Tuesday, March 14, 2017

ජැකරැන්ඩා මල්




සුබ්‍රමනියම් උදැල්ල පැත්තකින් තියලා ජැකරැන්ඩා ගහ පාමුල බංකුවේ ඉඳ ගත්තා. ගහ යට තණ බිස්සබිම වැටුන දම්පාට මල් වලින් වැහිලා. පින්නට තෙමුණ මල් මේ දැං පිපුණා වගේ නැවුම්. මිදුලේ එක කොනක ගැටියේ මේ ගහ හැදුවේ සුබ්‍රමනියම් පොඩි කොල්ලා කාලේ. අවුරුදු ගානක් කිසි වෙනසක් නැතුව මල් හැදෙනවා , හැලෙනවා, දළු දානවා.ඇත්තම කීවොත් සුබ්‍රමනියම් වගේමයි. එයත් අම්මා අප්පා නැතුව අතරමංවෙලා ඉඳලා එඩ්මන්ඩ් මහත්තයා ළඟට ආව දවසේ ඉඳන්ම තාමත් කිසි වෙනසක් නැතුව එතනම ඉන්නවා.  මහත්තයාටත් වැඩිය සුජාතා නෝනා දක්වපු කරුණාව සුබ්‍රමනියම්ට තමන්ගේ අසරණකම අමතක කරන්න උදව් වුනා.

“මනී........... තේ බොන්න එන්න .........”

සුජාතා නෝනා හරියට ඔරලෝසුව වගේ. එයා වැඩක් කරත් , කා ලවා හරි කෙරෙව්වත් හරියට වෙලාවටම කරන එක එයාගේ විදිය. දරුවෝ හැදුවෙත් ඒවිදිහට.

සීතලට ගල් වුන අත් දෙක එකට අතුල්ල අතුල්ලා සුබ්‍රමනියම් ගේ ඇතුලට ආවා. අද තේ හදලා තියෙන්නේ ලලිතා  බව තේ මේසේ දැක්ක ගමන් එයාට තේරුණා. සුජාතා නෝනා තේ මේසේට ජෑම් බෝතලෙයි, බටරුයි තියන්නේ පාන් ගෙඩියට දකුණු පැත්තෙන්. ලලිතාගේ අළුත් ඉස්ටැයිල්. එයා ඒ ඔක්කොම ට්‍රේ එකක තියලා එක්කෙනාටඑක පිඟාන ගානේ තියනවා. ‍ඔය අමුතු අමුතු වැඩ අත්හදා බලන්න ලලිතා කැමතියි. ඒ වුනත් අර සලාද මේ සලාද කියලා එක එක හැඩයට එළවළු කපලා කරන නාස්තියට නම් සුබ්‍රමනියම් කැමති නෑ. ඒත් කුස්සියේ වැඩ ටික බලා ගෙන සුජාතා නෝනටත් සලකගෙන ඉන්න කෙල්ලගේ හිත රිදවන්න හොඳ නැති නිසා නොදැක්කා වගේ ඉන්න එක තමා හොඳ.

“සුජාතා..........සුජාතා........” එඩ්මන්ඩ් මහත්තයාගේ කඩහඩ නැගී ගන ආවා.

“පොඩ්ඩක් ඉන්න එඩී...” සුජාතා නෝනා දුම් දාන තේ පෝච්චිය අරං ආවා. එඩ්මන්ඩ්  මහත්තයාට වැඩිය සීනි කන්න හොඳනැති නිසා සීනි අඩු ජෑම් තමා හැමෝම කන්නේ. සුබ්‍රමනියම් නම් ඒ අඩුව හරි යන්නත් එක්ක තේ එකට සීනි හැඳි හතරක් විතර දාගන්නවා.

