Sunday, April 23, 2017

දාං




“එකයි ... දෙකයි... තුනයි.. දැං දාං පටවහංකෝ...... පියදාස අනික් පැත්තේ ඉත්තෝ තුන් දෙනෙක් කපාගෙන දාං ගියා. ඕනෑවට එපාවට සෙල්ලමේ ඉතුරු ටික කරලා පියදාසට දිනුම දීලා ටෙනිසන් නැගිටලා ගියා.

ඇල් මැරිච්ච කහට කෝප්පේ එක උගුරට බීල දාන ගමන් පියදාස කල්පනා කලේ කවදාකවත් නැතුව  ටෙනිසන් අද පැරදුණේ කොහොමද කියලා. තේ එකේ සීනි අඩු බව දැනුනත් දිනපු එකේ සංතෝසෙට ඒ කහට ගතිය මැකිලා ගියා. කොහොමත් බේබි නෝනා තේ හදද්දි සීනි දාන්නේ පිරි මහලා.

“ ටෙනී අය්යා... අදිමුද තව අතක්?  පියදාස තමන්ගේ උද්යෝගේ මැකෙන්න කලින් ඇහුවා.

“අල්ලලා දාපං....... මට මේ බංකු රත් කර කර ඉන්න වෙන වැඩක් නෑනේ......ටෙනිසන් ඇල්මැරුණු උත්තරයක් දෙන ගමන් වීදුරු කබඩ් එක ඇරලා උදේ ඉතුරු වුන කිඹුලා බනිස් ගෙඩි පහයි , පාං ගෙඩියයි එලියට අරං බිම තිබුන බට පොතු කූඩෙට අතෑරියා. හවස බේකරියෙන් බාන පාන් බනිස් ගෙඩි පරණ ඒවට කලවම් කරන්න එපා කියලයි බේබි නෝනා කියන්නේ.

ටෙනිසන් දැං බේබි නෝනා කැන්දගෙන ඇවිත් මාස හයක් විතර. අම්මා කියන විදිහට නම් ටෙනිසන්ට සම්මජ්ජාතියේ හිතන්න බැරිතරං හොද බාරියාවක් ලැබුණේ. කොහොමත් අම්මා කැමතිනේ අරපිරිමහලා වැඩකරන අයට. ඒත් ටෙනිසන්ගේ තාත්තා කියන්නේ ඒකට කුණුකම් කරනවා කියලා.  නැන්දම්මගෙයි ලේලිගෙයි කේන්දර  හොඳට ගැලපෙන නිසා දෙන්නා තකට තක.

බේබි නෝනා කැන්දගෙන එනකොට ටෙනිසන්ලාගේ බේකරිය බොහොම සුළුවට තමා දිව්වේ. දෙපැත්තම කරවෙච්ච පාං ඇරුණ කොට වෙන කිසිම දෙයක් හැදුවේ නෑ. ටෙනිසනුයි තාත්තයි තමා කඩේ කරේ. තේ වතුර බොන්න වතුවල මිනිස්සුන්ට වෙන තැනක් තිබුණෙත් නැති නිසා වෙළදාම නරක නෑ. ඒත් අවුරුදු ගානක්ම එකම විදහ තමා කඩෙයි බේකරියයි. ටෙනිසන්ගේ අම්මා එමා නෝනා ඉඳලා හිටලා හැලප , තලගුලි එහෙම හදලා දාන නිසා වාසියක් තිබුණා මිසක ටෙනිසනුයි තාත්තයි නම් උදේ ඉඳන් බොයිලේරුව රත්කර ගෙන තේ හදලා දීලා ඒ එන මිනිස්සුත් එක්ක දාං අදින එකයි කයිවාරු ගහන එකයි විතරයි. දවල් කෑම අරගෙන එමා නෝනා ආවහම තමා කට්ටිය ටිකක් පිළිවෙල වෙන්නේ. උදේ ඉඳං කාපු කෙසෙල් වල ලෙලි තැන් තැන් වල. බෝතල් ඇරලා දාපු ගමං. ණය තුන්ඩු මේසේ වීදුරුව යට. තේ වීදුරු වල කූඹි පිරිලා. එමා නෝනා ඉන්න වෙලාවට තාත්තයි පුතයි දෙන්නම කඩිසරයි. ඒ වෙලාවට ඔය බංකු රත් කරන ගමන් ණයට බීඩියක් බොන්න, පොතට දාලා විස්කිරිඤ්ඤයක් කාලා තේ එකක් බීලා යන්න කවුරුවත් එන්නේ නෑ.

එමා නෝනට යකා වැහෙන්නේ හවසට ගණං බලන වෙලාවට. ලාච්චුව හිස්. ඒකට මොකද රුපියල් දෙක තුන ලියාපු ණය තුන්ඩු ඕන හැටියේ. රාක්ක වල සබන් කැටත් ඉවරයි ඒත් සල්ලි තමා එකතු වෙන්නේ නැත්තේ.

කඩ කෙරුවාව කරන්න තාත්තටයි පුතාටයි දුන්නොත් කිසි වගතුවක් නෑ කියන එක උදේ හවා කටපාඩං කරකර හිටපු එමා  නෝනාට කපු මහත්තයා කියාපු පණිවිඩේ ගැන හිත ගියා. ටෙනිසන් එකම දරුවා නිසා ගෙදරයි කඩෙයි බේකරියයි එයාටනේ. පණිවිඩේ විදිහට මනමාලිට ඉන්නේ අයියලා දෙන්නෙක්. දෑවැද්දකුයි ගොඩ ඉඩම් අක්කර දෙකකුයි ඇරුණාම මනමාලි අටේ පන්තියට යනකල් ඉගන ගෙනත් තියනවා. එමා නෝනගේ වදේට මනමාලි බලන්න ටෙනිසන් ඇදගෙන ගියාට බේබි නෝනා දැක්ක වෙලාවේ ඉඳලා ටෙනියට මගුල් විසේ ගැහුවා. මාස තුනක් යන්න කලින් මගුලක් අරගෙන කැන්දගෙනත් ආවා.  ඉස්කෝලේ දෙවනි පන්තියෙන් එහාට ගියේ නැතුවට ටෙනිසන් කකුල් දෙකටම කලිසන් අඳින නිසාත් හොද පෙනුමට හිටිය නිසාත් බේබි නෝනා කැමති වුනා.

ඒත් ඉතිං දීග ඇවිත් සතියක් දෙකක් යනකොට තමා දැනුනේ අම්මා දෙන දෙයක් කාලා බීලා ඉන්න හදනවා මිසක් දියුණුවක් වෙන්න මෙලෝ උවමනාවක් ඇති මිනිහෙක් නෙවේය කියලා. බේබි නෝනගේ අයියලාටත්  තියනවා බේකරි, කඩ . ඒ බේකරියි මෙහේ බේකරියයි දැක්කම බේබි නෝනට මේක අම්බලමක් වගේ . ටිකක් කල් යල් බලලා  ටෙනිසන්ගෙන් ඇහුවා බේකරිය ටිකක් සාරෙට කරමුද කියලා

“ඕන් නැං.. ඔය අමුතු දේවල් කරන්න ගිහිං අම්මගෙයි තාත්තගෙයි හිත රිදෙයිකියලා ටෙනිසන් ගත් කටටම කීවේ.

එමා නෝනා ටික ටික පුරුදු වුනා බේබි නෝනා අතේ දවල් කෑම එක යවලා හවසට විතරයක් බේකරියට ගොඩ වදින්නට. බේබි නෝනට බේකරියේ වැඩ පිළිවෙල අල්ලන්නෙම නෑ. බේකරියේ වැඩට හිටිය පියදාස සිහියේ තියෙන්නේ දාං ඇදිල්ල මිසක පාං පිච්චිල්ල නෙවේ . සමහර දාට පාං අමු. සමහර දාට කර දැවිලා ගිහින්.බලං ඉඳලා බැරිම තැන බේබි නෝනා ටෙනිසන් ඉන්න තැනම පියදාස මේ කාරණේ ටිකක් තදට කීවා. ඊට පස්සේ දවස් දෙක තුනක් යනකල් පාං ටික හොඳ තත්වේ තිබුණා. ඒත් ටික දවසයි. කොහොමත් ටෙනිසනුයි තාත්තයි කැමති නෑ නැන්දම්මලා ලේලිලා බේකරියට ගොඩ වෙනවට. ආපු වෙලාවේ ඉඳලා කරච්චලේ. තේ කොළ ටින් එක වහලා තියන්නලු, එක සැරේ තේ ටිකක් හදලා බෝතලේකට දාලා තියාගන්නලු, සීනි හැන්ද තේ ජෝගුවට ඔබන්න එපාලු, තේ බොන කෝප්ප ටික උණු වතුර බාජනේක දාලා හැම සැරේකම හෝදලා ගන්නලු ඔය වගේ විකාර කතා ඉවරයක් නෑ.

හවස් අතේ හතර දෙනාම කඩේ ලාබ පාඩු බල බලා ඉන්න වෙලාවක බේබි නෝනා ඇහුවා එයාට දෑවැද්දට හම්බ වුන සල්ලි ටිකක් දාලා බේකරියයි කඩෙයි ටිකක් ලොකු කරමුද කියලා. එමා නෝනාට ඉසේ මලක් පිපුණ ගානයි. පිරිමි දෙන්නා නම් ඇල්මැරුණ විදිහට කීවා මේ තියන විදිහට කරාම මොනවා වෙනවද කියලා. ඒත් එමා නෝනගේ කටේ සද්දෙට දෙන්නම බය වෙලා බේබි නෝනට ඉඩ දුන්නා.

එමා නෝනා ගෙදර වැඩ ටික සම්පූර්ණයෙන්ම තමන්ගේ කරට අරං බේබි නෝනට බේකරියේ වැඩ ටික බලා ගන්න ඉඩ හදලා දුන්නා. අත්දෙක පුරවගෙන බලාගෙන ඉන්න තමන්ගේ  පුතාට ලැබුණ ලේලිගේ උත්සාහයට බේකරිය අලුතින් ඉපදුනා වගේ නේද කියලා එයාට හිතුණා. බේකරියේ කෑම ජාති දහයක් විතර හැදෙනවා. වෙළඳාමත් ඒ වගේම තමයි. කඩේ වුනත් වෙනදා වගේ රාක්ක වේලි වේලි නෑ . බඩුපිරිලා. ටෙනිසන් ආඩපාලි කිය කියා සතියකට සැරයක් රත්නපුරේ ගිහින් බඩු අරං එනවා. එමා නෝනට සංතෝසම කාරණේ තමා අරහේ මෙහේ ණය තුණ්ඩු තියන්නේ නැතුව ඒවා පොතක ලියලා තියන එක. කොහොමත් බේබි නෝනට ගණං හිළව් හදන්න පුළුවන්.

ණය කාරයන්ට ඕනවට වඩා ණය දෙන්න බෑ කිව්වම කීප දෙනෙක් කඩේට නෑවිත් ඇරියා. ඒකට ටෙනිසන්ගේ තාත්තා බේබි නෝනට තදින් දොස් කීවා.

“ අපොයි තමන්ගේ කට්ටියට සලකාගන්න තියන අමාරුව.. ඕං දුවේ ඔය කට්ටියට කඩේ පස්පාගන්න අරින්න එපා...... එමා නෝනා ඒ විදිහට ගත්තේ බේබි නෝනගේ පැත්ත. තාත්තගෙ නෑදෑයෝ කඩේ කාබාසිනියා කරාපු ඉතිහාසය එදා කවුරු කවුරුත් දැන කියා ගත්තා.

පියදාසට අමතරව තව ගෝලයෝ දෙන්නෙක් බේකරියේ වැඩ. ඒ දෙන්නා බේබි නෝනගේ නෑදෑයෝ. ඒ හින්දා පියදාසටත් හොරට වැඩ කරන්න බෑ. එහෙම වුනොත් තමුන්ගේ රස්සාව නැතිවෙන එක ඉස්තිරයි. ඒත් බේබි නෝනා හැමෝටම හොඳ පඩි ගෙවුවා. බේකරිය දවසින් දවස ඉහල ගියාට, ටෙනිසන්ගේ හිතේ සතුට නං හැම වෙලේම පල්ලෙහාට ගියා.

අද දාං අත පැරදුනෙත් ඒකයි.

බේබි නෝනා තමුන්ට ඕනෑ විදිහට වැඩ කරන්න දෙන්නේ නැති බව අම්මට කීවත් වැඩක් වුනේ නෑ

“මොකද්ද පුතේ තමුන්ට ඕනෑ විදිහ.. අර ඉස්සර වගේ කරදැවිච්ච පාං විකුණලා උදේ හවා බංකු රත්කරන කඩ රස්සාවද? අතේ පිච්චියක් නෑ ඒ දවස්වල.... දැං බලපංකෝ   අම්මා එහෙම ඇහුවා

“ එමා නෝනෝ.......... මේකා පිරිමියෙක්. මොන පිරිමියා ද කැමති තමුන්ගේ ගෑණි හැම තිස්සෙම ඕඩර් දිදී ඉන්නවට? තාත්තා ඇහුවේ එහෙම‍

“ අනේ පුතේ ඔය මහලොකු පිරිමකම ඉස්සරහට දාලා කතා කරපංකෝ තමුන්ගෙන් ණය අරං වෙන කඩවලට රිංගන එවුන්ට. ගණං හදලා බලපං අපිට කොච්චර අලාබ කොරලාද කියලා. අන්තිම පාර බඩු දැම්මේ මගේ කණ කර උගස් කරලා. අර කෙල්ල අපේ පවුලට නොඑන්න මෙලහට අපිට බේකරියේ බිත්ති හතර විතරයි...... එමා නෝනා කඩ හඩ උස් කරා.

අම්මා මොනවා කීවත් බේබි නෝනා කඩ කෙරුවාවෙදි කැපිලා පේන එක ටෙනිසන්ට ඉසරදයක්. ඕන එකක් කරගන්න කියලා ගෙදරට වෙලා ඉන්න හිතුනත් පාං ගෙනියන්න එක එක එකාලා නිසා බේබි නෝනා තනියෙන් තියන්නත් බයයි. තාත්තා කියන විදිහට නැන්දම්මයි ලේලියි ගෙදර වැඩ බලාගත්තා නම් ඒ දෙන්නට ගමේ හෑල්ලක් කියාගෙන ඉස්සර වගේ කඩේට වෙලා ඉන්න තිබුණා.  ටෙනිසන්ගේ හිත වැඩිපුරම නරක් වුනේ ගස් කපන වැඩේට ගිහින්. බේකරියට දර මදි වෙලා ගස් ටිකක් හොයා ගන්න ඕනෑ වුනා.

