Friday, August 4, 2017

ඒ බරත් ඉවරයි...


නිවාඩු කාලේ පටන් අරගෙන දවස් තුනකට පස්සේ  කන්දක් උඩ පිහිටලා තියන ලස්සන බංගලාවට එක සීරුවට වාහන ඇ‍දෙනවා. අන්තිම ගේට්ටුව හදලා තියෙන්නේ  කළු ගල් වලින්. ඒක හරියටම බංගලාවේ බිත්තියට ගැලපෙනවා. දෙපැත්තේ ගානට කප්පාදු කරපු මල් පිරුණු ගස් දෙකක්. එතනින් එහාට වාහන ගන්න බෑ. හැමෝම එතන බැහැලා බංගලාවට ඇවිදගෙන යනවා. බෑග් ටික ගන්න වෙනම සේවකයෝ එතෙන්ට එනවා. පොඩ්ඩන්ට නම් බංගලාවේ කන්ද නගින තැන ඉඳලාම පයින් එන්න පුළුවන්. කන්ද වටේ රවුමට රවුමට පාර තියන නිසා අම්මලාට උඩ ඉඳගෙන බලාගෙන ඉන්න පුළුවන් ළමයි එනකල්.

වාහනෙන් බහින්න නෝනලාට ටිකක් අමාරුයි. දිග ගමනාන්තයක්. ගොඩක් වෙලාවට මහත්තුරු ඇවිත් බඳ පටිය ගලවලා උදව් කරනවා. අමාරුවෙන් දනිස් දෙක නවලා අරගෙන දොරේ එල්ලිලා බහින ගමන් කූඩැල්ලෝ එල්ලිලාද කියලත් බලන්න වෙනවා. තණකොළ අස්සේ කූඩැල්ලෝ එමට. හිමිහිට ඇවිද ගෙන යන ගමන් බලාපොරොත්තු පිරුණු මූණු වලින් බංගලාවේ වට පිට බලනවා.

ආපු පිළිවලට තමා හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. කලින් මුදල් ගෙවලා ආපු අයට හරිම ලේසියි. එයාලව බංලාවේ ඇතුලේ අමුත්තන්ගේ කාමරේ තියලා තියන පොතේ තමන්ගේ විස්තර හරියට ලියලද බලලා අත්සනක් දාලා ඇවිත් එළියේ රතු පුටු වල වාඩි වෙනවා. එතකොට ඒ පවුලේ අයගේ උදේ කෑම වේල ලස්සන බන්දේසියක දාලා  හීනි හැඩ තරුණ ගෑණු ළමයි ඇවිත්  බොහොම උද්යෝගයෙන් දීලා යනවා. ඒ ගෑණු ළමන්ගේ හැඩ දැක්කම නෝනලාගේ හිත ඊටත් වඩා උද්යෝගෙන් පිරෙනවා.

මේ බර ශරීර බර අඩු කිරීමේ කඳවුරක්. අගනුවරින් ඈත සීතල පරිසරයක මාසයක් පුරා පැවැත්වෙන නේවාසික කඳවුරක්. හැබැයි කාන්තාවන්ට විතරයි. ඒ මාසේ ඇතුළේ ගෙදර යාම් ඊම් තහනම්. අනිවාර්යයනේම කඳවුරේ ආහාර පාන විතරයි. ටිකක් ලොකු ගාණක් තමා. ඒත් බර කිලෝ පහළවකින් අඩු කරලා දෙන එක ! ඒක ජීවිත කාලෙටම කරගන්න බැරි දෙයක් තනියම.
සමහර නෝනලා ආපහු හැරිලා යන අවස්ථාවලුත් තියනවා. ඒ වැඩසටහනේ විස්තර බලපුවාම ටිකක් හිත පසුබට වෙන නිසා. තමන්ගේ පුරුදු ජීවන රටාවට වඩා හාත්පසින්ම වෙනස් දෙයකට හැඩ ගැහෙන්න වෙනවට සමහර අය බයයි. ඉතිං බය නැති , ආපහු ළමිස්සියෝ වගේ ඇඟවල් හදාගන්න කැමති අය නවතිනවා. එයාලගේ මහත්තුරු දරුවොත් එක්ක ගෙවල් බලා යනවා මාසෙක බර හිතේ තියාගෙන.

ලියාපදිංචියේ දී ලොකු දෙයක් කෙරෙන්නේ නෑ.  ලස්සන මල් පිරුණ ඕකිඩ් කොටයක් ළග තියලා ෆොටෝ එකක් ගන්නවා. කොට දෙකයි ! මූලික විස්තර , රෝග වාර්තා ටික එකතු කරගෙන කට්ටියගේ බර මැන ගන්නවා. සමහර වෙලාවට  තරාදියේ කට්ට ඇඟ හිරිවට්ටන වේගෙන් දකුණට කැරකෙනවා. ඒ වෙලාවට තරාදිය උඩ ඉන්න නෝනගේ මූනේ හරිම කලකිරීමක් සටහන් වෙන්නේ. ඒත් එතන ඉන්න කාර්ය මණ්ඩලට නම් ඒක සතුටක්. මොකද ඒ නෝනා ගෙදර යන කොට ඔය කැරකුනු කට්ට වම් පැත්තට තමා බර වෙන්නේ!
මූලික වැඩ ඉවරයි. තමන් ඉල්ලපු කාමර වල යතුරු ලැබෙනවා. පුංචි පුංචි කාමර වෙන් කරලා හදලා තියෙන්නේ බංගලාවේ තේ වත්ත ඇතුලේ. හැම එකකටම පඩිපෙලක් නැගලා බහින්න වෙනවා. කැමති නම් දිග කොන්ක්‍රිට් පාර දිගේ ගිහින් යන්නත් පුළුවන්. ඒක ඈතයි. නුරුස්සන මූණින් සමහර නෝනලා කුෂන් කරපු පුටු වලින් නැගිටලා බාගෙට ඉවර කරපු කෑම බන්දේසි මේසෙන් තියලා තමන්ගේ කාමර වලට යන්න පටන් ගන්නවා.

දවල් එකට ආපහු පඩිපෙළ නැගලා බැහැලා කෑම කන්න එන්න වෙනවා. ඒක තියෙන්නේ එළිමහනේ. වැස්ස දවසට විතරක්  ඇතුලේ කෑම ලෑස්ති කරනවා. මුල දවස් ටිකේ කෑමට කට්ටිය ඇදිලා එනවා බලා ඉන්න ලස්සනයි. දැවැන්ත සතෙක් තමන්ගේ ගුහාවෙන් එනවා වගේ තමා පේන්නේ. බොහෝම හෙමින් . එහෙමත් කෙනෙක් තමා පඩි පහක් විතර එක දිගට නගින්නේ. කෑම විතරක් නෙවේ තේ බොන්න උනත් නියමිත තැනට එන්න වෙනවා. ප්ලේන් ටී එකක් බොන්න මේ තරම් මහන්සි වෙන්න කැමති නැති අය නෑවිත්ම ඉන්නවා. එහෙම වෙන්නේ මුල සතියේ විතරයි. කට්ටිය හොඳට යාලු වුනාම හැම වෙලේම එකට.
උදේ හය වෙනකොට උණු වතුර වීදුරු දෙකක් බීලා දවස පටන් ගන්නවා. හය හමාරට ව්‍යායාම කරන තැනට එන්න ඕනෑ හැමෝම.  උදේ පුරවලා කිරි වීදුරුවක් බොනකල් ඇ‍ඳෙන් බහින්න බැරි අයගේ මූණු වල තියන සිරියාව!  තද සීතල පින්න නිසා එළිමහනට යන්නෑ. මුලින්ම සැහැල්ලු ව්‍යායාම වලින් පටන් ගන්නවා. ව්‍යායාම වලට එන දෙන්නගේ ඇ‍ඟේ සැහැල්ලුව දැක්කම තම තමන්ගේ ඇගේ එල්ලෙන මේද තට්ටු අතින් හරි තද කරලා වහගන්න ගොඩක් දෙනෙකුට හිතෙනවා.  ශරීරය නමලා ව්‍යායාම කරන්න බැරි තරම් මහත අයට ව්‍යායාම උපකරන තෝරා ගන්න පුළුවන්. ඒත් හිත නැලවෙන ඇරොබික්ස් වලට නෝනලා ගොඩක් ආසයි. මුල පැය බාගෙන් පස්සේ විනාඩි තුනක් මහන්සි අරිනවා. ආයම පැයක් එක එක ඉරියව් මාරු කර කර ව්‍යායාම. පලවෙනි දවසේ බර අනුව කොටස් තුනකට කාණ්ඩය බෙදලා ඒ අනුව ව්‍යායාම ක්‍රම මාරු කරනවා. මුල ටික ඉවරයි. කැමති අයට තව ටික වෙලාවක් තමන් කැමති ව්‍යායාමයක් කරන්න පුළුවන්. ඒ වෙලාවට  යොදය රහිත කිරි වීදුරුවක් බොන්න අවසර තියනවා. නැත්නම් පොල් කිරි නැති කොළ කැඳ..
උදේ කෑම අරගෙනම කාමර වලට යන්න පුළුවන්. උදේ කෑමට ඕට්ස්, කඩල , නැත්තං පළතුරු .ඒකත් නියමිත ප්‍රමාණ විතරයි. ග්‍රීන් ටී එක අනිවාර්යයි.