සුජාතා සිරිතක් විදිහට උදේ තේ මේසෙට ඉඳගන්න කියලා සුබ්‍රමනියම්ටයි , ලලිතාටයි හැමදාම කියනවා. ඒ එයා දරුවෝ දෙන්නෙකුට වගේ ඒ දෙන්නටත් සලකන නිසා.  සිරිතක් විදිහට සුබ්‍රමනියම්වත් ලලිතාවත් කිසිදවසක මහත්තයාලත් එක්ක මේසෙට ඉඳගන්නෑ. තමන්ට කොච්චර හොඳට සැලකුවත් තමන් පවුලේ අය නෙවේ කියන එක දෙන්නම අමතක කරන්නේ නෑ.

කෝප්පේ පිරෙන්න තේ දාගත්ත සුබ්‍රමනියම් පාන් පෙති දෙකක් අරගෙන ඇවිත් ගෙදර දොරකඩ පඩිපෙලේ ඉඳගත්තා. එතනට මුළු පළාතම ලස්සනට පේනවා. මීදුම එතුන කඳු, තේ වතු  අතරින් රිංගලා යන පාරවල් එක බැල්මට බලාගන්න පුලුවන්. මෙතන ඉඳගත්තොත් සුබ්‍රමනියම්ට අතීතේ මතක් වෙනවාමයි.

සුබ්‍රමනියම් මේ ගෙදරට එනකොට අවුරුදු හතයි. එඩ්මන් මහත්තයා දවසක් මාකට් ගිහින් තනියම එළවළු කූඩේ උස්සාගන්න බැරුව වටපිට බලද්දී පුංචි කොල්ලෙක් ඇවිත් හරිම සීරුවට ඒක උස්සලා කාරෙකට දැම්මා. ඒ දවස්වල එඩ්මන් මහත්තයාට උදව්වට හිටියේ මාතුපාල .  එයා ගොඩක් වයස නිසාත්  අතපය වලංගුත් නැති නිසාත් එඩ්මන්ඩ් මහත්තයා මාකට් යන්නේ තනියම. කොල්ලට රුපියල් දහයක් දුන්නට ගත්තෙත් නෑ. ඒත් උදව්වක් ඉල්ලනවා වගේ  එඩ්මන්ඩ් මහත්තයාගේ මූණ බලාගෙන හිටියා.

“මහත්තයා මම මහත්තයාලගේ ගෙදර එන්නද...........?” කොල්ලා පැහැදිළිව කතා කලා.

“යමු”

සුබ්‍රමනියම් ‍සිල්වර් රේ බංගලාවට ආවේ ඒ විදිහට. ඒ මේ අවුරුදු හතළිහකට කලින්. ඒ වෙනකොට බේබිලා තුන්දෙනාම පොඩියි. ලොකු බේබි ෂාමන්ට අවුරුදු දොළහයි, මද්දුම බේබි ෂෙවාන්ට අවුරුදු නවයයි , චූටි බේබි ෂැරෝන්ට අවුරුදු තුනයි. එයාලා අදටත් දන්නෑ සුබ්‍රමනියම් මාර්කට් එකේ අතරමං වෙලා හිටපු කෙනෙක් කියලා. ඒක දැනගත්තේ  සුජාතා නෝනා විතරයි. සුබ්‍රමනියම්ට ගෙයක් , අම්මෙක් තාත්තෙක්, සහෝදරයෝ , සහෝදරියක් හැමදේම එකපාරටම ලැබුණා. වේල් ගණන් නොකා හිටපු කොල්ලෙකුට දවසකට කාලා ඉවර කරන්න බැරි තරම් කෑම ලැබුණා. ඒත් එපාම කරපු දේ තමා ලොකු මහත්තයා ඉස්කෝලේ යවන්න ලෑස්ති කරපු එක. උදේට බේබිලා ලෑස්ති වෙලා යනකොට දුක හිතෙයි කියලා තමා එහෙම ඉස්කෝලෙකට දාන්න බැලුවේ. මොන වදයක්ද? ඒ ඉස්කෝලේ කෙරිල්ල මාස තුනයි. මනි ගෙදර නැවතුනා. එක අතකට ඒ තීරණය ගන්න මාතුපාල මාමාත් උදව් කළා. මාමා කීවේ

“කොල්ලෝ උඹ මටත් උදව් කරගෙන ගෙදර නැවතියං. නැත්තං මේ ඉගන ගැනිල්ලෙන් බේබිලාගේ වගේ උඹෙත් ඔලුව නරක් වෙයි ඕං......” කියලා.