“ අර තේක්ක ගස් ටික කපලා ගත්තොත් නරක ද ළමයෝ ? “ තාත්තා ඇදලා පැදලා ඇහුවේ බේබි නෝනා ගෙන්. දෑවැද්දට හම්බවුන ඉඩමේ තේක්ක ගස් ගැන ඇහැ ගහගෙනමයි තාත්තා හිටියේ. ටෙනිසනුත් එක පයින්ම කැමති වුනා නැත්තං ගස් ගොයන එකත් තමංගේ පිට වැටෙන නිසා.

“ ඒවා කපලා බෑ තාත්තේ. තව අවුරුදු දෙකක් විතර ගියාම හොද ගානකට දුන්නෑකි. ඇරත් මේ දරට ඒ තේක්ක ගස්? ඔය පරණ රබර් ගස් ටිකක් හොයාගන්න බලමුබේබි නෝනා  ගත් කටටම කීවේ නුරුස්සන විදිහට.

“ඇයි ඕවා ගෙනාවේ පරෙස්මට තියන්නද?  ටෙනිසන්ගේ නුහුරු කතාවට එමා නෝනට කේන්තිය ඉහලුම් නෑ.

“ඔව් ඔව් තාත්තලා පුතාලා කරේ ඕකම තමා. වටේ තියන ගස් ටික කප කපා වික්කා. දැං අත තියපල්ලකෝ මේ කෙල්ල ගෙනාපුවාටත්’’

“ මොනවද ගෙනාවේ....... අපිට තඹ සතයක් ලැබුණායැ අතට.... තාත්තා දුන්නා ටෙනිසන්ට සහයෝගෙට උත්තරයක්

තාත්තටයි පුතාටයි අතට සල්ලි ඕනෑ වෙන්නේ එදා දවස ගෙවා ගන්න විතරක් නිසා ඒ කියන කතා වලට වැඩ කරන්න එපා කියලා එමා නෝනා ලේලිට කීවා.

එදා ඒ කතාව නැවතුනාට තාත්තගේ හිතේ කහට ඇරුණේ නෑ. ටෙනිසන්ටත් එහෙම තමා. ඒත් එමා නෝනා ඉතසිතින්ම ලේලිගේ පැත්තේ හින්දා ගෙදර ගැටුමකට ඉඩ ලැබුණේ නෑ.

ඒකටත් ටෙනිසන්ට ආවා දවසක්.

රත්නපුරේ ගිහින් එමා නෝනා තමුන්ගේ සල්ලි වලට වීදුරු කබඩ් එකක් අරං ලොරි බාගෙක දාගෙන බේකරියට අරං ආවා.  බේකරියට තිබුණ ලොකුම අඩුපාඩුවක්  සම්පූර්ණ වුන එකට බේබි නෝනට සතුටුයි.

හවස ඇඟපත රත්කරගෙ ආව ටෙනිසන්ගේ තාත්තා එමා නෝනා එක්ක කටගහගෙන ආවා තමුන්ගේ සහෝදරයට සල්ලි උවමනාවක් වෙලා තියෙද්දිත් වීදුරු කබඩ් එකක් උස්සගෙන ආවා මිසක තමන්ට එක රුපියල් සීයක් නුදුන්න එකට. ඒ වෙලාවේ එමා නෝනාටත් කට උත්තර නැති වුනා. හැම වෙලාවෙම තමන්ට පිහිට වෙන නැන්දම්මා බේරාගන්න බේබි නෝනා කීවා ඒකට බාගයක් සල්ලි දුන්නේ තමන් කියලා.

ටෙනිසන්ගේ වාරේ ආවා.

තමන්ට සීට්ටුවට බඳින්න සල්ලි නුදුන්න ගෑනි වීදුරු කබඩ් එකට සල්ලි දුන්නේ මොන කුණු පෙරේත කමකටද කියලා ටෙනිසන් අඩි පොළවේ ගහලා ඇහුවා. බේබි නෝනා කැන්දගෙන ආව දවසේ ඉඳලා වෙච්ච අඩු පාඩු , ටෙනිසන් එකින් එක කීවා.

දෑවැද්ද දෙනවා කියලා තමන්ව රවටලා එමා නෝනා කරේ ගහපු විදිහත්, දෑවැද්ද දෙනවා කියලා ඒ විදිහටම තමන්ගේ පුතාගේ කරේ බේබි නෝනා ගහපු විදිහත් ටෙනිසන්ගේ තාත්තා අපූරුවට විග්‍රහ කළා.

මෙච්චර කුණු කන්දල් ගොඩක් එකතු කරගෙන තමන් පවුල් කෑවා නේද කියලා බේබි නෝනට වගේම එමා නෝනටත් හිතුණා. ඔක්කොට වඩා අන්තිමට ටෙනිසන් කියපු දේට බේබි නෝනාගේ හිත දෙදරුවා.

“ බේකරියක් දමාගෙන අපේ එවුන් ටික ඔක්කොම එතනින් එලවලා තමුන්ගේ කට්ටිය මෙතන පුරවා ගත්තට හිතන්න එපා අපේ අම්මා රවට්වගෙන ඕක තමුන්ගේ නමට ලියා ගන්නා.. කපටි හෙර...  බඩු දුන්න තරමක් දුන්නේ අය්යලාගේ කඩවලට.... මොකෑ ඒවගේ ගණං හිලව් අපිට පෙන්නුවද? ගෙනාපු දෑවැද්දක් නෙවේ. අපේ දේවල්නේ එහාට ඇද්දේ

මේ කතාව අමතක කරන්න මුළු රෑම බේබි නෝනා උත්සාහ කළත් හරි ගියේ නෑ. ආපහු ටෙනිසන් එක්ක පෑහෙන්න හිතකුත් නෑ. බේකරියට ගිහින් ගෝලයෙක් අතේ පණිවිඩක් ඇරියා අය්යාට ගෙදර ගිහින් එන්න ලොරිය එවන්න කියලා. තමුන්ගේ රෙදි ටිකක් බෑග් එකකට නවලා දාගන්න ගමන් එමා නෝනට කීවේ ටික දවසකට ගෙදර ගිහින් එන්නං කියලා මිසක් ආය එන්නෑ කියලා නෙවේ.

පහුවදා පුරුදු විදිහට ටෙනිසනුයි තාත්තයි බේකරිය ඇරියා. වෙනදා වගේ එළියක් නැති පාටයි. බේකරියේ පුච්චන පාන් බනිස් වීදුරු අල්මාරියේ පෙනෙන්න නැති නිසා කට්ටිය ඒ ගැන විපරම් කළා. ටෙනිසන්ගේ තාත්තට ඉවරයක් නෑ උත්තර බැඳලා.

“නැන්දම්මලා ලේලිලා කෙහෙවලු පටලගෙන ඔය දමා ගහලා ගෙදර ගියේ. දන්නැද්ද.......... ගෑණු දෙන්නෙකුට එකට ඉන්න බෑ කියනවනේ.........

එකයි , දෙකයි , තුනයි දැං පටවහං දාං....... පියදාස පරාද කරපු ටෙනිසන්ගේ හිතේ සතුට උතුරනවා.




Friday, March 24, 2017

හුණු කූරු


අලුත් ඉස්කෝලේ නෝනාගේ සාරියේ වාටිය පුරාම තුත්තිරි ඇනිලා. නම් පොත ළකුණු කරන ගමන් හීන් සීරුවේ වාටිය දිගේ අත යවමින් ඒවා ගලවනවා. පාර දිගේ ආවා නම් තුත්තිරි ඇනෙන්නේ නෑ නෙව. ඒ වුනත් ඒ පාරෙන් එන්න ගියොත් ඉස්කෝලේ බෙල් එක ගහලා තියෙයි. කොහොමත් ළමයි ටිකක් මේ දවස්වල ඉස්කෝලේ එනවා හොරයි. ගොයම් කැපිලි ඉවර වුනාම කට්ටිය  ටිකක් වැඩියි. එතකොට ළමයි ලවා පිට්ටනිය සුද්ද කරනවා කියලා ප්‍රින්සිපල් මහත්තයා කීවා. එහෙම වුනාම ඔය සාරියේ තුත්තිරි ඇනෙන එකත් නවතීවි. මේ ගිනිකූටක අව්වට ඉක්මනට තුත්තිරි ගස් වල මල් පිපිරිලා යනවා.

පන්තියේ ළමයි දෙතුන් දෙනා අතරේ සුමනරත්න වරද්දන්නේම නැතුව ඉස්කෝලේ එන කෙනෙක්. ඒ හින්දම ඉගන ගන්න වැඩත් අනික් අයට වඩා හොඳයි. කොහෙම උනත් අලුත් ඉස්කෝලේ නෝනා ළමයි කවුරුහරි ඉස්කෝලේ නාවොත් පහුවදාට ඒ වැඩ ටික කියා දෙන්න  බලනවා මිසක් වෙන අය වගේ පිට හරහට තලන්නේ නෑ. නෝනගේ ඉගැන්නිල්ලත් ටිකක් වෙනස්. පත්වීමේ නම් තියෙන්නේ විද්‍යා විෂයය කියලලු. ඒත් එහෙම පංගු පේරුවක් නෑ. කොයි දේත් උගන්නනවා.

“ මේ මිසුත් වැඩි දවසක් නොඉඳ මෙහෙන් යයිද මන්දා? ලොකු ඉස්කෝලේ මහත්තයා අළුත් ඉස්කෝලේ නෝනා පිළිගැනීමේ රැස්වීම ඉවර වෙච්ච හැටියේම ඇහුවා. ඒ වෙලාවේ සුමනෙලාත් රවුම ගැහිලා ඉස්කෝලේ නෝනාගේ රෝස මලක් වගේ මූණ දිහා බලාගෙන හිටියා.

“ කොහොමත් අවුරුදු හතරක් ඉන්නම වෙනවනේ සර් . අනික මේ මගේ පළාතෙම ඉස්කෝලයක්නේ

එහෙම කියලා ඉස්කෝලේ නෝනා සිරි සිරි ගාලා හිනා වුනා. ඒකට මොකටද මෙච්චර හිනා යන්නේ කියලා අනික් කට්ටිය බලාගෙන ඉද්දී එයා ඒක පැහැදිළි කළා.

“අපේ බාප්පා කෙනෙක් ඉන්නවා අමාත්‍යාංශෙ. මම පත්වීම දෙන්න කලින් කතා කරලා කීවා මට පිට පළාතකට නම් යන්න බෑ. ළඟ තැනකට පත්වීම හදලා දෙන්න කියලා. මම ඉතිං කීවේ රත්නපුරේ අවට මට ගෙදර ඉඳන් යන්න තැනත්. හොක් හොක් ගාලා හිනාවෙලා කීවා ඔන්න පළාතෙම තැනකට දැම්මා කියලා. බලනකොට ඇඹිලිපිටියට දීලා තියෙන්නේ. වරදකුත් නෑ. කීව විදිහටම පළාත ඇතුලෙනේ

“ ආන්න මිස් නෑදෑකම් වල වටිනාකම......

වීරසේකර මහත්තයා එහෙම කියාගෙන ළමයිට පන්තිවලට යන්න බෙල් එක ගැහුවා. කොහෙමත් එදා ඉතිං වෙන වැඩක් නෑ ඉස්කෝලේ . කෙටි තාප්ප වලින් එල්ලි එල්ලී අළුත් ඉස්කෝලේ නෝනගේ හැඩ බැලුවා හැමෝම. නියපොතු ටික රෝස පාටට තියන එක තමා පුදුමේ. ඒත් මෙහේ කුණු දූවිල්ලට වැඩි කල් නොයවා ඒවා අවපාට වෙයි. සුමනෙට එහෙම හිතුණා.

එදා ඉස්කෝලේ ඇරිලා ඉස්කෝලේ නෝනා ළමයි එක්ක එක පෙළට ඇවිද ගෙන ගියා ග්‍රාම සේවක මහත්තයාගේ ගෙදරට. එහේ තමා නැවතිලා ඉන්න ලෑස්ති කරගෙන තිබුණෙ. ළමයි වැට ළග ටිකක් වෙලා එතන බලාගෙන ඉදලා තම තමන්ගේ ගෙවල් වලට හැරිලා ගියා.

ඉස්කෝලේ නෝනා ටිකක් වැඩි ගානක් බෝඩිම් ගාස්තු විදිහට දෙන්න කැමති වුන නිසා නල ලිදෙන් නාගන්න දෙන්න ග්‍රාම සේවක නෝනා කැමති වුනා. ඒත් ඉතිං හරි අරපිරිමැස්මෙන් තමා බේසමට වතුර එකක් පුරවලා දෙන්නේ නාන්න. මාස ගණනාවකින් වැහැලා නැතුව පොළවෙත් වතුර හිගයි කියලා දවසට කීප සැරයක් මතක් කරනවා.

මුල සතියේ දෙකේ ඉස්කෝලේ නෝනා දහයේ ඉන්ටවල් එකට කෑම ගෙනත් කනවා සුමනෙලා දැක්කා. ඒක හින්දා මොන උවමනාවකටවත් ළමයි ගුරු කාමරේ පැත්තේ ගියේ නෑ ඒ වෙලාවට. ඒත් ටික දවසක් යනකොට කෑම ගේන එක නතර කරලා වතුර බෝතලේ විතරක් අරං එන්න පටන් ගත්තා. ග්‍රාම සේවක නෝනා කෑම දෙන්න බෑ කියලාවත්ද දන්නෑ සුමනෙ තනියම හිතුවා. ඒ කොහොම වුනත් ගමේ මිනිස්සු කන අල බතල තුන් වේලටම කන්න බැරි නිසා ඉස්කෝලේ නෝනට වෙන තැනකින් කෑම ගන්න හැටියකුත් නෑනේ.

