Wednesday, October 28, 2015

චිමිනි ලාම්පු


 

අපි පොඩි කාලේ චිමිනි ලාම්පු වලින් තමා පාඩම් වැඩ කළේ. ලයිට් තිබුණේ නැති නිසා රෑට හැම ගෙදරක ලාම්පු පත්තු කළා. පැට්‍රොමැක්ස්, චිමිනි ලාම්පු, කුප්පි ලාම්පු කියලා කීප ජාතියක් තිබුණත් වඩාත්ම ජනප්‍රිය වුනේ චිමිනි ලාම්පු . ඒ ලාම්පු තෙල් මිලට සාධාරණයක් කරලා ආලෝකය දෙන නිසා.

ලාම්පුවේ කොටස් තුනයි. චිමිනිය ගලවලා වෙන් කරපුවාම ඉතුරු වෙනවා තෙල් දාන කොටස. ඒක මිටි මහත බෝතලයක්. බෝතලේ කටට හයි කරලා තියනවා පිත්තල කොටසක්.

චිමිනිය හදලා තියෙන්නේ වීදුරු වලින්. එක එක ගණන් වලට චිමිනි තියනවා. හැඩය එකයි. ස්ටෑන්ඩර්ඩ් සයිස්. කොහොම උනත් වීදුරු නම් බාලයි. කොච්චර පරෙස්සමින් පාවිච්චි කලත් මාස තුනක් වගේ පාවිච්චි කරන කොට පිපිරිලා යනවා. කලාතුරකින් තමයි පරමායුෂ ඉවර වෙනකල් චිමිනියක් පාවිච්චි කරන්න ලැබෙන්නේ. හෝදන කොට හරි, ලාම්පුව අහාට මෙහාට ගෙනියන කොට චිමිනිය වැටිලා බිදෙනවාමයි. දවසක් ඇර දවසක්වත් චිමිනිය හෝදන්න වෙනවා. ඉස්සරලාම දැලි බැදෙන්නේ උඩ කොටසේ. දැලි නොබැඳුනත් චිමිනිය දුඹුරු  පාට වෙනවා. එතකොට එළිය අඩු වෙනවා. චිමිනිය හෝදන එක පරෙස්සමට කරන්න ඕන දෙයක්. පොල් කොස්සකට සබන් වතුර ටිකක් දාලා හිමින් චිමිනිය ඇතුල අතුල්ලලා ගත්තාම මේ දැං කඩෙන් ගත්ත එකක් වගේ  දිලිසෙනවා.

චිමිනිය දාන්න තියෙන්නේ අර පිත්තල වලින් හදපු කොටසට. ඒ රවුම වටේට අඟල් දෙකක් විතර උස කූරු හතරක් තියනවා. ඒ හතර ඇතුලට චිමිනිය දාලා තද කරන්න ඕනෑ. එක කූරක් හරි පැන්නිලා තිබුණොත් අලුත් චිමිනියකට ඕඩරයක් දෙන්න වෙනවා. තිරය දාන්න තියෙන්නේ මේ කොටසට. කඩේ ගන්න තියනවා ඝනකම රෙද්දකින් හදපු තිර. ඒක අඟලක් විතර පළලයි. අපට ඕන ප්‍රමාණය තමා මැනලා දෙන්නේ. යාරයක් විතර ගත්තාම සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. තිරය සුදු පාටයි. නිල් පාට මහත නූලකින් ඉරි දෙකක් සමාන්තරව වැටිලා තියනවා. පිත්තල කොටසේ යටින් තිරය ඇතුලට දාලා තිරය උස් පහත් කරන්න තියන ඇනය කරකවපුවාම නිකන්ම උඩට එනවා. ලාම්පුව පරණ වෙන කොට ඒ ඇනය ගෙවිලා ගිහින් තිරය උඩට එන එක නවතිනවා. එතකොට හැට්ට කට්ටක් අරගෙන ඇන ඇන තමා තිරය ගන්න වෙන්නේ. තිරය ටික ටික කපන්නන ඕන දවස් තුනකට සැරයක් වගේ. තිරයෙන් හරියට දැල්ල එන්නේ නෑ එහෙම නොවුනාම. කපලා කපලා  තිරය කොටවුනාම තමා අළුත් එකක් දාන්නේ. අළුත් තිරය දාලා පැය දෙක තුනක් යනකල් පත්තු කරන්න බෑ. තිරේට ලාම්පු තෙල් අල්ලන කන් ඉන්න ඕනෑ.