ඒ කතාවෙත්  වැරැද්දක් නෑ. බේබිලා පුංචි වුනාට පොත් බෑග් උස්සාගන්න බෑ. ඒ මදිවට අර ‍බෝල් මේ ‍බෝල් කියලා එක එක ඒවා ගහන නිසා එක එක ජාතියේ බෑට් පිතිත් අරං යනවා. හවසට චෙරි ගහ යට බංකුවේ ඉඳගෙන එලක්‍යුෂන් පාඩම් කරනවා

“ඕල්ඩ් මාතුපාල හැඩ් අ ෆාර්ම් .......

හීයා හීයා යෝ............................”



බේබිලාට කොච්චර ආදරේ වුනත් මාතුපාලට තරහා යනවා. ඒකයි තමන්ව සෙල්ලමට අල්ලා ගන්න කොට ‍බේබිලාගේ ඉගනගැනිල්ලයි ඔලුව නරක් වීමයි අතර සම්බන්ධය හොයා ගන්නේ. මනිට නම් හරි විනෝදයි මේ බේබිලාගේ වැඩ වලට. ලොකු බේබි වගේ නෙවේ දෙවනියා.හරි සෙල්ලක්කාරයා. ලොකු බේබි නම් තැන්පත්. ඒත් හොර වැඩ ප්ලෑන් කරන්නේ එතතින් . ප්ලෑන් වැරදුනාම ගුටිකන්නේ දෙවනි තැන. චූටි බේබි කාගෙත් ආදරේ ලබන කෙනානේ. හැබැයි අන්තිම හිතුවක්කාරී. මනීට කතා කරන්නෙත් අඩි පොළවේ ගහලා. ඒත් පොඩි කමට කරන කියන දේවල් වලට මනී තරහ ගන්නෑ. බේබිලා කොහොම හරි සුබ්‍රමනියම්ට ඉංග්‍රීසි ටිකක් ලියන්න කියන්න ඉගැන්නුවා.

මාතුපාල මාමා මල් හදන්න , මිදුල හදන්න , එළවළු වවන්න මනි කොල්ලට කියලා දුන්නා. සුජාතා නෝනා ගෙනාපු ජැකරැන්ඩා පැලේ සුබ්‍රමනියම් හැදුවේ චූටි බේබි කියපු තැන. ඒ එයා‍ගේ හතරවෙනි උපන් දිනය දවසේ . මිදුලේ අයිනේ උස් ගැටියක හදපු පැලේ දළු දාලා බලං ඉද්දී මල් පිපුණා. ජැකරැන්ඩා මල් කැකුළක් ඔලුව උඩට වැ‍ටුනාම මොකක් හරි සුබ දෙයක් වෙනවා කියලා විශ්වාසයක් තියනවනේ. ඒ හින්දා එතන මල් කැකුලක් වැටෙන කල් ඉඳගෙන ඉන්න බංකුවකුත් හැදුවා.  හැම උපන්දිනයකදී ම චුටි බේබි ජැකරැන්ඩා ගහ ළඟ බංකුවේ ඉඳගෙන ෆොටෝ එකක් ගන්නවා. සෙල්ලම් ගෙවල් දානකොටදම්පාටින් පිපුණ මල් අහුලාගෙන කන් දෙක දෙපැත්තේ ගහගන්නවා. කොහොමත් මිදුලේ මල් වලින් අඩුවක් වුනේ නෑ. මනි රෝස මල් වවන්න ගත්තේ සුජාතා නෝනා ආසා කරපු නිසා.

