නේ..
“ දොස්තරට ගෙවන්න මගේ සීට්ටු සල්ලි ගත්තා නම් පුතේ...” අනෝ හාමි කුසුමා දිහා බැලුවේ ටිකක් ආඩම්බරේට. තමන්ටත් සල්ලි තියනවා හැම‍වෙලාවෙම පුතාට අතපාන්නෑ කියන අදහසින්.
“ කොහේ තියන සල්ලියක්ද? ඔය ගිය සැරේ මල්ල පිටින් අරං ගිහින් පන්සලේ පිංකටම පූ‍ජා කරේ..”
කුසුමාගේ කට කතුර වගේ. කුසුමට පෙන්නන් බැරි නැන්දම්මාගේ ඔය ගතිය තමා. වත්තේ පොල් කඩලා විකුණුවත් , කෙහෙල් කැනක් විකුණුවත් අතට එන්නේ කීයද දීලා ඇති පන්සලට.. ගෙදර උවමනාවක් වුනොත් අතේ සතයක් නෑ වගේ තමා කතාව. ආය ඉතිං පොඩි එකාට බස් එක වැරදුනොත් ප්‍රයිවට් බස් එකේ යන්නවත් රුපියල් විස්සක් දෙන්නෑ සරත්ම කීවොත් මිසක. හැබැයි ඉතිං ලොකු පුතා නම් ආච්චිගේ හැඹිලියට බහිනවා . ඉස්සර නම් අනෝ හාමි ටක්කෙටම දන්නවා හැඹිලියේ තියන ගාන. දැං ඒකත් කීප සැරයක් ගණිනවා මේ මතක නෑ.
“ මොකක් කීවා.. මේ ගිය මාසේ මම ගත්ත සල්ලි. .. අනුමානයක් නෑ ලොකු කොල්ලා ගන්න ඇති ඒක.. දැං මේ අම්මා සුද්ද කරනවා පුතණ්ඩියාව..”
“ අනේ ආච්චි අම්මේ .. මං ඉස්සරහාමනේ ආච්චි අම්මා හාමුදුරුවන්ට සල්ලි දිලා පෙරළී පෙරළී වැන්දේ... මට ඉස්කෝලේ ප්‍රශ්ණ පත්‍තර වලට දෙන්න නෑ කියලා කලින් දවසේ රෑ කියලා ඕන්න පහුවදා කරපු වැඩේ...”
ඒ කුසුමාගේම දුව. නිල්මිණි හැමවෙලාවේම අම්මාගේ පැත්තේ. අම්මාටයි දුවටයි දෙන්නටම අනෝ හාමි දෙහි කැපුවා. ආය සිට්ටු සල්ලි දුන්නා නම් ඔයාකාර අමතක වෙන්න පුළුවන්ද? ඔච්චර සල්ලි කන්දරාවක් හාමුදුරුවන්ට දෙන්න ආයි මොන යකෙක් වැහිලද?
“ ඈ ........පුතේ ...මොකක් මේ මම පන්සලට දුන්නා කියන්නේ සීට්ටු සල්ලි..”
“ අම්මා දෙන්නැති ... නැත්තං කවුරු ගන්නද ඔය සල්ලි... නිදියන්න ගියත් සල්ලි හැඹිලිය හැට්ට කරේ ගහගෙන නේ ඉන්නේ...”
පොල් ගාන එක නවත්තලා අනෝ හාමි නැගිට්ට‍ා. තරහට හිත පුපුරු ගහනවා. අතපය වලංගු නැති වුණාම කාටත් එපා වෙනවා. ගෙදර හැ‍මෝම දැං ‍තමන්ට විරුද්ධව බොරු කියනවා. දණිස් අමාරුව පැත්තකින් තියලා ‍අනෝ හාමි කන්ද නැගලා තමන්ගේ මිතුරිය හොයාගෙන ගියා.
“ ඈ.......... සුමනෝ මම සීට්ටු සල්ලි පූජා කොරාද අපේ පන්සලේ පිංකම දවසේ.... මේ අපේ ගෙදර ඔක්කොම එහෙම කියන්නේ..”
“ මට මතකයක් නෑ නංගියේ.. දැං එච්චර මට කල්පනාව මදි..” සුමනාවතී දෙකට දෙවාරනේ දුන්නා උත්තරයක්. අනෝ හාමි පොඩි බංකුවක ඉඳගෙන කතාවට වැටුණා. දෙන්නා එක්ක ඉස්කෝලේ ගිය කාලේ ඉඳන්ම යාළුවෝ. දෙන්නම හතරේ පන්තියෙන් මෙහාට ගියේ නෑ. ඒ කාලේ ගුටි කාපුවා අද වගේ මතකයි. සිංහල පාඩමට උගන්නපුවා අකුරක් ගානේ මතකයි. එහෙව් අනෝ හාමිට සීට්ටු සල්ලි තියාපු තැන මතක නැතිවෙන්න පුළුවන්ද?
ටිකක් දවල් වෙන්න ඇරලා අනෝ හාමි ගෙදර ආවා. කෑවායින් නොකෑවායින් ඇඳට වැටුණා. හෙට දැන් දොස්තරට දෙන්න සල්ලි කොහෙන් හොයන්නද? කුසුමාට ඇනෙන්න වෙනදාවගේ ආඩම්බර කතා කියන්න වෙන්නේ නෑ පුතාගේ සල්ලි වලට බේත් ගත්තාම. පුරුද්දට වගේ ලා නින්දකට වැටුණාට අනෝ හාමිගේ හිත නොසන්සුන්.
