Monday, September 14, 2015

වැහි වතුර


 

දැං වගේ උන් හිටි ගමන් ඒ දවස් වල වැස්ස කඩා වැටෙන්නේ නෑ. වහින කාලේ හරියටම කියන්න පුළුවන්. ඒ වගේම වහින්නේ නැති කාලෙට වහින්නේ නෑම තමා. අපි වැස්සට ලෑස්ති වෙනවා වගේම තමා පායන කාලෙටත් ලෑස්ති  වෙන්නේ.

අපට පෙබරවාරියි, අගෝස්තුයි කියන්නේ ගොඩක් පායන කාලයක්. මල් මැරිලා, ගස් මැරිලා තණ කොළ තිබුණ තැනක් වත් හොයා ගන්න බැරි තරමේ පෑවිල්ලක් සමහර මාස වල එනවා. ඒ කාලෙට අහස නිල්ම නිල් පාටයි. වළාකුලක් හොයා ගන්න බැරි තරමයි.

අප්‍රේල් මාසේ මුල  වෙනකොට වහින්න පටන් ගන්නවා. සැප්තැම්බර් මාසේත් තද වැහි. ගේට්ටු කණුවට හිටවලා තියන ලී කොටවල, පොල් ලෙලි ගොඩවල් උඩ වේයෝ බැඳලා තියනවා නම් වැස්සක් ළඟයි කියලා අත් දැකීමෙන් අපි දන්නවා. මුල්ම වැස්ස වැටෙන කොට දූවිලි සුවඳ පැතිරිලා යනවා. වැහි බින්දු වැටෙනවා විතරයි පේන්නේ. ඔක්කොම පොළවට උරනවා. මුලින්ම වැටෙන්නේ පුංචි වැස්සක්. ඒ වැහි බින්දු වැටුන පාරවල් මිදුලේ තියනවා. ඒ තැන් පාගලා බලන්නත් ආසයි. දවස් දෙක තුනක් ගියාම පැත්තම හෝදාගෙන යන්න තරම් ලොකු වැස්සක් වැටෙනවා. ඒත් වතුර ගලාගෙන යන්නේ ටිකයි. පොළාව කොච්චර වේලිලාද කියලා ඒ වෙලාවට තේරෙනවා. මුල්ම වැස්සට තෙමෙන්න දෙන්නේ නෑ. ලෙඩ හැදෙනවා කියන්නේ.

මේ විදිහට වහින්න පටන් ගත්තාම දිගටම වහිනවා. දවල්ට තද අව්ව වැටෙන කොට අපි දන්නවා හවසට වහින බව.  හවස දෙක විතර වෙනකොට වළාකුළු ඔක්කොම එකට එකතු වෙනවා. සීතල හුළං හමන්න පටන් ගන්නවා. දවල් තද අව්වේ වේලුන රෙදි, වී , පොල්, සියඹලා, ගොරක, බිලිං මේ වෙනකොට ගෙට ඇවිල්ලා තමන්ට අයිති තැන විවේක ගන්නවා.

තුන හමාර විතර වෙනකොට සට සට ගාලා වැටෙන්න පටන් ගන්නවා. ඒවා ඔලුවට වැටුනොත් අත ගාලා බලන්න හිතෙනවා ඒ වැටුනේ ගලක් ද කියලා. සීතල වතුර බින්දු වැටිලා මහ වැස්සක් හැදිලා වහලේ හෝදාගෙන පිහිලි ඉතිරිලා යනවා. වහලේ උඩ කාලාන්තරයක් එකතු වෙලා තිබුණ පරණ කොල හෝදාගෙන ඇවිල්ලා මිදුලේ ගහගෙන යනවා. අපි කරන්නේ ඒ වෙලාවට මිදුලට පැනලා නාන එක. වැහි පීල්ලෙන් වැටෙන වතුර කඳට පිට අල්ලගෙන එක දිගට ඉන්න බෑ. මිදුල වටේම දුව දුවා නානවා. වැහි වතුරේ සබන් හොඳට ගෑවෙන නිසා රෙදි හෝදගන්නත් ලේසියි. නනා ඉන්න ගමන් පිට දිගේ මොකෙක් හරි යනවා වගේ දැනෙනවා. කලබල වෙලා පිටදිගේ අතදාලා බලන කොට දිරපු කොලේක නාරටියක් පිටේ ඇලිලා තියනවා හම්බවෙනවා. වැහි වතුරට දාන්න බෝට්ටු හදන්න ඉස්කෝලේ පොත්වල මැද පිටුව තමයි කඩලා ගන්නේ. ඈතට ගහගෙන නොයා මිදුලේම හිට්ටාම පහුවදා අම්මා මිදුල අතු ගාන කොට දකිනවා. එතකොට වැහි නැතුවම ගෙරවිලි ඇති වෙනවා.

නාලා සීතලේ වේවල වෙව්ලා උණු තේ එකක් බීලා අත් දිග ඇඳුමක් ඇඳගෙන ඉවරයක් නැති වැස්ස දිහා බලාගෙන ඉන්නවා. මෙච්චර දවස් තිබුණ රස්නෙට මොනවා වුනාද කියලා මතක නෑ.

රෑට ගෙම්බෝ කෑ ගහන සද්දෙයි, ගුල් වලට වතුර පිරිලා අවතැන් වුන කක්කුට්ටෝ කෑ ගහන සද්දෙයි අහගෙන ඔලුවේ ඉඳන් පොරවන රෙද්ද ඔතාගෙන නින්දට වැටෙන කොට දැනෙන සනීපය..................

1 comment:

  1. • Upamali Gamlath Nice
    Like • Reply • 19 hrs

    Remove
    Malkanthi Jayarathne Atheethayata duwagena giya wage danuna. Thanks renu....

    ReplyDelete