ආපහු  උදේ දහයට පටන් ගන්නවා මයින්ඩ්  ඇන්ඩ් සෝල් වැඩසටහන. ‍ඒක මෙහෙයවන්නේ පළපුරුදු මනෝ විශේෂඥවරයෙක්. වැදගත්ම දේ තමා  එතන ඉන්න කාර්ය මණ්ඩලයේ හැම දෙනාම ඉතා ම හොඳින් තමන්ගේ සිරුරු පාලනය කරගෙන ඉන්න අය වීම. තමන්ගේ මානසික වියවුල් නිසා ශරීරය අසමතුලිත වෙන හැටි සහ ඒකෙන් තමන්ගේ රූපයට වෙන හානිය හොඳින් පැහැදිළි කරනවා. විවිධ මාතෘකා ඔස්සේ හැමදාම ඒ වැඩසටහනත් එයින් පස්සේ ‍පෞද්ගලික සාකච්ඡා වටයකුත් තියනවා. අර ‍පොදුවේ කතා කරනවාට වැඩිය පෞද්ගලික  කතා බහේදි ඇත්තටම ම‍නෝ චිකිත්සක ප්‍රතිකාර ලැබිය යුතු අයත් හම්බ වෙලා තියනවා.
උදේ වරුවේ වැඩ ඉවරයි. දවල් කෑම එක හමාර වෙනකල් තියනවා. කැමති අයට නාන කාමරෙන් හරි එළියේ ගල් ටැංකි වලින් හරි නාන්න පුළුවන්. අනිත් අයට පහළ දිය ඇල්ලට යන්න පුළුවන්. දෙවනි සතිය වෙනකොට නාන කාමර වලින් නාන අය නෑ. මහ කන්ද බැහැලා හැමෝම දිය ඇල්ලේ දිය කෙළියේ.

මුල දවස් දහයේ දවල් කෑමට බත් නෑ. එළවළු සලාද, තම්බපු එළවලු , සුප් සහ විවිධ විධියට තම්බපු , ග්‍රිල් කරපු මාලු ජාති. ඒත් ප්‍රමාණය ඉක්මවන්න බෑ. ඒ දවස් ටිකේ කිරිම පිරියක් නැතුව කෑම කන්නේ හැමෝම. වැඩි සීමාවක් නොකර ලැබෙන පළතුරු නිසා හිත හදා ගන්න පුළුවන්.

හවසට යෝග වැඩසටහනකුයි , භාවනා වැඩසටහනකුයි  තියනවා.  කැමති දෙයක් තෝරා ගන්න පුළුවන් .මේ දෙකෙන්ම කරන්නේ තමන්ගේ අරමුණ වෙනුවෙන් හිත පුහුණු කරන එක. මොකද මෙතන ඉන්නේ තමන්ගේ  ජිවිතේ සැප ම ලං කරගෙන තරබාරු බවින් පෙළෙන අය. එයාලට කැපවීම් කරන්න ටිකක් අපහසුයි. තාවකාලික දුකක් විඳින්නවත් හිත හදාගන්න අමාරුයි. නමුත් මේ කඳවුරේ අරමුණට ළං වෙන්න ඒ කැපවීම සියයට සියයක් අවශ්‍යයි. මොකද මාසයක් ඉවර වෙනකොට ඒ නියමිත බර අඩුවෙලා නැත්නම් ගත්ත සල්ලි ටික ආපහු දෙන කොන්දේසිය උඩ තමා කට්ටිය කඳවුරට එන්නේ. ඒ හින්දා පුංචි අතපසු වීමක් වත් නොවී හැම කෙනෙක් ගැනම විශේෂ අවධානයකින් කඳවුරේ වැඩ කෙරෙනවා.

ඒ වැඩ සටහන් දෙක ඉවර වෙලා හැමෝම සැහැල්ලු ගමනක යෙදෙනවා කඳු දෙක අතර . එක රවුමක් කිලෝ මීටර තුනයි. ඒක මොන අමාරුවෙන් හරි යන්න වෙනවා මොකද ගියපු තැනට එන්න වෙන්නේ ඒ රවුම ගහලා මයි. ඒ වෙලාවට පරිසරයේ ලස්සනට කොළඹ නෝනලා වශීවෙනවා. ඒකම තමා තියන පෙළඹ වීමත්. නැත්නම් සැපට හිටපු එයාලට ඒ දවස අන්තිම පැය කීපය හරිම මන්සියි. ගෙදර නම් අතට පයට සේවකයෝ සමහර අයට.  ගොඩක් අය විශේෂ හේතුවක් නැතුව රවුම් දෙකක්ම යනවා. සමහර වෙලාවට කතාව නවත්තන් වෙනවට වඩා රවුමක් යන එක හොඳයි කියලා හිතන අයත් ඉන්නවා ඇති . ඒකයි. කතාව ගමනට ඉණිමගක් නොවැ!

හවසට ගිහින් ඇඟ පත හෝදා ගත්තම ගොඩක් අයට ආපහු එන්න කම්මැලි රෑ කෑමට. කෑම කිව්වට මාළු පෙත්තයි , සුප් එකයි. නමුත් ඒක අනිවාර්යයි. රවුම් දෙකක් ගහපු අය එහෙම්ම කෑම අරගෙන කාමර වලට යනවා. අනික් අය සැහැල්ලු ඇඳුමින් ඇවිත් කෑම අරගෙන එතන තියන සඟරාවල එක මිටට ඉන අල්ලන්න පුළුවන් ගෑනු ළමයින්ගේ ඇඳුම් විලාසිතා බලනවා. තව සති කීපයකින් තමන් අඳින්න බලාපොරොත්තු වෙන ඇඳුම්.

දෙවනි සතියත් ගියාම හැමෝම වගේ වැඩ සටහනට ඔරොත්තු දෙනවා. වෙනදට වඩා ව්‍යායාම වැඩියි. අහාර පාලනය තිතට. බැලූ බැල්මට ඇගේ වෙනස් කම් පේනවා. තරාදියත් කිරි කිරි ගාන්නේ නෑ නැග්ගම. මුල දවස්වල ගස් යට වැටිලා නරක් වුන පේර දැන් ගැට වෙද්දිම ඉවරයි. හරිම ඉක්මනට හිත හැදෙනවා එළවලු , පළතුරු විතරක් කන්න. කිලෝ මීටර දෙකක් පයින් ගිහින්  පල්ලහා ෆාම් එකෙන් පළතුරු ගන්න අවසර ලැබෙනවා හැමෝටම  දෙවනි සතියේ ඉඳන්.  හැබැයි අලිපේර , කෙසෙල් හොරෙන් වත් කන්න බෑ. ‍ලොවි ගෙඩි පහක් දවසට අනිවාර්යයි. ඒ කෑම දිරවන එක ලේසි කරන නිසා.

තුන්වෙනි සතිය වෙනකොට ආසාවට කවුරුත් පුටු උඩ නෑ. එක්කෝ නෙට්බෝල් නැත්තං බැඩ්මින්ටන් නැත්තං දොලේ පිහිනුම්.  රෑට ෆයර් කෑම්ප්. ඇති වෙන්න සින්දු කියන්න , නටන්න පුලුවන් . මදි පාඩු සංගීතයට සීතලේ පින්නේ තෙමෙන ගෙම්බෝ කෑ ගහනවා.  කොළඹ දී නම් බාර්බක්‍යු නයිට් එකක දී මොන තරමක්  තෙලුයි පිටියි ශරිරයට බස්සා ගන්වද කියලා හැමෝම කතා වෙනවා. ඒ වෙනකොට ඒ කෑම දැක්කත් අරගෙන කන්න බෑ. ඒකට මනස හදලා ඉවරයි.

අන්තිම සතියේ යන්න දෙනවා ළගම තියන ටවුන් එකට . ඒ අළුත් ඇඳුම් ගන්න . එකකොට ගෙනාව ඒවා ගොඩක් බුරුල්. තමන්ගෙ ඉන මනින නෝනලා කෑ ගහන්නේ පුදුම සතුටින්. ඒත් ඇඳුම් දෙකකට වඩා ගන්න එපා කියනවා. ඒ අනිත දවස් හයේදි තව ගොඩාක් බර  අඩුවෙන නිසා.

කඳවුරේ අන්තිම දවසට කලින් දවස. හැමෝගම අතර පෙර / පසු කියලා ෆොටෝ එකක් ලැබෙනවා. පෙර කියන්නේ කඳවුරට ආව දවසේ ගත්ත ‍ෆොටෝ එක. පසු කියන්නේ කලින් දව‍සේ අන්තිම වැඩසටහනේ දී ගත්ත එක. ඒ ‍පසු ෆොටෝ එකේ නොවැරදීම තියන ලක්ෂණ දෙකක් තියනවා. එකක් බොහොම හැඩැති සිරුරක්. අනික ප්‍රීතිමත් හිනාවක්. මේ දෙක ජීවිතේ හැමදාම තියාගන්න විදිහ අන්තිම දවසේ හිතේ පතුළටම දානවා. ඒ වෙනකොට කඳවුරෙන් ලබපු ශික්ෂණයයි, අත්දැකීමයි නිසා තමන්ට ලැබෙන දේශනයේ හැම අකුරකම ඇති වැදගත් කම අවබෝධ වෙනවා. මෙච්චර කැපවීමක් කරලා ලබා ගත්ත දෙයක් නැති කරගන්න අකමැති කව්ද?

අන්තිම දවස......

උදේ නමය වෙනකොට තමන්ගේ බෑග් ඇදගෙන පාර දිගේ කඩිසර ගමනින් එක නෝනලා ටිකක්. වෙනදාට නම් මහත්තුරුන්ට ඇගේ හැඩයෙන් කියන්න පුළුවන් අර ඈත එන්නෙ මගේ නෝනා කියලා.  ඔක්කොමලා දැං ළමිස්සියෝ ව‍ගේ. අර යාළුවෙලා ඉන්න කාලේ වගේ. මහත්තුරු එක එක්කනා හොරෙන් තමන්ගේ මහත අතපය, ඉදියට ආව බඩවල් දිහා බලනවා.

හැම විදිහටම ලස්සන වුන නෝනා කෙනෙක් ඇවිත් තමන්ගේ දරුවො මහත්තයා ඉස්සරහා හිනා වෙලා හිටගන්නවා. ඒ හිනාව දැක්කම මහත්තයාගේ හිතේ තිබ්බ බර නෝන‍ගේ අඩු වෙච්ච බරට සමානවම නැතිවෙලා යනවා.