“ අම්මා කෑවද...? “ සරත් පුරුද්දට වගේ අහන්නේ  බත් එක අතට ගන්න ඉස්සර.
“ ඔය සුමනා නැන්දලාගේ ගෙදර ගිහින් ඇවිත් කෑවේ... “
අනෝ හාමි ඉද්ද ගැහුවා වගේ නැගිට්ටා. තාම මේ උදේට රොටියක් කාපු ගමන්. පුතාට ලේලි ඇදබාන බොරු... තමන් කෑවා නම් තමුන්ට මතක නැද්ද?
“ ඔය බොරු පුතේ .. මගේ බත් ‍එකවත් බෙදලා නෑ මේ හෙර අද... මොකෑ මම සීට්ටු සල්ලි හැඟිස්සුවානේ.......”
“ මොනවා .... පොඩි එකීමයි බත් ටික බෙදලා වැහුවේ..ආං අතෙන්ට බාගෙට බාගයක් හලලා නිදාගන්න ගියේ ... තණ්නාසේ .....දැං පූජා කරපු සල්ලි වලට තණ්නාසේ තැවෙනවා..කාපු බීපුවත් මතක නෑ..” කුසුමා කඩාගෙන පැන්නා.
“ ඈ..... මම කෑවා දවල්ට...? ‍අනෝ හාමි කුසුමා අත දික් කරපු පැත්ත දිහා බැලුවා. කැඩිච්ච වළඳකට කවුරු හරි බත් එකක් නම් හලලා තියනවා තමයි. ඒත් තමන් කෑවානම් ඒ ඩිංගට අමතක වෙනවද?
“ බොරු මායම් ..... ඉස්සර මට කියපු කරපු ‍බොරු මේ නාකි වයසටත් පටන් අරං.. දැං පුරුද්ට ගිහින්..ඔහොම අමතක වෙනවා නම් අර අපේ අම්මලා මට දෑවැද්දට දුන්න සල්ලි තාම ගණං හිලව් ඇතුව කියන්නේ කොහොමද?  කුසුමා ඒ පාර අනෝ හාමිව නිශ්ශබ්ද කරා.
“ මට දෙය්යෝ පෙන්නයි ඇත්ත නැත්ත.....” අනෝ හාමි කුසුමා දිහා බලලා දත්මිටි කෑවා.
රෑ තිස්සේ සරත් කල්පනා කළේ අම්මට මේ මොකද වෙලා තියෙන‍්නේ කියලා. දැං ටිකක කාලෙක ඉඳලා හැම එකම අමතක වුණා වගේ ඉන්නේ. ඒත් පරණ කතන්දර නම් අකුරක් නෑර මතක එකනේ පුදුමේ.. මේ විදිහිට ගියොත් ගෙදර එකම ගිනිවිජ්ජුම්බරයක් වෙයි..
ටවුමේ දොස්තර මහත්තයා හම්බ වෙන්න සරත්ම ගියා අම්මත් එක්ක. දොස්තර මහත්තයා ඉස්සරහා අනෝ හාමි දිගෑරියා ලේලිගේ කතන්දර. සල්ලි ටික නැති වුණාවගේම  අළුත් චීත්ත  එහෙමත් නැති වෙලා තියනවාලු. සමහර වෙලාවට කුසුමාම ආපහු ඒවා ගෙනත් දානවලු හොරේ අහුවෙයි කියලා. දොස්තර මහත්තයා ඇහුවනේ ඒවා කරන්නේ කුසුමා කියලා හරියටම දන්නේ කොහෙමද කියලා. ඒ වෙලාවේ ‍අනෝ හාමිගේ මූණට එළියක් වැටුණා.
“දොස්තර මහත්තයාට කියන්න මට දේව වරමක් තියනවා. මට දෙය්යෝ පෙන්නනවා ඔය ඔක්කොම..”
දණිස් අමාරුවට බෙහෙත්  ගන්න අම්මා එක්ක ආව සරත්ට අන්දුන් කුන්දුන්.. මේ වයස හැත්තෑ පහේදි දේව වරමක් ආවා කිව්වාම..........
දොස්තර මහත්තයා අනෝ හාමිගේ දණිස් බලලා බෙහෙත් ලිව්වා. සරත්ට කිව්වා අම්මාව එළියෙන් ඉන්දවලා ටිකක් ඇවිත් තනියම හම්බ වෙන්න කියලා.
“ අම්මට දේව වරමක් කිව්වේ දොස්තර මහත්තයා.. දැන් මොකද කරන්නේ අපි..?
“වෙන මොකවත් නෙවේ කරන්න තියෙන්නේ. මෙන්න මේ තුණ්ඩුව අරගෙන මහ ඉස්පිරිතාලෙට බදදා උදේට අම්මාව එක්ක යන්න. අම්මාට ටික කාලයක් බෙහෙත් ගන්න වෙයි. මේක මේ වයසට යනකොට එන මානසික ලෙඩක්. තාම මුල් කාලේ නිසා කඩා ගන්න පුළුවන් වෙයි..”
‍” දොස්තර මහත්තයෝ එතකොට දේව වරම...”
“පුලුවන් නම් අම්මාගෙන් ඉල්ලලා මට ‍ඒක දෙන්න..මට ලේසියි වරමෙන් බෙහත් අහලා කියන රස්සාව.   ලෙඩ්ඩු බලන්න අපි අවුරුදු හතක් ඉගනගත්‍ේත මොන එහෙකටද මන්දා...”

