Friday, May 26, 2017

කාන්තා විමුක්තිය




පාරට දැනෙන්නේ නැතුව ආපු ජීප් එක ලීලාගේ  ගෙදර ළඟ නැවතුනා. මෙච්චර වෙලා  කාණ්ඩෙ එනකල් පමා වෙවී ඉඳලා රන් බණ්ඩෙ කුඹුරට ගිහින් එන්න ගියා විතරයි. වාහනේ සද්ද නැති වුනාට ඒකේ ආපු නෝනලාගේ සද්දේ නම් කුඹුර දිහාටම ඇහෙන්න ඇති.

නෝනලා තුන් හතර දෙනයි, මහත්තුරු දෙන්නෙකුයි ඉස්සරලාම බැස්සා. අන්තිමට කැමරාවක් ගත්ත නෝනෙක් ද මහත්තයෙක් ද කියලා අඳුරා ගන්න බැරි කෙනෙකුත් බැස්සා. කොන්ඩේ දික් කරලා ඇඟට තද වුන රෝස පාට කමිසයක් යට කරලා ඇඳලා. සපත්තු දෙකක් පාට පාට. මුණේ රැවුල් ගහක් වත් නෑ. ඒත් එක ‍නෝනා කෙනෙක් එයාගේ අතේ එල්ලිලා මඩේ එරුණ උල් සපත්තුව ගලවා ගත්ත නිසා ලීලා හිතුවා රෝස මූණේ අයිතිකාරයා මහත්තයෙක් වෙන්න ඕන කියලා.

කොණ්ඩේ තඹ පාට ගැහිච්ච නෝනා කෙනෙක්  මඩේ එරුණ සපත්තු ගලවන ජෝඩුවේ ෆොටෝ එකක් ගත්තා.

" මං මේක වයිබර් කරන්නද ඔයාගේ හස්බන්ඩ්ට.... ෂම්මි අතේ එල්ලිලා ඉන්නේ හරියට බෝයි ෆ්‍රෙන්ඩ් වගේනේ. " අර  නෝනා ඇහුවා.

සපත්තුව එරුණු නෝනයි අනික් අයයි මහා හයියෙන් හිනා වුනා මිසක එහෙම කරන්න එපා කීවේ නෑ.

ලීලා කල්පනා කළේ පොඩි එකීගේ කොණ්ඩෙත් කවදා හරි මේ වගේ තඹ ගැහෙයි කියලා . තෙල් ටිකක් නිකමට දාන්න දෙන්නේ නෑනේ.

ගේ එළියේ කෑල්ලේ තියලා තිබ්බ ප්ලාස්ටික් පුටු ටිකේ ඉඳගන්න කලින් ලීලා නෝනලාට ආයුබෝවන් කීවා. නෝනලාට ආයුබෝවන් හුරු නැති නිසා එයාලා ලීලගේ මූණ ඉම්බා. එක එක මල් වල සුවඳ........

කොණ්ඩේ කොටට කපපු ටිකක් වයසක පහේ නෝනා ලීලට තමන්ගේ කණ්ඩායම අඳුන්වලා දුන්නා...

මම ටෙක්ලා, මේ ටාන්‍යා, මේ ශකුවි , මේ ෂාමේන් , මේ ජෙරාඩ් , මෙයා රොමේෂ් එතකොට මේ ෆොටෝ ගන්නේ ෂම්මි.

ලීලට එක නමක් වත් මතක තියා ගන්න බැරි වුනා. ඒත් හොඳ වෙලාවට ග්‍රාම සේවක නෝනා කලින් දවසේ කියලා කියා කොළඹින් නෝනලා ටිකක් එනවා අහන දේවලට උත්තර දෙන්න. කොළ පුරවන්න දුන්නොත් පුරවලා දෙන්න කියලා. ලීලාගේ උපන්තේකට මේ වගේ ඒවා කරලා පුරුදු නැති නිසා රන් බණ්ඩේ වත් ගෙදර නවත්තා ගත්තට මේ මිනිහා ඕනම වෙලාවේ කුඹුරට ගියානේ.

"අපි මේ කරන්නේ ලීලා මැතිණිය, අපේ ගම්වල ඉන්න කාන්තාවන් සවිබල ගැන්වීම . ඇත්තටම කීවොත් ආර්ථික විතරක් නෙවේ මානසික විදිහටත් ඒක කරන්න ඕනෑ. අපිට ටිකක් විවෘතව කතා කරන්න වෙනවා."