මාසෙකට කලින් අමාරුවෙන් කඳු අද්දපු වාහනේ හරිම පහසුවෙන් කොළඹ බලා පිටත් වෙලා යනවා.

ඒ බරත් ඉවරයි.


(සැ.යු. මගේ හඳහන බලපු දෛවඥයෙක් කිව්වා මහ ධන යෝගයක් මට තියනවා කියලා. මට කෝටි ගානක ලොතරැය්යක් ඇඳු‍නේ නැත්තං එතුමා ප්‍රසිද්ධියේ වෙඩි තියාගන්නවා කිව්ව නිසා මම ඒක ඇත්ත බව විශ්වාස කරනවා. මේ ලියලා තියන්නේ ඒ සල්ලි යොදවලා කරන්න යන WEIGHT LOOSING CAMP එක ගැන. වැඩේ ස්ථිරයි. හැම නිවාඩු කාලෙකම‍ කෙරෙනවා. දැං තියා රෙජිස්ටර් වෙන්න පුළුවන් ගාස්තුවෙන් බාගයක් ගෙවලා. ලයික් කිරීම පණමක් මූලික වටයේ රෙජිස්ටර් කටයුතු සඳහා සෑහේ)

Friday, July 14, 2017

රිසි නොරිසි


කඳුවල පරණ තේ පඳුරු ඔහේ මාසෙකට සැරයක් විතර අලුත් දල්ලක් දාන ගමන් ඉවරයක් නැති සිරිපොදයට මුහුණ දෙනවා. කිසිම සැලකිල්ලක් නොකර තමන්ව අභාවයට යන්න ඇරිය නිසා වත්තේ තේ දලු ඉවරටෙම ඉවර වෙලා දැං දෑවුරුද්දක් විතර. ඉඳලා හිටලා ඇවිත් යන රාණිත් වත්තේ වැවිලා තියන ගොටු කොළ ටික ගලවාගෙන යනවා මිසක් ආය වෙන දේකට එන්නෑ. බලන්න එපායෑ ඒ දවස් වල රාණි හිටපු විදිහ. හැම වෙලාවකම නාන්නේ සුවඳ සබන් ගාලා. අනිත් ලැයිමේ අයගේ වගේ තේ කහට තිබුණේ නෑ ඇඟිලි වල. හවසට කූඩළු ගෙඩියක් දාලා නියපොතු සුද්ද කරගන්නවා. පෙනුමත් සුදුයි. ඒකට හේතුව විදිහට ගමේ අය කීවේ රාණිගේ තාත්තා ඉස්සර වත්තේ අයිතිකාර සුද්දා වුන හින්දා කියලා.
රාණි ඒ කාලේ හිටිය ඒ වත්තේ ලස්සනම කෙල්ල. රාණිගේ අම්මා නැතිවෙන කොට රාණිට වයස අවුරුදු දාසයයි. අම්මලා වගේ තේ දළු කඩන්නේ නෑ කියන තැනම තමා රාණි ඉස්කෝලෙන් අයින් වෙනකොටත් කීවේ. තාත්තත් නැති අම්මත් නැති රාණි වත්තේ වැඩට ආවේ නැත්තං ලැයිමෙන් යන්න වෙනවා. නෑදෑයෙක් ළඟටවත් යන්න රාණිගේ හිත නැමුනේ නෑ. අන්තිමට වත්තේ නෝනා කරපු යෝජනාවට රාණි කැමති වුණා. ඒ නෝනාලාගේ බංලාවේ වැඩට යන එකට. ඒකට කැමති වුණෙත් තව අවුරුදු කීපයකින් එහේ බේබිලා අරගෙන  කොළඹ යනකොට එක්කගෙන යනවා කියාපු නිසා. මුලදී බංගලාවේ වැඩ කරලා හවසට ගෙදර ආවත් පස්සේ පස්සේ තනියම ලැයිමේ ඉන්න එක රාණිට එපා වුනා. ලැයිමේ මිනිස්සුන්ටත් චාරයක් නෑ. හවසට වැනි වැනි යන ගමන් රාණිගේ ලැයිමටත් එබීගෙන යනවා. ඒ අය අතරේ රාණිගේ අම්මගේ වයසේ මිනිස්සුත් හිටියා. කොහොමින් හරි වුනේ රාණි බංගලාවට සින්න වුන එක.
බංගලාවේ වැඩ ලේසි නෑ. අතුගාන්න, කාණු හෝදන්න, උයන්න වගේම බල්ලෝ බලා ගන්නත් තියනවා. එළියේ වැඩට නම් පිරිමි කට්ටිය හිටියා. සමහරදාට  උයන්න  නෝනත් එනවා. ඒත් ආවහම කරදර වැඩියි. හිතෙන හිතෙන ඒවා හදනවා කම්පියුටර් එකෙන් බලාගෙන. ඒ අතරේ මොකක් හරි කෝල් එකක් ආවොත් ඔක්කොම නවත්තලා ඒක විතරයි. රාණිට ඒ වැඩයි මේ වැඩයි දෙකම පැටවෙනවා. මහත්තයාගේ අම්මා ලෙඩ ගානේ ඉන්නේ. එයාට පොඩ්ඩ වරදින්න බෑ. කෑ ගහනවා . අර බේබිලා බලන්න අරං ඉන්න කෙල්ල නම් පැත්ත පලාතේ යන්නෑ. රාණි ඉතිං බැන්නත් පාඩුවේ ඉල්ලන දෙයක් ගිහින් දෙනවා.
බේබිලා ලොකු වුණා. කිව්වත් වගේම නෝනා එයාලාව අරගෙන කොළඹට ගියා. රාණිත් ගියා.  මහත්තයා බංගලාවේ වැඩට පිරිමි කෙනෙක් ගන්නවා කීවා නෝනත් නැතුව ගෑනු නවත්තාගන්න බැරි නිසා. කොළඹ වැඩ නම් ලේසියි. ඒත් බදුල්ලේ වගේ සීතල නෑ. උදේට නම් යුද්දයක් වගේ බේබිලා තුන්දෙනාටම කෑම හදලා , පොත් බෑග් හදලා , අන්දවලා එයාලා ඉස්කෝලෙට ගෙනියන්නේ රාණි. ඒ ඇවිත් අනික් අතට ගෙවල් සුද්ද කරලා දවල්ට උයනවා. නෝනා ජිම් එකට ගිහින් දවල්ට බබාලා අරගෙන ඇවිත් ටිකක් නිදා ගන්නවා. රාණිට නම් නිදා ගන්න වෙන්නෑ. පහුවදා ඉස්කෝලේ ගෙනියන දේවල් හොයන්න, රූප කපන්න, කාසි අච්චු ගහන්න තියනවනේ.  බේබිලා තුන්දෙනාම කොල්ලෝ වුනාට රාණිට ආදරෙයි. හැබැයි පොඩ්ඩක්වත් බය නෑ. නෝනා ලොකු පාලුවකින් තමා කල් ඇරියේ. මූණේ හිනාවක් ආවේ මහත්තයා කොළඹ ආවම විතරයි.
මුලදි මහත්තයා කොළඹ ආව සතියක් ‍ගානේ. ඒ එනකොට කවුරු හරි යාළු මහත්තයෙක් එක්කන් එනවා තනියම එන්නේ නැතුව .  නෝනා කිව්වේ එනකොට ඩ්‍රයිවර් එක්ක එන්න නැත්තං ගෙදර අයට එකට ඉන්න වත් ලැබෙන්නේ නෑ යාලුවෝ ආවම කියලා.  මහත්තයා කළේ තමන්ට කැමති දේ විතරයි.  මහත්තයා කොළඹ ගෙදරට එන එක අඩු වුණා බේබිලා ලොකු වෙනකොට . ඒ වෙනුවට එයාලා නිවාඩු අල්ලලා බදුල්ලට ගියා . රාණිත් ගියා ඒත් එක්ක. දැං ලයිමත් දිලා වෙන කෙනෙකුට. රාණිට කසාදයක් කරලා දීලා හොඳ තැනකින් ගේ පොඩ්ඩක් හදලා දෙනවා කීව නිසා එයාගේ කලබලයක් තිබුණේ නෑ. ඒ ගියාමත් නෝනට නිදහසේ මහත්තයා එක්ක කතා කරන්නවත් නෑ. හැම වෙලාවෙම මහත්තයාට වෙන රාජකාරි.
