Thursday, September 3, 2015

දුවට මවක මිස


 

දරුවෝ ඉස්කෝලේ යන ගෙවල් වල උදේට තියෙන්නේ  යුද්ධයක් . දරුවෝ ලොකුයි පොඩියි කියලා වෙනසක් නෑ. දරුවෝ නැගිටපු වෙලාවේ ඉඳලා ගෙදරින් පිටත් වෙන පැයක් විතර  ඇතුලත ගෙදර හැමෝම ගේ ඇතුලේ කිලෝ මීටර ගානක් දුවනවා. කෑම හදලා , පොත් බෑග් හදලා අම්මලා දරුවෝ පිටත් වුනාම හුස්මක් ගන්නවා. දරුවෝ යන්නේ පාසල් බස් රථ වලින්  නම් අම්මලා ඒ අයත් එක්ක පාරට එනවා.  වෑන් වලින් යන දරුවෝ ගෙදර ළඟින්ම නග්ගලා  අම්මලා ඉතුරු වැඩ ටික කරන්න දුවනවා. දරුවන්ව පාසලට දාගෙනම කාර්යාලයට යන අම්මලාගේ ගෙවල් වල නම් උදේට ටෙලිෆෝන් කෝල් එකක් ආවත් කතා කරන්න කෙනෙක් නෑ.

මමත් කරන්නේ දරුවෝ දෙන්නව ඉස්කෝලෙට දාගෙන කාර්යාලයට යන එක. උදේට පාරවල් වල තියන තදබදය නිසා මොන දේ තිබුණත් පරක්කු වෙලා නම් පිටත් වෙන්නේ නෑ. එක විනාඩි පහක පරක්කුව කියන්නේ උදේ ඉස්කෝලේ ගේට්ටුව වහන්න කලින් යන්න බෑ කියන එක.  කලින්ම වාහනේට නැග්ගම මගේ හිතත් සන්සුන්. තදබදයත් අඩු නිසා වාහනේ එලවන කෙනාගේ හිතත් සන්සුන්. දරුවන්ගේ මුලක් මිස අගක් නැති කතා වලට උත්තර දිදී මම ළමයි බස් වලට දුවන හැටි , වෑන් එකේ බෙල්ල නමාගෙන නිදාගෙන යන හැටි, අම්මලා නිදි ඇදුම් උඩින් ටී - ෂර්ට් ඇඳගෙන ලොකු පොත් බෑග් උස්සගෙන වෑන් එක එනකල් පාර බලාගෙන ඉන්න හැටි බල බලා යනවා. මමත් ඔෆිස් යන නිසා උදේම සාරියක් ඇඳගෙන ආවට ගෙදර හිටියානම් ඒ විදිහම වේවි කියලාත් හිතෙනවා.

කිරුලපන පහු කරන කොට වාහන තදබදය වැඩි වෙලා පයින් යන ගානට තමා ටික දුරක් යන්නේ. මම එක තැනකින් වාහනේ වීදුරුව පහත් කරනවාමයි. එහෙම කරන්නේ එක අම්මා කෙනෙකුයි දුවකුයි බලන්න. ඒ දෙන්නා ඉන්නේ ටිකක් සෙනඟ ළඟින් ඈත් වෙලා. ඒ අම්මගේ දුව අවුරුදු පහළොවක විතර දරුවෙක් .අම්මාගේ වයස මට හිතා ගන්න බෑ. දුව යන්නේ පාසල් බස් එකක.  අම්මා එන්නේ දුවව බස් එකට දාන්න. ඒ අම්මාව දැක්ක පළවෙනි දවසේ මම තිගැස්සුනා. මොකක් හරි ලොකු අනතුරකට මූණ දීලා අම්මාගේ අත් දෙකම වැල මිට ළඟින් කපලා. මූණත් විකෘති වෙලා. අම්මා ගොලුයි. ඒත්  ඒ දෙන්නා නවත්වන්නේ නැතුව කතා කරගන්නවා.  පාසැල් බෑග් එක එල්ලාගෙන බස් එක එනකල්  අම්මා ඉන්නවා. දුව ඉන්නේ අම්මාගේ දැවටි දැවටී. අම්මා ඇඟිලි නැති අතින් දුවගේ ඔලුව අත ගානවා. ටයි එක හදනවා. මූණට වැටෙන කෙස් අයින් කරනවා. බස් එක ඈත එනවා පේන කොට අම්මා දුවගේ කරේ බෑග් එක එල්ලනවා. අමාරුවෙන් අත් දෙකෙන් දුවව අල්ලලා තුරුළු කරගන්නවා. දුව අම්මාගේ මූණ දෙපැත්තම ඉඹිනවා. අම්මාගේ මූනේ ඉරියව් නොපෙනෙන තරමටම විකෘති වෙලා තිබුණත් අම්මාගේ ආදරේ නම් මුණ පුරාම පේන්න තියනවා.  බස් එක නොපෙනී ගියාම තමයි එයා ආපහු යන්නේ. ඒ අම්මයි දුවයි දකින්න නොලැබුණොත් මට එදාට ලොකු අඩුවක් වගේ දැනෙනවා. මම කිසිදාක කතා බහ නොකරපු ඒ දුව ගැන මට ලොකු ආදරයක් දැනෙනවා. තමන්ගේ අම්මට උදේට වැඳලා වත් යන්න අමතක වෙන, තමන්ගේ ආරක්ෂාවට එන අම්මා කරදරයක් කියලා සලකන දුවලා අතරේ මේ දුව තියන්නේ කොයි තැනද කියලා මම කල්පනා කරනවා. අම්මාගේ ශාරීරික අඩුපාඩු නොදැනෙන අම්මාගේ සෙනෙහස විතරක් දැනෙන දුවක් ඉන්න ඒ අම්මාගේ හිත හරිම ප්‍රීතිමත් ඇති. තමන් වියපත් වුන දවසක අසරණ නොවෙන බවත් දැනෙනවා ඇති. අම්මාගෙයි දුවගෙයි මේ බැඳීම සදාකාලික බැඳිමක් වෙන්න කියලා ඒ දෙන්නා දකින හැම වෙලාවෙම මම ප්‍රාර්ථනා කරනවා.

No comments:

Post a Comment