 
මිටි මහත බෝතලේ හරිම සරලයි. තෙල් දැම්මා පිත්තල උඩ කොටස තද කරා එච්චරයි. බෝතලේ කට ළඟටම ලාම්පු තෙල් පුරවන්නේ නෑ. එතකොට තෙල් හැලෙනවා. ඒ දවස්වල ලාම්පු තෙල් රතු පාටයි. පස්සේ නම් නිල් පාට කොළ පාට ලාම්පු තෙලුත් ආවා.

චිමිනි ලාම්පු දෙජාතියක් තමා මට හොඳටම මතක. එකක් සාමාන්‍ය එක. අනිකට ඇලඩින් ලාම්පු කියලා කියන්නේ. ඒක උසයි. ලොකුයි. වඩාත් පරෙස්සම්. ඒ උනත් ලාම්පු තෙල් යනවා වැඩියි. පාඩම් කරන්න කියාපු ලාම්පුව. චිමිනිය රවුම් හැඩයක් ගන්නේ . චිමිනියේ මැද කොටස තද සුදු පාටයි. එකෙන් හොඳ එළියක් ඇති වෙනවා. ලාම්පුවට තෙල් දාන කොටසත් පිත්තල වලින් හදලා තියෙන්නේ. ලාම්පු තෙල් දාලා වහන්න මූඩියක් තියනවා. ඒක නම් හරිම අප්‍රසන්න ගඳක් තමා ඇති කරන්නේ. කොච්චර අත හෝදා ගත්තත් ඒ ගඳ යන්නේ නැ. අනික ලාම්පු තෙල් දාන කොට ඇතුල පේන්නේ නැති හින්දා දන්නෙම නැතුව උතුරලා යනවා. එක වැඩේ දෙක වෙනවා කියන්නේ මේ වගේ වෙලාවට. ලාම්පුව වටේම තෙල් පැතිරිලා ඒක පිහලා , බිමත් පිහලා ලාම්පුව තියන්න පත්තර දෙක තුනකුත් හොයන්න වෙනවා.

ගෙදර හැම තැනම ලාම්පු පත්තු කරන්නේ නැති හින්දා හිතූ හිතූ තැන්වල වැටිලා පත්තර පොත් බලන්න බෑ. හැමෝම කෑම මේසෙට එකතු වෙලා එකම වෙලාවක දී පාඩම් වැඩ කරනවා. මේසේ හරි මැද තමා ලාම්පුව තියන්නේ. එක අඟලක් අහාට මෙහාට වුනොත් යුධ ප්‍රකාශ වෙනවා. ඒත් මේසේ දිග එකක් නම් අයිනේ පුටු අතෑරලා මැද පුටු වලට එන්න වෙනවා. අපට කවදාකවත් ලාම්පු එලිය මදියි කියලා හිතිලා නෑ. පාඩම් කරලා කම්මැලි හිතුනාම ලාම්පුව වටේ වැටිලා ඉන්න කළු  පාට සත්තුන්ව පෑනෙන් තද කර කර ඉන්නවා. වහින දවසට චිමිනියේ උඩ කොටස අල්ල අල්ලා ඇඟිලි ටික රත් කර ගන්නවා.

ගෙදර ලයිට් ගියාම පත්තු කරන්න මම පුංචි චිමිනි ලාම්පුවක් තියාගෙන ඉන්නවා. ඒත් ගේ ඇතුලේ මාව හැප්පෙනවාමයි. පොඩි කාලේ පුංචිම අකුරු පෙන්නලා දුන්න ලාම්පු එලිය දැං නුහුරුයි.

දැං නම් බල්බ් ජාතිම කීයක් තියනවද? තමන්ට ඕන ඕන විදිහේ විදුලි ලාම්පු තියනවද? මේ හැම දේම තියාගෙනත් අනිත් අයගේ නින්දට බාධා වෙන නිසා මම රෑට පොත් කියවන කොට පොතේම හයි කර ගන්න පුළුවන් ලයිට් එකක් දානවා.

