Tuesday, September 22, 2015

සෙල්ලං


 

වැඩි පුර සෙල්ලං බඩු නැති වුනත් අපි පරිසරයෙන් හොයා ගත්ත දේවල් වලින් අමතක නොවෙන විදිහේ සෙල්ලම් කළා.

පුවක් කොළපත් පදින එක ප්‍රධානම වැඩක්. ටිකක් ඉඩ තියන කොලපොතක් අරගෙන ඒකේ කොළ ටික සුද්ද කරලා හැන්ඩ්ල් එක හදා ගන්නවා. කොලපොතේ ඉඳගන්න කෙනා කකුල් දෙක දනිස්සෙන් නමලා යටි පතුල් දෙක කොලපතට තද කරගෙන හැන්ඩ්ල් එක තදින් අල්ලා ගන්න ඕන. ඩබල් දාලා යනවා නම් පිටිපස්සේ ඉඳගන්න එක්කනා අනිත් කෙනාගේ බඩෙන් තද කරලා අල්ලා ගන්න ඕනෑ. කොලපොත ඇදගෙන යන කෙනා ඇති වීරිය දාලා ඇදගෙන දුවනවා. කන්දෙන් පල්ලෙහාට නම් ලේසියි. කොලපොතේ අහාට මෙහාට නොවී ඉන්න තාක් හරි. නැත්තං කොලපොතේ යටට වෙන දේම අපටත් වෙනවා. කොලපත් පදිද්දී පුංචි ගලක් හරි කුරුම්බැට්ටියක් හරි උඩින් ගියාම කොහොමද කියලා මේ සෙල්ලම කරපු අය දන්නවා.

පොල් කටු දෙකක් අරගෙන ඒකට ලණුවක් දාලා පොල් කටු දෙකේ කකුල් දෙක තියාගෙන ඇවිදිනවාට කියන්නේ අස්ස ගුඩුං කියලා. අපි නම් මහා අස්ස ගුඩුං ධාවන තරඟ තියනවා. පොඩි කාලේ ඒක ලේසි වුනාට ඇඟ සමබර කරගෙන දුවනවා කියන එක දැං නම් අමාරු දෙයක් වගේ පේන්නේ. මේක දැං එක වසරේ කරන පරිසරය පාඩමක්.

ඔංචිල්ලා පැදිල්ල නම් කොයි කා අතරත් ජනප්‍රියයි. ගහක අත්තකට ලනුවක් දාලා ගැට ගහලා පොල් පිත්තේ ඔලුව තියන පැත්තෙන් අඩියක විතර කෑල්ලක් කඩලා මැදට දානවා. ඕන නම් දෙපැත්තේ පුංචි කට්ට දෙකක් දානවා ලණුවට හිර වෙන්න. එහෙම නොකරොත් පැද පැද ඉන්න  වෙලාවක පොල් පිත්ත පැනලා අපේ පශ්චාත් භාගය අහු වෙනවා. ඔංචිල්ලාවේ උඩ ගිහිල්ලා බිමට එනකොට එක තැනක දී බඩ සීතල වෙලා යනවා. මට නම් ඒක දැනුත් කඳු පල්ලම් තියෙන පාරක හයියෙන් යද්දී දැනෙනවා.

තව වැඩක් තියනවා. පුහු පොල් ගෙඩියක් සමතලා පොළවේ තියලා කීප දෙනෙක් එකතු වෙලා ඒක කකුල් වලින් තද කරගෙන අත් අල්ලා ගෙන කැර කැවෙන එක. හැමෝම එක වේගෙට සමබරව කැරකෙන තාක් කල් ලොකු රවුමක් කැරකෙන්න පුළුවන්. කාගෙන් හරි ඒ වේගය නැති වුනොත් කැරකෙන එක නතර වෙනවා. අළුත් සංකල්පත් එක්ක මේ සිද්ධිය ඕන නම් කෙනෙකුට විග්‍රහ කරන්න පුළුවන් මානසික සමබරතාව ගිලිහී යාම නැත්නං කණ්ඩායම් හැඟීම ගිලිහී යාම වගේ විදිහකට.

අළුතින් ගෙයක් හදන්න වගේ දේකට පොල් ගස් කපපු දවසට අපි කරන්නේ ගොක් කොළ වලින් පත්තෑයෝ , නයි , ගිරවු හදන එක. එහෙම සත්තු හදන්නේ පොල් කොළ වලින්ම හදපු කණ්ණාඩියි , අත් ඔරලෝසුයි දාගෙන. ටිකක් වෙලා යනකොට කණ්ණාඩි දෙකේ ඉරට දෙක ගැලවෙනවා. ඕන තරම් පොල් කොළ තියන නිසා සතියක් විතර යනකල් එක එක හැඩයේ කණ්ණාඩි අපි දානවා.