උදේ සරඹ කරන වෙලාවට ළමයි කලන්තේ හැදෙන්නේ රෑටත් කෑමක් නැතුව උදේටත් කෑමක් නැතුව එන හින්දා කියලා ලොකු මහත්තයා කීව දවසේ ඉදලා  ඉස්කෝලේ නෝනා කෑම ගේන එක නැවැත්තුවා කියලා ග්‍රාම සේවක මහත්තයා කඩේදී කිව්වලු. අනිත් ඉස්කෝලේ නෝනාලා මහත්තුරු නම් උදේට තියන දෙයක් කාලා බීලා එන අය. එයාලා අවුරුදු ගානක් තිස්සේ පුරුදු වෙච්ච විදිහ නිසා අමුත්තක් නෑ. ඒත් අළුත් ඉස්කෝලේ නෝනා පුරුදු නැති කෑම තියන දවසට බඩගින්නේලු!

ශෘහ විද්‍යාව උගන්නපු රත්නාවලී ඉස්කෝල නෝනා නිවාඩු ගියානේ දරුවා ලැබුණ නිසා. ඒ පාර ඒකත් වැටුනේ අළුත් ඉස්කෝලේ නෝනගේ කරපිට.

“අනේ අළුත් මිස් මේ කෙල්ලන්ට ඔය විභාගෙට එන මොනවා හරි ටිකක් කියලා දෙන්න. තව මාස කීයද? කියලා ලොකු මහත්තයා හීමිට ඒ වගකීමත් දුන්නා. කෙල්ලෝ ටිකත් කට ඇරගෙන එතනම බලාගෙන හිටිය හින්දා වෙන්නැති නෝනා ඒ වෙලාවේ යන්තම් හිනා වෙල නිකං හිටියේ.

ඒත් පහුවෙනි සදුදා ඉදන් අළුත් ඉස්කෝලේ නෝනා ඉස්කෝලේ ඉවර වෙලා ගිහින් කාලා බීලා ටිකක් අවුව බැස්සම ගවුමක් ඇදලා ඉස්කෝලෙට ආවා. කෙල්ලෝ ටිකක් ඇවිත් හිටියා. එළියේ පොල් අතු මඩුවේ ශෘහ විද්‍යා පාඩම් පටන් ගත්තා. ඒකෙන් නරක වුනේ පිට්ටනියේ බෝල ගහ ගහ හිටපු කොල්ලන්ට. උන් කෑගහන්න පටන් ගත්තම එතන හිටපු ලොකුම කෙල්ල මාලා ඇවිත් කොල්ලන්ගේ කන මිරිකලා යනවා. අන්තිමට වුනේ දහයේ පන්තියේ ඒ කියන්නේ සුමනෙලාගේ පන්තියේ කොල්ලන්ට සතියට දවස් දෙකක් ඉස්කෝලේ නෝනගේ අමතර ගණං පන්තියට එන්න වෙන එක.

සුමනේ නම් හරි කැමති මේ වැඩේට. ගෙදර ගිහිං තම්බලා තියන දෙයක් කාලා නංගිලා දෙන්නා අම්මට බාර දීලා දුවගෙන එනවා පන්තියට. දවල්ට කන්න නොතිබ්බොත් නං ආපහු ඉස්කෝලෙට එන්නෑ. එදාට හරක් ගේන්න යන ගමං ගඩා ගෙඩියක් හරි කාලා බඩ රවට්ටා ගන්නවා. එක දවසක් හවස පාඩම වෙලාවෙදි කෙල්ලෝ ටික ඉස්කෝලේ නෝනත් එක්ක එකතු වෙලා අඹ චට්නි හදලා තිබ්බා. ඒකේ සුවද ලාම්පු තෙල් ලිපේ ගද පරද්දගෙන ගණං පන්තියේ චක්කරේ පාඩං කරන වෙලාවේ නහයට ආවා. කට්ටිය සල්ලි එකතු කරලා ගත්ත පාන් ගෙඩියක පෙති දෙක තුනක් චට්නි දවටලා ගණං පන්තියටත් ආවා. කොච්චර බඩගිනි වුනත් සුමනේ ඒක ගෙදර ගෙනිහින් අම්මට දුන්නේ. ඒකෙන් කෑල්ලක් කඩලා අම්මා කවද්දී සුමනෙට දැනුන රස!

ඉස්කෝලේ ලාම්පු තෙල් ලිප නාස්ති වෙනවා කියලා ගුරු කාමරේ කතා වුනාට පස්සේ ලොකු ඉස්කෝලේ මහත්තයා ගමේ දෙතුන් දෙනෙකුට එන්න කියලා හොද දර ලිප් දෙකක් හදවලා දුන්නා. ඒකට දර ගේන එක කෙල්ලන්ගේ වැඩක්. අපරාදේ කියන්න බෑ ශ්‍රමදානේ දවසේ කොස් ගහ යට වැටිලා තිබ්බ ඔක්කොම කොස් ඇට තම්බලා හැමෝටම බඩ පිරෙන්න කන්න දුන්නා ඔය ශෘහ විද්‍යාකාරියෝ ටික. එදා නම් ඇති වෙන්න කන්න තිබ්බ නිසා සුමනේ බාගයක් අම්මට ඔතලා තියාගෙන ඉතුරු ටික දුම් දාද්දිම ගිල්ලා.

හවස පන්ති කෙරුවාව නිසා ඉස්කෝලේ තියන හුණු කූරු ටිකත් ඉවරයි කියලා රත්නසේකර මහත්තයා හුටු හුටු ගාලා බැන බැන ගිහින් ලොකු ඉස්කෝලේ මහත්තයාගෙන් හුණු කූරු ඉල්ලුවා. මාසෙට දුන්න හුණු කූරු ටික ඉවර වුනොත් ආයි කලාප කාර්යාලෙන් ඉල්ලනවා බොරු කියලා ලොකු මහත්තයා රත්නසේකර මහත්තයාව හිස් අතින් එවලා තිබුණා. රත්නසේකර මහත්තයා නවයේ පන්තිය බාරව ඉන්නේ . එයා කියන්නේ අළුත් ඉස්කෝලේ නෝනා එයාගේ පන්තියේ හුණු කූරු ටික හවසට හොරාට ගන්නවා ඇති කියලා. මොකද පන්ති වලට ඉබ්බා දාලා යන්න දොරවල් තියන එකක් යෑ.

හවස පන්තියට ආවම ඉස්කෝලේ නෝනා ගන්නේ පුංචිම හුණු කූරු කෑලි. ඒ අර කතාවෙන් පස්සේ. ඒක පන්තියට එන අය දන්නවා. රත්නසේකර මහත්තයාට නම් ඒක පැහැදිළි කරන්න බෑ. කටකාර කෙල්ලෝ ඉස්කෝලේ නෝනගේ පැත්ත අරං කතා කරනවාට අනික් අය හරි තරහයි. කැපිලා පේන්න වැඩ කරන්න ගිහින් අනිත් ළමයිට උගන්නන්න තියන හුණු කූරු           නාස්ති කරාම හරිද කියලා එයාලා මූණටම ඇහැව්වා.

හැමදාම හවස පන්ති තිබුණාදට පහුවදා හුණු කූරක් හරි නැතිවෙලා තියනවාමයි.  කොච්චර හිනා වෙලා ළමයිට උගන්නගෙන හිටියත් අළුත් ඉස්කෝලේ නෝනාගේ හිත මේ කතා වලට රිදෙනවා. ළමයිගේ පන්ති නතර කරන එක ගුරුවරියක් විදිහට දෙන්න හොද ආදර්ශයක් නෙවේ නිසා මේ ප්‍රශ්ණය කොහෙම හරි විසදා ගන්න තමයි එයා බැලුවේ.

එක දවසක් පන්තිය ඉවර වෙලා එලියටත් බැස්සහම තමයි මතක් වුනේ ළමයිට චක්කරේ පාඩම් කරවන්න ගෙනාපු කාඩ් එක ගුරු මේසේ උඩ දාලා ඇවිත් කියලා. ළමයිට යන්න කියලා ඉස්කෝලේ නෝනා ආපහු හැරුණා. පන්තියේ කොට තාප්පෙන් වටපිට බලලා කොල්ලෙක් පහේ පන්තිය ඇතුලට පනිනවා දැක්ක නිසා එයා කනුවකට මුවා වෙලා බලාගෙන හිටියා. කොල්ලා පන්තියේ ගුරු මේස් ලාච්චුව ඇරියා . මොනවා හරි හෙව්වා. ආපහු ලාච්චුව වහලා මල් පෝච්චියේ ඉටි මල් ටික අයින් කරලා පෝච්චිය හිස් කරලා බැලුවා. ඒත් හොයපු දේ හම්බ වුනේ නැති පාටයි. ඒ පාර කළු ලෑල්ල උඩ දාරේ අතගාලා ඕන දේ හොයා ගත්තා. ඒක සාක්කුවට දාගෙන තාප්පෙන් පැනලා එළියට ආවා.

“සුමනරත්න ඉස්කෝලේ නෝනා කිසිදාක තමන්ගේ ගෝලයෙකුට කතා නොකරපු හඩකින් කෑ ගැහුවා.

“මොනවද ගත්තේ? මොකද්ද මේ පන්තියට පැනලා හෙව්වේ? ඉස්කෝලේ නෝනාගේ කටහඩට සුමනේ ගල් වුනා. දෙයියනේ ආය ඒ මූණ බලන්නේ කොහොමද? තමන්ට මෙච්චර කරුණාව පාන ඉස්කෝලේ අඩුපාඩු ගෙනත් දෙන මේ දුකෙන් ගොඩයන්න නොකා නොබී හරි ඉගනගන්න කියන ඉස්කෝලේ නෝනා.........

තමුන් ඉස්කෝලෙට ආව දා ඉදන් ලෙංගතුකම් පාන, කිසි දවසක වචනයකට පිටින් නොයන, ගමේ දරුවෙකුගෙන් බලාපොරොත්තු වෙන්න බැරි තරම් හැදියාවක් තියන සුමනේ මේ මොකද කරන්නේ කියලා ඉස්කෝලේ නෝනාත් ගල් ගැහුණා. ඒත් බුරුලක් දෙන්න බෑ. වැරදි වැඩක් කරා නම් හොදම ගෝලයා වුනත් දඩුවමක් විදින්න ඕනෑ.

“ කෝ මොනවද දාගත්තේ සාක්කුවට? ගුරුවරිය දැඩි හඩකින් ගෝලයාගෙන් අහන ගමන් කහට පැල්ලමින් වැහුන සාක්කුවට අත දැම්මා.

කෑලි කැඩුන හුණු කූරු දෙකක්!

“මේකද මේ ඉස්කෝලේ හුණු කූරුවලට වුනේ? මෙච්චර කල් මේවා හොරකම් කලේ සුමනෙද?

බිමට මූණ හරවා ගත්ත සුමනේගේ ඇස් දෙකෙන් නොකඩවා කදුළු වැටුනා.

“මොකටද මේවා ගත්තේ ... මොකටද? ඉස්කෝලේ නෝනට කේන්තිය පාලනය කරගන්න බෑ.

“අනේ නෝනා අපේ අම්මට මේ...... අම්මා බඩිං ඉස්කෝලේ නෝනා. හුණු කූරු කන්න ආසයි කියනවා............

Tuesday, March 14, 2017

ජැකරැන්ඩා මල්




සුබ්‍රමනියම් උදැල්ල පැත්තකින් තියලා ජැකරැන්ඩා ගහ පාමුල බංකුවේ ඉඳ ගත්තා. ගහ යට තණ බිස්සබිම වැටුන දම්පාට මල් වලින් වැහිලා. පින්නට තෙමුණ මල් මේ දැං පිපුණා වගේ නැවුම්. මිදුලේ එක කොනක ගැටියේ මේ ගහ හැදුවේ සුබ්‍රමනියම් පොඩි කොල්ලා කාලේ. අවුරුදු ගානක් කිසි වෙනසක් නැතුව මල් හැදෙනවා , හැලෙනවා, දළු දානවා.ඇත්තම කීවොත් සුබ්‍රමනියම් වගේමයි. එයත් අම්මා අප්පා නැතුව අතරමංවෙලා ඉඳලා එඩ්මන්ඩ් මහත්තයා ළඟට ආව දවසේ ඉඳන්ම තාමත් කිසි වෙනසක් නැතුව එතනම ඉන්නවා.  මහත්තයාටත් වැඩිය සුජාතා නෝනා දක්වපු කරුණාව සුබ්‍රමනියම්ට තමන්ගේ අසරණකම අමතක කරන්න උදව් වුනා.

“මනී........... තේ බොන්න එන්න .........”

සුජාතා නෝනා හරියට ඔරලෝසුව වගේ. එයා වැඩක් කරත් , කා ලවා හරි කෙරෙව්වත් හරියට වෙලාවටම කරන එක එයාගේ විදිය. දරුවෝ හැදුවෙත් ඒවිදිහට.

සීතලට ගල් වුන අත් දෙක එකට අතුල්ල අතුල්ලා සුබ්‍රමනියම් ගේ ඇතුලට ආවා. අද තේ හදලා තියෙන්නේ ලලිතා  බව තේ මේසේ දැක්ක ගමන් එයාට තේරුණා. සුජාතා නෝනා තේ මේසේට ජෑම් බෝතලෙයි, බටරුයි තියන්නේ පාන් ගෙඩියට දකුණු පැත්තෙන්. ලලිතාගේ අළුත් ඉස්ටැයිල්. එයා ඒ ඔක්කොම ට්‍රේ එකක තියලා එක්කෙනාටඑක පිඟාන ගානේ තියනවා. ‍ඔය අමුතු අමුතු වැඩ අත්හදා බලන්න ලලිතා කැමතියි. ඒ වුනත් අර සලාද මේ සලාද කියලා එක එක හැඩයට එළවළු කපලා කරන නාස්තියට නම් සුබ්‍රමනියම් කැමති නෑ. ඒත් කුස්සියේ වැඩ ටික බලා ගෙන සුජාතා නෝනටත් සලකගෙන ඉන්න කෙල්ලගේ හිත රිදවන්න හොඳ නැති නිසා නොදැක්කා වගේ ඉන්න එක තමා හොඳ.

“සුජාතා..........සුජාතා........” එඩ්මන්ඩ් මහත්තයාගේ කඩහඩ නැගී ගන ආවා.