Wednesday, October 21, 2015

ඉස්කෝලේ දැමීම


 

මේ දවස් වල ලබන අවුරුද්දට ඉස්කෝලවලට තෝරා ගත්ත දරුවන්ගේ නම් ලැයිස්තු දානවා, අම්මලා ආපහු ඇපීල් දානවා. මොනවා වෙයිද කියලා හිතා ගන්න බැරුව කොයි ක්‍රමයෙන් හරි තමන්ගේ ළමයා දාගන්න පුළුවන් විදිහ හොයනවා. දරුවා ඉපදුන දවසේ ඉඳලා ඉස්කෝලෙට දානකල්ම ඒ ගැන වද වෙන්න දෙමව්පියන්ට කාරණා තියනවා. ඒක ඉතිං ඉස්කෝලෙට දැම්මා කියලා වැඩේ ඉවරත් නැ. ඉස්කෝලේ පටන් ගත්ත දවසේ ඉඳලාම අපිත් මොනවා හරි දේකට අඩුම ගානේ ශ්‍රමදානෙකට කියලා හරි යන්න එපාය.

අපි හැමෝම බලන්නේ අපිට අඩියක් හරි ඉස්සරහින් අපේ දරුවන්ව තියන්න. ඒකේ කිසිම වැරැද්දක් මම දකින්නේ නෑ. ඒ හින්දාම තමයි ඉස්කෝලවලට මේ තරම් තරඟයක් එන්නේ. ලොකු වාසනාවකට අපේ රටේ තවමත් ඉගනීම අංක එක කියන තැන තමයි දෙමව්පියෝ ඉන්නේ. අපිට ඕන ඉස්කෝලෙට දරුවා දාගන්න බැරි වුනා කියලා දුක් වෙන දෙමව්පියන්ගේ ප්‍රමාණය සතුටු වෙන ප්‍රමාණයට වඩා වැඩි ඇති කියලා මට හිතෙන්නේ. ඒත් සමහර කාරණා දිහා බලපුවාම අපිට ඇත්තටම දුක් වෙන්න හේතුවක් තියනවද කියලත් හිතේවි.

“මම මේ කියන කාලේ අපේ රටේ යුද්ධය තදින්ම ඇවිලිලා තිබුණ කාලයක්.............. අපේ අය මාස තුනකින් ගෙවල් වල ගිහින් තිබුනේ නෑ. කිසිම කෙනෙක් ගෙවල්වල යන්න ඇහුවෙත් නෑ. ආය තමන්ගේ අය ළඟට යන්න පුළුවන් වෙයිද කියලා බලාපොරොත්තු තියා ගත්තෙත් නෑ................. “

                        හමුදා නිලධාරියා කතාව පටන් ගත්තේ එහෙමයි. මම එතන හිටිය අනිත් උසස් නිලධාරින් දිහා බැලුවේ ඒ අය අතීත ආවර්ජනයට කොහොම සවන් දෙනවාද කියලා බලන්න. හැමෝම බලාගෙන ඒ වෙලාවේ තිරයට දාලා තියපු ලංකාවේ සිතියම දිහා. ඒකේ රතු පාට කරලා තිබුණේ හමුදාව යටත් වුන කොටස්. කොළ පාටින් තිබුණා තවමත් හමුදා පාලනය යටතේ තිබුණ තැන් ටික. දින සති එක්ක සිතියම වෙනස් වෙන විදිහට තමා තිරය හදලා තිබුනේ. දවස් ඉස්සරහට යන කොට සිතියමේ රතු පාට වැඩ වුනා. නොහිතන විදිහට පළාතක්ම රතු වෙලා යනවා. හමුදාවේ අය ඒ තැන් වලින් පහු බැස්ස විදිහ, තමන්ගේ අය කරේ තියාගෙන මුහුදට පැන්න විදිහ , තුවාල වුන අතපය හොල්ලා ගන්න බැරුව කැලෑවේ වැතිරිලා දවස් ගනන් හිටපු විදිහ හමුදා නිලධාරියා විස්තර කරනවා. හතර වටේම සතුරාට අයිති වෙලා පුංචි කොලපාට කොටසක් ඉතුරු වුන තැනක හමුදා නිලධාරියාගේ ඇඟිල්ල නැවතුනා. ඒ කොටස කිලිනොච්චියේ කැලයක් සහ ගමක් අතර කොටසක්. සති දෙකක් දුෂ්කර සටනක යෙදිලා මේ කණ්ඩායමේ ඉතුරු වෙලා ඉන්නේ පස් දෙනයි. තමන්ගේ ඇස් ඉදිරි පිට සගයන් ජීවිතේ අතෑරලා ගියත් මේ කණ්ඩායමට සටන අතාරින්න බෑ. කෑම , වතුර හැමදේම සීමිත වුනත් අසීමිත ධෛර්යය නිසාම ඉදිරියට ඇදෙනවා. නොහිතපු පැත්තකින් ආපු වෙඩි ප්‍රහාරයකින් එක් කෙනෙකුට බරපතල තුවාල වුනා. පස් දෙනාම ප්‍රහාර ඉවර වෙනකල් නොහෙල්ලී ඉඳලා අවදානම ඉවර වුනාම තමන්ගේ සගයාට සාත්තු කරන්න බැලුවා. එයාගේ තත්වය ගොඩක් බරපතලයි. ඒක දෙගොල්ලන්ටම දැනුනා. සති දෙකක් එකට වෙඩි කාගෙන ඉඳපු පස්දෙනෙක් දැන් හතරක් වෙන්න යනකොට ඒක කොහොමට දැනෙයිද?