නෝනයි මහත්තයයි ටික ටික නොහොඳ වෙන්න ගත්තා. මොකක් නමුත් ලොකු දෙයකට නෝනා‍‍ තද අමනාපයක් ඇති කර ගත්තා. මහත්තයා නිතර යාළුවෝ ආශ්‍රය කරපු එකත් නෝනගේ හිත තැලුවා. හැම ඉරිදටම වරද්දන්නේ නැතුව පල්ලි ගිය කෙනා ඒකත් අතෑරියා .දවසක්  ඩේසි නෝනා ඒ කියන්‍නේ මහත්තයාගේ යාලුවෙකුගේ නෝනා කෙනෙක් ආවා කොළඹ ගෙදරට . ඇවිත් දෙන්නා එක්ක ගොඩක් වෙලා කතා කර කර හිටියා. එදා නම් නෝනා දරුවෝ දිහා වත් බැලුවේ නෑ. නෝනගේ ගෙදරට කතා කරලා හරියට ඇ‍ඩුවා. බඳින්දලා දෙන්න ඉස්සරලා තමන් කීව දේවල් වලට විරුද්ධ වුණා කියලා නෝනගේ තාත්තට තදින් කතා කලා.  අන්තිමට
"ඒක දෙවියන්ගේ කැමැත්ත නෙවේ මමී ..." කියලා උස් හඩින් කියලා ෆොන් එක තිබ්බා. ආය ඒ ගෙදරින් ආව එක කෝල් එකකටවත් උත්තර දුන්නේ නෑ.
ඊට පස්සේ දවසක ටෙලි‍ෆෝන් එකෙන් මහත්තයට බොහෝම දොස් කීවා . දිගටම වාද වුණා. අන්තිමට ෆෝන් එක තිබ්බේ මහත්තයාගේ ජීවිතේ එයාට කැමති විදිහට ගත කරන්න නෝනා ඉඩ දෙනවා කියලා . පහුවදා උදේ කාමරේ දොර අරින්නේ නැතුව නෝනා හිටියා. අන්තිමට රාණිට වුණා ගෙදර  ඩ්‍රයිවර්ට කියලා දොර කඩවන්න. කිසි දවසක රාණි දකින්න බලා‍පොරොත්තු නොවුණ විදිහට නෝනා කාමරේ විදුලි පංකාවේ එල්ලිලා හිටියා. වෙනදට එක එක සායම් ගාලා රෝස පාට කරපු  නියපොතු නිල් වෙලා. ලස්සන මූණ ලොකු වේදනාවකින් පිරිලා. බේබිලා තුන් දෙනා රාණිගේ ඇ‍‍‍ඟේ එල්ලිලා විලාප තිබ්බා.
මළ ගෙදර කටයුතු කෙරුණු විදිය රාණිට මතක නෑ. මතකේ තිබ්බේ බේබිලා තුන්දෙනා විතරයි. තමන්ගේ විවාහය අමතක කරලා රාණි බේබිලා ලොකු මහත් කරා. කොහොමත් ගමේ හැදිලා තිබුණ කතා වලට ආය රාණිට හරි හමන් දීගෙක යන්නත් බෑ. ඒත් මහත්තයා රාණිටවත් වෙන ගෑනු කෙනෙකුටවත් තමන්ගේ ජීවිතේ බෙදා ගන්න දුන්නේ නෑ.
බේබිලා ඉගන ගත්තා. රට‍ ගියා දෙන්නෙක්. දෙවනි බේබි දොස්තර කෙනෙක් වෙලා මෙහේම නැවතුනා. ඒ වෙනකොට එයාලා රාණිගෙන් ඈත් වෙලා. අන්තිමට ගෙදර ඉතුරු වුනේ රාණියි ඩ්‍රයිවරුයි විතරයි. මහත්තයා තීරණය කළා කොළඹ ගෙදර විකුණලා දෙවනි බේබිට අලුත් ගෙයක් අරං දෙන්න. රාණි අවුරුදු තිහකට පස්සේ ආපහු තමන්ගේ රෙදි ටිකත් ඔතාගෙන බදුල්ලට ආවා. වත්තේ බංගලාවට යන්න හිත දෙන්නෑ. හැම වෙලාවෙම මහත්තුරු පිරිලා. මහත්තයාගේ මේ අමුතු ආශ්‍රය ගැන රාණිටත් ටිකක් අපුලක් දැනෙන්ට පටන් අරන්. ඇරත් ගමේ මිනිස්සු කියන දේ වලට නෝනා ගැන පපුව පැලෙන්න වේදනායි රාණිට. අන්තිමට මහත්තයා අර හදලා දෙනවා කිව ගේ පොඩ්ඩ වෙනුවට පරණ ටකරන් ගැලවුන වහලයක් තියන ලැයින් කාමරයක් අස් කරලා රාණිට දුන්නා. බංගලාවට ඇවිත් අඩු පාඩු ගෙනියන්න කීවත් හැමදාම ඔය කන්ද නැගලා බහින්න රාණිට බෑ. අවුරුදු ගණනාවක් රෑ දවල් නැතුව මහන්සි වෙලා රාණි දැං වයසට වඩා වයසයි.
දරුවන්ට වියදම් කරලා ඉවර වුනාම මහත්තයත් තේ වතු අතෑරියා. දරුවෝ නම් තාත්තා ඉන්නවද නැද්ද කියලා බැලුවේ නෑ. ටිකක් හරි බැලුවේ දොස්තර බේබි විතරයි. ඒ බේබිත් කසාද බඳින්න යනවා කියලා ආරංචි වුණා බංගලාවේ පැත්තේ ගිය දවසක. එදා ඒ දෙන්නම රාණිට හම්බ වුණා. දොස්තර බේබිට තිබ්බේ තාත්තාගේ හැඩ රුව මයි. ඇවතුම් පැවතුම් ඒ වගේ වෙයිද කියලා රාණිට හිතුනා. ඒත් හොයාගෙන තියන චූටි නෝනා නම් බේබිලාගේ අම්මා වගෙ නෙවේ. ටිකක් සැර පාටයි.
දෙන්නා වැඩි සද්දයක් නැතුව මගුලක් අරගෙන බංගලාවේ පදිංචි වුණා ටික දවසකට. ඒ දවස්වල බේබි වත්තේ ඉස්පිරිතාලේ වැඩ කළේ. බැන්ද අලුත වුණත් නිතර රෑ වැඩ කියලා  බංගලාවට ආවේ නෑ. රාණිත් ඉස්සරට වැඩිය බංගලාව පැත්තේ ගියා . මහත්තයා වයසට ගියත් පුරුදු විදිහමයි. යාළුවෝම තමා.
බොහොම සතුටින් දුව පැන පැන හිටපු චූටි නෝනා ටික දවසක ඉඳලා ලොකු කල්පනාවක. අනේ මේ වගේම අඳුරක් තිබුණා අපේ නෝනගේ මූනෙත් රාණිට හිතුනා.
"රාණි අම්මා, සුදේෂ්ගේ අම්මා මැරුණේ ඇයි? " නොහිතපු වෙලාවට චූටි නෝනා රාණිගෙන් බේබි මහත්තයාගේ අම්මා ගැන ඇහුවා.
රාණි ඇත්තටම කාරණයක් දැනං හිටියේ නෑ. පස්සේ නම් එක එක දේවල් එයාට හිතිලා තිබ්බා.
"මට එයාගේ ඩයරියක් හම්බ වුණා....." චූටි නෝනා පරණ දින පොතක් පෙන්නුවා.
"මේ එයා අන්තිමට ලියපු දවස.. ඊට සතියකට පස්සේ තමා මැරිලා තියෙන්නේ...
කියවන්න බැරි වුනත් රාණි දිනපොත ගත්තා. නෝනගේ අකුරු තමා.