“පොඩ්ඩක් ඉන්න එඩී...” සුජාතා නෝනා දුම් දාන තේ පෝච්චිය අරං ආවා. එඩ්මන්ඩ්  මහත්තයාට වැඩිය සීනි කන්න හොඳනැති නිසා සීනි අඩු ජෑම් තමා හැමෝම කන්නේ. සුබ්‍රමනියම් නම් ඒ අඩුව හරි යන්නත් එක්ක තේ එකට සීනි හැඳි හතරක් විතර දාගන්නවා.

සුජාතා සිරිතක් විදිහට උදේ තේ මේසෙට ඉඳගන්න කියලා සුබ්‍රමනියම්ටයි , ලලිතාටයි හැමදාම කියනවා. ඒ එයා දරුවෝ දෙන්නෙකුට වගේ ඒ දෙන්නටත් සලකන නිසා.  සිරිතක් විදිහට සුබ්‍රමනියම්වත් ලලිතාවත් කිසිදවසක මහත්තයාලත් එක්ක මේසෙට ඉඳගන්නෑ. තමන්ට කොච්චර හොඳට සැලකුවත් තමන් පවුලේ අය නෙවේ කියන එක දෙන්නම අමතක කරන්නේ නෑ.

කෝප්පේ පිරෙන්න තේ දාගත්ත සුබ්‍රමනියම් පාන් පෙති දෙකක් අරගෙන ඇවිත් ගෙදර දොරකඩ පඩිපෙලේ ඉඳගත්තා. එතනට මුළු පළාතම ලස්සනට පේනවා. මීදුම එතුන කඳු, තේ වතු  අතරින් රිංගලා යන පාරවල් එක බැල්මට බලාගන්න පුලුවන්. මෙතන ඉඳගත්තොත් සුබ්‍රමනියම්ට අතීතේ මතක් වෙනවාමයි.

සුබ්‍රමනියම් මේ ගෙදරට එනකොට අවුරුදු හතයි. එඩ්මන් මහත්තයා දවසක් මාකට් ගිහින් තනියම එළවළු කූඩේ උස්සාගන්න බැරුව වටපිට බලද්දී පුංචි කොල්ලෙක් ඇවිත් හරිම සීරුවට ඒක උස්සලා කාරෙකට දැම්මා. ඒ දවස්වල එඩ්මන් මහත්තයාට උදව්වට හිටියේ මාතුපාල .  එයා ගොඩක් වයස නිසාත්  අතපය වලංගුත් නැති නිසාත් එඩ්මන්ඩ් මහත්තයා මාකට් යන්නේ තනියම. කොල්ලට රුපියල් දහයක් දුන්නට ගත්තෙත් නෑ. ඒත් උදව්වක් ඉල්ලනවා වගේ  එඩ්මන්ඩ් මහත්තයාගේ මූණ බලාගෙන හිටියා.

“මහත්තයා මම මහත්තයාලගේ ගෙදර එන්නද...........?” කොල්ලා පැහැදිළිව කතා කලා.

“යමු”

සුබ්‍රමනියම් ‍සිල්වර් රේ බංගලාවට ආවේ ඒ විදිහට. ඒ මේ අවුරුදු හතළිහකට කලින්. ඒ වෙනකොට බේබිලා තුන්දෙනාම පොඩියි. ලොකු බේබි ෂාමන්ට අවුරුදු දොළහයි, මද්දුම බේබි ෂෙවාන්ට අවුරුදු නවයයි , චූටි බේබි ෂැරෝන්ට අවුරුදු තුනයි. එයාලා අදටත් දන්නෑ සුබ්‍රමනියම් මාර්කට් එකේ අතරමං වෙලා හිටපු කෙනෙක් කියලා. ඒක දැනගත්තේ  සුජාතා නෝනා විතරයි. සුබ්‍රමනියම්ට ගෙයක් , අම්මෙක් තාත්තෙක්, සහෝදරයෝ , සහෝදරියක් හැමදේම එකපාරටම ලැබුණා. වේල් ගණන් නොකා හිටපු කොල්ලෙකුට දවසකට කාලා ඉවර කරන්න බැරි තරම් කෑම ලැබුණා. ඒත් එපාම කරපු දේ තමා ලොකු මහත්තයා ඉස්කෝලේ යවන්න ලෑස්ති කරපු එක. උදේට බේබිලා ලෑස්ති වෙලා යනකොට දුක හිතෙයි කියලා තමා එහෙම ඉස්කෝලෙකට දාන්න බැලුවේ. මොන වදයක්ද? ඒ ඉස්කෝලේ කෙරිල්ල මාස තුනයි. මනි ගෙදර නැවතුනා. එක අතකට ඒ තීරණය ගන්න මාතුපාල මාමාත් උදව් කළා. මාමා කීවේ

“කොල්ලෝ උඹ මටත් උදව් කරගෙන ගෙදර නැවතියං. නැත්තං මේ ඉගන ගැනිල්ලෙන් බේබිලාගේ වගේ උඹෙත් ඔලුව නරක් වෙයි ඕං......” කියලා.

ඒ කතාවෙත්  වැරැද්දක් නෑ. බේබිලා පුංචි වුනාට පොත් බෑග් උස්සාගන්න බෑ. ඒ මදිවට අර ‍බෝල් මේ ‍බෝල් කියලා එක එක ඒවා ගහන නිසා එක එක ජාතියේ බෑට් පිතිත් අරං යනවා. හවසට චෙරි ගහ යට බංකුවේ ඉඳගෙන එලක්‍යුෂන් පාඩම් කරනවා

“ඕල්ඩ් මාතුපාල හැඩ් අ ෆාර්ම් .......

හීයා හීයා යෝ............................”



බේබිලාට කොච්චර ආදරේ වුනත් මාතුපාලට තරහා යනවා. ඒකයි තමන්ව සෙල්ලමට අල්ලා ගන්න කොට ‍බේබිලාගේ ඉගනගැනිල්ලයි ඔලුව නරක් වීමයි අතර සම්බන්ධය හොයා ගන්නේ. මනිට නම් හරි විනෝදයි මේ බේබිලාගේ වැඩ වලට. ලොකු බේබි වගේ නෙවේ දෙවනියා.හරි සෙල්ලක්කාරයා. ලොකු බේබි නම් තැන්පත්. ඒත් හොර වැඩ ප්ලෑන් කරන්නේ එතතින් . ප්ලෑන් වැරදුනාම ගුටිකන්නේ දෙවනි තැන. චූටි බේබි කාගෙත් ආදරේ ලබන කෙනානේ. හැබැයි අන්තිම හිතුවක්කාරී. මනීට කතා කරන්නෙත් අඩි පොළවේ ගහලා. ඒත් පොඩි කමට කරන කියන දේවල් වලට මනී තරහ ගන්නෑ. බේබිලා කොහොම හරි සුබ්‍රමනියම්ට ඉංග්‍රීසි ටිකක් ලියන්න කියන්න ඉගැන්නුවා.

මාතුපාල මාමා මල් හදන්න , මිදුල හදන්න , එළවළු වවන්න මනි කොල්ලට කියලා දුන්නා. සුජාතා නෝනා ගෙනාපු ජැකරැන්ඩා පැලේ සුබ්‍රමනියම් හැදුවේ චූටි බේබි කියපු තැන. ඒ එයා‍ගේ හතරවෙනි උපන් දිනය දවසේ . මිදුලේ අයිනේ උස් ගැටියක හදපු පැලේ දළු දාලා බලං ඉද්දී මල් පිපුණා. ජැකරැන්ඩා මල් කැකුළක් ඔලුව උඩට වැ‍ටුනාම මොකක් හරි සුබ දෙයක් වෙනවා කියලා විශ්වාසයක් තියනවනේ. ඒ හින්දා එතන මල් කැකුලක් වැටෙන කල් ඉඳගෙන ඉන්න බංකුවකුත් හැදුවා.  හැම උපන්දිනයකදී ම චුටි බේබි ජැකරැන්ඩා ගහ ළඟ බංකුවේ ඉඳගෙන ෆොටෝ එකක් ගන්නවා. සෙල්ලම් ගෙවල් දානකොටදම්පාටින් පිපුණ මල් අහුලාගෙන කන් දෙක දෙපැත්තේ ගහගන්නවා. කොහොමත් මිදුලේ මල් වලින් අඩුවක් වුනේ නෑ. මනි රෝස මල් වවන්න ගත්තේ සුජාතා නෝනා ආසා කරපු නිසා.

සුබ්‍රමනියම්ට අවුරුදු දහයක් වෙනකොට මාතුපාල මාමා පිළිකාවක් හැදිලා මැරුණා. මල් වලට ගහපු තෙල් බෙහෙත් මේකට හේතුව වෙන්න පුළුවන් කියලා දොස්තර කියලා තිබුණා. මාමා වළදාපු දවසේ මුළු වත්තෙම තිබුණ මල් කපාගෙන ගිහින්  වල උඩ ඇතුරුවා . ගෙදර කෙනෙකුගේ මරණයක් කොහොම අමතක කරන්නද? වෙනදා ලෝකේ පෙරලුනත් ගාණක් ගන්නැති ෂෙවාන් බේබි එදා බිම පෙරළි පෙරළි ඇඩුවා.

එදා ඉඳන් මාතුපාල මාමාගේ රාජකාරි පැටවුනේ සුබ්‍රමනියම්ගේ කරට. උදේ නැගිටලා කිරි ගේන්න, බේබිලාට පාන් ගේන්න, ‍වත්ත පිටිය පාලනය කරන්න, කඩේ යන්න, හවසට‍ ජෙනරේටර් එක දාන්න ඔය වගේ දහසකුත් එකක් වැඩ. ගෙදර ඉව්වේ පිහුවේ සුජාතා නෝනා. එඩ්මන්ඩ් මහත්තයා උදේට බේබිලා ඉස්කෝලේ  දාගෙන ඔෆිස් යනවා. ආපහු එන්නේ දවල්ට බේබිලා අරගෙන. කාලා ආයමත් ඔෆිස් ගිහින් හවස පහට එනවා. එතකල් සුබ්‍රමනියම් නැත්තං මනි නැත්තං මිස්ට මනි එහෙමත් නැත්තං මාතුපාල ද ජූනියර් තමා බලධාරියා. සුජාතා නෝනා පවරන කිසි වැඩක් මනිට අමතක වෙන්නෑ. බැරි වෙන්නෙත් නෑ. හැබැයි නෝනා කියන විදිහට නහය කට බැඳගෙන මල් වලට කෘමි නාශක ඉහින්න නම් මනිට අමතක වෙනවා.

හවසට බේබිලා ගෙදර ආවම මනිට හරි සන්තෝසයි. වැඩනම් වැඩියි තමා. ඒත් ඉතිං උදව්වට ඉන්නේ එයා විතරයි නේ. ලොකු බේබිට හැම දේම පිළිවලට ඕනෑ. තමුන්ගේ සර්වියට් එක මාරුවුනත් එයාට හිතට හරි නෑ . අනේ දෙවනි බේබි නම් කුස්සියේ බංකුවේ ඉඳගෙන හරි බෙදලා දෙන දේ ඉවර වෙනකල් කනවා. නෝනා පුඩිං,  වටලප්පන් මොනවා හදලා තිබ්බත් එයා සීනි බෝතලේ අල්ලට හලා ගෙන කාලා අත කලිසමේ දෙපැත්තේ අතුල්ලා ගන්නවාමයි. චූටි බේබි  තමුන්ට ඕන දේ ‍කොහොම හරි කරනවා. එයා ගොඩක්ම ආසා කලේ පියානෝ ගහන්න. ඒක පොඩි කාලේ සුජාතා නෝනා එයාට ඉගැන්නුවා. පස්සේ ගෙදරටම ආවා සුදු නෝනා කෙනෙක්. චූ‍ටි බේබි එයත් එක්ක සුරු බුරු ගාලා ඉංග්‍රීසි කතා කර කර පියානෝ ගහන කොට මුළු ගෙදරම සංගීතෙන් පිරෙනවා.

“ඇත්තමයි මමී මම නම් ආය පියෑනෝ ක්ලාස් දවසට ලයිබ්‍රරි යනවා යනවාමයි පාඩම් කරන්න.....”

ලොකු බේබිට හරි තරහයි තමන්ගේ පාඩම කැඩෙනවාට. දෙවනියා නම් උලක් උඩ තිබ්බත් කමක් නෑ. එහෙම සැලෙන කෙනෙක් නෙවේ එයා.

බේබිලා තුන්දෙනාම ඉගෙන ගන්න දක්ෂයි. ලොකු බේබි පළවෙනි සැරේටම දොස්තර විභාගේ පාස් වුනා. එඩ්මන් මහත්තයා හැම වෙලාවෙම එයා ගැන කීවේ අ‍පේ සිල්වර් රේ එක කියලා.  ඩාර්ක් ක්ලවුඩ් එක නම්  දෙවනි බේබි. ඉස්කෝලේ ඕනම රණ්ඩුවක මුලින්ම ඉඳී. හොරට ඉස්කෝලේ නොයා ඉඳලා මනීට කියලා අත්සන ගහගෙනත් යනවා පොතේ. ඒත් එයා කිසි මහන්සියක් නොගෙන ඉංජිනේරු විභාගේ පාස් කරා. චූටි බේබි  එයාගේ නම කියා ගත්තේ ඉංග්ලිෂ් රෝස් කියලා. ඒ වගේම තමා. එයා හැම ඉංග්‍රීසි විභාගයක්ම පාස් කරලා එංගලන්තෙට යන කොට වයස විස්සක් වත් නෑ. සුජාතා නෝනා කොච්චර විරුද්ධ වුනත් එයා ඉතුරු විභාග ටික පාස් වෙන්නම ඕන කියන තීරණය වෙනස් කලේ නෑ. ගෙදර අත හෝදන්න වතුර ටික ළඟට ඉල්ලන බේබි තනියෙන් රට රාජ්ජෙක යවන්නේ කොහෙමද?

“මනිට පුළුවන් නංගිගේ බොඩි ගාඩ් වැඩේට වීසා අරං එහේ යන්න. “ගිහින් සුද්දියක් බැඳගත්තම පර්මනට්ලිම එහේ ඉන්න පුළුවන්.”ෂෙවාන් බේබි කට උල් කරලා කීවා.