සුබ්‍රමනියම්ට අවුරුදු දහයක් වෙනකොට මාතුපාල මාමා පිළිකාවක් හැදිලා මැරුණා. මල් වලට ගහපු තෙල් බෙහෙත් මේකට හේතුව වෙන්න පුළුවන් කියලා දොස්තර කියලා තිබුණා. මාමා වළදාපු දවසේ මුළු වත්තෙම තිබුණ මල් කපාගෙන ගිහින්  වල උඩ ඇතුරුවා . ගෙදර කෙනෙකුගේ මරණයක් කොහොම අමතක කරන්නද? වෙනදා ලෝකේ පෙරලුනත් ගාණක් ගන්නැති ෂෙවාන් බේබි එදා බිම පෙරළි පෙරළි ඇඩුවා.

එදා ඉඳන් මාතුපාල මාමාගේ රාජකාරි පැටවුනේ සුබ්‍රමනියම්ගේ කරට. උදේ නැගිටලා කිරි ගේන්න, බේබිලාට පාන් ගේන්න, ‍වත්ත පිටිය පාලනය කරන්න, කඩේ යන්න, හවසට‍ ජෙනරේටර් එක දාන්න ඔය වගේ දහසකුත් එකක් වැඩ. ගෙදර ඉව්වේ පිහුවේ සුජාතා නෝනා. එඩ්මන්ඩ් මහත්තයා උදේට බේබිලා ඉස්කෝලේ  දාගෙන ඔෆිස් යනවා. ආපහු එන්නේ දවල්ට බේබිලා අරගෙන. කාලා ආයමත් ඔෆිස් ගිහින් හවස පහට එනවා. එතකල් සුබ්‍රමනියම් නැත්තං මනි නැත්තං මිස්ට මනි එහෙමත් නැත්තං මාතුපාල ද ජූනියර් තමා බලධාරියා. සුජාතා නෝනා පවරන කිසි වැඩක් මනිට අමතක වෙන්නෑ. බැරි වෙන්නෙත් නෑ. හැබැයි නෝනා කියන විදිහට නහය කට බැඳගෙන මල් වලට කෘමි නාශක ඉහින්න නම් මනිට අමතක වෙනවා.

හවසට බේබිලා ගෙදර ආවම මනිට හරි සන්තෝසයි. වැඩනම් වැඩියි තමා. ඒත් ඉතිං උදව්වට ඉන්නේ එයා විතරයි නේ. ලොකු බේබිට හැම දේම පිළිවලට ඕනෑ. තමුන්ගේ සර්වියට් එක මාරුවුනත් එයාට හිතට හරි නෑ . අනේ දෙවනි බේබි නම් කුස්සියේ බංකුවේ ඉඳගෙන හරි බෙදලා දෙන දේ ඉවර වෙනකල් කනවා. නෝනා පුඩිං,  වටලප්පන් මොනවා හදලා තිබ්බත් එයා සීනි බෝතලේ අල්ලට හලා ගෙන කාලා අත කලිසමේ දෙපැත්තේ අතුල්ලා ගන්නවාමයි. චූටි බේබි  තමුන්ට ඕන දේ ‍කොහොම හරි කරනවා. එයා ගොඩක්ම ආසා කලේ පියානෝ ගහන්න. ඒක පොඩි කාලේ සුජාතා නෝනා එයාට ඉගැන්නුවා. පස්සේ ගෙදරටම ආවා සුදු නෝනා කෙනෙක්. චූ‍ටි බේබි එයත් එක්ක සුරු බුරු ගාලා ඉංග්‍රීසි කතා කර කර පියානෝ ගහන කොට මුළු ගෙදරම සංගීතෙන් පිරෙනවා.

