Monday, September 7, 2015

ගඩා ගෙඩි


 

කඩෙන් පලතුරක් ගත්තා කියන එක පුදුමෙනුත් පුදුමයට කාරණයක් වෙන කාලයක් අපට තිබ්බා. දැං කාළේ ළමයි අහලාවත් නැති පලතුරු අපි කාලා තියනවා. සමහර වෙලාවට පලතුරුම නොවුනත් කෑමට ගන්න පුළුවන් ගෙඩි ජාතිත් අපි කෑවා.

අඹ කීවාම අඹ ජාති කීපයක්ම තියනවා. පරෙස්සමට කඩලා ඉදවලා කනවා කර්ත කොලොම්බන්. විලාඩ් උනත් ඉදවලා තමා කන්නේ. අමුවෙන් කන්න හොඳම අඹ තමයි රට අඹ. යන්තම් ඇතුල කහ පාටයි හොඳට පැහුණාම. අමු අඹ කපලා කනවට වැඩිය රස මිරිස් ගලේ තියලා තලලා ලුණුයි, කොච්චියි, මිරිස් කුඩුයි දාලා කනකොට. පෙට්ටි අඹත් හොඳයි අමුවෙන් කන්න . ටිකක් ඇඹුල් ගතිය වැඩියි. අඹ ඇටේ කොහු හරිය කනකොට දත් හිරි වැටෙනවා. පොල් අඹ ප්‍රමාණයෙන් ලොකු වුනාට වැඩක් නෑ දිය රහයි . ඇටඹ නම්  ඉදිලා ගහ යට වැටුනාම අහුලලා එක තැනක් හිල් කරලා බොනවා. කන්න කිසිම අඹයක් නැති වුනාම කොහු අඹත් කනවා.දත් අස්සේ ගියපු  කොහු නිවාඩුව අයින් කරගන්නවා.

අප්‍රේල් කියන්නේ කජු වාරේ. එක ගහක කජු පුහුලම් අනික් ගහට වඩා රසයෙන් පාටින් වගේම හැඩයෙනුත් වෙනස්. ගොඩක් වෙලාවට ප්‍රමාණයෙන් පොඩි පුහුලම් රසයි. හොඳටම ඉදිලා නැති පුහුලම් වල කහට ගතිය වැඩියි. ඒවට ලොකු අය කියන්නේ කැහි ගැට කියලා. කෑවොත් කැස්ස එනවාමයි. පුහුලම් රෝද වගෙ කපලා ලුණු වතුරේ දාලා ඉරටු කෑල්ලෙන් කනකොට පුදුම රහක්! කිසිම කොන්දේසියක් නැතුව කජු ගෙඩියෙන් අල්ලාගෙන පුහුලම ගහ උඩම ඉදගෙනත් කනවා. එතකොට ඇඳුමට වැටෙන කහට ඇඳුම ඉරුනත් යන්නෑ. ඒ කාලෙට කජු ගොඩවල් එකතු කරගෙන දුමේ දානවා. ඊළඟ කජු වාරේ එනකල්ම සැරෙන් සැරේ පුච්චලා කනවා.

අවුරුදු කාලෙට හැදෙන අනික් ජනප්‍රියම දේ ජම්බු. ඒවානම් මල් හැදුන දවසේ ඉඳන්ම කන්න පුළුවන්. පැණි රස ජම්බු අස්සේ කූඹි ඉන්නවා. එතකොට කරන්නේ ජම්බු ගෙඩියේ ඉස්සරහ තියන පෙති හතර පොඩ්ඩක් කඩලා පිඹින එක. එතකොට කූඹි කලබල වෙලා අයින් වෙනවා. දෙපාරක් විතර පිඹින කොට කූඹි බිත්තරත් අයින් වෙනවා. සමහර ජම්බු කන්න ලුණු තියනවා නම් හොඳයි.