බොඩිගාඩ්ලා නැතුවම බේබි ගියා. හැම සතියකම ලියුමක් ආවා. මෙහෙනුත් ලියුමක් ගියා. ඉරිදා උදේ නවයට අම්මයි තාත්තටයි කෝල් කළා. අය්යලා දෙන්නා ගැනත් හැම වෙලාවෙම ඇහුවා. මනිට එංගලන්තේ ජැකරැන්ඩා ගස් යට ඉඳගෙන ගත්ත පින්තූර එව්වා. එයා විභාග පාස් කරලා ආපහු එනකොට අය්යලා දෙන්නම විභාග පාස් කරලා මෙහේ රස්සා කරනවා. ආපහු පස්දෙනාම ‍එක ගෙදර . ඒ වුනාට පොඩි කාලේ වගේ නෙවේ . නිතර නිතර මනිව ඕන වුනෙත් නෑ. මනිගේ කාම‍රේට ඇවිත් කතා කර කර හිටියෙත් නෑ. තම තමන්ගේ වැඩ. චූටි බේබිට නම් නිතර කෝල් ආවා. දොස්තර බේබි ඉස්පිරිතාලේ නැත්තං එයාගේ කාමරේ ඇතුලේ. දෙවනි බේබි නම් ටිකක් ගෙදර දේවල් හොයලා බැලුවා.සුජාතා නෝනයි, එඩ්මන් මහත්තයයි , මනියි එකතු වෙලා හවසට කතා කර කර ඉද්දී පොඩි කාලේ වගේ ඒ කතා මැද්දට පනින්න කවුරුත් හිටියේ නෑ.

චුටි බේබිට මෙඩ්ල් එකක් ලැබිලා තිබුණා අන්තිම විභාගයෙන්. එයාට එහේ විශ්ව විද්‍යාලෙක උගන්නත් ලැබිලා තිබුණා. ඒ වෙනකොට දොස්තර බේබි එයාගේ අනික් විභාගෙට තෝරගෙන තිබුණෙත් එංගලන්තේ. මේ දෙන්නා තීරණය දැනුම් දීලා සතියක් යන්න කලින් දෙවනි බේබිටත් රට යන උණ ආවා. අනිත් දෙන්නම යන්න කලින් එයා ඕස්ට්‍රේලියාවේ එයා වැඩ කරපු කොම්පැණියටම ගියා.

අන්තිමට සිල්වර් රේ එකයි, ඩාර්ක් ක්ලවුඩ් එකයි, ඉංග්ලිෂ් රෝස් එකයි සීතල රටවලට පියෑඹුවා. පුංචි කාලේ අම්මට තුරුල් වෙලා උණුසුමට හිටපු හැටි මතක් කර කර සුජාතා නෝනා ඇඩුවා. සතියක් විතර කිසිම කතාවක් බහක් නැතුව හාන්සි පුටුවට වෙලා ඔහේ බලාගෙන හිටියා. තමන්ගේ ජී‍විතේ ‍හොඳම කාලේ ඉවර වුනා වගේ තමා මනිට දැනුනේ. ජැකරැන්ඩා ගහෙත් එක මලක් වත් පිපුණේ නෑ ඒ දවස්වල.

අපරාදේ කියන්න බෑ තුන්දෙනා සතියට දවස් බෙදාගෙන ගෙදරට කතා කලා . ලියුම් එවුවේ නෑ. අම්මලාට මේල් කරන්න විදිහක් තිබුණානම් හොඳයි කිය කියා කෝල් කරනකොට කීවේ. ‍එඩ්මන් මහත්තයා කලින්ම පෙන්ෂන් ගත්තා සුජාතා නෝනා තනියම නිසා. සුජාතා නෝනා නිතර නිතර ලෙඩ වෙන්නත් ගත්තා.ගෙදර උයන පිහින වැඩ වලට ලලිතාව හොයා ගත්තේ මේ කාලේ.ලලිතාගේ ගම නුවර පොඩි කාලේ කරගත්ත කසාදේ දුක් විඳ විඳ හිටපු ලලිතා සිල්ව රේ බංගලාවට ආවට පස්සේ කසාදේ අමතක කරලාම දැම්මා.

පළවෙනි සීත නිවාඩුවට තුන්දෙනාම ගෙදර ආවා. සුජාතා නෝනා  තුන්දෙනා බදාගෙන ගොඩක් වෙලා ඇඩුවා. අම්මා වටේ දැවටි දැවටි හිටියා ආපහු පොඩි කාළේ වගේම. කොච්චර ලොකු වුනත් මොකක් හරි පාළුවක් එයාලට දැනිලා තියනවා කියලා මනිට ඒක දැක්කම හිතුනා. දවසක් එහෙම දැවටෙන ගමන් චූටි බේබි එයා සුදු මහත්තයෙක් බඳින්න තීරණය කරපු එක ගැන කීවා. නෝන‍ගේ හිතට ආව දුක කොයිවගේද කියලා මූණෙන් පෙනුනා. තමන්ගේ තනිමතේට පොඩි කාලේ ඉඳන් වැඩ කරා වගේම එයා මේ තීරණෙත් ගත්තා. දොස්තර බේබි නම් මහත්තයි නෝනයි  දෙන්නම කැමති වෙන විදිහේ තීරණයක් ගත්තේ. ඒ බැඳපු නෝනාත් දොස්තර කෙනෙක් . ඒ දෙන්නා හම්බවෙලා තිබුනෙත් එංගලන්තෙ දී. ඉතිං පදිංචිය තීරණය වෙලාමයි තිබුණේ. දෙවනි බේබිත් අවුරුදු දෙකක් විතර මෙහේ ඉඳලා ආපහු පදිංචියට හිටපු රටට ගියා. එයා කිසි දවසක කසාද බඳින්නෑ කියලා කිව්වට අම්මලාට වෙඩින් ෆොටෝ එවලා තිබුණා ටික කාලෙකින්. එදා නම් සුජාතා නෝනා දරු දුක හිතෙන් අතාරිනවා කියලා තමා කීවේ. නිවාඩු වලට ඉඳලා හිටලා ඇවිත් ගියා ලොකු බේබියි චූටි ‍බේබියි. ඉඳලා හිටලා කතා කලා. දෙවනිගෙන් නම් ආරංචියක් වත් නෑ. අම්මයි තාත්තයි දොස් කියලා යවපු ලියුමට හිත රිදිලා වෙන්න ඇති. ඒත් සුජාතා නෝනා නම් ඒ තුන්දෙනාගෙම උපන් දින වලට ලොකු මල් පොකුරක් හදාගෙන පල්ලියට ගිහින් ආශිර්වාද කරලා එනවා. එදාට ලලිතා කේක් හදනවාමයි. හතර දෙනාම එකතුවෙලා කේක් කකා පොඩි කාලේ මතකය අවුස්සනවා. සුජාතා ‍නෝනගේ ඇස් දෙක තෙත් වෙනවා එඩ්මන්ඩ් මහත්තයාට පේනවා.

මනිට කසාදයක් බඳින්න හිතුනෙත් නෑ. එහෙම වුනොත් සිල්ව රේ බංගලාව පාළුවට යයි කියලා එයාට දැනුනේ. නැතත් බේබිලා කවුරු හරි ආපහු ඇවිත් ලංකාවේ පදිංචි වෙන දවසට උදව්වට ඉන්නම එපාය.

‍තේ කෝප්පේ ඇල් වෙන්න ඇරලා සුබ්‍රමනියම් ඈත කඳු දිහා බලාගෙන ඉන්නවා ලලිතා දැක්කේ දැන් පැය බාගෙක පටන්. අද මොකක් හරි හිතේ අමාරුවක් වත්ද?

“මනි අය්යා අද මොකද කල්පනාව?”

ලලිතා කටහඩ බාල කරලා ඇහුවා. මනි  කල්පනා ලෝකෙන් ඇදගෙන වැටුනා.

 ඇල් වුන තේ එක අයින් කරලා ලලිතා ආපහු කෝප්පේ පුරවලා දුන්නා.

“ නෝනා ......... මේ රෝස ගස් ටික නම් අයින් කරන්න කල් හරි. ආපහු පැල ටිකක් ඉන්දමු..” මනි ඇහුවේ එඩ්මන්ඩ් මහත්තයා දිහා බලාගෙන.

“අල්ලලා දාපං මනි.. දැං ඉතිං අපිට මොන මල් ද?”

එඩ්මන්ඩ් මහත්තයාගේ බලාපොරොත්තු බිඳ වැටුන කටහඩ මනිගේ හිතෙත් පසුබෑමක් ඇති කලා.ලලිතා මාර්කට් යන්න කම්මැලි කරන නිසා එළවළු හැදිල්ල කරගෙන ගියත් මල් හැදිල්ල නම් කරගෙන ගියේ හිතේ ආසාවටමයි. අනික සුජාතා නෝනට මොන දේ කරන්න ගියත් මල් ඕනමයි.  පල්ලියෙන් වුනත් මල් ඕන වුනොත් කතා කරන්නේ මෙහාට.

ඉතුරු මල් පාත්ති දෙක සුද්ද කර කර අන්තිමට බේබිලා කතා කරේ කවදද කියලා මතක් කරන්න හැදුවත් හරියටම මතකයට ආවේ නෑ. මාස තුනකට මෙහාවත් කතා කරේ නෑ කියලා තමා මනිට දැනුනේ. ගෙදර ෆෝන් එක වදිනකොට සුජාතා නෝනා ගැස්සිලා බලාපොරාත්තු පිරුණ මූනෙන් ඒක ගන්නේ. බලාගෙන ඉද්දී මූණ අඳුරු වෙලා ඕනවට එපාවට උත්තර දෙනකොට මනි දන්නවා ඒ කතා කරන්නේ බේබිලා නෙවේ කියලා.දරුවෝ ඉන්න අයනේ. එයාලගේ වැඩත් එක්ක ඉස්පාසුවක් නැතුව ඇති මනිගේ උඩු හිත කීවා. ඒත් කතා කරන්න එක විනාඩියක් හොයාගන්න බැරිද  මනිගේ යටි හිත වාද කලා.

 තැපැල් මහත්තයාගේ බෙල් සද්දෙට මනිගේ කල්පනාව ආයමත් බිඳුනා.

“මනි අය්යා.. පාර්සල් පෝස්ට් තමා තියනවා.. ඇවිත් ගන්න” කියලා රට ලියුමකුත් දික් කරා.

සුජාතා නෝනා පුදුමෙන් වගේ දොරකඩ බලා හිටියා. එයා වෙව්ලන අත්වලින් ලියුම කැඩුවා. චූටි බේබිගෙන් ලියුම. අම්මට විශේෂ දෙයක් එවලා තියනවා. කියලා තියන දිනේටම ගන්න කියලා ලියලා තිබුණා. ඒ දිනේ අද ..

සුජාතා නෝනාගේ නොඉවසිල්ල එඩ්මන්ඩ් මහත්තයාවත් කලබල කලා. තමන්ව කාලෙකට පස්සේ හරි මතක් වුන එක ගැන සතුට දෝරේ ගලනවා  නෝනගේ මූණේ. සුජාතා නෝනයි , එඩ්මන්ඩ් මහත්තයායි කාර් එකේ නැගලා එක පිම්මට තැපැල් හලට ගියා. පාර්සලේ අරගෙන දෙන්නා එක්ක කිසි කතාවක් නැතුව ගෙදර එනකල්ම ආවා. සුජාතා නෝනා කාර් එකෙන් බැහැලා  ලස්සනට ඔතලා තිබුණ පාර්සලේ බංකුව උඩට දාලා ඉක්මන් ගමනින් ගෙට ගියා.

කඩදාසිය පරෙස්සමින් අයින් කරලා මනි බැලුවේ නොඉවසිල්ලෙන්.

‍රෝස මල් පොකුරක්....! පුංචි කාඩ් එකක් බිම වැටුනා. මනි ඇස් හීන් කරලා ඒක කියවේවේ.

Happy Mother’s Day Mummy

කොහෙන්දෝ හමා ගෙන ආපු තද සුළඟට ජැකරැන්ඩා මල් එක සීරුවට පාවෙලා ඇවිත් බිම වැටුනා.

Saturday, February 18, 2017

ඉණිමගේ ඉහලට


      

               අහාට මෙහාට දුව දුවා  සාලේ පුටු හදපු,  පවුඩර් ගාපු , මයික් වලට තට්ටු කරලා සද්දේ හරිද කියලා බලපු අය හැමෝම නිශ්ශබ්ද වුනා. ඔක්කොම ලයිට් දාලා තව මදිවට එහෙන් ගෙනාපු ලයිටුත් දැම්මම ගෙදර බඩු විතරක් නෙවේ නෝනයි මහත්තයයිත් දිලිසෙනවා.පියරු හත්තට්ටුවක් ගා ගාත්ත නිවේදිකාව තමන්ගේ අරුමෝසම් මාල වලලු ටික පේන විදිහට ඉත්තෑකූරු වගේ කොණ්ඩය දෙපැත්තට වනාගෙන  ඉඳගත්තා. වැඩ සටහනට දෙවනි තට්ටුවේ සාලෙ තෝරා ගත්තට ඒ ගෙදර ඕන තැනක් ඒ වැඩේට සුදුසුයි. හැම භාණ්ඩක්ම හොඳම නිමාවේ දේවල්. දොර ජනෙල් බිම අන්තිම ඉහල විදිහට හදලා. ජෝඩු පුටුවේ ගෙදර මහත්තයයි නෝනයි ජෝඩු දාලා ඉන්දවලා. මහත්තයා නිල් පාට කුරුතා ඇඳුමක් ඇඳලා, නෝනා ඒකට ළඟින් යන නිල් පාටක සාරියක් ඇඳලා.

තද රතු පාට තොල් දෙක උල් කරලා නිවේදිකාව ඒ දෙපළ ගැන හැඳින්වීමක් කළා. ඒ  අවුරුද්දේ හොඳම ව්‍යවසායකයාට ලැබෙන සම්මානය ලැබුනේ මහත්තයාගේ ෆැක්ටරියට. ඒක ඇඳුම් මහන ෆැක්ටරි එකක්. ඇඳුම් කියලා සරලව කීවට පිටරටවලට ක්‍රීඩා ඇඳුම් යවන ෆැක්ටරි එකක්. කලාතුරකින් ලංකාවේ සේල් වලටත් එවනවා රට යවන්න බැරි විදිහට මොකක් හරි අඩුපාඩු වුන ඒවා. උපරිම  සැලකිල්ලකින් ෆැක්ටරියේ වැඩ බැලෙන නිසා එහෙම වෙන අවස්ථා හරිම අඩුයි.