“ අපිව දාලා එයාට යන්න වෙලාව ලඟයි කියලා  අපි දැනගත්තා. ඒ වෙලාවේ එයා හෙලෙව්වේ තොල් දෙක විතරයි. එක්කෙනෙකුගේ බෝතලේ වතුර ටිකක් තිබුණා. අපි ළඟ එයාට ඒ වෙලාවේ දෙන්න තිබුණේ ඒක විතරයි. වතුර ටික කටට හලන්න යද්දී එයා මුහුණ අනික් පැත්ත හැරෙව්වා. මම තව විනාඩි ගානකින් මැරෙනවා. සර්ලා ඔය වතුර ටික බීලා අපේ අය එනකල් මෙතන අල්ලගෙන ඉන්න කියලා වෙව්ල වෙව්ලා කිව්වා. ටිකෙන් ටික එයා දුර්වල වෙනවා අපිට පෙනුනා. එක පාරටම ඇස් දෙක සම්පූර්ණයෙන්ම ඇරලා මට කතා කළා. ආපහු වතුර ඉල්ලන්න වෙන්න ඇති කියලා මට හිතුනේ. වතුර බෝතලේ ගේන්න කියලා මම එක්කෙනෙකුට අතින් සන් කළා.

“සර් මගේ දුව ලබන අවුරුද්දේ ඉස්කෝලෙට බාර දෙන්න තියනවා........ඒක බලන්න“ .

එහෙම කියලා විනාඩියක් ගියේ නෑ සදහටම ඇස් දෙක වැහුනා.

 හමුදාවේ විශේෂ කාර්යය බලකායේ උසස්ම නිලධාරියෙක් වුනත් ඒ අත්දැකීම අපට විස්තර කරන වෙලාවේ වචන වෙව්ලලා ගියා.  මම ආපහු සිතියම දිහා බැලුවා . සිතියමේ රතුයි කොළයි හරි හරියට තිබුණත් මුළු රටේම හදවත් නම් ගිනි අරගෙන තිබුණේ කියන එක මතක් වුනා. අන්තිමට අපි දිනුවා තමයි. ඒත් යුද්ධයක් කියන්නේ කවදාවත් කිසිම කෙනෙක් දිනන දෙයක් නෙවේ කියන එක මට ආපහු ආපහු තේරුම් ගියා.

 රට වෙනුවෙන් මැරෙණ මොහොතේ තමන්ගේ දුව පාසලට දාන එක මතක් වෙන්නේ තාත්තගේ හිතේ දුවට උගන්නන්න මහමෙරක් තරමට බලාපොරොත්තුවක් තිබුණ නිසා. ඒ තාත්තගේ දුව මේ ලංකාවේ කොහෝ හරි ඉස්කෝලෙක ඇති. තමන්ගේ ජීවිතේ ඉගනුමෙන් දිනා ගන්න කල් තාත්තාත් බලාගෙන ඇති.

Thursday, October 8, 2015

කුරුලෑ


 

අවුරුදු දාහතරක් විතර වෙන කොට කාගෙත් අර තෙල් ඉහෙන කාලේ කියනවනේ. මුණු ටිකක් ලොකු වෙලා , පාට වෙනස් වෙලා , උස ගිහින් එක පිළිවෙලක් වෙනවා. මූණේ කැපිලා පෙනෙන වෙනස තමා පුංචි පුංචි ගෙඩි එන එක. නලලේ , කම්මුල් දෙපැත්තේ තමා වැඩිපුරම එන්නේ. ටික දවසක් ගියාම ඒ ගෙඩි ටිකක් ලොකු වෙලා රතු වෙලා, කහ පාට වෙනවා. ඒ තමා කුරුලෑ.