“ඇත්තමයි මමී මම නම් ආය පියෑනෝ ක්ලාස් දවසට ලයිබ්‍රරි යනවා යනවාමයි පාඩම් කරන්න.....”

ලොකු බේබිට හරි තරහයි තමන්ගේ පාඩම කැඩෙනවාට. දෙවනියා නම් උලක් උඩ තිබ්බත් කමක් නෑ. එහෙම සැලෙන කෙනෙක් නෙවේ එයා.

බේබිලා තුන්දෙනාම ඉගෙන ගන්න දක්ෂයි. ලොකු බේබි පළවෙනි සැරේටම දොස්තර විභාගේ පාස් වුනා. එඩ්මන් මහත්තයා හැම වෙලාවෙම එයා ගැන කීවේ අ‍පේ සිල්වර් රේ එක කියලා.  ඩාර්ක් ක්ලවුඩ් එක නම්  දෙවනි බේබි. ඉස්කෝලේ ඕනම රණ්ඩුවක මුලින්ම ඉඳී. හොරට ඉස්කෝලේ නොයා ඉඳලා මනීට කියලා අත්සන ගහගෙනත් යනවා පොතේ. ඒත් එයා කිසි මහන්සියක් නොගෙන ඉංජිනේරු විභාගේ පාස් කරා. චූටි බේබි  එයාගේ නම කියා ගත්තේ ඉංග්ලිෂ් රෝස් කියලා. ඒ වගේම තමා. එයා හැම ඉංග්‍රීසි විභාගයක්ම පාස් කරලා එංගලන්තෙට යන කොට වයස විස්සක් වත් නෑ. සුජාතා නෝනා කොච්චර විරුද්ධ වුනත් එයා ඉතුරු විභාග ටික පාස් වෙන්නම ඕන කියන තීරණය වෙනස් කලේ නෑ. ගෙදර අත හෝදන්න වතුර ටික ළඟට ඉල්ලන බේබි තනියෙන් රට රාජ්ජෙක යවන්නේ කොහෙමද?

“මනිට පුළුවන් නංගිගේ බොඩි ගාඩ් වැඩේට වීසා අරං එහේ යන්න. “ගිහින් සුද්දියක් බැඳගත්තම පර්මනට්ලිම එහේ ඉන්න පුළුවන්.”ෂෙවාන් බේබි කට උල් කරලා කීවා.

බොඩිගාඩ්ලා නැතුවම බේබි ගියා. හැම සතියකම ලියුමක් ආවා. මෙහෙනුත් ලියුමක් ගියා. ඉරිදා උදේ නවයට අම්මයි තාත්තටයි කෝල් කළා. අය්යලා දෙන්නා ගැනත් හැම වෙලාවෙම ඇහුවා. මනිට එංගලන්තේ ජැකරැන්ඩා ගස් යට ඉඳගෙන ගත්ත පින්තූර එව්වා. එයා විභාග පාස් කරලා ආපහු එනකොට අය්යලා දෙන්නම විභාග පාස් කරලා මෙහේ රස්සා කරනවා. ආපහු පස්දෙනාම ‍එක ගෙදර . ඒ වුනාට පොඩි කාලේ වගේ නෙවේ . නිතර නිතර මනිව ඕන වුනෙත් නෑ. මනිගේ කාම‍රේට ඇවිත් කතා කර කර හිටියෙත් නෑ. තම තමන්ගේ වැඩ. චූටි බේබිට නම් නිතර කෝල් ආවා. දොස්තර බේබි ඉස්පිරිතාලේ නැත්තං එයාගේ කාමරේ ඇතුලේ. දෙවනි බේබි නම් ටිකක් ගෙදර දේවල් හොයලා බැලුවා.සුජාතා නෝනයි, එඩ්මන් මහත්තයයි , මනියි එකතු වෙලා හවසට කතා කර කර ඉද්දී පොඩි කාලේ වගේ ඒ කතා මැද්දට පනින්න කවුරුත් හිටියේ නෑ.