“අපි දැනගන්න කැමතියි මේ ව්‍යාපාරය ඔබතුමා පටන් ගත්ත විදිහ ගැන

“ඇත්තටම කිවුවොත් මම බින්දුවේ ඉඳන් පටන් ගත්ත කෙනෙක්. එහෙම නැත්තං ඉනිමගේ ඉහලට ආව කෙනෙක්. මගේ පළමු රස්සාවත් මේකම තමා. හැබැයි බොහොම උනන්දුවෙන් වැඩ කරගෙන ආව නිසා මට ඉක්මනට ප්‍රමෝෂන් ලැබුණා. වැඩ හොඳ නිසා හැම සෙක්ෂන් එකකටම දැම්මා ඒ තැන් හදලා ගන්න කියලා. මමත් ඒකට කැමති වුනේ කවදා හරි මගේ ව්‍යාපාරයක් කරන්න හිතේ තිබුණ හින්දා. අවුරුදු පහළොවක් විතර එකම තැන වැඩ කරලා මම අන්තිමට පිරිස් කළමනාකාරවරයෙක් තැනට ආවා. ඒ වෙනකොට මම සල්ලි ටිකක් එකතු කරගෙන හිටියේ. මම තීරණය කළා එතනින් අයින් වෙලා මගේ ගෙදර එක කෑල්ලක ඇඳුම් මහන්න කීපදෙනෙක් දාගෙන වැඩ කරන්න. මම මාකට් එකත් හදාගෙන හිටියේ. මම නෝනගේ අර්ථ සාධකේ සල්ලියි මම ඉතුරු කරපුවයි දාලා මැෂින් දහයකින් වැඩ පටන් ගත්තා.

“ඒ කියන්නේ ඔබතුමියත් රැකියාවක් කරලා තියනවා?

“ ඔව් මමත් වැඩ කලේ ඔය කියන ෆැක්ටරි  එකේ. අපි දෙන්නා හම්බ වුනෙත් එතනදී. මම බැඳුනේ ටිකක් ඉහල තනතුරකට. මොකද මම මගේ උපාධිය කලේ මේ විෂයට අදාලව. ඒත් හස්බන්ඩ් අයින් වෙනකොට මමත් අයින් වුනා

“ලොකු තීරණයක්! නිවේදිකාව බර කරලා ඇහුවා.

“ආ.. ඒ තීරණේ මගේ. මෙයා ලොකු තනතුරක හිටියා කීවට මේ  මොකද්ද රසායනික ඉංජිනේරු මොකක්ද නේද? මහත්තයා නෝනා දිහාට හැරිලා ඇහුවා.

“ ඉතිං ඔබතුමාට ලොකු අභියෝගයක් වෙන්න ඇති ව්‍යාපාරය දියුණු කරන එක.?

“ මම ඉතිං මගේ මුළු ජීවිතේ ම අභියෝගයක් විදිහට ගත්ත කෙනෙක්. මොකද මගේ තාත්තා නැති වුනේ මම දොළහේ පන්තියෙ දී. මට එතන ඉඳන් රස්සාවක් කරන්න වුනා. ඊට පස්සේ නංගිලා දෙන්නා බන්දලා දෙන එක. ඊට පස්සේ මෙයා බඳිනවට එයාලගේ ගෙදරින් ආව බාධක. මේ ව්‍යාපාරේ පටං ගත්තම ආපු තර්ජන.. ඔය හැමදේම අභියෝග.

“මේ ව්‍යාපාරේ දියුණුව ඔබතුමා කොහොමද දකින්නේ?

“මගේ කැපවීම. මම උදේ වැඩ කරන්න ගත්තම රෑ දෙක තුන වෙනකල් වැඩ කරනවා. කට්ටිය මාරු වුනාට මම එක දිගට වැඩ.  මම ම තමා ඇඳුම් චෙක් කරන්නේ. කොහොම හරි අවුරුද්දක් විතර යනකොට මම වෙන තැනක් කුලියට අරගෙන මැෂින් පනහක් විතර දාලා වැඩ කරන තැනට ආවා. මට හොඳ මාකට් එකක් ආවා. ඒවා කලෙත් මම ම රටවල් වලට ගිහින් ඕඩර්ස් අරං ඇවිත්.

“ ඔබේ බිරිඳ ගේ සහයෝගය ගැන කතා කළොත්

“මෙහෙමයි එයා ඉතිං රස්සාවෙන් අයින් වෙලා නිදහසේ හිටියා ගෙදර. මමත් තනියම වැඩකරන්න කැමති කෙනෙක්. අනික මම හැම දෙයක්ම හොඳට ඉගන ගෙන වැඩේට බැස්සේ.

“ අපි මෙතුමාගේ ප්‍රිය බිරිඳ දෙසට මදකට හැරෙමු. දැන් ඔබ කියන්න ඔබගේ කාර්ය භාරය, තමන්ගේ ස්වාමියා මෙච්චර කැපවීමක් කරද්දී බිරිඳක් විදිහට ඔබ දුන්න සහයෝගය

“ රස්සාවෙන් අයින් වුන දවසේ ඉඳන් මම තමා ගෙදර සියළුම වැඩ බලාගත්තේ. මට උදව්වට දෙන්නෙක් ඉන්නවා. දරුවන්ගේ ඉගන ගන්න දේවල්, සහෝදර සහෝදරියෝ තව නෑදෑයෝ ඒ හැම දෙයක්ම මම තමා බැලුවේ.

“ඉතිං ඔබතුමියටත් විශේෂ අවස්ථා ලැබෙන්න ඇති විදෙස් සංචාර වලට එහෙම . ලොකු වාසනාවක් ඒකත්

“ නැහැ මෙම මේ වෙනකල් කවදාකවත් එහෙම සංචාරයකට ගිහිල්ලා නෑ. මම පෝය දාට පන්සල් යන්නෙත් මහත්තයාගේ අම්මා සිල් ගන්න ඇරලවන්න විතරයි. මොකද දරුවෝ  අපි දෙන්නම  ගෙදර නැති වුනොත්  තනිවෙන නිසා

“ එහෙම නම් කියන්නකෝ  මෙතුමා එහෙම සංචාරයකට ගිහින් එනකොට ගෙනාව හොඳම තෑග්ග මොකක්ද කියලා ..නිවේදිකාව නෝනාගේ අපහසුතාවය මදක් අඩු කරන්න කටහඩ තොදොල් කරලා ඇහුවා.

“ වැඩේ මේකනේ. මම ගිහාම ෆැක්ටරි එකට ඕන දේවල් විතරයි ගේන්නේ. මට එතකොට වෙලාවකුත් නෑ ඔය බඩු හොය හොයා ඉන්න. අනික බඩුවල බරත් බලන්න එපැයි

ඒ කතාව හරියන්නේ නැති නිසා අහන්න හිටපු ප්‍රශ්න දෙක තුනක් මග ඇරලා නිවේදිකාව ව්‍යාපාරය පැත්තට යොමු වුනා.

“ අපි කැමතියි දැනගන්න මේ අද ඔබතුමා අංක එකේ ව්‍යවසායකයෙක් වුනේ කොහොමද කියලා

ව්‍යාපාරිකයා සතුටු හිනාවකින් මූණ සරසා ගත්තා.

“වැඩ කිරීම සහ කැපවීම. කැපවෙන්න ඕනෑ තමන්ගේ අරමුණට. මම අවුරුදු දහයක්ම හරියකට වෙලාවටක කෑමක් නොගෙන මේ තත්වයට ආවා. මම හොඳට මගේ සේවකයන්ට සලකනවා. මගේ දියුණුව තියෙන්නේ සේවකයන් උඩ. මගේ සතුට තියෙන්නේ සේවකයන් උඩ. මට එයාලගේ නම් , සේවය කරන අංශ කටපාඩම්. එයාලගේ ගෙවල් වල මරණයක් වුනත් මම පැයකට හරි ගිහින් එනවා. එයාලා සතුටින් තියලා තමා මම වැඩ ගන්නේ . මම ඒ යුතුකම් හරියටම කරන නිසා සේවකයොයි මායි අතරේ ලොකු බැඳීමක් තියනවා. අනික මම අවදානම් වලට මූණ දුන්න කෙනෙක්. මම බය නැතුව බැංකු ණය ගත්තා. ඒවා ව්‍යාපාරෙට යෙදෙව්වා. අද නම් මම කිසි කෙනෙකුට සතයක් ණය නෑ. මම සාර්ථක මිනිහෙක්!

ව්‍යපාරිකයා තමන්ගේ දියුණුවේ රහස් අනාගත ව්‍යවසායකයින් වෙනුවෙන් හෙළිකරනවා. කැමරාව එයා දිහාටම එල්ලවෙලා තියන නිසා නෝනා ලොකු කල්පනාවක.

......මමත් මගේ අරමුණට කැප වෙච්ච කෙනෙක් . මගේ අරමුණ වුනේ දරුවෝ තුන්දෙනාට උගන්නා ගන්න. තාත්තට තියන ලොකු ෆැක්ටරි එකෙන් දරුවන්ගේ හිත නොපිරෙන බව මම දන්නවා. මට ඕන හැටියේ රස්සාවකට යන්න තිබුණා. අතට පයට සේවකයෝ තියාගන්න තිබුණා. ඒත් මට දරුවන්ගේ ජිවිත අතරමංවෙයි කියලා බයක් දැනුනා. මාත් අවුරුදු දහයකටවත් හරියකට වෙලාවකට කෑම කාලා නෑ. නිදි නැතුව ගත කරපු රෑ අනන්තයි. දරුවෝ ඉස්කෝලේ ගෙනියන්න , අසනීප වලට බෙහෙත් ගන්න, නෑදෑයන්ගේ මළ ගෙවල්වල දානේ ගෙවල්වල යන්න හැම දේම මට කිසි කෙනෙකුට අඩුවක් නොකියන්න කළා. මගේ අම්මයි තාත්තයි ඉන්න කල් යුතුකම් කළා. මගේ සහෝදරියෝ නම් කිසි කෙනෙක් මගෙන් සත පහක දෙයක් ඉල්ලලා නෑ. ඒ අය මේ ගෙදර විදිහ තේරුම් අරං ඉන්නේ. මගේ දියුණුව තියෙන්නේ මගේ දරුවෝ මත. මමත් ලොකු අවදානමකට මූණ දෙන කෙනෙක් . සීයට සීයක් ව්‍යාපාරයකට කැපවුන මගේ මහත්තයා එක්ක පවුල් ජීවිතයක් ගෙනියෑමේ අවදානමට මුහුණ දෙන කෙනෙක්. මේ ගෙදර උගස් කරලා බැංකු ණය ගද්දී දරුවන්ට පාරට බහින්න වෙයිද කියන අවදානමේ ජීවත් වුන කෙනෙක්. මේ දේවල් නිසාම දරුවොයි මායි අතර ලොකු බැඳීමක් තියනවා. ඒත් මම නම් ජීවිතේ එක් කෙනෙකුට ණයයි. ඒ මගේ නැන්දම්මාට. මේ ලෝකේ අතාරින්න බැරි එකම බැඳීම දරුවො වෙනුවෙන් ජීවත් වෙන්න උගැන්නුවේ මගේ නැන්දම්මා....................... නෝනාගේ   හිතුවිලි එකක්වත් කැමරාව දැක්කේ නෑ.

නිවේදිකාව තමන්ගේ අවස්ථාව අරගෙන කතාව පටන් ගත්තා ආයෙම.

“අපි දැන් ටිකකට  යොමු වෙමු අනික් පැත්තට.. හැම සාර්ථක පුද්ගලයෙක් පසුපසම කාන්තාවක් ඉන්නවා කියනවනේ. අපි දන්නවා මේ හැමදේකම ඔබතුමිය හෙවනැල්ල වෙලා ඉන්නවා කියලා. ඔබට ගොඩක් සතුටු ඇති   මේ වගේ සාර්ථක පුද්ගලයෙක් ඔබේ ස්වාමියා වීම ගැන?

“ගොඩක් සතුටුයි. නෝනා අර කල්පනාව පිටම කිවා.

තමන්ගේ ජීවිතේ සතුට කියන්නේ මේකද? හිතේ අහු මුළු හිස්කමින් පුරවන , තමන්ගේ සියළුම සතුට අනුන්ගේ අරමුණකට කැප කරන්න සිද්ද වුන, නාම මාත්‍රයකින් වත් ඒ වෙනුවෙන් ඇගයීමක් නොලබන ජීවිතයක් උරුම වුන එක සතුටක්ද? ලෝකෙට ඒක පෙන්නන්න බැරි කමට හිනා වෙලා ඉන්න එක, දරුවෝ විතරක් එකම සැනසීම කරගෙන ජීවත් වෙන්න ලැබුන එක සතුටක්ද? කැමරාව ඉස්සරහා කඳුලු දෝරේ ගැළුවා.

“ ඇත්තටම වචනයෙන් කියන්න බැරි දහසක් දේවල් එක කඳුලකට කියන්න පුළුවන්. ඔබේ හැඟීම්බර බව අපිට කියන්නේ ඔබේ ජීවිතයේ පරිපූර්ණ බව. ඔබ කොතරම් වාසනාවන්ත කෙනෙක්ද කියලා මේ වැඩ සටහන නරඹන ප්‍රේක්ෂකයන්ට දැනේවි. ඇත්තටම මටත් ඒක දැනෙනවා.. නිවේදිකාව ග්ලිසරින් කඳුලක් පිස දැම්මා.


Friday, February 3, 2017

පිංකම්






මාතලේ අය්යා අන්තරාවෙලා කියලා ටෙලිග්‍රෑම් එක එද්දි  හේරත් බණ්ඩා හිටියේ කුඹුර මඩ කරන ගමන්.  පියුං ඇවිල්ලා මූණත් නරක් කරගෙනම දික් කරපු ටෙලි ග්‍රෑම් එක අතට ගන්න බැරිතරමට හේරත්ගේ අත වෙව්ලනවා. ඉර අව්වේ සැරට ඒකේ ලියලා තියන අකුරු පේන්නේ නැති වුන නිසා පියුංටම කියලා ඒක කියවා ගත්තේ. ආරංචියේ නරක කම නිසාම පියුනුත් ඒක කියෙව්වේ හිමින් වගේ. හේරත් බණ්ඩා ඒ ආරංචිය අහලා උදැල්ල අතෑරිලා නියර උඩ ඉන්ද වුනා. පියුං මොනවද කියනවා වගේ ඇහුනා . ආය එයා ඔලුවක් උස්සලා බැලුවේ නෑ . හරි කල්පනාවට ආවට පස්සේ ආපහු ටෙලිග්‍රෑම් එක කියෙව්වා. මාතලේ අය්යා අන්තරා වෙලා. කියලා එවලා තියෙන්නේ අය්යාගේ පුතෙක්.