Tuesday, June 5, 2018

සෑම ජීවිතයකටම වටිනාකමක් ඇත


2050 වර්ෂය වන විට ලොව වියපත් ජනගහනය  මුළු ජනගහනයෙන් හරි අඩක් බවට පත්වේ. එනම් ලොවවින් අඩක් යැපෙන්නෝ වෙති. වැඩිම වයස්ගත ජනගහනය ජපානයෙන් වාර්තා වනු ඇත. මේ කතාව මීට සියවස් ගණනක් එපිට එවන් සමයක් පිළිබඳවයි.

ඒ ජපානයට හිම වැටෙන්නට ආසන්න කාලයයි. සරත් සමයේ ජපානයේ ඇත්තේ කොළ හැළී ඉපල් වූ ගස් පමණකි.  හිමෙන් වැසුණු ඈත කඳු ශිකර හාත්පස මවා පෑවේ අඳුරු චිත්‍රයකි. තම නිවසට වී සීතලට රැළි ගැසුනු අත් ගින්නට අල්ලමින්  මවගේ රස ආහාර බුදිමින් සිටින කොබයාෂි  සිය මවගේ කටහඬට කන් දුන්නේ අකමැත්තෙනි. මව මතක් කරන්නේ ඇය අද ගින්නට දැම්මේ අවසන්  දර පතුර බවයි.

“ දරුවෝ දැන්ම නොගියොත් මුළු සීතල කාලෙම දර නැතුව දුක් විඳින්න වෙයි... වැඩි කල් නොගිහින් අද හෙටම හිම පතුරු පොළව වසා ගනීවි...” මිචිකෝ තම පුත‍ාට මදක් උස් හඩින් පැවසුවේ ඔහුගේ ස්වභාවය දන්නා නිසාය.

කොබයාෂි තම පොරව ද දර පතුරු මිටි බැඳීම සඳහා ගන්නා ලනුව ද රැගෙන එළියට බහින තෙක් මව බලා හිටියේ නොඉවසිල්ලෙනි. ස්වභාව දහමට අවනතව ජීවත් වීම මිචිකෝගේ නීතියයි.
කොබයාෂිගේ නිවස පිහිටා තිබුණේ කන්දක පාමුලයි. දැන් දෙදෙනා මේ නගින්‍නේ ඒ මහා කන්දයි. නිවසට අවශ්‍ය දර සෙවීම කලකට පෙර කොබයාෂි බාර ගත් වගකීමක් නමුදු මිචිකෝ කිසිම විටක තම තරුණ පුත්‍රයා තනිව එවන්නේ නැත. ඒ ඇයගේ සෙවනැල්ල ස්වකීය පුත්‍රයා ලෙස සැලකීම හේතුවෙනි. මේ දෙදෙනා මෙවන් සීත කාල විසි හතරක් තනිව ගෙවා ඇත්තෝ වෙති. කොබයාෂි කිසි දිනක තම පියා ගැන මවගෙන් අසා නැත. ඒ පියා සදහටම වෙන් වී ගොස් ඇති බව දන්නා නිසා නොවේ, එසේ පියා ගැන අසන්නට තරම් පාළුවක් දැනෙන්නට මව ඉඩ නොතැබූ නිසාය.

කොබයාෂි විසින් බිම දැමෙන ගස් කඳන් නැවත කුඩා පතුරු වලට වෙන් කරන  මිචිිකෝ කල්පනාවට වැටෙයි. ‍තම පුතාගේ තරුණ ජවය පිළිබඳ ඇයට ඇත්තේ මහත් ආඩම්බරයකි. කුඩා කළ අපමණ දුක් විඳ  ඔහු හදා වඩාගත් ආකාරය පිළිබඳ සිහි කරමින් ඇය විටින් විට සුසුම් හෙළයි.
මව වෙනදා මෙන් කඩිසරව දර පතුරු එකතු නොකරන බවත් මුහුණේ කිව නොහැකි දුක් සමුදායක් රැස් වී ති‍බෙන බව කොබයාෂිට  පෙනේ. මවගේ මුහුණේ රැල්ලක් පවා ඔහුට කියවීමට පුළුවන.

“මගේ පුතාට හෙටත් මේ කන්ද නගින්න වෙනවා....”

කොබයාෂිගේ මුුහුණ විශ්මයෙන් පිරේ. මව සිහින් සිනාවක් පාමින් මෙසේ කියයි.

“ අමතක වුනාද? හෙටට මට අවුරුදු හැටයි....මාව අරගෙන පුතාට හෙට මේ කන්ද මුදුනට එන්න වෙනවා..”
පොරව දැඩිව මිරිකමින් කොබයාෂි බිම වාඩිවෙයි. දරුණු වේදනාවකින් ඔහුගේ හදවත මිරිකී යන්නට විය.

“ ‍මේ වියරු අධිරාජ්‍යයා නිසා අපේ වැඩිහිටියෝ සියල්ලම නැති වෙනවා...අනේ මගේ අම්මා...මගේ ජීවිතේ වටිනාම වස්තුව...හෙට මගෙන් වෙනවා...” කොබයාෂි හිස දණිහිසේ රුවාගෙන හඩයි.

“දරුවෝ... මේක දුක් වෙන්න දෙයක් නෙවේ. ‍මේක චාරිත්‍රයක් වගේම අපේ අධිරාජ්‍යාගේ අණක්..අපි හැමෝටම අවුරුදු හැටේදි අර කන්දෙන් පහළට අපේ අවසන් ගමන් යන්න වෙනවා. මම ඒකට සුදානම්. ඒත් මගේ පුතා ඒ වයසට එද්දී අධීරාජ්‍යා මැරිලා ඉඳිවි. එතකොට මේ අණත් නැතිවෙලා තියෙයි.”
දර මිටි කරතබා ගත් කොබයාෂි පිටිපසින් මිචිකෝ නිහඩවම පැමිණියාය. දෙදෙනාගේම වේදනා දෙන හදවත් නිහඩව වැලපෙන බව දෙදෙනාම දැනසිටියහ. සමුගැනීම මෙතරම් වේදනාකාරී බවක් කොබයාෂි මින් පෙර දැන සිටියේ නැත.