Why God created human beings and  made them  male and female ? It was  god's wish to  unite man and women and to become one flesh. Was it Satan's wish to  united man and man  and to become one flesh?  
නෝනා ලියලා තිබුණේ එහෙමයි.

චූටි නෝනගේ  ඇස් වේදනාවට හරි කේන්තියට හරි දිළිසෙනවා. ඒත් කතා කළේ හරිම සන්සුන් ස්වරයකින්.

" තවත් මෙහේ හිටියොත් මටත් ඩයරි එකේ ලියන්න වෙන්නේ  මේකම තමා... රාණි අම්මා මම දැන් අපේ ඩැඩී ආවම ගෙදර යනවා. කලබල වෙන්න එපා. මම සුදේෂ්ටයි , එයාගේ තාත්තටයි කතා කරලා මම යන බව කීවා. සුදේෂ් ආව දවසක  මේ යතුර එයාට දෙන්න"

Wednesday, July 12, 2017

රිලව්


රිලව් කියන්නේ පේරාදෙණි‍ය කැම්පස් එකේ මතකයන්ගෙන් කොටසක්. මිනිස්සු පැවතගෙන එන්නේ රිලවුන්ගෙන් කියලයි හිතෙන්නේ  ඒ හැසිරීම දැක්කම. කැම්පස් පාරවල් , හොස්ටල් වටේම ගස් කොළන් තියන නිසා අපි සහ රිලවු අතර හොඳ සමාජ ආශ්‍රයක් තිබුණා. මේ ආශ්‍රය හොඳටම වැඩි දියුණු වුණේ දෙවනි අවුරුද්දේ ඉඳන්. අපි හිටියේ සංඝමිත්තා ‍ක්ලස්‍ටර්ස් වල. එහා පැත්තෙන් මහවැලි ගඟ. රිලා ආකර්ෂණය තියන කැලෑවක් තිබ්බේ. ඒකේ රිලව් තට්ටු ගෙවල් හදාගෙන පදිංචි වෙලා හිටියා.
මම අවුරුදු හතරක අත්දැකීම් වලින් දන්නවා රිලව් කැමති නිල් පාටට කියලා. අපේ රෙදි හෝදලා වැඩි පරෙස්සමට කටුත් ගහලා වැලේ දැම්මාම උදේ අට වෙනකොට රාජකාරියට වාර්තා කරන රිලව් ටික ඉස්සරලාම කරන්නේ කටුව ගලවාගෙන කටේ දාලා දෙකට කැඩෙන්න හපන එක. ඊට පස්සේ නිල් පාට ඇඳුම් ටික තෝරලා තමන්ගේ සර්වාංගයම ඒවායෙන් පිහ ගන්නවා. අනිත් ඇඳුම් ටික කැමති විදිහට හපන්න, පාගන්න නැත්තං කඹ අදින්න යොදාගන්නවා. කොහොමත් රෙදි වැලේ තියන හැම ඇඳුමකම පශ්චාත්භාගය ගාගෙන තමා හැම එකාම වහලට පනින්නේ. ඒ රෙදි සතියක් පෙ‍‍ඟෙන්න දාලා හේදුවත් රිලා ගඳ යන්නෑ.
සංඝමිත්තා එකේ ඉද්දී  රිලා රංචුවක නායකයා වගේ හිටියේ තඩි රිලවෙක්. ඒකට අපි කිව්වේ  හර්ෂ කියලා. ඒකට හේතුව අපේ යාලුවෙක් හිටියා ඒ සයිස් එකේම. එයාට උපහාරයක් විදිහට තමා ඒ නම දැම්මේ.
උදේ පාන්දර රිලා රංචුව ඇවිත් අපේ රෙදි මිරිකන කොට
" අන්න හර්ෂ ඇවිත් ඔයාලගේ රෙදි ගෙනියනවෝ...." කියලා කවුරු හරි කෑ ගහනවානේ.
ඒ වෙලාවට අපේ සබ් වෝඩ්න් බූසෑ කොණ්ඩෙත් අවුල් කරගෙන නයිටිය පිටින්ම එළියට පනිනවා  ඒ පණට ආදරේ නැතුව හොස්ටල් එකට පැනපු කොල්ලා මොකාද බලන්න. මුලදී නම් අපට කෑ ගැහුවා විකාර නම් සත්තුන්ට කියන්න එපා කියලා . පස්සේ පස්සේ එයත් කියන්න ගත්තා
"ළමයි ඔයාලගේ වැරදි නිසා තමයි හර්ෂලා හොස්ටල් එකට පනින්නේ" කියලා.
ඒ දවස්වල මේන් හෝල් එකේ මොනවද ‍අලුත් වැඩියාවක්. සිමෙන්ති බාල්දි උඩට අදින කඹයක් තිබුණා ස්ලැබ් එක උඩ දාලා. දවසක් පුරුදු විදිහට හර්ෂ ඇවිත් වතුර බට දිගේ , වහළ දිගේ නටනවා. එක පාරට උඩ තට්ටුවේ එල්ලී එල්ලී තිබුණ කඹේ දැකලා එල්ලුනා. නිකම්ම තිබුණ කඹේ හර්ෂත් එක්කම බිම. අපමණ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද හර්ෂ ගස් වලට පැනලා නොපෙනී ගියා!
තුන්වෙනි හතරවෙනි අවුරුදු වල අපි  ජේ. පී . හෝල් එකේ .  අපරාදේ කියන්න බෑ එහෙදි නම් අපි එයාලගේ තැනට ආව විදිහට තමා රිලව් අපට සැලකුවේ. දවල් එකට තියන ලෙක්චර්ස් වලට යන්න කලින් අර මනමාලි එළියට බහිනවා වගේ රතිඤ්ඤා පත්තු කරගෙන තමයි කට්ටිය යන්නේ. ඒ සද්දෙට කොරිඩෝවල පවත්වන මහා සභා රැස්වීම ඉබේම විසිරිලා ගස් වල එල්ලෙනවා. ඉතුරු හරිය රතිඤ්ඤා ශබ්දය ඇසී විනාඩි විස්සක් ගෙවුණ පසු ආපසු පැවැත්වේ.... නැවතත් රතිඤ්ඤා හඩ ... නැවතත් විසිර යාම.  ඔය වගේ තමා.
අපේ කාමර වල එළි‍යේ බැල්කනි එකට ඇරෙන දොරකුයි, ජනේලයකුයි තියෙනවා. හදිසියේ හරි ඒක වහන්න අමතක වෙලා ගිහින් තිබුණොත් කාමරේ බිත්ති හතර විතරයි අපි ආපහු බලාපොරොත්තුවෙන් එන්නේ. එහෙම වුණා එක දවසක්. අපි ලෙක්චර්ස් ඉවර වෙලා එනකොට රිලව් තුන් හතර දෙනෙක් කාමරේට පැනලා අපේ ඇඳ යට තිබුණ අලිපේර බාගෙට කාලා, බිත්තර බිඳලා ඇඳ උඩ. සීනි හලලා, බිස්කට් නම් තිබ්බ තැනවත් නෑ. එක්කනෙක් පේෂල් කරගෙන ඉන්නවා අපේ  කිරිපිටි වලින්. මදිපාඩුවට අපේ ගුරුලේත්තුව කෑලි වලට බිඳලා. ඒ වතුරේ පනිනවා , ඇඳන් උඩට පනිනවා.
සමහර වෙලාවට අපේ පනා , කන්නාඩි අරගෙන  හොරෙන් පනිනවා . ගස් වලට වෙලා කන්නාඩියෙන් බල බලා පනාවේ අනික් පැත්තෙන් කොණ්ඩේ පීරනවා. සමහර වෙලාවට අපේ ඇඳුම් ඇඳගන්නවා හරිම පිලිවෙළට. ගවුමේ අතින් දානවා ඔලුව . එතකොට අර වෙඩින් වලට ඇන්දා වගේ ඇඳුම දිගට තියනවා. ඊට පස්සේ වහලේ දිගේ හොල්මන වගේ පැන පැන යනවා ගවුම පැටලෙන කල්.
‍ජේ.පී එකේ තිබුණ පොකුණේ හිටියා ඉබ්බෙක්. දවල්ට  නලපාන ජාතකයේ අළුත්ම වර්ෂන් එක එතන රඟ දැක්වෙනවා. රිලව් ඇවිත් පොකුණට බැහැලා නාන ගමන් ඉබ්බව අල්ලලා එළියෙන් තියනවා. ඒ ඉබ්බත් ටිකක් වෙලා කටුව ඇතුළේ ඉඳලා පනිනවා පොකුණට. හරියට බලාගෙන හිටියා වගේ රිලවෙක් ඇවිත් ඒ ඉබ්බා පොකුණේ පතුළේ ගෑවෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ආපහු දෝතින් බදා එළියේ තැන්පත් කරනවා.
රිලා අත්දැකිම් වලින් මම ආසම මේකට. අපේ හොස්ටල් එක සුද්ද කරන කෙනෙක් හිටියා . නම මුත්තු වගේ මතක. සුද්ද කරනවා කීවාට බොරුවේ හොඳම එක. ආයි වෝඩ්න්ටවත් බය නෑ. බොරුවට බාත් රූම් වලට වතුර දෙකක් ගහලා අපිටත් පාට් දාලා වෝඩ්න්ටත් පාට් දාලා දවසම විට කකා ඉඳලා යනවා. මිනිහා දවසක් එනවා උදේම කාට හරි බැන බැන. ඒ වෙලාවේ කොරිඩෝවේ මුල්ලේ තියන බින් එකේ රිලවු පිරිලා. අපි අනික් පැත්තේ ඉදන් දන්න විදිහට කීවා රිලව් ඉන්නවා එන්න එපා කියලා.
" මොනවා මේ නාන කාමරේ.. මම සුදු වෙන්න මැදලා ගියේ. ඔය මිසීලට ඕන ඕන විදිහට මට බෑ මේවා අතුල්ලන්ට "  මුත්තු හිතුවේ අපි බාත් රූම් එක සුද්ද කරන්න කීවා කියලා.
එහෙම කියාගෙන හැරෙන කොටම එතන රිලව්. පාර්ශව දෙකම බයවුණා. රිලව් පැන්නා මුත්තුගේ ඇඟට. මුත්තු පැන්නා බාගෙට ඇරලා තිබ්බ කාමරේකට.
හදිසියේ ඇති වුණ රිලා සහ නූතන වානරයාගේ ආගමනයෙන් උද්දාමට පත් උපාධි අපේක්ෂිකාවන් ගිරිය යටින් නැගූ ඔල්වරසන් හඩ පේරාදෙණියේ අනන්‍යතාව කියාපෑවා.

මිනිසා සැබවින්ම පැවත එන්නේ රිලවුන්ගෙනි!

Saturday, June 24, 2017

අනුන්ගේ කුණු


ඥානලතා අත්දෙක පිටිපස්සට කරගෙන ගේට්ටුවෙන් පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා. ඈත වංගුවේ නම් කවුරුත් පේන්න නෑ. ඒත් අනික් පැත්තෙන් ආවොත් එක පාරටම පෙනේනෙත් නෑ. සෙනසුරාදා උදේම වැඩට යන වරු වැඩ අය නිසා මිසක් මේකට වෙන බාධාවක් නෑ. කුණු මල්ල බරයි ඒ මදිවට ගඳයි. ලයිට් කණුව වටේටම බල්ලෝ කුණු ඇදලා දාලා නිසා ළඟට යන්නත් බෑ. ඈත ඉඳන් විසි කරන්නත් බර වැඩියි. ඒ හින්දා පුලුවන් තරමේ ලඟට ගිහින් විසිකරන්න හිතාගෙන ඥානලතා පාර පැන්නා.

“අනේ ඒයි බලන්නකෝ ........මේ ඊයෙත් මෙතෙන්ට කුණු දාලනේ මේ මිනිස්සු..”

මාලාගේ කටේ සද්දෙට ඥානලතා පස්සට විසිවුණා.

“මේ ගෑණි කොහෙන් පාත් වුණාද මන්දා..... කුණු මල්ල දැක්කා නම් මෙතෙන ප්ලාස්ටික් දත් ඇඳි දෙක විසි වෙනකල් කියවයි”

“මාත් මේ ගඳ මොකද්ද බලන්න තමයි ආවේ මෙයා..”

හොඳ වෙලාවට වැටේ ගස් වලට වැහිලා නිසා ඥානලතාගේ කුණු මල්ල මාලාට පෙණුනේ නෑ.

“කාලකණ්ණි මිනිස්සු.. මේ අපේ ගෙදර ඔක්කොටෝම ඩෙංගු හැදුනෙත් මේ කුණු ගොඩ හින්දා තමයි. අපි මෙතන කුණු තියන්නේ මෙයා ලයිට් කණුව තියෙන්නේ අපේ ගෙදර ඉස්සරහනේ. මේ පාරේ ඉන්න ඔක්කෝම ඒක කරාම හරිනවද?”

ඥානලතාගේ කට කහනවා පාරත් අයිති ගෙදරට ද අහන්න. පාර පොදු නම් ලයිට් කණුවත් පොදු නම් කාටවත් එපා කියන්න බෑ එතන කුණු දාන්න‍.