ආව අළුත නම් ඒක එච්චර කරදරයක් නෑ. ඒත් එකක් ඉවරවෙන කොට දෙක තුනක් එන්න පටන් ගත්තාම, නැත්තං හැම උදේකම මූණ බලන කොට අළුතෙන් දෙක තුනක් ඇවිල්ලා නම් ඒක කරදරයක් වෙන්න පටන් අරං. පාඩම් කරන ගමන් මිරිකනවා. පුළුවන් නම් කඩනවා. එහෙමත් බැරි නම් ඇඟිලි වලන් ඇතුලට තද කරනවා. ඒ දවස් වල පාඩම් පොත ළඟ කණ්ණාඩි කෑල්ලක් තියනවාමයි. පොතේ එක පිටුවක් කියවනවා කණ්නාඩිය අරං කුරුලෑ අඩු වෙලාද කියලා බලනවා. එහෙම නැත්තං කණ්නාඩිය මොකේකට හරි හේත්තු කරලා කොනක ඉඳලා කුරුලෑ මිරිකනවා. කඩා ගන්නම බැරි එකක් නම් දොඩම් කටුවක් හරි දාලා කඩන්න බලනවා. මෙහෙම මූණට සාත්තු කරපුවාම ටික දවසක් යනකොට කුරුලෑ වලට අමතරව මූණ පුරාම කළු පැල්ලම් . ඒවා මැකෙන්නෑ මාස දෙක තුනක් යනකල්.  මැකෙනකොට තව අළුත් ඒවා ඇවිත්. මේක තදින්ම හිතට වද දෙන්නේ කිසිම ලප කැලලක් නැතුව තියන මූනු දකින කොට.

මේ කාලෙට කාන්තා පත්තර වල තියන අත් බේත් හැම එකක්ම කරලා බලනවා. එහෙම නැත්තං යාළුවෝ කරලා තියන අත් බේතක් කරනවා. සුදු හඳුන් ගල ගාලා දෙහි ඇඹුලෙන් ගානවා රෑට. ඒක රෑට පාඩම් කරලා නින්දට යද්දී තමා ගාන්නේ. රෑ නින්දෙන් ඇහැරෙන කොට ඇස් දෙකට නලලේ ගාලා තියන කුඩු වැටෙනවා. කොකුම් පොතුත් ගලේ ගාලා ගානවා. එහෙම නැත්තං වෙනිවැල් . මූණේ රවුම් දෙකක් තියාගෙන හම ඇදෙන හින්දා වැඩි කතා බහක් නැතුව කැපවීමකින් මූණ ආපහු හෝදනකල් ඉන්න වෙනවා.  හඳුන් ගල ගාන්න වෙනම ගලක් තියනවා. ඉස්කෝලේ පොත් නැන් තැන් වල දැම්මත් ඒක නම් තැන් තැන් වල දාන්නෑ. සුදු හඳුන් ලේසියකට ගෑ වෙන්නෑ. ගොඩක් වෙලාවට කස්තුරි කහ ගානවා නම් සිකුරාදා රෑට තමා ගාන්නේ.   නැත්තං ඉස්කෝලේ යනකොට මූනේ කහපාට ගැන හතර අතට උත්තර දෙන්න වෙන්නේ. කඩල පිටි , මුං ඇට පිටි මී පැණි එක්ක අනලා ගාන එකත් එක බෙහෙතක්. මී පැණි ගාලා නිදා ගන්න බැරි නිසා රෑට ම මූණ හෝදන්න වෙනවා. ලොකු සිප්පි කටු ගලේ ගාලා ගෑවා මත් කුරුලෑ අඩු වෙනවා කියලා දන්න අය කියනවා. ගොඩක් වෙලාවට පත්තර වල කුරුලෑ වලට අත් දුටු ප්‍රතිකාර ගෙදර දීම කියලා මොකක් හරි ලිපියක් තියනවාමයි. එදාට ඒ බෙහෙත කරනවාමයි. පහුවදා උදේ නැගිට්ට ගමන්ම බලනවා කුරුලෑ අඩු වෙලාද කියලා. ඔය තියෙන්නේ තිබ්බ විදිහටම.