චුටි බේබිට මෙඩ්ල් එකක් ලැබිලා තිබුණා අන්තිම විභාගයෙන්. එයාට එහේ විශ්ව විද්‍යාලෙක උගන්නත් ලැබිලා තිබුණා. ඒ වෙනකොට දොස්තර බේබි එයාගේ අනික් විභාගෙට තෝරගෙන තිබුණෙත් එංගලන්තේ. මේ දෙන්නා තීරණය දැනුම් දීලා සතියක් යන්න කලින් දෙවනි බේබිටත් රට යන උණ ආවා. අනිත් දෙන්නම යන්න කලින් එයා ඕස්ට්‍රේලියාවේ එයා වැඩ කරපු කොම්පැණියටම ගියා.

අන්තිමට සිල්වර් රේ එකයි, ඩාර්ක් ක්ලවුඩ් එකයි, ඉංග්ලිෂ් රෝස් එකයි සීතල රටවලට පියෑඹුවා. පුංචි කාලේ අම්මට තුරුල් වෙලා උණුසුමට හිටපු හැටි මතක් කර කර සුජාතා නෝනා ඇඩුවා. සතියක් විතර කිසිම කතාවක් බහක් නැතුව හාන්සි පුටුවට වෙලා ඔහේ බලාගෙන හිටියා. තමන්ගේ ජී‍විතේ ‍හොඳම කාලේ ඉවර වුනා වගේ තමා මනිට දැනුනේ. ජැකරැන්ඩා ගහෙත් එක මලක් වත් පිපුණේ නෑ ඒ දවස්වල.

අපරාදේ කියන්න බෑ තුන්දෙනා සතියට දවස් බෙදාගෙන ගෙදරට කතා කලා . ලියුම් එවුවේ නෑ. අම්මලාට මේල් කරන්න විදිහක් තිබුණානම් හොඳයි කිය කියා කෝල් කරනකොට කීවේ. ‍එඩ්මන් මහත්තයා කලින්ම පෙන්ෂන් ගත්තා සුජාතා නෝනා තනියම නිසා. සුජාතා නෝනා නිතර නිතර ලෙඩ වෙන්නත් ගත්තා.ගෙදර උයන පිහින වැඩ වලට ලලිතාව හොයා ගත්තේ මේ කාලේ.ලලිතාගේ ගම නුවර පොඩි කාලේ කරගත්ත කසාදේ දුක් විඳ විඳ හිටපු ලලිතා සිල්ව රේ බංගලාවට ආවට පස්සේ කසාදේ අමතක කරලාම දැම්මා.