ටෙක්ලා නෝනාගේ දිග කරාඹු දෙක කම්මුලේ දෙපැත්තටම වදිනවා මූණ හරවනකොට. දිග උල් නියපොතු වල අග්ගිස්ස තද සුදු පාටයි , හතරැස් වෙන්න කපලා නියපොත්ත මැද පුංචි දිලිසෙන ගල් වගයක් අල්ලලා.

"ඩාලිං .. ස්කයිප් එකට ගිහින් කනෙක්ට් වෙන්න..." කතාව අතරෙම එයා මහත්තයෙකුට කීවා.

ඩාලිං මහත්තයාගේ අතේ තිබුණ කම්පියුටර් එකකින් තිරයක් වැටිලා මොකද්දෝ සද්දෙකුත් ඇවිල්ලා එකෙන් කවුදෝ සුදු නෝනා කෙනෙක් කතා කළ ටෙක්ලා නෝනට. ටෙක්ලා නෝනා කට උල් කරලා රවුම් කරලා මොනවදෝ කතා කරලා ‍ලීලාව එතන ඉන්දුවා. සුදු නෝනා අහපු අපභ්‍රංස ප්‍රශ්ණ ටික සිංහලෙන් ඇහුවම ලීලත් මොනවදෝ උත්තර දුන්නා තමයි. ඒත් ටෙක්ලා නෝනා ඒවා ඉංග්‍රිරිසියට පෙරලලා කියද්දී සුදු නෝනගේ මූණේ දිග හිනාවක් ඇඳුනා. කම්පියුටර් එකේ කතාව විනාඩි දහයකින් විතර ඉවර වුනා. නෝනලා මහත්තුරු එක එක්කනා බදාගෙන ඉඹගත්තා. කාලෙකින් වෙන්නෑ සුදු නෝනව දකින්න ඇත්තේ......

ඊළඟට කොණ්ඩේ තඹ පාට නෝනා කතාව පටං ගත්තා. ගෙදර අයගේ විස්තර , නම් , ගම් ඉගන ගත්ත තරම ඔය වගේ දේවල් කොලේට ගත්තා.

" අපිට කියන්‍නකො ලීලා ඔයා  පොඩි වයසක දී මේ වගේ මැරේජ් එකකට ... විවාහයකට කැමති වුනේ කියලා.?"

පොඩි වයස කියන්නේ අවුරුදු විස්සෙදිනේ බැන්දේ. තාත්තාත් නැති කොට අම්මා විතරක් ඉද්දී රන් බණ්ඩේ ගෙනාව යෝජනාවට අකමැති වෙන්නේ මොන යෝදිද? ලැජ්ජාව නිසා යෝජනාවට අකමැතියි වගේ ඉන්නකොට අය්යා බලෙන් වගේ රන් බණ්ඩෙට වචනේ අරං දුන්නා තමයි. ඒ වෙනකොට ලීලගේ පන්තියේ හිටපු යාළුවන්ට ඇවිදින වයසේ ළමයිනුත් ඉන්නවා. ඇරත් තව අවුරුදු හතරක් විතර ගෙදරට නාකි වුනා නම් ඉතිං කසාදයක් කර ගන්නවා ‍බොරු.

" එතකොට මේ ලීලා තමන් අසරණ වෙලා ඉඳලා කසාදයක් කරගත්තා මිසක ඔයාට කිසිම රොමෑන්ටික් ෆීලිංග් එකක් දැනිලා නෙවේ මැරේජ් එක කරගෙන තියෙන්නේ?"

ඕන එකක් කියලා ලීලා ඔලුව හෙලෙව්වා.

"පූවර් ලේඩි..." පපුව හෝස් ගාලා ගිය හීන්දෑරි නෝනා කීවා . ඒ නෝනා නැමිලා ඉන්න කොට ඇඳුමක් නෑන්ද ගානයි. කිසි කෙනෙකුට ඒකේ වගක් නෑ. අඩුම ගානේ ඒ නෝනා හේත්තු වෙලා හිටිය මහත්තයාවත් කියන්න එපායෑ පිට තැනකදි හැසිරෙන විදිය.

"එතකොට ලීලා මේ බැඳලා අවුරුද්දක් යනකොටම ළමයි හදා ගත්තේ අපරාදේ නේද? ඔයාට තිබුණා ඔයාගේ හස්බන්ඩ්ට කියන්න අවුරුදු තුන හතරක් එන්ජෝයි කරලා පස්සේ ළමයි හදමු කියලා. ඒක තමා තීරණ ගන්නවා කියන්නේ. ඒවට ඕන තරම් ක්‍රම තියනවා. අර ජෙරාඩ් ඒවා පැහැදිළි කරලා දෙයි ඔයයි හස්බන්ඩ්වයි එක තැන තියලා"

"කුසට දරුවෙක් එන්න අපි තීරණය කරනවායැ.... තමන්ගේ ණය කාරයා ආවම අපි පේ වෙලා පිළිගන්නවා මිසක.. ආයි ඉතිං දෙන්නෙක් කසාද බැන්දම ඊළඟ කාරණේ ඕක නොවැ.. ලීලා තනියම හිතනවා.