ටිකක් වද විඳගෙන කරන්න ඕන බෙහෙතුත් අත් හදා බලනවා. සියඹලා  කොළ, වද කහ එකට කොටලා පොට්ටනියක් බැඳලා හුමාලයෙන් තම්බලා මූණ තවපුවාම කුරුලෑ අඩු වෙනවා කියන්නේ. තව කලාඳුරු අලයි වද කහයි කොටලා තම්බලා මූනේ ගාගන හිටියාමත් හරි. සුදු ළූනු බිකකට අල්පෙනෙත්තකින් ඇනලා ඒ යුෂ හරියටම කුරලෑව උඩ විතරක් තියන එකත් එක විසඳුමක්. ඇත්තටම කීවොත් බෙහෙත් නම් තියනවා. ඉවසීම තමයි අඩු. කුරුලෑවක් ඇවිල්ලා තියනවා දැක්කම ඒක කඩා ගත්තේ නැත්තං නින්ද යන්නෑ.

රෑට කුරුලෑ විශේෂඥයෙක් හදපු විශේෂ සබන් එකක් ගාලා උණු වතුරෙන් මූණ හෝදලා වෙනම තුවායකින් පිහලා ක්‍රීම් ජාතියක් ගානවා තව පියවරක් ඉදිරියට ගියාම. ඒක කරන්න නම් එක්කෝ ගෙදරින් කවුරු හරි ප්‍රතිපාදන දෙන්න ඕන. නැත්තං කාලයක් තිස්සේ පොකට් මනි ඉතුරු කරන්න ඕන. වැඩිමල් අය්යා හරි අක්කා හරි රස්සාවක් කරන කෙනෙක් නම් , එයාගේ කුරුලෑ  එනවා නම් බාල පරම්පරාව ගොඩ. ඒ ගාන ක්‍රීම් ම බැනුම් අහගෙන හරි ගාන්න පුළුවන්. වැඩේ කියන්නේ එහෙම සාත්තු කරලත් කුරුලෑ ඒ විදිහටම තියනවානේ.

එතනිනුත් එහාට ගියාම කලාතුරකින් කෙනෙක් වෛද්‍ය උපදෙස් ගන්නවා. මූණ හොඳට හෝදලා තියාගන්න එකත් තෙල් කෑම අඩු කරන එකත් වැදගත් බව දැන ගන්නේ එතකොට. හැබැයි ඉතිං දෙන බෙහෙත් වලින් කුරුලෑ පාලනයක් නම් වෙනවා. පුදුමෙක වගේ ඒ කිසි දේකින් ක්‍රීම් දැන්වීම් වලින් පෙන්නන හඳ වගේ මූණු එන්නේ නෑ. කැලමයින් ලෝෂන් එක කුරුලෑ වලට දෙන ජනප්‍රිය බෙහෙතක්. ඒක ගෑවාම මුණ රතු වෙනකල් අතුල්ලන්න ඕන. නැත්තං රෝස පාට පැල්ලම් පේනවා. බෝතලේට ඇඟිල්ල දාලා තමා ගන්නේ. ටික ටික ඉවරවේගන යනකොට බෝතලේ තදට ගහලා අල්ලේ හලා ගන්නවා. ඒ වෙනකොට ලෝෂන් එක හොඳටම ඝන වෙලා. එහෙම ගාපු දවසට හිනා වෙන්න  ටිකක් අමාරුයි. කම්මුල් වල තියන රෝම රෝස පාටක් ගන්නවා එදාට.