පළවෙනි සීත නිවාඩුවට තුන්දෙනාම ගෙදර ආවා. සුජාතා නෝනා  තුන්දෙනා බදාගෙන ගොඩක් වෙලා ඇඩුවා. අම්මා වටේ දැවටි දැවටි හිටියා ආපහු පොඩි කාළේ වගේම. කොච්චර ලොකු වුනත් මොකක් හරි පාළුවක් එයාලට දැනිලා තියනවා කියලා මනිට ඒක දැක්කම හිතුනා. දවසක් එහෙම දැවටෙන ගමන් චූටි බේබි එයා සුදු මහත්තයෙක් බඳින්න තීරණය කරපු එක ගැන කීවා. නෝන‍ගේ හිතට ආව දුක කොයිවගේද කියලා මූණෙන් පෙනුනා. තමන්ගේ තනිමතේට පොඩි කාලේ ඉඳන් වැඩ කරා වගේම එයා මේ තීරණෙත් ගත්තා. දොස්තර බේබි නම් මහත්තයි නෝනයි  දෙන්නම කැමති වෙන විදිහේ තීරණයක් ගත්තේ. ඒ බැඳපු නෝනාත් දොස්තර කෙනෙක් . ඒ දෙන්නා හම්බවෙලා තිබුනෙත් එංගලන්තෙ දී. ඉතිං පදිංචිය තීරණය වෙලාමයි තිබුණේ. දෙවනි බේබිත් අවුරුදු දෙකක් විතර මෙහේ ඉඳලා ආපහු පදිංචියට හිටපු රටට ගියා. එයා කිසි දවසක කසාද බඳින්නෑ කියලා කිව්වට අම්මලාට වෙඩින් ෆොටෝ එවලා තිබුණා ටික කාලෙකින්. එදා නම් සුජාතා නෝනා දරු දුක හිතෙන් අතාරිනවා කියලා තමා කීවේ. නිවාඩු වලට ඉඳලා හිටලා ඇවිත් ගියා ලොකු බේබියි චූටි ‍බේබියි. ඉඳලා හිටලා කතා කලා. දෙවනිගෙන් නම් ආරංචියක් වත් නෑ. අම්මයි තාත්තයි දොස් කියලා යවපු ලියුමට හිත රිදිලා වෙන්න ඇති. ඒත් සුජාතා නෝනා නම් ඒ තුන්දෙනාගෙම උපන් දින වලට ලොකු මල් පොකුරක් හදාගෙන පල්ලියට ගිහින් ආශිර්වාද කරලා එනවා. එදාට ලලිතා කේක් හදනවාමයි. හතර දෙනාම එකතුවෙලා කේක් කකා පොඩි කාලේ මතකය අවුස්සනවා. සුජාතා ‍නෝනගේ ඇස් දෙක තෙත් වෙනවා එඩ්මන්ඩ් මහත්තයාට පේනවා.

මනිට කසාදයක් බඳින්න හිතුනෙත් නෑ. එහෙම වුනොත් සිල්ව රේ බංගලාව පාළුවට යයි කියලා එයාට දැනුනේ. නැතත් බේබිලා කවුරු හරි ආපහු ඇවිත් ලංකාවේ පදිංචි වෙන දවසට උදව්වට ඉන්නම එපාය.

‍තේ කෝප්පේ ඇල් වෙන්න ඇරලා සුබ්‍රමනියම් ඈත කඳු දිහා බලාගෙන ඉන්නවා ලලිතා දැක්කේ දැන් පැය බාගෙක පටන්. අද මොකක් හරි හිතේ අමාරුවක් වත්ද?

“මනි අය්යා අද මොකද කල්පනාව?”

ලලිතා කටහඩ බාල කරලා ඇහුවා. මනි  කල්පනා ලෝකෙන් ඇදගෙන වැටුනා.

 ඇල් වුන තේ එක අයින් කරලා ලලිතා ආපහු කෝප්පේ පුරවලා දුන්නා.

“ නෝනා ......... මේ රෝස ගස් ටික නම් අයින් කරන්න කල් හරි. ආපහු පැල ටිකක් ඉන්දමු..” මනි ඇහුවේ එඩ්මන්ඩ් මහත්තයා දිහා බලාගෙන.

“අල්ලලා දාපං මනි.. දැං ඉතිං අපිට මොන මල් ද?”

එඩ්මන්ඩ් මහත්තයාගේ බලාපොරොත්තු බිඳ වැටුන කටහඩ මනිගේ හිතෙත් පසුබෑමක් ඇති කලා.ලලිතා මාර්කට් යන්න කම්මැලි කරන නිසා එළවළු හැදිල්ල කරගෙන ගියත් මල් හැදිල්ල නම් කරගෙන ගියේ හිතේ ආසාවටමයි. අනික සුජාතා නෝනට මොන දේ කරන්න ගියත් මල් ඕනමයි.  පල්ලියෙන් වුනත් මල් ඕන වුනොත් කතා කරන්නේ මෙහාට.