ඒ ඉස්පාසුවට ජෙරාඩ් මහත්තයා කතා කළා.

"මේ ශකුවි දැං මැරි කරලා අවුරුදු අටක්. තාම බබාලා නැතුව කෙල්ල වගේ ඉන්නේ. ඒක තමා කාන්තාවකගේ ස්වාධීනත්වය කියන්නේ. නැතුව හස්බන්ඩ්ට ඕන විදිහට ළමයි හදන එකවත් එයාට තීරණ ගන්න අරින එකවත් නෙවේ." ජෙරාඩ් මහත්තයා එහෙම කියලා ශකුවි නෝනගේ කම්මුල මිරිකුවා. අනේ ඉතිං නෝනයි මහත්තයි නිසා හොඳයි.

" දැං කොහෙද ශකුවි හස්බන්ඩ් ඉන්නේ? " ටාන්‍යා ‍නෝනා ඇහුවා

"කැනඩා" කෙටි උත්තරයක් දුන්න ශකුවි නෝනා ජෙරාඩි මහත්තයාගේ කම්මුලට හුරතල් තට්ටුවක් දුන්නා.

එතකොට මේ ශකුවි නෝනගේ මහත්තයා නෙවේද මේ?  මෙතන කාගෙ කාගෙවත් නෝනලා මහත්තුරු ඇත්තෙම නැද්ද? ලීලා අන්දුන් කුන්දුන්.

" ලීලා ඔයා රස්සාවක් කරන්න කැමති නැද්ද?"

" කසාද බඳින කලින් නම් අවුරුදු පහක් විතර පැල්වත්තේ උක් මෝලෙ වැඩට ගියා. පුතාලගේ තාත්තා කැමති වුනේ නෑනේ පස්සේ මම යනවට."

"අන්න .. මම හැම වෙලාවෙම පෙන්නලා දෙන්නේ පුරුෂාධිපත්‍ය ඕක.. කාන්තාවන්ගේ නිදහස සීමා කරනවා. එයාලගේ හැකියාව ස්වාධිනත්වය හැම දේම පිරිමියා අතර ගන්නවා. මේක අපි තේරුම් ගන්න ඕනෑ.. අපි මේකට විරුද්ධ වෙන්න ඕනෑ.. එහෙම නැතුව කවදාවත් කාන්තවක් සවිබල ගන්වන්න බෑ..."

" අනේ අව්වේ කරවෙවී, උක් ගස්වලට අත කපාගෙන හවසට කොන්දේ තෙල් ගගා අවුරුදු පහක් කරපු රස්සාවේ රඟ දන්නේ මං නේ. කසාද බැන්දට පස්සේ ම‍ට අව්වේ කරවෙන්න වෙලා නෑ එච්චර කුඹුරු වැඩ කාලෙටත්.. පුතාලගේ තාත්තට යෝද බල යෝද වීරිය ලැබෙන්න ඕනෑ අපිට තුන් වේල කන්න දෙනවට.. " මේ ටික කියා ගන්න ලීලට ඉඩක් නෑ.

නෝනලා මහත්තුරු එකතු වෙලා විග්‍රයක.

ඒ පාර හීන්දෑරි නෝනා ජෙරාඩ් මහත්තයාගේ අත පටලාගෙන. ලීලගේ හිතත් පැටලෙනවා මේවට.

දොඩම් වීදුරු හතක් බන්දේසියේ තියාගෙන රන් බණ්ඩා  ආවේ ඒ වෙලාවේ.

"පුතාලගේ තාත්තා තාම කුඹුරේ කියලා මම හිතුවේ...." ලීලා තමන්ගේ ප්‍රමාද දෝෂය ගැන පසුතැවිලි වුනා.

කාන්තාවන්ගේ ගෙදර කාර්යභාරයට ස්වාමියාගෙන් සහයක් නොලැබීම, කාන්තාව වැටුප් නොලබන සේවිකාවක තත්ත්වයක සිටීම , කාන්තාවගේ විමුක්තිය සෙවිය යුත්තේ ගේ තුලින්ම බව වගේ කතා බහේ හිටපු නෝනලා මහත්තුරු ටිකක් ගැස්සිලා ගිය වගේ රන් බණ්ඩා දොඩම් වීදුරුවක් ලීලාගේ අතේ තිබ්බම.