වැල , වරකා උනත් ගහින් ගහට රස වෙනස්. ඝනකම් තැඹිලි පාට මදුලු පිරුණු පැණි වරකා නම් ඇත්තටම ඒ නමේ තේරුම හරියටම දෙනවා. මදුලු ලොකුයි. මදුලු ප්‍රමාණය අඩුයි. පොඩි වෙන්නේ නැතුව ගලවලා ගන්න පුළුවන්. වැල නම් ගලවලා ගද්දීම පොඩි වෙනවා. ගිලින්නත් අමාරුයි . උගුරෙන් ආපහු එනවා වගේ. ගෙදරට කොස් ගෙඩියක් ගෙනාවම බාගයක් උයලා ඉතුරු බාගේ වරකා වෙන්න තියනවා. හැබැයි ගහේ ඉදුන වරකා තමා රස. එහෙම වරකා ගෙඩියක් කඩාගෙන එද්දී  බල්ලොත් ඉව අල්ල අල්ලා පස්සෙන් එනවා.

අගෝස්තු කියන්නේ ඌෂ්ණ කාලේ. ඒ කාලෙට හැදෙන පළතුරුත් ඌෂ්ණයි. ගඩුගුඩා, රඹුටන්, කෝන්, මැංගුස් , ගල් සියඹලා ඔක්කොම ටික ඒ කාලෙට හැදෙනවා. ගල් සියඹලා අපේ ගෙවල් ලඟ කන්දේ තිබුණා. අපට හම්බවෙන්නේ අතු පිටින්. අත්ත ගහක එල්ලලා ඉදුන ඒවයි අමු ඒවයි කඩ කඩා වට්ටියක දාගන්නවා. ඊට පස්සේ දවස් දෙකක් තුනක් යනකල් කෑමට පෙර , කෑමට පසු ගල් සියඹලා තමා. ඒවගේ පොත්ත හරිම සිනිදුයි. වෙල්වට් එකක් වගේ. ඒ වගේ රෙද්දෙන් මහපු බෑග් වලට අපි කීවේ ගල් සියඹලා බෑග් කියලා.

අපේ ගෙදර ජමනාරං ගහකුයි ජම්බෝල ගස් දෙකකුයි තිබුණා. එකක් සුදු පාට ජම්බෝල අනික රතු පාට ජම්බෝල. පැඟිරි ගතිය වැඩි නිසා එළියේ ලෙල්ල අරින කෙනා ඇතුලේ සුදු පාට පුළුන් වගේ තියන ලෙල්ල අරින්නේ නෑ. එහෙම කරොත් ජම්බෝල තිත්ත රහ වෙනවා කියලා අපිට කියලා තිබුනේ. අපි ආස තව දෙයක් තිබුණා. ඒ ජම්බෝල ලෙල්ල ලිපට අල්ලලා මිරිකන එක . ඒකේ තියෙන පැඟිරි ගිනි ගන්නවා බලන්න ලස්සනයි.

පේර නම් වාරයක් අවාරයක් නැතුව අවුරුද්දට කීප සැරයක්ම හැදෙනවා. හවස් වෙලා පේර ඇට පිටින් කෑවහම බඩ රිදෙනවා කියලා අපිව බය කරලා තිබුණේ. කෙසෙල් වුනත් අපි කපාගෙන එන්නේ ගහේ ඉදුනාම. එක ඇවරියක් කොහොමත් සත්තුන්ට දෙනවා කියන අදහස ඒ කාලේ තිබුණා. ගෙදර ගේන කොට කැනේ බාගයක් විතර ඉදිලා ගෙඩි කීපයක් වවුලෝ කාලා.