මිචිකෝ එදින රෑ බත ඉතා ප්‍රණීතව සූදානම් කළාය. ඉතා විශාල බත් පිඟානක් එදින කොබයාෂි අතට ලැබිණී.

“මගේ පුතාට හෙට කන්ද නගින්න හයිය ඕන වෙනවා. මගේ බත් ටිකක් පුතාට දැම්මා..”

 පසු දින අධීරාජ්‍යාට සාප කරමින් , ශෝකයෙන් දැවෙමින් කොබයාෂි මව කරේ හොවාගෙන කන්ද නගින්නට පටන් ගත්තේය. ඊට පෙර මිචිකෝ තමා සතුව තිබූ අගනාම වස්තුව වන ගෙත්තම් කරන ලද මිරිවැඩි සඟළ තම අනාගත මුණුබුරන්ට දෙනු පිණිස කොබයාෂි අතට පත් කළේය.සැටවිය පැමිණි පසු ජපානයේ වැඩිහිටියන් අධීිරාජ්‍යාගේ අණ පරිදි කන්දෙන් පැන සියදිවි හානිකර ගත යුතුය
.
කන්ද මුදුනට නැගුණු කොබයාෂි මව දෙස තව එක් වරක් බැලුවේය. මිචිකෝ ද අවසන් වතාවට තම පුත්‍රයා දෙස බලා කදු බෑවුමට මුහුණ පා සිට ගත්තාය. තව මොහොතකින් ඇය කඳු පාමුළ අවසන් ගමන් ගිය ගම්වැසියන්ගේ කණ්ඩාමට එකතු වනු ඇත.

තම මවට දෑස් පියා ගන්නා ලෙස පැවසූ කොබයාෂි විශාල ගලක් දෑතින් ඔසවා ගෙන කඳු මුදුනේ සිටගත්තේය. මහත් වූ වැරෙන් ගල කඳු මුදුනේ සිට අතහැර ඔහු මහා හඩින් මවගේ නම කියා වැලපෙන්නට විය. ගම් වැසියෝ කොබයාෂි වැළපෙන හඩින් ඔහු මව සියදිවි හානිකරගත් බව තහවුරු කරගත්හ.

රහසේ මව නිවස වෙත රැගෙන ගිය කොබයාෂි ඇය නිවසේ ගුහාවක සඟවා තැබුවේය. කිසිවෙකුටත්  නොදැනේනට මව පෝෂණය කරමින් ඇය රැක බලාගනිමින් ඔහු මව් සෙනහෙස විදිමින් රාජ්‍ය විරෝධියකු වී ජීවත් වන්නට පටන් ගත්තේය.

ජපන් අධිරාජ්‍යා තම බලය පිළිබඳව සෑම විටම සැක පහළකරන්නේ වරින් වර තමාට වඩා ඥාණවන්තයෙක් සිටී දැයි බැලීමට අඩ බෙරයක් එවයි. මිචිකෝ ගුහාවේ සිට ඒ හඬ අසා සිටියි. සිය පුත්‍රයාගෙන්  විමසූ කළ ඒ රජතුමා අතින් අල්ලන්නේ නැතුව හක් ගෙඩියක් තුළින් නූලක් යවන්නේ කෙසේ දැයි දන්නා නුවණැත්තෙක් සිටිදැයි බලා ගැනීම පිණිස එවූ පණිවිඩයක් බව දැන ගනී. මිචිකෝ තම පුතුට නුවණ කියා දී ඔහු රජතුමා ළගට යවයි. රජතුමා ඉදිරිපිට කොබයාෂි මව කියාදුන් පරිදි හාල් ඇටයක් නූලකින් ගැටගසා හක් ගෙඩියක එක් කොනක තබා කූඹි ගුලක් ළඟ තබා පසු දින බලන ලෙස උපදෙස් දුන්නේය. කූඹින් ඒ නූල රැගෙන හක් ගෙඩියේ අනික් පැත්තෙන් මතුවී තිබුණු අයුරු අධිරාජ්‍යා පසුදින දුටුවේය .

ටික දිනකට පසු රජතුමා නැවතත් අණ බෙරයක් එවයි. ඒ අළු වලින් ලණුවක් ගොතන ලෙසයි. ඒ ගැන කොබයාෂී මවගෙන් විමසන අතර  මිචිකෝ නැවතත් පුතුට නුවණ කියා දි යවයි.

කොබයාෂි අධිරාජ්‍යා ඉදිරියේ ගල් පතුරක් මත ලනුවක් තබා යටින් ගින්දර දමා පෙන්වීය. මදකින් ලනුවට ගිනි ඇවිලී එය අළු බවට පත් වුවත් එහි වියමන ගලමත ඉතිරි විය.

ජපන් තරුණයන් පිළිබඳව මනාව කරුණු දන්නා අධිරාජ්‍යා නිසැකවම  මේ දැනුම වැඩිහිටියෙක් ගෙන් ලබා ගත් බව සිතා කොබයාෂිගෙන් ඒ පිළිබඳව දැඩිව විමසා සිටි‍යේය. අධිරාජ්‍යාගේ උදහසට ලක් වී හෝ තම මව බේරා ගැනීමට කොබයාෂි අදිටන් කොට සියල්ල හෙළි කර රටේ වැඩිහිටියන්ට සියදිවි හානි කරගැනීමට පවතින නීතිය වෙනස් කර දෙන ලෙස අධීරාජ්‍යාගෙන් ඉල්ලා සිටියේය.

