Saturday, June 24, 2017

අනුන්ගේ කුණු


ඥානලතා අත්දෙක පිටිපස්සට කරගෙන ගේට්ටුවෙන් පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා. ඈත වංගුවේ නම් කවුරුත් පේන්න නෑ. ඒත් අනික් පැත්තෙන් ආවොත් එක පාරටම පෙනේනෙත් නෑ. සෙනසුරාදා උදේම වැඩට යන වරු වැඩ අය නිසා මිසක් මේකට වෙන බාධාවක් නෑ. කුණු මල්ල බරයි ඒ මදිවට ගඳයි. ලයිට් කණුව වටේටම බල්ලෝ කුණු ඇදලා දාලා නිසා ළඟට යන්නත් බෑ. ඈත ඉඳන් විසි කරන්නත් බර වැඩියි. ඒ හින්දා පුලුවන් තරමේ ලඟට ගිහින් විසිකරන්න හිතාගෙන ඥානලතා පාර පැන්නා.

“අනේ ඒයි බලන්නකෝ ........මේ ඊයෙත් මෙතෙන්ට කුණු දාලනේ මේ මිනිස්සු..”

මාලාගේ කටේ සද්දෙට ඥානලතා පස්සට විසිවුණා.

“මේ ගෑණි කොහෙන් පාත් වුණාද මන්දා..... කුණු මල්ල දැක්කා නම් මෙතෙන ප්ලාස්ටික් දත් ඇඳි දෙක විසි වෙනකල් කියවයි”

“මාත් මේ ගඳ මොකද්ද බලන්න තමයි ආවේ මෙයා..”

හොඳ වෙලාවට වැටේ ගස් වලට වැහිලා නිසා ඥානලතාගේ කුණු මල්ල මාලාට පෙණුනේ නෑ.

“කාලකණ්ණි මිනිස්සු.. මේ අපේ ගෙදර ඔක්කොටෝම ඩෙංගු හැදුනෙත් මේ කුණු ගොඩ හින්දා තමයි. අපි මෙතන කුණු තියන්නේ මෙයා ලයිට් කණුව තියෙන්නේ අපේ ගෙදර ඉස්සරහනේ. මේ පාරේ ඉන්න ඔක්කෝම ඒක කරාම හරිනවද?”

ඥානලතාගේ කට කහනවා පාරත් අයිති ගෙදරට ද අහන්න. පාර පොදු නම් ලයිට් කණුවත් පොදු නම් කාටවත් එපා කියන්න බෑ එතන කුණු දාන්න‍.

වැඩි කතාවට ගිහින් මාලා ගේට්ටුව පැනලා ආවොත් කුණු මල්ල අහුවෙනවා මදිවට ඊයේ ගෙනත් දාපු පොල් ලෙලි ටිකත් අහුවෙනවා.

“අනේ මං මේ පාං  එනකල් පරක්කු වෙවී හිටියේ .. මේ කුණු  ගද ඉවසන්න බැරුව බැලුවේ සතෙක් වත් මැරිලා නම් ගුණේට කියලා අයින් කරවන්න. යන්නං එහෙනං” ඥානලතා ආපහු හැරුණා.

“ ඒයි ආං පාං එනවා....”

සංගිත සද්දේ එක්ක පාන් වාහනේ නැවතුනා. අතේ සල්ලිත් නෑ. කියපු බොරුවත් අහුවෙනවා.



“අනේ දැං මතක් වුණේ කොල්ලා අද බත් එකක් ගෙනියනවා කිවා දවල්ට. පාං කාලා බෑ...” ඥානලතා  සුරුස් ගාලා පාර පැන්නා.



“එකත් එකටම මේ ගෑණි කුණු මල්ල අතාරින්න ආවේ. මං දැක්ක නිසා ආපහු හැරුණා.. අහුවෙයිනේ ආයම අතටම.”