ෂම්මි මහත්තයා රන් බණ්ඩව කතාවට පටලා ගත්තා.

" මේ මහත්තයා කොහොමද තමන්ගේ භාර්යාව ස්වාධීන තීරණ ගන්න එක ගැන හිතන්නේ"

රන් බණ්ඩා ටිකක් අන්ද මන්ද වෙලා ගියා. කුඹරේ ඉඳලා ආපු නිසාද කොහෙද එක පාරට කියන දේ තේරුණේ නෑ.

" මම අහන්නේ දැං ලීලා කිව්වොත් මගේ ළමයි කොළඹ ඉස්කෝලෙකට දාලා ඉංග්‍රීසියෙන් උගන්නන්න ඕනෑ. මටත් එයාලා බලන්න යන්න කාර් එකක් ගන්න ඕනෑ වගේ තීරණ අරගෙන ක්‍රියාත්මක කළොත්?"

‍"අනේ මහත්තයෝ ඒවා තීරනය කරන්නේ ලොකු ඉස්කෝලේ මහත්තයානේ. අපේ ගෙදර එක්කනා ඔය වැඩ වලට ඇඟිලි ගහන්නෑ..."

"එහෙනම් මෙහෙම අහමු.. දැං ගෙදර මොනවා හරි දෙයකට වියදම් කරනකොට‍ රන් බණ්ඩා ඒකට ලීලාට කියනවද ?"

"නැහ්.."

"ආන්න ඒක තමා ... ‍ඒ වගේ තීරණ  කෝපරේටිව් විදිහට ගන්න ඕනෑ ... ඒ වට මැදිහත් වෙන්න කාන්තාවටත් පුළුවන්. අපි අද මේ ආවේම ඔයාලව ඒ තැනට ගන්න උත්සාහ කරන්න"

මේ මොන මරාලයක් කඩා වැටුනද කියලා රන් බණ්ඩා බලා හිටියා. පැය බාගයක් විතර බොහෝම ඉවසිමෙන් දෙන්නා දෙමහල්ලෝ මේ කොළඹ සන්නිය නටන්න දීලා හිටියා.

කොළඹින් ගෙනාපු වතුර බෝතල් ටිකත් ඉවරයි කතාව ඉවර වෙනකොට. හැමෝගෙම මූණු වල හිනාවක්. එක පවුලක හරි කාන්තා විමුක්තිය ඇති වු‍නානේ.

"අනික අපි හිතන පතන විදිහ ... එන එක්කනාට කතා කරන විදහ ඒවත් වෙනස් වෙන්න ඕනෑ.. රන් බණ්ඩා තමන්ගේ නෝනට නම නොකියා ඩාලිං .. ස්වීටි වගේ කියනවා නම් ඇත්තටම ආ‍දරේ වුනත් අළුත් වෙනවා."

ඒ වෙනකොට රන් බණ්ඩා ඩාලිංලාගේ ස්වීට් හැසිරීම හොදට අත් දැකලා තිබුණා. එක්කෝ මේ ගෑනුන්ට කසාද මිනිස්සු නෑ නැත්තං මේ මිනිස්සුන්ට කසාද ගෑණු නෑ කියන තැනට එයා ඇවිත් තිබුණේ.

" එතකොට ලීලා ඔයාට පුළුවන් තමන්ගේ මහත්තයාට හනී කියන්න ... නැත්තං රන් බණ්ඩා නිසා ගෝල්ඩන් කියන්නත් පුළුවන්.."

"ඇයි ලීලා ඔයා මේ මොකද්ද මේ .. පුතාලගේ තාත්තා කියලා හැම තිස්සෙම මෙයාට කියන්නේ? ශකුවි නෝනා බැනියම් කෑල්ල උස්සලා කර හදාගෙන ආපහු ජෙරාඩ් මහත්තයාට වාරු වෙන ගමන් ඇහුවා.

මඩ තැවරුණ සරම ටිකක් ඉහලට ගත්ත රන් බණ්ඩා නැගිට්ටා

" ඒද? ඒ මගේ ගෑණි ඉංතේරුවෙන්ම දන්න නිසා මගේ කොල්ලන්ගේ තාත්තා මම වග!"

2 comments:

  1. Malkanthi Jayarathne

    පට්ටයි....ඇත්තටම සමාජයේ මිනිස්සුන්ට දෙන්න යන දේවල් ගැන අපි හරිම අවබෝධයෙන් යුතුව දෙන්න ඕන. එහෙම නොවුනොත් මේ කණ්ඩායමට වෙච්ච සන්තෑසිය තමයි වෙන්නේ....

    ReplyDelete
  2. Nice one again. Good example.

    ReplyDelete