වැඩි කතාවට ගිහින් මාලා ගේට්ටුව පැනලා ආවොත් කුණු මල්ල අහුවෙනවා මදිවට ඊයේ ගෙනත් දාපු පොල් ලෙලි ටිකත් අහුවෙනවා.

“අනේ මං මේ පාං  එනකල් පරක්කු වෙවී හිටියේ .. මේ කුණු  ගද ඉවසන්න බැරුව බැලුවේ සතෙක් වත් මැරිලා නම් ගුණේට කියලා අයින් කරවන්න. යන්නං එහෙනං” ඥානලතා ආපහු හැරුණා.

“ ඒයි ආං පාං එනවා....”

සංගිත සද්දේ එක්ක පාන් වාහනේ නැවතුනා. අතේ සල්ලිත් නෑ. කියපු බොරුවත් අහුවෙනවා.



“අනේ දැං මතක් වුණේ කොල්ලා අද බත් එකක් ගෙනියනවා කිවා දවල්ට. පාං කාලා බෑ...” ඥානලතා  සුරුස් ගාලා පාර පැන්නා.



“එකත් එකටම මේ ගෑණි කුණු මල්ල අතාරින්න ආවේ. මං දැක්ක නිසා ආපහු හැරුණා.. අහුවෙයිනේ ආයම අතටම.”

ඥානලතා කුණු මල්ල පොල් ගහ ළඟින් තියලා ගෙට ආවා. දවස් දෙකක් තිස්සේ මේක විසිකරගන්න බෑ. කවුද දන්නේ නගර සභාවෙන් ඔච්චර තදටම ඉඳීකියලා. කුණු තෝරලා දාන්න කියලා ලවුස්පීකරෙන් කීවා තමයි. කොල්ලත් පෝස්ටර් එකක් ගෙනත් දීලා කියලා දුන්නා කරන විදහ. ඒත් ඉතිං ඥානලතා විතරයි අස් පස් කරලා අතු ගාන්නේ . දුවත් උදේ පාන්දර ගියාම එන්නේ කරුවල වැටිලා. සෙනසුරාදටත් කරන වැඩක් නෑ. බැරිවෙලා හරි අතුගෑවත් ඔක්කොම කුණු එක මල්ලකට දාන්නේ. අනික මිනිස්සුන්ට මාස දෙක තුනක් දෙන්න එපැයි වැඩේ පුරුදු වෙන්න‍  මේ අද කියලා තව සති දෙක තුනකින් නීතිය විදිහට කුණු එකතු කරාට හරියනවායැයි.

ඥානලතාලගේ ගෙදර තියෙන්නේ පර්චස් අටක. අහල පහළ හැමෝගෙම එහෙම තමා. කුණු වලක් තියා කුණු බාල්දියක්වත් තියා ගන්න ඉඩ මදි. සතියකට සැරයක් එන කුණු ට්‍රැක්ටර් එකට මෙච්චර කල් නම් ටින් බෙලෙක්ක, පරණ රෙදි , ඉතුරු වෙන කෑම ඔක්කොම දීලා නිදහස් වුණා. පාරේ හැමෝටම එක දිගට ඩෙංගු හැදෙන්න පටං ගත්තම මේ නානාප්‍රකාර රැස්වීම් තියලා අර යසට දාපු කුනු  වෙන් කරලා බාරදෙන්න කීවේ. ආයි මොකද කුණු වෙන් කරා කියලා මදුරුවා අපිව කන එක නවත්තනවද?

ඥානලතා නං ඔය දහඅට නීති වලට යටත් වෙන්නෑ. ප්‍රජා සාලාවේ රැස්වීමට ගිහින් ආපු ගුණේ මීට පස්සේ ඔක්කොම කුණු එකට දාලා ගෙනියන්න බෑය. දිරන්නේ නැති කුණු එකතු කරන්නේ සතියේ වෙන දවසකය කීවාම ඥානලතා ගුණේටත් ඉගැන්නුවා නගර සභාවේ කම්මැලි කමටයි දෙපාරක් ට්‍රැක්ටරේ ඇවිත් ඕ ටී ගන්නයි ගහපු ගැටවලටයි එයා අහුවෙන්නේ නැති බව. අනික ගෙනිච්චේ නැතුවට ඔය ලයිට් කණුව යට ඕන තරං කුණු තියෙන්නේ බදාදා පැන්න ගමං.

ඒ සතියේ බදාදා ඥානලතාගේ කුණු මල්ලට ඇනලා ටිං බෙලෙක්ක තියනවා කියලා දාලා ගියා කුණු ට්‍රැක්ටරේ කට්ටිය. හවස් වෙලා ලයිට් කණුව යටට දාන්න හිටියට මාලාගේ ගෙදර අය එකතු වෙලා ඒක යට සුද්ද කරලා වැලි දාලා කුණු දැමීම බල්ලන්ට පමණයි කියලා ගැහුවා. ගෙදර අයට ඩෙංගු හැදුන වෙලාවේ කුණු ඉස්පැට්ටර් කීවලු  මදුරුවෝ බිත්තර දාලා තිබුණේ කුණු ගොඩේ තිබුණ කිරි හට්ටිවල කියලා. ඒත් කරුවල වැටෙන්න ඇරලා ගුණේ අතේ කුණු මල්ල යවලා ඥානලතා  නිදහස් වුණා.

මේ දැං ප්‍රශණේ වුනේ ඊට පස්සේ සතියේ කුනු මල්ලත් ට්‍රැක්ටර්  එකට නොගත්ත එක . දුන්න රුපියල් විස්සත් විරිත්තලා වගේ එපා කීවනේ. ඥානලතාට ඒකට නං කේන්තිය ඉවසන්න බෑ. සතයක් වත් නොදී කරගත්ත වැඩේ දැං රුපියල් විස්සකටවත් කරගන්න බෑ. ගුණේ ලව්වා වත් පෙත්සමක් ලියලා නගර සභාවට දෙනවා කියලා ඥානලතා හිතනවා.

“අම්මේ මේං ටොමියා කුණු මල්ල ඇදලෝ...”

වැඩට යන්න එළියට බැස්ස පුතාගේ කෑ ගැහිල්ලට ඥානලතා එළියට පැන්නේ ඉදලත් අරගෙන. මාළු ඔලු  ටික ඇදලා දාලා හැමතැනම, පොල් කුඩු ටික ගේට්ටුව ළගට යනකල්ම හැලිලා.

බැග්... ගාගෙන ටොමියා පැන්නේ ඉදල් පාරේ සැරට . ගේට්ටුව ළගට කිට්ටු වෙන්න බෑ. ඥානලතාගේ කේන්තිය දෙගුණ වුණා.

“මේං  හොද්ද උතුරනවෝ .......”’ ගුණේ කෑ ගහන කොට තමා ඥානලතාට මතක් වුණේ ලිපේ තියන දේවල්

“ඇයි දෙයියනේ මේ මගේ කුණු විතරද? ගෙදර ඔක්කොමලා කාලා කුණු ගොඩ කරනවා. උයන්නෙයි අතුගාන්නෙයි මම. ඒ විතරක් යෑ දැං කුණු  ටික දාගන්නත් එක එකාගේ රැස්පොට් බලන්න වෙලා”  ඥානලතාගේ හිතේ වේගේ ගෙදර අය උඩින් පාවුණා.

“ අම්මේ කිරිබත් ගුලි ටික හැදුවේ නැද්ද?”

  ඒ සෙනසුරු අපලේ නිසා කසාද පරක්කු වෙලා ඉන්න ඥානලතාගේ දෝණියැන්දා. උදේම කපුටන්ට කිරිබත් දෙනවනේ එළගිතෙල් දාලා. අද කුණු මල්ලේ වැඩේ හින්දා ඒකත් අමතක වුණා කවදාවත් නැතුව

“ නිදාගනිල්ලකෝ ළමිස්සියෝ පස්ස පැත්තට ඉර එළිය වැටෙන කල් . කපුටන්ට කිරි බත් ගිල්ලවන්ට නෙවේ උයන්න පිහින්න ඉගන ගනිං. එතකොට ඔය මොන අපලයක් වත් නෑ නෙව”



මූණත් නරක් කරගෙන ගස්සලා දුව ගේ ඇතුළට ගියා. වැඩට යාම පැත්තක තියලා පුතා ඉදලෙන් කුණු ටික එකතු  කරනවා දැක්කම ඥානලතාට දුකත් හිතුණා.  නරක් වෙච්ච බත් නම් එකතු කරන්න වෙන්නෑ ඉදලෙන්. තමන් අතින් මොන තරම් බත් අහක දැමෙනව ද කියලා ඥානලතාට හිතුණේ ඒ වෙලාවේ. මේ කිසි දෙයක් නෑ කුණුකාරයෝ මේ අළුත් අළුත් දේ නොකරන්න. තව කොම්පෝසට් හදන්නත් කියන්නේ. අනේ මේ අපිට නම් ඕන්නෑ ඔය කුණු ගන්දස්තාරේ ඉන්න.

“පුතේ මේ යන ගමන් අර පාර අයිනට මේක විසි කරගෙන පලයං” ඥානලතා  යාප්පුවෙන් පුතාට අළුත් සිලි කවර දෙකක දාලා කුණු මල්ල දුන්නා.

“අම්මට පිස්සුද ? මිනිස්සු දැක්කොත් මට එළවලා ගහයි“

ලයිට් කණුව ළඟ දාන්නත් බෑ. ගෙදර තියා ගන්නත් බෑ. ඥානලතා දහ අතේ කල්පනා කරලා රෑ වුනාම මොකක් හරි කරනවා කියලා හිත හදා ගත්තා.