තරුණයා තම මව කෙරෙහි දක්වන සෙනෙහස අධිරාජ්‍යාගේ දැඩි පිළිවෙත සසල කිරිමට සමත් විය. ඔහු එතෙක් බලපැවැත්වූ රාජ නීතිය අහෝසි කොට තම දියණිය ද කොබයාෂිට සරණ පාවා දුන්නේය. එයින් පසු  දින අධිරාජ්‍යා තම මාළිගයෙන් නික්මී කන්ද මුදුනට පැමිණියේය.

කඳු මුදුනේට සිට පහළ බලන ඔහුට පෙනෙන්‍නේ සියදිවි නසාගත් වැඩිහිටියන්ගේ ඇටසැකිළි සමූහයක් හිමෙන් වැසී ඇති අන්දමයි. ඔහුගේ සිත තුළ ඇතිවන පීඩනයෙන් ගැලවිය හැක්කේ ඒ  වැඩිහිටින්ට යාමට සිදුවු මගම යාමෙන් බව ඔහුට දැණින. 

කඳු මුදුනේ සිට පහළට පැනීමට පෙර ඔහු එක් වරක් හැරී තමා සදාකාලික බලය වෙනුවෙන් තනා ගත් මන්දිරය දෙස හැරී බැලුවේය. 




Friday, February 16, 2018

සොල්දර වලව්ව










උදේ කෑමෙන් පස්සේ වලව්වේ කාර් එකෙන් දළදා වඳින්න මහ දෙන්නයි අළුත් දෙන්නයි පිටත්වුනාට ලොකු මැණිකේ ගියේ නෑ. ඒ වෙනුවට හීං උන්දෑ  ගියා.  ජයවිරුගේ දෙවනි ගමනට කැවිලි හදන්න තෙල් තාච්චිය ලිපේ තියන්නට ලොකු මැණිකේ ඉන්න ඕනෑ. පාන්දර එලිය වැටෙන්ටත් කලියෙන් වලව්වට ආපු ගමේ ගෑනු දෙතුන් දෙනා ඒ වෙනකොටත් වැඩ පටන් අරං.

රෑ පෙඟෙන්ට දැම්ම හාල් ටික ගරලා වතුර බේරෙන්න ඇරලා පන් වට්ටිවලට එකතු කරලා තිබුණා. වලව්වේ ඇතුල් කුස්සියට එබෙන්ට තහනම් නිසා ඒකේ තිබුණ මුට්ටි ටික ගෙනත් දැම්මේ ඩිංගිරි මැණිකේ. එලියේ කුස්සියේ ඇති වෙන්න ඉඩපාඩු තිබුණ නිසා හැමෝම පාන්දර සීතලෙන් බේරිලා ඒක ඇතුලේ පිටි කොටන්න ලෑස්ති වෙනවා. ගල් වංගෙඩි දෙක පිහදාලා මෝල් ගස් දෙකක් හෝදලා ගත්ත ගුනේ උන්දෑයි  පිංචිනායි දෙමෝලෙන් පිටි කොටන්න පටං ගත්තා.

හනසු ටික හීනියට ඉරලා ලිප ළඟට ගෙනාව රං කිරා සීතල යන්නත් එක්ක ගොද ගොද ගගා පැහෙමින් තිබුණ වතුර ටිකක් මැටි කෝප්පෙට දමාගෙන ලිප ළඟ ඇණ තියා ගත්තා. ගමේ ගෑනුන්ගේ කතා අහගෙන හූමිටි දිදී ඉන්න එක හරි සතුටට කාරණයක්. ගමේ ළමිස්සියොත් රං කිරාගේ නෝන්ජල් කම විහිළුවට ගන්නවා.


දිසාවේ මැණිකේ කීවා රං කිරාටත් ගැටිස්සියක් හොයාලා දෙන්නටය කියලා ඕං! " පිංචිනා කට දෙපැත්තෙන් වැක්කෙරෙන බුලත් කෙල පිහ දාලා කිව්වා.

නිකා ඉන්ට අක්කා... මට මොන ගැටිස්සියෝද? මං මේ   දුම්බර නගා මට බහ දෙනකල් ආය එක හිතිං ඉන්නවා නොවැ.. "

 ජම්බු ගෙඩිය වගේ ඉන්න දුම්බර ගෙදර ගැටිස්සි දිහා බලාගෙන රං කිරා තමන්ගේ අවංක ගැඟීම කීවා.

ඒකි ගල් ගෙඩිය හේ ඇට්ටර  කොමට මට වචනය නොදෙන්ට මෙලහකටත් අපට දළදා හාමුදුරුවන්ට වයන්ට පැටෙක් දෙකෙක් ඉඳී"

මගෙන් වචනේ ගලවා ගන්ට එපා  උඹ.. අනේ මට පුරුසයෝ නැතිවට උඹ වගේ වැල මදුලක් සහේට ගන්ට ... "  දුම්බර ගැටිස්සි කේන්තියෙන් පුපුරු ගැහුවේ ගමේ උන් කොක් හඩලාගෙන හිනා වුනාට.

ඇයි උඹ බලාන ඉන්නේ නිළමේ කෙනෙක් ඇවිත් කැන්දන් යනකල්ද ? යකෝ මං වලව්වේ බැලකම් කොරාට මාත් දළදා වහන්සේට සද්ද පූජා කොරන ගමේ බෙරවෙක් තමා"

රන් එතනා අරං ආව කිරිබත් පලංගාන දැකපු රං කිරාගේ කට වැහුනා. රජනෑ වලව්වෙන් ඇන්න ආපු නාරං කැවුම් පිරුණ වට්ටිය ආවේ දෙවනුව. ගෑණු ටික වැඩ නවත්තලා පිටි ගෑවිච්ච අත් පිහ පිහා කෙහෙල් කොලවලට කිරිබත් බෙදා ගත්තා. කෝපි මුට්ටියෙන් පොල් කටු වලට කෝපි වක්කරලා දුන්නේ රං කිරා. තමන්ට කොච්චර අපහාසෙන් කතා කලත් ඉස්සරලාම කෝපි දුන්නෙත්  දුම්බර නගාට.