මේ ප්‍රධාන පලතුරු ජාති වලින් මොනවා හරි අවුරුද්ද පුරාම කන්න තියනවනේ. ඒ වුනත් මෙලෝ රහක් නැති එරමිණියා, ඉදි, බිං පොල් (කටු පොල්), කරඹ, දමුණු, බිලිං අහක යන්න දෙන්නෑ. ඉදුන ගොරක ගහ යට වැටිලා තිබුනොත් ගෙදර ගෙනල්ලා නැට්ට අයින් කරලා එතන හැදෙන සිදුරට ලුණුයි, ගම්මිරිසුයි ඉරට්ටක ආධාරයෙන් දාලා හොඳට කලවම් කරනවා. ඊට පස්සේ උඩ බලාගෙන කටේ තියාගෙන සුරුස් ගලා ඇදලා බොනවා. සියඹලා කාලෙට ලුණුත් අරගෙන තමයි සියඹලා ගහ ළඟට යන්නේ. සීනි සියඹලා නම් ලේසියෙන්ම පොත්ත ඇරෙනවා. ඒක කාලා ඉවර වෙලා කට ඇරගෙන හිටියොත් හුළං පාරට දත් හිරි වැටෙනවා. වෙලිලා වැටෙන සියඹලා නම් එකතු කරගෙන ඇවිත් අම්මාට දුන්නම ගස් යට ඇවිදින්න ගියා කියලා බනින එකෙන් බේරෙන්න පුළුවන්. අන්තිමට සියඹලා ඇටත් බැදලා කනවා. අපේ යාළුවෝ ඉස්කෝලත්  සියඹලා ඇට ගේනවා.

මට අවුරුදු තුනක් විතර කාලේ අපේ අප්පච්චි මොකක් හරි උවමනාවකට කොළඹ ගියා. මම නින්දේ ඉද්දී අප්පච්චී ඇවිත්  මාව නැගිට්ටවලා මම කිසිදාක දැකලා නොතිබුණ දිලිසෙන රතු පාට ගෙඩියක් කපලා කන්න දුන්නා. ඒ ගෙඩිය කොච්චර රසද කියනවා නම් මගේ නිදිමත එහෙම පිටින්ම නැතිවුනා. මම මෙච්චර කල් ඒ වගේ ලස්සන පලතුරක් දැකලා තිබුණේ නෑ නේද කියලා හිතුනා. ඒ ඇපල්. හැබැයි දැන් නම් ලෙඩකට බෙහෙතක් විදිහට දුන්නත් මම ඇපල් නම් කන්නේ නෑ.

9 comments:

  1. • Upamali Gamlath Very nice dear.
    Like • Reply • 14 hrs

    Remove
    Renu Tennakoon Thanks upe.
    Like • Reply • 13 hrs

    Remove
    Dul Rathnayake very nice renu i went to my childhood ..my duty after 1.30 was that
    Like • Reply • 12 hrs

    Remove
    Dul Rathnayake what about hibutu and damba

    ReplyDelete
  2. o nice to hear. you are reading continously. To be truthful I haven't tasted that fruits. Love to eat at least to see. If damba means dan(purple colour small fruit) , I have eaten.

    ReplyDelete
  3. Chandana Thennakoon very nice story...
    Like • Reply • 1 hr
    o
    Remove
    Renu Tennakoon Thanks Rom

    ReplyDelete
  4. Katata Kelath inuwa Renu!
    Menuka Jayarathne

    ReplyDelete
  5. මට නම් ඔය සියඹලා, අඹ ගලේ තලලා කන එක මතක් වෙද්දී කටට කෙලත් උනනවා.

    ඒ වගේම මෙහෙම එකකුත් මතක් වෙනවා... එතකොට ඇඟත් එක්ක කීරි ගැහිලා යනවා.

    දැන් හිතන්න, දත් හිරි වැටෙන කල් අමු සියඹලා කාල කාල, ඒ මදිවට ඊට පස්සේ අමු අඹ කොට්ටෙකුත් දත් වලින් පහුරු ගාල සූප්පු කරනවා.

    ඊට පස්සේ අර රෝස පාට සිල්ක් රෙදි කෑල්ලක් අස්සට කිරිවනා ගල්කැට ටිකක් දාල ඒ හිරිවැටිච්ච දත් වලින් ජර ජර ගාල හැපුවොතින් කොහොම තියේවිද?

    ReplyDelete
  6. ඔයාට නම් දත් හිරි වැෙටන්න ෙහ්තුවක් නෑ. දාපු දත්ෙන් තිෙයන්ෙන්.

    ReplyDelete
  7. කාලය මැව් වෙනසක අරුමේ.

    ReplyDelete
  8. ඇත්ත තමයි. ඒක පොදු සත්‍යක්!

    ReplyDelete
  9. Your article was very useful .
    Thanks .

    ReplyDelete