උදේට නැති නුවණ රෑට පහළ වෙනවා කියනවනේ. ඥානලතා හිමිහිට කුස්සිය පැත්තෙන් ගිහින් තාප්පෙට එහා පැත්තේ ගලාගෙන යන කාණුවට මල්ලා ලෙහලා අතෑරියා. අනේ ඔය ගසාගෙන ගියේ. මීට පස්සේ කරන්න තියෙන්නේ එදාට එදාට කුණු ටික මෙහෙම දාන එක.

කිසි කරදරයක් නැතුව සති දෙකක් ගෙවුණා. මෙන්න ඊළඟ ඉරිදා හරි කලබලේ ගෙවල් තුනකට එහායින් කානුව හිර වෙලාලු. කුණු ඉතිරෙනවලු පාරෙත් එක්ක. කට්ටියම බලන්න ගිය හින්දා ඥානලතාත් ගියා. මාලාගේ කටනේ වැඩේ. කුණු දාපු එවුන්ට ඩෙංගුම හැදියන් කිය කියා ආපහු ආවේ.

“අනේ අපි නං අපේ කුණු කොහෙවත් දාන්නෙත් නෑ. අනික ඔය කලින් කරපු පව් වලට තමා ඔය කොව්වත් හැදෙන්නේ”ඥානලතා  මාලා යන්න ඇරලා ඇහෙන්න කීවා.

හවස පුතා ආවේ ඇඟ රිදෙනවා කියාගෙන. හිසේ රදේ ඉවසන්න බෑ කිව්වා. පාරේ බස්වල ඇවිල්ලම ඇඟ තැලිලා කියලා ඥානලතා කීවේ.

ගුණේට නම් හිතට සැකයක් ආවා. හිතුවා වගේම දවස් තුනින් ලේ බලපුවාම පුතාට ඩෙංගු.

“අනේ නොදකින් අර ගෑණීගේ කටවහ. නැත්තං මේ කිසි වරදක් නැති අපිට ඩෙංගු හැදෙන්නේ කොහෙමද?”  ඥානලතා  පාරේ ඉන්න රොයිටර් නැන්දා අතේ මාලාට පණිවිඩේ ඇරියා.


Friday, May 26, 2017

කාන්තා විමුක්තිය




පාරට දැනෙන්නේ නැතුව ආපු ජීප් එක ලීලාගේ  ගෙදර ළඟ නැවතුනා. මෙච්චර වෙලා  කාණ්ඩෙ එනකල් පමා වෙවී ඉඳලා රන් බණ්ඩෙ කුඹුරට ගිහින් එන්න ගියා විතරයි. වාහනේ සද්ද නැති වුනාට ඒකේ ආපු නෝනලාගේ සද්දේ නම් කුඹුර දිහාටම ඇහෙන්න ඇති.

නෝනලා තුන් හතර දෙනයි, මහත්තුරු දෙන්නෙකුයි ඉස්සරලාම බැස්සා. අන්තිමට කැමරාවක් ගත්ත නෝනෙක් ද මහත්තයෙක් ද කියලා අඳුරා ගන්න බැරි කෙනෙකුත් බැස්සා. කොන්ඩේ දික් කරලා ඇඟට තද වුන රෝස පාට කමිසයක් යට කරලා ඇඳලා. සපත්තු දෙකක් පාට පාට. මුණේ රැවුල් ගහක් වත් නෑ. ඒත් එක ‍නෝනා කෙනෙක් එයාගේ අතේ එල්ලිලා මඩේ එරුණ උල් සපත්තුව ගලවා ගත්ත නිසා ලීලා හිතුවා රෝස මූණේ අයිතිකාරයා මහත්තයෙක් වෙන්න ඕන කියලා.

කොණ්ඩේ තඹ පාට ගැහිච්ච නෝනා කෙනෙක්  මඩේ එරුණ සපත්තු ගලවන ජෝඩුවේ ෆොටෝ එකක් ගත්තා.

" මං මේක වයිබර් කරන්නද ඔයාගේ හස්බන්ඩ්ට.... ෂම්මි අතේ එල්ලිලා ඉන්නේ හරියට බෝයි ෆ්‍රෙන්ඩ් වගේනේ. " අර  නෝනා ඇහුවා.

සපත්තුව එරුණු නෝනයි අනික් අයයි මහා හයියෙන් හිනා වුනා මිසක එහෙම කරන්න එපා කීවේ නෑ.

ලීලා කල්පනා කළේ පොඩි එකීගේ කොණ්ඩෙත් කවදා හරි මේ වගේ තඹ ගැහෙයි කියලා . තෙල් ටිකක් නිකමට දාන්න දෙන්නේ නෑනේ.

ගේ එළියේ කෑල්ලේ තියලා තිබ්බ ප්ලාස්ටික් පුටු ටිකේ ඉඳගන්න කලින් ලීලා නෝනලාට ආයුබෝවන් කීවා. නෝනලාට ආයුබෝවන් හුරු නැති නිසා එයාලා ලීලගේ මූණ ඉම්බා. එක එක මල් වල සුවඳ........

කොණ්ඩේ කොටට කපපු ටිකක් වයසක පහේ නෝනා ලීලට තමන්ගේ කණ්ඩායම අඳුන්වලා දුන්නා...

මම ටෙක්ලා, මේ ටාන්‍යා, මේ ශකුවි , මේ ෂාමේන් , මේ ජෙරාඩ් , මෙයා රොමේෂ් එතකොට මේ ෆොටෝ ගන්නේ ෂම්මි.

ලීලට එක නමක් වත් මතක තියා ගන්න බැරි වුනා. ඒත් හොඳ වෙලාවට ග්‍රාම සේවක නෝනා කලින් දවසේ කියලා කියා කොළඹින් නෝනලා ටිකක් එනවා අහන දේවලට උත්තර දෙන්න. කොළ පුරවන්න දුන්නොත් පුරවලා දෙන්න කියලා. ලීලාගේ උපන්තේකට මේ වගේ ඒවා කරලා පුරුදු නැති නිසා රන් බණ්ඩේ වත් ගෙදර නවත්තා ගත්තට මේ මිනිහා ඕනම වෙලාවේ කුඹුරට ගියානේ.

"අපි මේ කරන්නේ ලීලා මැතිණිය, අපේ ගම්වල ඉන්න කාන්තාවන් සවිබල ගැන්වීම . ඇත්තටම කීවොත් ආර්ථික විතරක් නෙවේ මානසික විදිහටත් ඒක කරන්න ඕනෑ. අපිට ටිකක් විවෘතව කතා කරන්න වෙනවා."

ටෙක්ලා නෝනාගේ දිග කරාඹු දෙක කම්මුලේ දෙපැත්තටම වදිනවා මූණ හරවනකොට. දිග උල් නියපොතු වල අග්ගිස්ස තද සුදු පාටයි , හතරැස් වෙන්න කපලා නියපොත්ත මැද පුංචි දිලිසෙන ගල් වගයක් අල්ලලා.

"ඩාලිං .. ස්කයිප් එකට ගිහින් කනෙක්ට් වෙන්න..." කතාව අතරෙම එයා මහත්තයෙකුට කීවා.

ඩාලිං මහත්තයාගේ අතේ තිබුණ කම්පියුටර් එකකින් තිරයක් වැටිලා මොකද්දෝ සද්දෙකුත් ඇවිල්ලා එකෙන් කවුදෝ සුදු නෝනා කෙනෙක් කතා කළ ටෙක්ලා නෝනට. ටෙක්ලා නෝනා කට උල් කරලා රවුම් කරලා මොනවදෝ කතා කරලා ‍ලීලාව එතන ඉන්දුවා. සුදු නෝනා අහපු අපභ්‍රංස ප්‍රශ්ණ ටික සිංහලෙන් ඇහුවම ලීලත් මොනවදෝ උත්තර දුන්නා තමයි. ඒත් ටෙක්ලා නෝනා ඒවා ඉංග්‍රිරිසියට පෙරලලා කියද්දී සුදු නෝනගේ මූණේ දිග හිනාවක් ඇඳුනා. කම්පියුටර් එකේ කතාව විනාඩි දහයකින් විතර ඉවර වුනා. නෝනලා මහත්තුරු එක එක්කනා බදාගෙන ඉඹගත්තා. කාලෙකින් වෙන්නෑ සුදු නෝනව දකින්න ඇත්තේ......

ඊළඟට කොණ්ඩේ තඹ පාට නෝනා කතාව පටං ගත්තා. ගෙදර අයගේ විස්තර , නම් , ගම් ඉගන ගත්ත තරම ඔය වගේ දේවල් කොලේට ගත්තා.

" අපිට කියන්‍නකො ලීලා ඔයා  පොඩි වයසක දී මේ වගේ මැරේජ් එකකට ... විවාහයකට කැමති වුනේ කියලා.?"

පොඩි වයස කියන්නේ අවුරුදු විස්සෙදිනේ බැන්දේ. තාත්තාත් නැති කොට අම්මා විතරක් ඉද්දී රන් බණ්ඩේ ගෙනාව යෝජනාවට අකමැති වෙන්නේ මොන යෝදිද? ලැජ්ජාව නිසා යෝජනාවට අකමැතියි වගේ ඉන්නකොට අය්යා බලෙන් වගේ රන් බණ්ඩෙට වචනේ අරං දුන්නා තමයි. ඒ වෙනකොට ලීලගේ පන්තියේ හිටපු යාළුවන්ට ඇවිදින වයසේ ළමයිනුත් ඉන්නවා. ඇරත් තව අවුරුදු හතරක් විතර ගෙදරට නාකි වුනා නම් ඉතිං කසාදයක් කර ගන්නවා ‍බොරු.

" එතකොට මේ ලීලා තමන් අසරණ වෙලා ඉඳලා කසාදයක් කරගත්තා මිසක ඔයාට කිසිම රොමෑන්ටික් ෆීලිංග් එකක් දැනිලා නෙවේ මැරේජ් එක කරගෙන තියෙන්නේ?"

ඕන එකක් කියලා ලීලා ඔලුව හෙලෙව්වා.