තරහා ගන්න එපා නගා . මගේ හිතේ ඇගෑලුම්කම් වැඩි වෙනවා ඕං මේ වලව්වේ මගුල් තුලා දැක්කම. අපේ අප්පේ දැක්කද අපේ අළුත් කුමාරිහාමිගේ සිරියාව! බලා ඉන්ට ලෝබයි. රත්තරන් ගාලා හේ අත පය....... " රං කිරා කෝපි බෙදිල්ලට ටිකකට නතර කරලා හුස්මක් උඩට ඇද්දා. පාන්දර ඉඳලා පින්නේ වැඩ කරලා නහයත් බුරුල් කරලා.

උඹ මොකද කිරෝ මේ ගෑණු අස්සේ.. පලයං කීවා අර කොස් ගෙඩි දෙකක් කඩාන වර! දාවලට කිරි කොස් මාලුවක් තනන්ට කීවා ලොකු මැණිකේ"

 ඩිංගිරි මැණිකේ කුස්සිය මැද්දෑවට එනකලුත් කාටවත් ඇහුනේ නෑ. හැමෝගෙම අතපය කඩිසර වුනා. බුලත් කකා හිටපුවත් ඉස්මොල්ලේ ගියා වගේ. පිටි කෙටිලි , හැලිලි , පැණි රත් කිරිලි හැම දේකටම විධානයක් ආවා. බිම ඉහිරෙන හැම හාල් ඇටයකටම දෝසාරෝපන ලැබුණා. වැඩ ටික එකලාසයක් වුනාම ලොකු මැණිකේ ඔසරි පොට ඉනේ ගහලා තද කරගෙනයි කුස්සියට ආවේ . එතන ලොකු තාච්චිය තියලා පොඩි පුටුවක් තියලා තිබුණා. තෙල් තාච්චියට වැඳලා සුබ දිසාව බලලා කහ පාට පිටි දියරෙන් නෑවුන හැඩයට කපාපු කෑලි තෙල් තාච්චියට වැටුනා. තෙල් හැන්දෙන් හිමිහිට කැවුම් දෙක ඇලවෙන්න නැතිවෙන්න දෙපැත්තට කරා. කැවුම වටේ බුබුලු දදා තෙල් නටනවා. පිම්බිලා රත්තරං පාට වෙන කැවුම් කිරි ගොට්ටක එකතු වෙනවා. කැවුම් ගෙඩි දහයක් විතර උයලා ලොකු මැණිකේ තෙල් හැන්ද ඩිංගිරි මැණිකෙගේ අතට දීලා නැගිට්ටා. තුනටියේ කැක්කුම නිසා එක දිගට ඉඳගෙන ඉන්න අමාරුයි. ඒ කොහොම වෙතත් එදා ඉඳන්ම ගමේ ගෑනු ආංබාං කරන වැඩ ඩිංගිරිට බාර දීලා ලොකු මැණිකේ වලව්වේ වෙන වැඩ බලා ගන්නවා.

පොල් අතු පෙට්ටියට පුරවගෙන ආව කොස් ගෙඩි දෙකක් සද්දේ එන්න බිම දැම්ම සන්තියා රං කිරාට කතා කළා.

කිරා මලයා...... මේං මේ ගෙඩිය අරං තියන්ට . හෙට වෙනකොට කන්ට ඇහැකි. ගෙඩි දෙකෝම දෙකයි ගහ හරියටම තිබ්බේ"

උඹ ආවේ මගේ හොඳ වෙලාවට.. නැහ්නං මං මේ ගහ බඩ ගාන්නේ කොහොමද කියලා හිටියේ. උදේ පින්නට ගස් ලෙස්සනවා"

අපේ නිළමෙලා සුනංගු නොවී එනවා මෙහෙ කියලා කීවා ලොකු මැණිකේ. අද අර සුදු මහත්තැං කෙනෙක් එනවා කීවා නෙව වලව්වට අර ඇත් දත් ද මොනවද වගයක් බලන්න යන්න සුන්දර නිළමේ එක්කාසු කොරගන්ට. ඒ  රාජකාරිය අහවර වුන ගමන් මේ වලව්වට එනවාය කියැව්වා"

සන්තියා දෙකට නැමිලා පිහියෙන් බෙල්ල කසන ගමන් ලොකු මැණිකෙට කීවා.

පලයං කිරිබත් කෑල්ලක් කාලම මේ කොස් දෙක කොටලා අර ළමිස්සියන්ට දීපං සුද්ද කරන්ට"

බිලිං ගහේ වැටුන ගෙඩි ටිකක් අහුලගෙන ඇවිත් රන් එතනා වෙල් මාළුකූරි සුද්ද කරන හැටි බලන්න රං කිරා ඉඳගත්තා.

මේ කූරි ලිස්සනවා.. මට අළු ටිකක් ගෙනත් දියං.. "

"ඕං මේ කකුල් කෙඩෙත්තුව යන්න කියලා මම ඉඳගත්තා විතරයි මට අළු ගේන්නලු. අනේ මේ ගෑණුන්ගේ අතපය කොර වෙන්ට ඔනෑ මාව තෙහෙට්ටු කොරනවාට.. "





මේ මගේ අළුත්ම නවකතාව වන “සොල්දර වලව්වේ “  එක පරිච්ඡේදයක්. ඉතුරු ටික කියවන්න මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. මාර්තු මාසේ මගේ පොත එළිදක්වන දවසට මම මේ විදිහටම ආරාධනාව එවන්නම්..... මගේ බ්ලොග් කියෙව්වාට ඒ ගැන අදහස් දැක්වූවාට ගොඩාක් ස්තූතියි. ඒකෙන් මට ලැබුණු සතුට තමා සොල්දර වලව්ව කියන්නේ....