ඉතුරු මල් පාත්ති දෙක සුද්ද කර කර අන්තිමට බේබිලා කතා කරේ කවදද කියලා මතක් කරන්න හැදුවත් හරියටම මතකයට ආවේ නෑ. මාස තුනකට මෙහාවත් කතා කරේ නෑ කියලා තමා මනිට දැනුනේ. ගෙදර ෆෝන් එක වදිනකොට සුජාතා නෝනා ගැස්සිලා බලාපොරාත්තු පිරුණ මූනෙන් ඒක ගන්නේ. බලාගෙන ඉද්දී මූණ අඳුරු වෙලා ඕනවට එපාවට උත්තර දෙනකොට මනි දන්නවා ඒ කතා කරන්නේ බේබිලා නෙවේ කියලා.දරුවෝ ඉන්න අයනේ. එයාලගේ වැඩත් එක්ක ඉස්පාසුවක් නැතුව ඇති මනිගේ උඩු හිත කීවා. ඒත් කතා කරන්න එක විනාඩියක් හොයාගන්න බැරිද  මනිගේ යටි හිත වාද කලා.

 තැපැල් මහත්තයාගේ බෙල් සද්දෙට මනිගේ කල්පනාව ආයමත් බිඳුනා.

“මනි අය්යා.. පාර්සල් පෝස්ට් තමා තියනවා.. ඇවිත් ගන්න” කියලා රට ලියුමකුත් දික් කරා.

සුජාතා නෝනා පුදුමෙන් වගේ දොරකඩ බලා හිටියා. එයා වෙව්ලන අත්වලින් ලියුම කැඩුවා. චූටි බේබිගෙන් ලියුම. අම්මට විශේෂ දෙයක් එවලා තියනවා. කියලා තියන දිනේටම ගන්න කියලා ලියලා තිබුණා. ඒ දිනේ අද ..

සුජාතා නෝනාගේ නොඉවසිල්ල එඩ්මන්ඩ් මහත්තයාවත් කලබල කලා. තමන්ව කාලෙකට පස්සේ හරි මතක් වුන එක ගැන සතුට දෝරේ ගලනවා  නෝනගේ මූණේ. සුජාතා නෝනයි , එඩ්මන්ඩ් මහත්තයායි කාර් එකේ නැගලා එක පිම්මට තැපැල් හලට ගියා. පාර්සලේ අරගෙන දෙන්නා එක්ක කිසි කතාවක් නැතුව ගෙදර එනකල්ම ආවා. සුජාතා නෝනා කාර් එකෙන් බැහැලා  ලස්සනට ඔතලා තිබුණ පාර්සලේ බංකුව උඩට දාලා ඉක්මන් ගමනින් ගෙට ගියා.

කඩදාසිය පරෙස්සමින් අයින් කරලා මනි බැලුවේ නොඉවසිල්ලෙන්.

‍රෝස මල් පොකුරක්....! පුංචි කාඩ් එකක් බිම වැටුනා. මනි ඇස් හීන් කරලා ඒක කියවේවේ.

Happy Mother’s Day Mummy

කොහෙන්දෝ හමා ගෙන ආපු තද සුළඟට ජැකරැන්ඩා මල් එක සීරුවට පාවෙලා ඇවිත් බිම වැටුනා.

9 comments:

  1. Uththara Gunasekara Really nice story renu. Yes new generation attitude only thing that parents have to accept.what to do?

    ReplyDelete
  2. Harsha Pathirana Lassanai Renu...Apatath oyatikama thama....

    ReplyDelete
  3. Renu Tennakoon Thanks Chamali. You may feel lot about the topic. I do want to write but till September I will bit busy. Go to the net and search for Jacaranda. Thanks for the comments again

    ReplyDelete
  4. Chamalee Perera

    Nice story Renu...
    This is the first time I heard about this jakaranda flowers. . But I imagine it from your story. .
    I like to read at least two stories per month Renu. ..

    ReplyDelete
  5. salini Dassanayake

    Nicely written.

    ReplyDelete