පැපොල් බට වලින් නලා හදන්න පුළුවන්. පැපොල් බටයක් අරගෙන පුංචි රවුමක් ඉතුරු වෙන විදිහට කොලේ කඩලා දානවා. මැදින් පොඩි පැල්මක් දාලා ඇතුලට පොඩි පොල් කොළ කෑල්ලක් හිර කරනවා. බටේ අනික් පැත්තෙන් තදට පිඹින කොට හොරණෑවක් පිඹිනවා වගේම දැනෙනවා. ගන්සූරිය ගස් වල කොලයක් අරගෙන නැට්ට කඩනවා. ඊට පස්සේ කොලේ නැට්ට වටේ සුරුට්ටුවක් වගේ ඔතනවා. අන්තිමට නැට්ට හිමිහිට එළියට අරන් රෝල් වුන කොලේ අග අතින් තද කරලා කට පුංචි කරනවා. ඒ නලා වල හැඩේ අනුව සද්දේ වෙනස් වෙනවා.

සෙල්ලං ගෙවල් වලට නෑයෝ යනකොට මඤ්ඤොක්කා නැටි වලින් මාල හදාගෙන දාගෙන යනවා. ටිකක් මෝරපු මඤ්ඤොක්කා කොළය නැට්ට පිටින් කඩලා අරන් පුංචි පුංචි කෑලි වලට කඩනවා වෙන් වෙන්නේ නැති වෙන්න. රවුමක හැඩයට පුංචි ඉරට කෑල්ලකින් අග මුල සම්බන්ධ කරනවා. කොලේ පුංචි රවුමක් වගේ ඉතුරු කරලා කඩනවා. ඒක තමා පෙන්ඩන්ට් එක. මෝරපු මඤ්ඤොක්කා කෝටුවක් අරගෙන අඩියක් විතර කෑල්ලක් කඩලා පුංචි කෝටු කෑල්ලක් ඒකේ ඇතුලට යවලා සුදු පාට බඩය එලියට ගන්නවා. ඒක පාට ගාලා කෑලි වලට කඩලා මාල හදනවා. කරාඹු වලට පැෂන් පෘට් වැලේ පහුරු අරන් එල්ලා ගන්නවා.

කොල්ලෝ කැමති සෙල්ලමක් තියනවා. මොකක් හරි රෝදෙක  රිම් එකක් අරන් පොඩි පොල් පිති කෑල්ලක ඇනයක් ගහලා ගම වටේම දක්කාගෙන යන එක. පස්සේ කාලෙක කාරෙකක අයිති කාරයෙක් වුනත් ඒ තරම් ආඩම්බරයක් දැනෙන්නේ නැතුව ඇති.

රබර් ඇට වලින් රූනෝ හදන එකත් හරි විනෝදයක්. රබර් ඇටේ උඩයි යටයි පැත්තෙනුයි හිල් තුනක් විදලා ඇතුලේ මදේ අයින් කරනවා. ඒක මහා අමාරු වැඩක්. සමහර වෙලාවට කූඹි ගුලක තිබ්බාම පහුවදා උදේ වෙනකොට සුද්ද වෙලා. ඉරටයක තංගුස් නූලක් බැඳලා ඇතුලට දාලා මැද සිදුරෙන් නූල එලියට ගන්නවා. ඒක තමා එපාම කරපු වැඩේ. දවස් බාගයක් විතර යනවා ඒකටම. නූලේ අග පුංචි ඉරට කෑල්ලක් බඳිනවා අතෑරෙනවාට. ඉරට්ටේ උඩට ලී පෙත්තක් හයි කරාම රූනා හදලා ඉවරයි. නූල ඇදලා අතෑරියාම පෙත්ත කැරකෙනවා.

ගෙදරින් එළියටවත් බහින්න අවසර නැති ළමයි කුරුම්බැට්ටි මැෂින් හදාගෙන ඇතුලට කොලයක් දාලා මහලා බෝනික්කන්ට ඇඳුම් මහනවා. ඒකත් ඉතිං සෙල්ලමක් තමා. නැත්තං කොස් කොළ තොප්පි හදනවා.

අන්තිමට බලපුවාම අපි සෙල්ලං කරලා තියෙන්නේ අපේ වටේ පිටේ තියන දේවල් වලින්. කඩෙන් ගෙනාපු සෙල්ලම් බඩු කියලා මට මතක තියෙන්නේ දුම් දාගෙන දුවපු බෝට්ටුවකුයි වතුර දාලා පිඹින කොට විසිල් එකක් ගහලා වතුර විදපු කුරුල්ලෙකුයි විතරයි.

චීනෙන් ගෙනාව සෙල්ලම් බඩු කඩවල් වල පිරිලා තියෙන කොට නම් හිතෙනවා ඉස්කෝලේ සිලබස් එකට හරි දාලා අපි ඉස්සර හදපු සෙල්ලම් බඩු හදන්න උගන්වන එක හොඳයි කියලා.

2 comments:

  1. o Menuka Jayaratne Thanks Renu for the memory renewal... I sometimes try to show my kids what we had played! but their interest only last for max 5 minutes...But paper planes and boats still keep up their interest
    Like • Reply • 16 hrs

    ReplyDelete
  2. your kids can be excused, as they have brought up in Aus. What about mine. They pay their attention on these things when it is comes under the school syllabus

    ReplyDelete