මේ කියන්නේ අපි කැම්පස්  ඇප්ලිකේෂන් දාලා තේරීම් එනකල් බලාගෙන හිටිය කාලේ. ඒ දවස් වල පියන් එන වෙලාවට කොහේ වත් යන්නෑ. ලියුම නැති වුනොත් කියලා. මගේ යාළුවෙක් ඉන්නවා. කවදත් කුරුලෑ ගැන සැලකිල්ලක් දක්වන. කුරුලෑත් එහෙම තමයි එයාට හොඳට සලකනවා. එදා අලිපේරයි, මී පැණියි , කිරියි එකට කලවම් කරලා මුළු මූනෙම ගාගෙන ඉන්නවලු. විනාඩි විස්සක් ඉන්න ඕනෑ. කවදාකවත් නැතුව පියන් උදේ පාන්දර ඇවිල්ලා බෙල් ගහනවලු. ගෙදර ඉන්නෙත් එයා විතරයිලු. ලියුම මිදුලට දාලා යන්න කියලා කෑ ගහලා කීවලු. එහෙම බෑ මේක අත්සන් කරලා ගන්න වෙන එකක් කියලා පියන් කෑ ගහනවලු. කැම්පස් එකෙන් ආපු ලියුමක් වෙන්න ඇති කියලා පුළුවන් විදිහට මූනේ තියන අලි පේර තට්ටුව කඩලා දාලා ගිහින් බලන කොට මුද්දර නැති ලියුමක් තියනවලු එයාගේ නමට. පියන්ගේ මූණ බලන්නේ නැතුව දඩත් ගෙවලා ගත්ත ලියුම කුරුලෑ සහනය විශේෂඥ වෛද්‍ය උපදේශක සභාවෙන් එවලා තියන එකක්. කුරුලෑ එන්නේ මානසික අසහනය හේතුවෙන් නිසා මානසික අසහනය නැති කර ගැනීම සඳහා මා හමුවන්න කියලා කාගෙදෝ නමකුයි සීල් එකකුයි තිබුණලු.

Monday, September 28, 2015

කළු ලෑලි


 

අපි පොඩි කාලේ ටීචර් අකුරු ලීවේ කළු ලෑල්ලේ. පාට පාට හුණු කූරු තිබුණත් සුදු පාට තමයි අකුරු ලියන්න ගන්නේ. ඉස්කෝලෙට මාසෙකට සැරයක් එවන බඩු තොගය අතරේ හුණු කූරු   පැකට් දෙකක් විතර තියනවා. ඒක තියෙන්නේ  ප්රින්සිපල්ගේ කබඩ් එකේ. පන්තියේ මොනිටර් ගිහින් පොතේ අත්සන් කරලා සතියට දෙන කූරු ප්රමාණය අරගෙන එනවා. බිම වැටුනොත් කැඩෙන නිසා පරෙස්සමට පාවිච්චි කරන්න ටීචර් වග බලා ගන්නවා. කැඩුණ කෑලි වෙනම බෝතලයක එකතු කරනවා නැති වෙලාවට ලියන්න ගන්න.

කළු ලෑල්ලේ සුදු අකුරු බෝල වගේ ඇඳෙන විදිය බලා ඉන්න ආසයි. ඉස්පිලි පාපිලි එක්ක වාක්යක් ලියන්න පුළුවන් දිග තීරණය වෙන්නේ කළු ලෑල්ලේ දිගත් එක්ක. කොහොමත් කළු ලෑල්ලේ කොන් හතර වැඩිය පාවිච්චි නොවන නිසා කළු පාටටම තියෙනවා. මැද නම් හුණු කූරු වැදිලා සුදු පාට වෙනවා. මකනේ කියන්නේ ඇතුලට  පුළුන් දාලා හදන පුංචි කොට්ටේ අහාට මෙහාට අතුල්ලපුවාම අකුරු මැකිලා යනවා. ඒකේ තියන සුදු හුණු දුවිලි කළු ලෑල්ල පුරාම ගිහින් ඒකෙම ආපහු තැන්පත් වෙනවා. කළු ලෑල්ලේ මැද ටික දවසක් යනකොට දිලිසෙන ලප දෙක තුනක් ඇති වෙනවා. එතන ලියනකොටකිරික්ගාලා දත් හිරි වැටෙන සද්දයක් ඇති වෙනවා. අකුරු ලිස්සලා යනවා. තවත් ටික දවසක් යනකොට මුළු ලෑල්ලම විදහට ලිස්සනවා. එතකොට ටීචර් තීරණය කරනවා දැන් ලෑල්ල කළු කරන්න කාලය හරි කියලා.

ඒක ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙවේ. ළමයිම කරගන්නත් ඕනෑ. ඒකට තෝරා ගන්නේ සිකුරාදා දවසක්. පන්තිය කොටස් තුනකට බෙදනවා. එක කොටසක් කළු  ලෑල්ල කළු කරන්න කැමති අය. මේ කණ්ඩායමේ නම් ඉන්නේ ඉස්කෝලේ ඕනම දේකට කැමැත්තෙන් ඉදිරි පත් වන ස්වේච්ඡා භටයන්. අනික් කොටස ලාම්පු දැලි ගේන අය. ගොඩට කැමැත්තෙන් ඉදිරිපත් වෙන අය වැඩියි. අනෙක් කොටස එඞරු කිරි ගේන අය. ඒකට කට්ටිය ඉදිරි පත් වෙන්නේ නැත්තේ වැඩේ අමාරු නිසායි සමහර අයට එඞරු ගස් හොයා ගන්න නැති නිසයි.