"පූවර් ලේඩි..." පපුව හෝස් ගාලා ගිය හීන්දෑරි නෝනා කීවා . ඒ නෝනා නැමිලා ඉන්න කොට ඇඳුමක් නෑන්ද ගානයි. කිසි කෙනෙකුට ඒකේ වගක් නෑ. අඩුම ගානේ ඒ නෝනා හේත්තු වෙලා හිටිය මහත්තයාවත් කියන්න එපායෑ පිට තැනකදි හැසිරෙන විදිය.

"එතකොට ලීලා මේ බැඳලා අවුරුද්දක් යනකොටම ළමයි හදා ගත්තේ අපරාදේ නේද? ඔයාට තිබුණා ඔයාගේ හස්බන්ඩ්ට කියන්න අවුරුදු තුන හතරක් එන්ජෝයි කරලා පස්සේ ළමයි හදමු කියලා. ඒක තමා තීරණ ගන්නවා කියන්නේ. ඒවට ඕන තරම් ක්‍රම තියනවා. අර ජෙරාඩ් ඒවා පැහැදිළි කරලා දෙයි ඔයයි හස්බන්ඩ්වයි එක තැන තියලා"

"කුසට දරුවෙක් එන්න අපි තීරණය කරනවායැ.... තමන්ගේ ණය කාරයා ආවම අපි පේ වෙලා පිළිගන්නවා මිසක.. ආයි ඉතිං දෙන්නෙක් කසාද බැන්දම ඊළඟ කාරණේ ඕක නොවැ.. ලීලා තනියම හිතනවා.

ඒ ඉස්පාසුවට ජෙරාඩ් මහත්තයා කතා කළා.

"මේ ශකුවි දැං මැරි කරලා අවුරුදු අටක්. තාම බබාලා නැතුව කෙල්ල වගේ ඉන්නේ. ඒක තමා කාන්තාවකගේ ස්වාධීනත්වය කියන්නේ. නැතුව හස්බන්ඩ්ට ඕන විදිහට ළමයි හදන එකවත් එයාට තීරණ ගන්න අරින එකවත් නෙවේ." ජෙරාඩ් මහත්තයා එහෙම කියලා ශකුවි නෝනගේ කම්මුල මිරිකුවා. අනේ ඉතිං නෝනයි මහත්තයි නිසා හොඳයි.

" දැං කොහෙද ශකුවි හස්බන්ඩ් ඉන්නේ? " ටාන්‍යා ‍නෝනා ඇහුවා

"කැනඩා" කෙටි උත්තරයක් දුන්න ශකුවි නෝනා ජෙරාඩි මහත්තයාගේ කම්මුලට හුරතල් තට්ටුවක් දුන්නා.

එතකොට මේ ශකුවි නෝනගේ මහත්තයා නෙවේද මේ?  මෙතන කාගෙ කාගෙවත් නෝනලා මහත්තුරු ඇත්තෙම නැද්ද? ලීලා අන්දුන් කුන්දුන්.

" ලීලා ඔයා රස්සාවක් කරන්න කැමති නැද්ද?"

" කසාද බඳින කලින් නම් අවුරුදු පහක් විතර පැල්වත්තේ උක් මෝලෙ වැඩට ගියා. පුතාලගේ තාත්තා කැමති වුනේ නෑනේ පස්සේ මම යනවට."

"අන්න .. මම හැම වෙලාවෙම පෙන්නලා දෙන්නේ පුරුෂාධිපත්‍ය ඕක.. කාන්තාවන්ගේ නිදහස සීමා කරනවා. එයාලගේ හැකියාව ස්වාධිනත්වය හැම දේම පිරිමියා අතර ගන්නවා. මේක අපි තේරුම් ගන්න ඕනෑ.. අපි මේකට විරුද්ධ වෙන්න ඕනෑ.. එහෙම නැතුව කවදාවත් කාන්තවක් සවිබල ගන්වන්න බෑ..."

" අනේ අව්වේ කරවෙවී, උක් ගස්වලට අත කපාගෙන හවසට කොන්දේ තෙල් ගගා අවුරුදු පහක් කරපු රස්සාවේ රඟ දන්නේ මං නේ. කසාද බැන්දට පස්සේ ම‍ට අව්වේ කරවෙන්න වෙලා නෑ එච්චර කුඹුරු වැඩ කාලෙටත්.. පුතාලගේ තාත්තට යෝද බල යෝද වීරිය ලැබෙන්න ඕනෑ අපිට තුන් වේල කන්න දෙනවට.. " මේ ටික කියා ගන්න ලීලට ඉඩක් නෑ.

නෝනලා මහත්තුරු එකතු වෙලා විග්‍රයක.

ඒ පාර හීන්දෑරි නෝනා ජෙරාඩ් මහත්තයාගේ අත පටලාගෙන. ලීලගේ හිතත් පැටලෙනවා මේවට.

දොඩම් වීදුරු හතක් බන්දේසියේ තියාගෙන රන් බණ්ඩා  ආවේ ඒ වෙලාවේ.

"පුතාලගේ තාත්තා තාම කුඹුරේ කියලා මම හිතුවේ...." ලීලා තමන්ගේ ප්‍රමාද දෝෂය ගැන පසුතැවිලි වුනා.

කාන්තාවන්ගේ ගෙදර කාර්යභාරයට ස්වාමියාගෙන් සහයක් නොලැබීම, කාන්තාව වැටුප් නොලබන සේවිකාවක තත්ත්වයක සිටීම , කාන්තාවගේ විමුක්තිය සෙවිය යුත්තේ ගේ තුලින්ම බව වගේ කතා බහේ හිටපු නෝනලා මහත්තුරු ටිකක් ගැස්සිලා ගිය වගේ රන් බණ්ඩා දොඩම් වීදුරුවක් ලීලාගේ අතේ තිබ්බම.

ෂම්මි මහත්තයා රන් බණ්ඩව කතාවට පටලා ගත්තා.

" මේ මහත්තයා කොහොමද තමන්ගේ භාර්යාව ස්වාධීන තීරණ ගන්න එක ගැන හිතන්නේ"

රන් බණ්ඩා ටිකක් අන්ද මන්ද වෙලා ගියා. කුඹරේ ඉඳලා ආපු නිසාද කොහෙද එක පාරට කියන දේ තේරුණේ නෑ.

" මම අහන්නේ දැං ලීලා කිව්වොත් මගේ ළමයි කොළඹ ඉස්කෝලෙකට දාලා ඉංග්‍රීසියෙන් උගන්නන්න ඕනෑ. මටත් එයාලා බලන්න යන්න කාර් එකක් ගන්න ඕනෑ වගේ තීරණ අරගෙන ක්‍රියාත්මක කළොත්?"

‍"අනේ මහත්තයෝ ඒවා තීරනය කරන්නේ ලොකු ඉස්කෝලේ මහත්තයානේ. අපේ ගෙදර එක්කනා ඔය වැඩ වලට ඇඟිලි ගහන්නෑ..."

"එහෙනම් මෙහෙම අහමු.. දැං ගෙදර මොනවා හරි දෙයකට වියදම් කරනකොට‍ රන් බණ්ඩා ඒකට ලීලාට කියනවද ?"

"නැහ්.."

"ආන්න ඒක තමා ... ‍ඒ වගේ තීරණ  කෝපරේටිව් විදිහට ගන්න ඕනෑ ... ඒ වට මැදිහත් වෙන්න කාන්තාවටත් පුළුවන්. අපි අද මේ ආවේම ඔයාලව ඒ තැනට ගන්න උත්සාහ කරන්න"

මේ මොන මරාලයක් කඩා වැටුනද කියලා රන් බණ්ඩා බලා හිටියා. පැය බාගයක් විතර බොහෝම ඉවසිමෙන් දෙන්නා දෙමහල්ලෝ මේ කොළඹ සන්නිය නටන්න දීලා හිටියා.

කොළඹින් ගෙනාපු වතුර බෝතල් ටිකත් ඉවරයි කතාව ඉවර වෙනකොට. හැමෝගෙම මූණු වල හිනාවක්. එක පවුලක හරි කාන්තා විමුක්තිය ඇති වු‍නානේ.

"අනික අපි හිතන පතන විදිහ ... එන එක්කනාට කතා කරන විදහ ඒවත් වෙනස් වෙන්න ඕනෑ.. රන් බණ්ඩා තමන්ගේ නෝනට නම නොකියා ඩාලිං .. ස්වීටි වගේ කියනවා නම් ඇත්තටම ආ‍දරේ වුනත් අළුත් වෙනවා."

ඒ වෙනකොට රන් බණ්ඩා ඩාලිංලාගේ ස්වීට් හැසිරීම හොදට අත් දැකලා තිබුණා. එක්කෝ මේ ගෑනුන්ට කසාද මිනිස්සු නෑ නැත්තං මේ මිනිස්සුන්ට කසාද ගෑණු නෑ කියන තැනට එයා ඇවිත් තිබුණේ.

" එතකොට ලීලා ඔයාට පුළුවන් තමන්ගේ මහත්තයාට හනී කියන්න ... නැත්තං රන් බණ්ඩා නිසා ගෝල්ඩන් කියන්නත් පුළුවන්.."

"ඇයි ලීලා ඔයා මේ මොකද්ද මේ .. පුතාලගේ තාත්තා කියලා හැම තිස්සෙම මෙයාට කියන්නේ? ශකුවි නෝනා බැනියම් කෑල්ල උස්සලා කර හදාගෙන ආපහු ජෙරාඩ් මහත්තයාට වාරු වෙන ගමන් ඇහුවා.

මඩ තැවරුණ සරම ටිකක් ඉහලට ගත්ත රන් බණ්ඩා නැගිට්ටා

" ඒද? ඒ මගේ ගෑණි ඉංතේරුවෙන්ම දන්න නිසා මගේ කොල්ලන්ගේ තාත්තා මම වග!"