Tuesday, February 6, 2018

හොයන බලන අය






මගේ බණ්ඩක්කා බේසමට එක පාරටම  දලු කරල් දෙක තුනක්  වැටුණා. හීනි වළලු දෙකක් දාපු , කාලෙකට කලින් නිය ආලේපන ගාපු අතක් ...

ඒ අත දිගේම බලාගෙන ගියාම  ඒ අතේ අයිතිකාරයා හම්බවෙනවා. මැදිවිය ගෙවමින් ඉන්න රවුම් මූණක් තියන කාන්තාවක්. කොන්ඩේ නම් වයසට නොගැලපෙන තරම් තරුණ පාටයි. ඒත් දැං කාලේ තැඹිලි ගෙඩියේ පාට කොන්ඩා හිමිකාරියෝත් ඉන්නවානේ.

“ නෝනාගේ ගෙදර වැඩට ඉන්න කෙල්ල නම් කිසි කමකට නෑ.. ඔව්..”

 අනාරාධනාවෙන්ම කාන්තාව කතාව පටන් ගත්තා.

“පහුගිය ටිකේ නෝනා හවස් වරුවේ ගෙදරනේ... මේ දවස්වල එනකොට හතර පහු වෙනවා නේද?”

“ ඔව්”

“ඒකනේ.. .ඕන්න හතර පහුවුනාම එහේ ගෙදර සද්දේ අඩුයි...නිතරෝම අර පොඩි ළමයාට කෑගහ ගත්ත ගමන්ම තමා අර කෙල්ල....”

මගේ ගෙදර විස්තර මටම කියන්න තරම් සමීප කෙනා කවුද කියන හිතුවිල්ලෙන් මම මෑකරල් තේරුවා.

“ගන්න එපා නෝනා මේවා.. මේ එක පණුවෙක් නෑ ..ඒ කියන්නේ බෙහෙත් ගහලා වකාරෙට..” මම මෑකරල් අතෑරලා වම්බටු පැත්තට හැරුණා.

“ මේං පණුවෝ පිරිලා... කන්න එපා ජරා..ව”  ඒ ඇඟිලි ගැහිල්ල මාව ලුහුබඳිනවා වගේ.

“ මම මේ නෝනලාගේ එහා ගෙදර අර වයසක නෝනා බලාගන්න ආවේ.. දැං මාස හයක් විතර ඇති... අප්පේ වයසට ගියාම තමා බලන්න අමාරු..පොඩි ළමයි තව හොඳයි.” කාන්තාව තමන් පිළිබඳව පැහැදිළි කළා.

මගේ අසල්වැසි ගෙදර. එහේ එක් සාමාජිකයෙක් හැරුණාම  අනික් අය හිම වැටෙන රටක ස්ථිර පදිංචියට ගිහින්.

සීතල ඔරොත්තු නොදෙන නිසා ලොකු නෝනා විතරක් මෙහේ නැවතිලා. එයාට  රැකවරණය දෙන කාන්තාව තමා මට මේ හම්බ වුනේ.

“ කොහොමද දැන් එහේ ලොකු නෝනට..?”

“පහුගිය ටිකේ අසනීපෙන්  හිටියා.. දැං ටිකක් හොඳයි.. උදේ ඉඳන් හවස් වෙනකල්ම බණ දාගෙන බලනවා. මට නම් දැං කට පාඩම් ඔය හාමුදුරුගොල්ල කියන ඒවා..”

“හ්ම්...”

“ හා...හා........රතු ලුණු ගිනි ගණන් .... බී ලූණු ගන්න නෝනා... ආයි මොකද කනකොට ඕකේ වෙනසක් තියනවාද ? අනේ මම නම් පමණක් වෙලාවකට ලූනු  නොදාත් උයනවා. මොකද අර ලොකු නෝනාට කෑම වල රහක් දැනෙන එකක්යැ....”

“හ්ම්..”

“ මම මේ කියන්නේ නෝනා..... අර පොඩි දරුවා තියන්න එපා අර කෙල්ල එක්ක. හැම වෙලේම බනිනවා. ඕන්න කවන්න ගියත් මට ඇහෙනවා සැර දාන තරම්. කොටින්ම කියනවනේ කන්න බැරි නම් නිකං ඉන්න කියලා..“

“ ඇත්තද..?”

“ ඒකනේ කියන්නේ .. නෝනා ඕවා දන්නේ නැද්ද? අහන්නකෝ ලොකු බබාලා දෙන්නාගෙන්. ඒ දෙන්නා ඉස්කෝලේ ඇරිලා ආවම තමා ඉතිං පොඩි දරුවට සහනේ.... අක්කලා එක්ක සෙල්ලම් කරන්න වත් දෙන්නෑ මයේ හිතේ... අද බැන්නා ඇතුළට දාලා වහනවා දැඟලුවොත් කියලා... එහෙම කරනවත් ඇති.. මොකද මට කියා හැම වෙලේම කන් දිහාගෙන ඉන්න වෙලාවක් නෑනේ... අපේ ලොකු නෝනා මම පේන්න නොහිටියොත් සීතෝ... කියා ගත්ත ගමන් මයි”

“ එතකොට ඒ නෝනා ළඟටම වෙලා නෙවෙයිද ඔයා ඉන්නේ...”