ලාම්පු දැලි ගන්න පුළුවන් චිමිනි ලාම්පුවේ දැල්ල වැඩි කරලා චිමිනිය උඩින් බාගෙට වගේ වහලා තිබ්බාම. එක පැත්තක හොඳට දැලි බැඳෙනවා. චිමිනිය නිවෙන්න ඇරලා පත්තර කොලයක් උඩට හොලවපුවාම දැලි කඩා ගෙන වැටෙනවා. එහෙම නැත්තං කරන්න වෙන්නේ කුප්පි ලාම්පුවක් පත්තු කරලා දෙපැත්තෙන් ගඩොල් දෙකක් තියලා උඩින් තහඩුවක් තියලා වටේ හොඳට වහන එක. එතකොට උඩ තහඩුවේ දැලි බැදෙනවා.

එඞරු කිරි එකතු කරන එක නම් අමාරුයි. හොඳ ඉවසීමක් තියෙන්නම වෙනවා. ගහෙන් නැට්ට කඩලා එතනට බෝතලේ අල්ලගෙන ඉන්නකොට බින්දුවෙන් බින්දුව කිරි වෑස්සෙනවා. බින්දු දහයක් විතර වැටුනාම තව කොලයක නැට්ට කඩලා බෝතලය අල්ලනවා. අන්තිමට ගහේ කඳ කඩලා අරගෙන කිරි එකතු කර ගන්නවා. කිරි රතු පාටයි.

ඉස්කෝලේ වෙනම තැන් දෙකක සතියේ සඳුදා ඉඳලාම බඩු එකතු කරනවා. පරණ රෙදි කෑලි, කෙසෙල් මුව ගේන්න පුළුවන් අය බාර ගන්නවා. සිකුරාදා පැය දෙකක් විතර මේ වැඩේට ඕන වෙනවා. එදාට ලෑල්ල කළු කරන්න එන ළමයි පරණ ඇඳුමක් අරගෙන ඇවිත් සුදු ඇඳුමට උඩින් ඇඳ ගන්නවා. පහන් දැලි දිය කරනවා එඞරු  කිරි වල. ඊට පස්සේ කෙසෙල් මුවේ දෙකට කපලා දැලි මිශ්රණයේ ඔබලා ලෑල්ලේ අතුල්ලනවා. ලෑල්ල කළු කරලා ඉවර වෙනකොට නැගලා හිටිය පුටුවෙයි, බිමයි , අත් දෙකෙයි දැලි තියනවා ලෑල්ලට වැඩිය. පන්තියේ අනිත් අය බිම සුද්ද කරලා පුටු සුද්ද කරලා ඉවර වෙනකලුත් අතේ ගෑවිච්ච දැලි යවා ගන්න අර ළමයින්ට බෑ. ඉතුරු පහන් දැලි ටිකයි එඞරු කිරි ටිකයි ළඟ පන්තියකට දෙනවා ඊළඟ පාර හිලව් කර ගන්න. 

සඳුදාට කළු ලෑල්ලේ දිස්නයට මුළු පන්තියම එළියයි. කළු පාට අඳුරුයි කීවට කළු ලෑල්ල එහෙම නෙවේ. ටීචර් වුනත් අකුරු ලියන්නේ ලෝබ කමට.

අපි ටිකක් ලොකු වෙද්දී කළු පාට තීන්ත වර්ගයක් ආව නිසා කළු කිරීම හරි ලේසියි. පුංචි තීන්ත බුරුසුවක්  අරගෙන එක පැත්තකට ගාන්න විතරයි තියෙන්නේ . ගාන පරක්කුවෙන් වේලෙනවා.  ඒත් දැං ඉස්කෝලවල තියෙන්නේ සුදු ලෑලි. ඒකටම පෑනුත් තියනවා. එක අතකට කළු ලෑලි ඉස්කෝලවලින් අයින් වෙච්ච එකත් හොඳයි. ලෑලි කළු කරන දවසට දෙමව්පියන්ටත් යන්න වෙයි. වගේ ඉවසීමකින් වැඩක් කරන්න අපේ ළමයින්ට නම් අමාරු වෙයි.