මාතලේ අය්යා කියන්නේ හේරත් බණ්ඩාගේ මස්සිනා - පවුලගේ අයියා. මස්සිනා වුනාට හේරත් බණ්ඩා එයාට සැලකුවේ තමන්ගේ දෙමව්පියන්ට සලකනවා වගේ. ආතක් පාතක් නැතුව හිටපු තමන්ට නංගි බන්දලා දුන්නා විතරක් නෙවේ එයාගේ අම්මගේ උරුමෙන් හම්බවෙචච අක්කර දෙකක ගොඩ ඉඩමයි කුඹුරු අක්කරෙයි දීලා මනුස්සයෙක් කරලා දඹුල්ලට එවුවා. ඒ එවලත් හැම කන්නෙම තමන්ගේ ආදායමෙන් කොටසකුත් නංගිට සල්ලි කරලා එවනවා. කිසි අණක් ගුනක් නැති එකෙක් වෙලා මාතලේ කිරි පට්ටියක් බලාගෙන් ඉන්න කාලේ ජම්බු ගෙඩිය වගේ ඉන්න පද්මාවතී මුන ගැහුණේ හේරත් බණ්ඩාට‍ . ඒ කාලේ පද්මටත් ඉගනගැනිල්ලක් ඕන වෙලා තිබුණේ නෑ. කලිසං ඇඳගෙන කිරි ටැංකිය බයිසිකලේ බැඳලා පැදගෙන යන හේරත් එක්ක ලුණුයි බතුයි කාලා හරි ඉන්නවා කියලා ගෙදරටත් හොරෙං පැනලා ගියා. ගිහිල්ලා මාසයක් විතර ගියාම ඒ කාපු ලුණුයි බතුයි තිත්ත වෙලා හිමිහිට දෙන්නත් එක්ක මග ගෙදරට බඩ ගෑවා. පද්මාගේ අය්යා ඒ වෙනකොටත් බැඳලා නෑ. අම්මයි තාත්තයි පද්මා කියලා දුවෙක් හිටියේ නෑ කියලා තමන්ගේ පුතාටම දේපොල ලීවා. කොච්චර ඇවිටිලි කලත් ගේ හතර මායිමේ දෙන්නව වැද්දා ගත්තේ නෑ. අනුන්ගේ ඉඩමක කිරි පට්ටියක් බලාගෙන අවුරුදු දෙකක් විතර ඉන්නකොට පද්මට අවුරුද්ද එක ගානේ කොල්ලොම දෙන්නෙක්. ඒ වෙනකොට පද්මගේ අම්මයි තාත්තයි මැරිලා. තුන්මාසේ දානෙන් පස්සේ අය්යා මේ දෙන්නට එන්න කියලා තමන්ගේ නමට අම්මා ලියලා තිබ්බ දඹුල්ලේ ඉඩම් පද්මාගේ නමට ලියලා පුංචි ගේ පොඩ්ඩකුත් හදලා දෙන්නා එකලාසයක් කරලා දඹුල්ලට එවුවා. අය්යා එහෙම නොකරන්න මෙලහටත් හේරත් මැරුණ තැන් වල ගස් පැලවෙලා. කිසි අණක් ගුණක් නැති නිසා තරහාකාරයෝ පිරිලා. ඒත් පද්මාගේ අය්යා ඒ දේවල් කලේ යුතුකම බලලා මිසක් හේරත්ගේ නහරංකාර කමට නෙවේ. ඒක හේරත් දන්නවා‍‍.

දඹුල්ලට ආවට පස්සේ තමනුත්  මිනිහෙක් වුනා නේද කියන හැගීම හේරත්ට ආවා. ඒවගේම තමන් මිනිහෙක් කරේ මාතලේ අය්යා නේද කියන එකත් තදටම දැනුනා. ආපිට  අබමල් රේණුවක්වත් බලාපොරොත්තු නොවී වැටෙන හැම වෙලාවකම තමන්ව නැගිට්ටපු මාතලේ අය්යා ගැන හේරත්ගේ හිතේ තිබුනේ මහා ලොකු ගෞරවයක්. අවුරුද්දට බුලත් අතක් දීලා වදින්නේ තමන්ගේ තාත්තා මේය කියලා තමා.

ඒ මාතලේ අය්යා අන්තරා වෙලාලු.

පද්මා මාතලේ මහ ගෙදරට යනකල් හූල්ලා හූල්ලා ගියේ. කොල්ලෝ  දෙන්නත් බිරන්තට්ටු වෙලා. එයාලගේ ගෙදර මාතලේ මාමා ගැන නොකිය වෙන දවසක් නෑ. සතියක් විතර ඉස්කෝලේ යන්න නොලැබෙන සතුටයි මාතලේ අය්යලා බලන්න ලැබෙන සතුටයි නිසා මහ ලොකු කනගාටුවක් නම් පේන්න තිබුණේ නෑ.

පොල් තෙල් පානින්  ලා කරුවලට පේන  මාතලේ අය්යා දිහා හේරත් බලා ගෙන හිටියා. මොකක් වුනාද කියලා අහන්න තරං වත් හයියක් නෑ. උපන්තේකට මෙහෙම කම්පාවක් දැනිලා නැත්තේ පොඩි කාලෙම අනුන්ගේ තැන්වල බැල මෙහෙවරකම් කරලා පදම් වෙලා හිටිය නිසා. ඒ මේ අඩුව නම් ඉවසන්න බෑ.

“අනේ මල්ලියේ දවාලට කාලා බඩේ අමාරුවක්ය කියලා වෙද මහත්තයා හම්බ වෙලා බෙහෙත් අරගෙනත් ආවා. බඩ බුරුල් කරලාය කියලා අටට විතර කළුවරේම එළි බහින්න ගියා. යන පාරත් කළුවරේ. ගෙට ආවේ කෙදිරි ගාගෙන මං ඇහුවම කීවා කඩියෙක් ද කොහෙද කෑවා ටිකක් දැවිල්ලයි කියලා. මම දෙහි බෑයක් අතුල්ලන්න ඇහුවාමත් එපා කීවා. රාත්තිරියේ හුස්ම ගන්න බෑ කියලා කෑ ගහන කොට අර කඩියා කාපු තැන නිල් වෙලා. පුතා ගියා පන්සලේ කාරෙක අරං එන්න. ඩයිවර තැන ඉදලානෑ. ආපහු ඇවිත් වටේ පිටේ අයත් එක්ක පුටුවක තියාන ඉස්පිරිතාලේ අරං යන කොටත් පණ හැංගිලා... කාලා තියෙන්නේ කරවලයෙක් ....“ මාතලේ අක්කා අමාරුවෙන් සිද්ධිය කීවා.

මළ ගෙදරට ආව කෙනෙක් ඇත්තං කීවේ මාතලේ අය්යගේ ගුණමයි. පන්සලේ කුඹුර වැඩ කරලා දෙන්නේ අවුරුදු විස්සක ඉදන්ම මාතලේ අය්යා. සිල් ගන්නේ නෑ තමයි. ඒත් ඕනම පිංකමකට අත දිගෑරලා වියදම් කරයි. ගමේ නැතිබැරි කෙනෙක් දෙපාරක් නොහිතා එන ගෙදර  මේක. ඒ නිසාම වෙන්න ඇති දරුවෝ දෙන්නටත් ඉගනීම පිහිටන්නේ. ඉස්කෝලෙත් නැති බැරි දරුවන්ට පොත් කට්ටල අවුරුද්ද මුල අරගෙන දෙනවා. ගමේ මරණාධාර සමිතිය පිහිටෙව්වෙත් මාතලේ අය්යා. ඒත් පන්සලත් එක්ක ටිකක් ඈත් වුනා වගේ අන්තිම කාලේ. හාමුදුරුවරුන්ගේ අළුත් ඇවතුම් පැවතුම් ගැන පැහැදීමක් නැති තැන ටිකක් නිශ්ශබ්ද වුනා වෙන්න ඕන.

හත් දවසේ බණට ලොකු හාමුදුරවෝ වඩින්න අදිමදි කරෙත් මේක නිසාම වෙන්න ඇති. නමුත් අන්තිමට ඉස්කෝල ගුරු හාමුදුරුවෝ බොහොම තදින් ලොකු හාමුදුරුවොත් එක්ක වාද වුනාම ලොකු හාමුදුරුවන්ටත් මුල මතක් වුනාලු. හැම දායකයෙක් ම අහක බලපු වෙලාවේ මාතලේ අය්යා ගමේ හැමෝම එකතු කරලා ආපහු පන්සල ගම්මු යන එන තැනක් කලාය කියනවනේ.

ලොකු හාමුදුරුවෝ කාරෙකෙන් වැඩියට මොකද ඩ්‍රයිවර්ට ඒ කන්ද අද්දා ගන්න බැරි වුන නිසා පයින්ම ගෙට වැඩියා. මඩ ගෑවුන කකුල් දෙක ටිකක් සද්ද කරලා පිහ ගත්තා. ඉතිං මඩ ගෑවෙන නිසානේ එතන වතුර භාජනයක් තියලා කකුල් හෝදන්නේ.

හාමුදුරුවෝ ගිලන්පසත් එපා කියලම බණ පටං ගත්තා.

“අප මහා බුදුරජාණන් වහන්සේට වැඩ වාසය කරන සමයේ ජේත නම් කුමරෙකුට අයත්ව තිබූ ඉඩමක් මිලට ගෙන එහි විහාරයක් කරවා උන් වහන්සේට පූජා කළ හෙයින්  අනේ පිඩු සිටාන්නට මහා දිව්‍ය සම්පත් ලැබුණා...“

සාදු සාදු සා........

“මේ ඇත්තොත් කල්පනා කරන්ට ඕනෑ මේ මිය ගිය උපාසක තැන වෙනුවෙන් එවන් පිංකමක් කරලා පින් අනුමෝදන් කරන්ට‍.......

උපාසක තැනට සීලයක් සාමාදන් වෙන්ට වත් උවමානවක් නොතිබුණ නිසා ජීවත්ව ඉන්න ඇත්තන්ගේ යුතු කම තමා පින් පමුනුවන එක. දැං මේ පින්වත් ඇත්තෝ කල්පනා කරලා බලන්ට විහාරයේ වැඩ වාසය කරන හාමුදුරුන්ට පාවිච්චි කරන්ට තියන වැසිකිලි දෙක ගැන. ඒවාට රාත්තිරියක යනවා නම් සංඝාවාසේ දොර ඇරගෙන යන්ට ඕනෑ්‍ මේ විස්ස විද්‍යාලේ ඉදලා එම පොඩි නමවල්වලටත් ඒක කරදරයි. වැහි කාලෙට තවත් අපහසුයි. ඉතිං මම මේ ඇත්තන්ට කියන්නේ තම තමන්ගේ දෙමව්පියන්ට මියගිය අයට පින් තකා සංඝාවාසේ කාමර වලටම අල්ලලා නාන කාමර දෙක තුනක් හදවලා පූජා කරන්ට. මේවා මතු දිව්‍ය සම්පත් ලැබෙන පින්කම්“

හාමුදුරුවෝ එක හුස්මට දේසනා කළා. කවුදෝ කෙනක් කනට කොදුරලා මොකක්දෝ කීවට පස්සේ ටිකක් දේසනාවේ සැර අ ඩු වුනා.

“ඔව් ඔව් මට මතකයි මේ උපාසක තැන මුල් වෙලා තමා ඔය දැන් පාවිච්චි කරන සංඝාවාසේ හැදුවේ. තව මේ..... ලයිට් අරන් දුන්නෙත් උපාසක තැනගේ වියදමෙන් ද කොහේදෝ්‍‍ ඒත් මේ කුසලය කරගන්ට බැරි වුනානේ. මම කීප සැරයක්ම කීවා ඇතුලේ නාන කාමර හදවලා දෙන්ට කියලා. බලන්ට පින්වතුනි ඒකම මේ උපාසක තැනට කර්මය වුන හැටි ! වැසිකිලියට යනකොට සර්පයෙක් දෂ්ඨ කලා. ඒ ශීලය රකින උතුමෙකුගේ බහට කන් නොදීමේ පාප කර්මය‍‍.......

මාතලේ අය්යාගේ නැති වීමේ  දුකකයි, දවස් ගානක් නිදි මරපු එකේ අමාරුවයි හවස ගහපු හීන් අඩියේ සැරයි එක වරම හේරත් ගේ  ඇගේ කැලතිලා  ආවා. ඇග පත ගසා දාලා නැගිට්ටා

“අවසරයි අපේ හාමුදුරුවනේ... මම හේරත් මේ මැරුණේ මගේ මස්සිනා නැහ්නං මගේ දෙමාපියෝ දෙන්නා කීවත් හරි“

“මේ අර වසවර්තියා නේද? හාමුදරුවන්ගේ හිත කටුකුටු ගෑවා.

“ඔබ වහන්සේගෙන් ධර්ම කාරනයක් අහන්ට කියලා මේ නැගිට්ටේ. අපේ අය්යා පන්සලට කොරාපු තරම ඔබ වහන්සේ තරම් දන්න වෙන කෙනෙක් නෑ. අදටත් පන්සලේ විකුනන්නේ අය්යා වැඩ කරලා දෙන කුඹුරේ වී.  වෙන එකක් තියා පන්සලේ ඉන්න හරකුන්ටත් කන්න නැති කාලෙට තණකොළ කපලා ගෙනිහින් දුන්නේ අයියා. පන්සලේ ළිද කපලා දෙන කාලේ මේලෝ ගමේ එකෙක් ආවේ ගියේ නෑ පන්සලට. ඔබ වහන්සේ වැඩ වසන සංඝාවාසේ හදපු හැටිත් මතක ඇතිනේ. ඔය දැං විස්ස විද්‍යාලේ ගිහින් ඉන්න පොඩි දෙනම අටේ පන්තියෙන් පස්සේ ඉස්කෝලේ නොයවා පන්සලේ අත්වැඩට තියාගත්තම වියදම් දෙන්නං කියලා ආපහු ඉස්කෝලේ යැව්වේ කව්ද? සිල් නොගත්ත බව හැබෑව ඒත් අය්යට දිව්‍ය සම්පත්ති ලබන්ට මේ කරාපු හරිය ඇති. අනෙක හාමුදුරුවනේ අපේ අය්යට සර්පයෙක් වෙලා ආවේ  අර අහවල් අකුසල් කරුමේ නම් ඔය සමහර හාමුදුරුවරු කරන  දේ වලට මුචලින්ද නාග රාජයා ඇවිල්ලා...........“ ඉතුරු ටික කියා ගන්න හේරත්ට ලැබුණේ නෑ. ගමේ දෙතුන් දෙනෙක් ඇවිල්ලා ඇදගෙන ගියා.