“ හපෝ..යි එහෙම හිටියොත් මට කනක් ඇහෙන්නේ නැතිවෙයි. අරක හදලා දෙන්න .. මේක හදලා දෙන්න ඔහොම තමා දවස තිස්සෙම.. මම මගෑරලා ඉන්නේ..”

“ආ...”

“ ඔන්න නෝනා සමහර දාට ඔය දරුවට කරවල දෙනවා... කෑවේ නැතුවාම කෑ ගහනවා තුන් වේල චිකන් කන්න පුළුවන්ද ? ලෙඩ වෙනවා නේද ? කියලා... අනේ මොන බොරුද .. මේ කෙල්ල කනවා ඇති නෝනා හදලා යන කෑම.. ඊට පස්සේ පොඩි දරුවට කරවල දෙනවා ඇති... මම මේ කියනවාට දවසක හොයලා බලන්නකෝ...“

“හරි...”

“ අනික නෝනා දරුවා නාවන එක... හම්මේ යුද්ධයක් වගේ .... කොයි දරුවද වතුරට කැමති...මේක මේ දඟල දඟලා තමා නාවන්නේ... ඒ කෙල්ලට හිනා... මට ඇහෙනවානේ සද්දේ වතුර බටෙන් තමා නාවන්නේ.. .නිකමට බේසමටක තියන්නේ නෑ මයේ හිතේ.....ඒ වෙලාවට නම් චාටු කතා කියනවා සීතල වතුරෙන් නාවා ගන්න ඕන හින්දා වෙන්න ඇති හෙර....”

“ හ්ම්....”

“ නෝනා මේ  අර්තාපල්  ගන්නකෝ .... තුන් වේල උයන්න පුළුවන්... අපේ ලොකු නෝනට පෙන්නන්න බෑ.. ඒත් මම නම් උයනවා හැම නිතරම... සුද්ද කරන්න අමාරුවකුත් නෑ... උදේට අල තෙල් දැම්මාම පහුවදාටත් කන්න පුළුවන් නරක් වෙන්නෑ..“

“ තුන් වේලම අල දෙනවද නෝනට....“

“ එයැයිට උයන්න මහන්සි වෙලා වැඩක් නෑ.. මම කටට රහට මුකුත් හදාගන්නවා මිසක ...” කාන්තාව ටිකකට කතාව නැවැත්තුවා.

“එහෙනම් ඔයා බඩු ටික ගන්න මම බිල දාන්න  යනවා..”  මට ඕන වුනේ ඉක්මන් සමු ගැනීමක්.

“අනේ නෝනා මේ හිතවත් කමට කියන්නේ .. කේලමක් කියනවා කියලා හිතන්න එපා.. පහුගිය දවසක ඔය පොඩි දරුවා අක්කලාගෙ පැන්සල් පෙට්ටියක් අරගෙන ... මං හිතන්නේ කිරි දත් නේ හපන්න ඇති. මේ කෙල්ල  කොහොම හරි ඕක උදුරලාම අරගෙන මදිවට කෝටුවකිනුත තැලුවා දරුවාට......”

“ ඔයා දැක්කද?’

“ නෑ මේ... මට ඇහුනා .. මේ මම ගෙනාවා කෝටුව .....දෙන්න ද පාර කිය කියා පාරට්ටු කරනවා. ආයි දෙකක් නෑ ගැහුවා දරුවාට.. ඇත්තට කීයක් ගෙවනවාද ඔය නැට්ටිච්චිට...“

“ටිකක් වැඩිපුර දෙනවා. තුන් දෙනාම බලාගෙන මම එනකල් වැඩ ටිකක් කරනවානේ..”

“ අනේ ළමයි බැලිල්ල... ඕං උදේට අතුගානවා ඇහෙනවා මිදුල... එතකොට අර දරුවා එනවා ඇති සෙල්ලමට ඇගේ එතෙන්න... මේකි බනිනවා.. අතාරිනවා මගේ සාය... මේකත් ඉරන්නද හදන්නේ... දැං ඇඳුම් කීයක් ඉරුවද වගේ කතා.... මේ දරුවා ඒත අතනෑරියොත් අතුගාන එක දමලා ගහලා යනවා.....ඕං ඊට පස්සේ තකහනියේ මොනවත් දරුවට කවලා නිදි කරවලාද කොහොදෝ ඇවිල්ලා තමා පස්සේ අතුගාලා දාන්නේ...“

“ ඒක කොහොමද දන්නේ.... ?”

“ නෑ මට ඇහෙනවනේ එතන වෙන දේවල් කනේ තිබ්බා වගේ ...... මේ කෙල්ල ඒ වෙලාවට කිවනවා ගිහින් නිදාගන්නවකෝ මට කරදර නොකර කියලා.. මගේ පපුව පත්තු වෙනවා ඒවා අහන කොට. .. කියද වයස දරුවාගේ”

“ තාම අවුරුද්දක් නෑ......“

“ මං කියන්නද නෝනා.. මට ඔය තව ටිකක් වැඩි කරලා දෙන්න ගාන .. මං එන්නං ඔය දරුවෝ බලා ගන්න.. අර උඩැක්කිය යවන්න නෝනා ගමේ...”

“එතකොට එහේ ලොකු නෝනා..?“

“ මේ වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න නෝනා වගේද අර දරුවෝ තුන්දෙනා...”

ඒ කතාව  තවත් ඉදිරියට ගෙනියන්න බැරි නිසා මම කලබලය පිටින් දාලා මම එළියට බැස්සා

ගෙදර  බෙල් එක ගහන පමාවට අපේ ගෙදර උඩැක්කිය ගේට්ටුව ඇරියා.  ඒ පිටිපස්සෙන් සීතා මෙච්චර වෙලා කිව්ව දරුවා නැට්ට වනමින් මම එනකල් බලාගෙන හිටියා...