“ ඉතිං  පිංවතුනි සම්මා සංකල්ල ලක්ෂයක් පෙරම් පුරා බුදු වූ බුදු රජාණන් වහන්සේටත් ගල් පෙරලපු දෙවිදත් හිටියා. සංසාරේ වෛයිරක්කාරයෝ හිටියා . ඒ හැම දෙනාම අවසානයේ අපා ගත වුනා තමන් කරගත් අකුසල් කර්මයෙන්...........“

“සාදු සාදු සා............“


Monday, January 23, 2017

ධනපති පන්තිය




අබේරත්න මේසේ උඩ තිබුණ කෑම පෙට්ටි දෙක පරෙස්සමින් ඩිකියට දා ගත්තා. සර් කෑම එක  කොටු වැටුන දිස්නේ ගහන සර්වියට්  එකකින් බැඳලා තියනවා. ඉරි  තියන සාමාන්‍ය සර්වියට් එකකින් බැඳලා තියෙන්නේ අ‍බේරත්නගේ කෑම එක. මේක අබේ ආව දවසේ ඉඳලාම වෙනස් නොවෙන දෙයක්. අමාත්‍යාංශයෙන් සර් ට දීලා තියන රියදුරු තමා අ‍බේරත්න. එයා මීගොඩ ඉඳන් බස් එකේ ඇවිත් ‍කොට්ටාවෙන් බැහැලා සර්ගේ ගෙදරට යනවා හත වෙනකොට. හත හමාරට සර් ව කාර් එකේ  දාගෙන අමාත්‍යාංශෙට යනවා අට හමාර  වෙන්න කලින්. ආපහු ගෙදර එන වෙලාව නම් කියන්න බෑ. වැඩ ඉවර වුනාම , රැස්වීම් ඉවර වුනාම තව කොන්ෆරන්ස්, සෙමිනාර්, හදිසි සාකච්ඡා ඉවර වෙලා තමයි එන්න වෙන්නේ.


මීට කලින් අබේරත්න වැඩකරපු තැන සර් නම් හතර හමාර වෙනකොට ගෙදර එන්න පිටත් වෙනවා. ඒ‍ත් අතර මගදී අ‍බේ දහ පොළක විතර බැහැලා බඩු එකතු කරනවා. අඳුරන කෙනෙක් හම්බ වුනොත් කියන්නේ එ් ගෙදර වැඩට ඉන්න මනුස්සයාට සනීප නැතුව අද බඩු ගන්න එයා ආවා කියලා. එහෙම කරලත් ගෙදර ගියාම බේබිලාගේ ඉස්කෝ‍ලේ වැඩ වල ගේන්න කියපුවා හදලා දෙන්න වෙනවා. නැත්තං පන්ති ඉවර වුනාම එයාලව  ගේන්න යන්න වෙනවා. එපාම කරපු දේ තමා ඒ ගෙදර පාටියක් තියන දවසට ඇවිත් උදව් වෙන්න කියන එක


“ තමුසේ ඩ්‍රයිවර්නේ  බොන්න එහෙම ලෑස්ති  වෙන්නෑ..” පරණ සර් කියනවා.


මදිවට බයිට් එකක්වත් නෑ. රෑ දෙගොඩ හරියේ පාටිය ඉවර වුනාම වෙරි වෙච්ච මහත්තුරු ගෙවල් වල ගිහින් දාලා ආපහු යන්න පිටත් වෙන කොට ඔය ඉතුරු බිතුරු දාලා හදලා දෙන බත් එක දික්  කරන කොට අබේට දැනෙන කේන්තිය කියන්න බෑ.


අපරාදේ කියන්න බෑ දැං සර් ෙග් ගෙදරින් නම් උදේ කෑමත් දීලා, දවල් කෑමත් දීලා ගොඩක් රෑ වුන දවසට රෑටත් කන්න දීලා තමයි අබේව ගෙදර යවන්නේ. අබේ තනිකඩයා. අම්මාත් ගොඩක් වයසයි. පාන්දර නැගිටලා උයන්න අමාරු නිසා ඉස්සර අබේ කෑවේ කඩෙන්. දැං සර් කෑම දෙන නිසා පඩියෙන් සෑහෙන ගානක් මාසේ අන්තිමට ඉතුරු වෙනවා.



දවල්ට කෑම කන්න අමාත්‍යාංශෙ ඩ්‍රයිවර් ලා ඔක්කොම එකතු වෙනවා කැන්ටිමට. ඕපාදූප දැනගන්න කියාපු තැන. ගෙවල්වල ඒවයි, ඇමතිතුමාගෙන් සර් ලා බැනුම් අහපුවයි, සර් ලගේ රට සවාරියි ඔය හැමදේම දන්න අය තමා ඩ්‍රයිවර් කියන්නේ. සමහර සර් ලා ගැන කියන කතා අහපුවාම නම් ටයි කෝට් දාගෙන ආවට වැඩක් නෑ කියලා හිතෙනවා. ඇයි මෙතන ඒ ඔක්කොම ගලවනවනේ. මේ කතා බොහොම උනන්දුවෙන් අහගෙන ඉදලා ඔෆිස් එක පුරාම ඒවා පතුරන කොටසකුත් ඉන්නවා. තමන්ට නිවාඩු අනුමත නොකරපුවාම, හොර නිවාඩු පොතේ දාන්න කීවාම නැත්තං කෑමට ගිහින් හරියටම පැයෙන් ඇවිත් ඉඳගන්න කිවාම සර් ලට විරුද්ධව කියන්න දෙයක් තියෙන්නත් එපැයි!



අබේරත්න වැඩිය මේ කතා වලට හූමිටි තියන්න යන්නෑ. අනිත් අය කියන්නේ සර් ෙග්  රස්නේ වැදිලා කියලා. පිළිවෙලකට ජීවත් වෙන අයට ටිකක් අනික් අයගේ අකමැත්තකුත් තියනවනේ.  ඒ කොහොම වුනත් බත් එක දිගෑරගත්තම නම් නොවැරදීම ළං වෙන කීප දෙනෙක්ම ඉන්නවා. ඒ කාගේවත් කෑම එකක් අබේට හම්බවෙන බත් එක තරම් සරු නෑ. ළං වෙන අය බත් එකට අතදාලා මාලු කෑල්ලක්  හරි මස් කෑල්ලක් හරි ගන්න ගමන් තමන්ගේ බත් එකේ මෙ‍ලෝ රහක් නැති මොකක් හරි  වෑංජනයක් අබේගේ බත් එකට හලනවා. සර්ලගේ ගෙදරින් බොහොම පිරිසිදුව හදලා දෙන කෑම එකට එක එකා ඇඟිලි ගහන්න පටං ගත්තම  බඩගින්නත් අතුරුදහන්. අන්තිමට අනිත් අයට කන්න ඇරලා අබේ නැගිටිනවා කෑම එක දාලා. අනිත් අය ඒ කන ගමන් අබේට තුන්වේල ඒ ගෙදරින් කන්න හම්බවෙන එක ගැන ඇනුම්පදත් කියනවා. නොවැරදි ම සොයිසා ඒ කියන්නේ  ලේකම්තුමාගේ ඩ්‍රයිවර් තැන එතන ඉන්නවාමයි. මිනිහට කියන්නේ හැකර සොයිසා කියලා. ඕනම කෙනෙකුගේ කෙන්දක් කන්ද කරලා ගන්න උපන් හපන් කමක් තියන පුතයෙක්!



“ඈ අබේ ... උඹට කරවල දීලා සර් ලා නම් කනවා ඇති තෝර මාලු.... මොකද්ද මචං බල්ලට දාපන්කෝ මේ කෑම එක”



හැකර  සොයිසා එහෙම කියන්නේ හොඳම කරවල කෑල්ල අරගෙන තමන්ගේ දිය හොදි බත් එකට දාගන්න ගමන්.



කෑම එකේ  මාළු තිබුනොත්

 “මොකද්ද අබේ උඹලට කටු මාළු දීලා මහත්තුරු හොඳ කෑලි කනවා ඕක තමයි පාලක පන්තිය හැමදාම කරන්නේ. අපට  හැමදාම පිඩනය තමා”  කියනවා.


  දවසක බත් එකට එබිලා එදාට බිත්තර තිබුණෝතින් අබේට කුකුල් මස් නොදී ලාබ බිත්තරයක් දිලා කියනවා.



“ සහෝදරයා, උඹලට නාඩු හාල් කවලා සුපිරි පන්තිය බාස්මතී කනවා....මේක තේරුම් ගන්න බැරිතාක් උඹ‍ට වෙන්නේ ඔතනට කඹුරන්න...”



ඒවට උල්පන්දම්  දෙන්න කට්ටිය ඕන තරම්.



“ හැබෑව. ඔය ගෙවල් වල ඩ්‍රයිවර්ලට, වැඩකාරන්ට වෙනම උයනවා. වෙනම කියන්නේ ඔය සෙකෙන්ඩ් කොලිටියේ ඒවා...”



තමන්ටත් එහෙම වෙනවද කියලා අබේ මතක් කරනවා. ගමෙන් ගෙනාව දෙයක් වුනත් තමන්ට කොටසක් සර්   ගේගෙදරින් ලැබෙනවා නේද කියලා හිතට එනවා. හිතා මතා තමන්ට වෙනස් කමක් කරලා සලකලා නැති බව තමා  දැනෙන්නේ. ගෙදර ඉන්න අනිත් සේවකයන්ට වුනත් සැලකිල්ලේ වරදක් කවදාවත් අබේ දැකලා නෑ.


ඒත් සොයිසලා මෙච්චර මේ කියන්නේ එයාලගේ අත්දැකීම් නිසා නේද? තමන් උදේ සුක්කානම කරකවන්න පටං ගත්තම සමහරදාට රෑ දොළහ වෙන‍කොටත් ඒකෙන් නිදහසවෙලා නෑ නේද කියලා අබේට දැනෙන්නෙ ආත්ම අනුකම්පාවක් එක්ක. සර් ට නගින්න  බහින්න දොර අරින්න , බෑග් එක ඔෆිස් එකට අරං යන්න, අර තදබදේ එක සීරුවට වාහනේ ගාවන්නේ නැතුව ගෙනියන්න ඉන්න මට සලකන්න ඕනෑ තමයි අබේට හිතෙනවා. අපිත් මනුස්සයෝනේ. අපි දෙන්නම රජ‍යේ  සේවකයොනේ.



“සහෝදරයා අපි මහජන සේවකයෝ. හැමෝම බදු සල්ලි වලින් පඩි ගන්නේ. ඒකට පන්ති බේදයක් නෑ”



 හැකර සොයිසා කියන කතාවත් ඇත්ත තමා.



ඇත්තට හිතුවොත් අපේ ශ්‍රමය සූරා කනවා කියන්නේ මේක තමා. මම මේ වාහනේ කරකැව්වේ නැත්තං කොහොමද සර් මෙතෙන ඉන්නේ. අබේගේ හිත සැරෙන් සැරේ වෙනස් වෙනවා. එදා නම් හිත නරක් වෙලා තිබුණේ ටිකක්. කලින් දවසම සුද්දන්ගේ මිටින් ඉවර වෙනකල් හෝටලේ රස්තියාදු වෙවී ඉන්න වෙච්ච එකට. අනික් අය කැන්ටිමට වෙලා කකා බිබි කතා කර කර ඉන්නවා ඇති කියලා අබේට හිතුණා . එක අතකට මටත් පූල් එකේ ඩ්‍රයිවර් වෙන්න තිබුනේ. සොයිසත් ඔය කියන්නේ ලේකම්තුමා එන්න දෙන්නේ නෑ මිසක් නැත්තං එයා පූල් එකට එනවා කියලා.



“අබේරත්න සහෝදරයා මම කියනවට එක දවසකට ලොක්කගේ කෑම එක අරං බලනව‍කෝ. තමුසෙට එදාට පෙනෙයි ධනපතියන්ගේ ජිවිත දර්ශනය. ඔය.. කියනකොටත් තමුසේ බයයි. මේ මානසිකත්වය අපි අවබෝධ කරගත්තේ නැත්තං කිසි දවසක අපට විප්ලවයක්  ........................”



සොයිසා කතාව නැවැත්තුවේ අබේ නැගිටලා යන්න ගියපු නිසා.



එදා අබේගේ‍ හිතෙත්  මේ විප්ලවීය වෙනස වුනා. සර් කාර් එකෙන් බැහැලා ගියාට පස්සේ එයා තමා කෑම එක ලන්ච් රෑම් එකෙන් තියන්නේ. අබේ හිමිහිට කෑම පෙට්ටි දෙකේ සර්වියට් මාරු කලා. එදා පීඩිත පන්තියෙ කෑම එක ගියා ධනපතියන්ගේ කාමරේට.



දවල් කෑම වෙලාවෙදි අබේ ඉඳගත්තතේ සොයිසට කෙලින්ම පේන මේසෙක. විප්ලවය පටන් ගත්ත හිතේ සතුටත් එක්කම කෑම එක ඇරියා. අබේගේ සතුටු මූණ දැකලා සොයිසත් පුටුවෙන් පැනලා වගේ එතෙන්ට ආවා. හිමිහිට දැවටුම ඇරුණා. රතු හාල් බත් හැන්දකුයි, තම්බපු බිත්තර සුදු මද දෙකකුයි, කැරට් අලයකුයි , මිරිසට උයපු මාළු කෑල්ලකුයි  ධනපති පන්තියේ දවල් කෑමට තිබුණා.