ඥානලතා කුණු මල්ල පොල් ගහ ළඟින් තියලා ගෙට ආවා. දවස් දෙකක් තිස්සේ මේක විසිකරගන්න බෑ. කවුද දන්නේ නගර සභාවෙන් ඔච්චර තදටම ඉඳීකියලා. කුණු තෝරලා දාන්න කියලා ලවුස්පීකරෙන් කීවා තමයි. කොල්ලත් පෝස්ටර් එකක් ගෙනත් දීලා කියලා දුන්නා කරන විදහ. ඒත් ඉතිං ඥානලතා විතරයි අස් පස් කරලා අතු ගාන්නේ . දුවත් උදේ පාන්දර ගියාම එන්නේ කරුවල වැටිලා. සෙනසුරාදටත් කරන වැඩක් නෑ. බැරිවෙලා හරි අතුගෑවත් ඔක්කොම කුණු එක මල්ලකට දාන්නේ. අනික මිනිස්සුන්ට මාස දෙක තුනක් දෙන්න එපැයි වැඩේ පුරුදු වෙන්න‍  මේ අද කියලා තව සති දෙක තුනකින් නීතිය විදිහට කුණු එකතු කරාට හරියනවායැයි.

ඥානලතාලගේ ගෙදර තියෙන්නේ පර්චස් අටක. අහල පහළ හැමෝගෙම එහෙම තමා. කුණු වලක් තියා කුණු බාල්දියක්වත් තියා ගන්න ඉඩ මදි. සතියකට සැරයක් එන කුණු ට්‍රැක්ටර් එකට මෙච්චර කල් නම් ටින් බෙලෙක්ක, පරණ රෙදි , ඉතුරු වෙන කෑම ඔක්කොම දීලා නිදහස් වුණා. පාරේ හැමෝටම එක දිගට ඩෙංගු හැදෙන්න පටං ගත්තම මේ නානාප්‍රකාර රැස්වීම් තියලා අර යසට දාපු කුනු  වෙන් කරලා බාරදෙන්න කීවේ. ආයි මොකද කුණු වෙන් කරා කියලා මදුරුවා අපිව කන එක නවත්තනවද?

ඥානලතා නං ඔය දහඅට නීති වලට යටත් වෙන්නෑ. ප්‍රජා සාලාවේ රැස්වීමට ගිහින් ආපු ගුණේ මීට පස්සේ ඔක්කොම කුණු එකට දාලා ගෙනියන්න බෑය. දිරන්නේ නැති කුණු එකතු කරන්නේ සතියේ වෙන දවසකය කීවාම ඥානලතා ගුණේටත් ඉගැන්නුවා නගර සභාවේ කම්මැලි කමටයි දෙපාරක් ට්‍රැක්ටරේ ඇවිත් ඕ ටී ගන්නයි ගහපු ගැටවලටයි එයා අහුවෙන්නේ නැති බව. අනික ගෙනිච්චේ නැතුවට ඔය ලයිට් කණුව යට ඕන තරං කුණු තියෙන්නේ බදාදා පැන්න ගමං.

ඒ සතියේ බදාදා ඥානලතාගේ කුණු මල්ලට ඇනලා ටිං බෙලෙක්ක තියනවා කියලා දාලා ගියා කුණු ට්‍රැක්ටරේ කට්ටිය. හවස් වෙලා ලයිට් කණුව යටට දාන්න හිටියට මාලාගේ ගෙදර අය එකතු වෙලා ඒක යට සුද්ද කරලා වැලි දාලා කුණු දැමීම බල්ලන්ට පමණයි කියලා ගැහුවා. ගෙදර අයට ඩෙංගු හැදුන වෙලාවේ කුණු ඉස්පැට්ටර් කීවලු  මදුරුවෝ බිත්තර දාලා තිබුණේ කුණු ගොඩේ තිබුණ කිරි හට්ටිවල කියලා. ඒත් කරුවල වැටෙන්න ඇරලා ගුණේ අතේ කුණු මල්ල යවලා ඥානලතා  නිදහස් වුණා.

මේ දැං ප්‍රශණේ වුනේ ඊට පස්සේ සතියේ කුනු මල්ලත් ට්‍රැක්ටර්  එකට නොගත්ත එක . දුන්න රුපියල් විස්සත් විරිත්තලා වගේ එපා කීවනේ. ඥානලතාට ඒකට නං කේන්තිය ඉවසන්න බෑ. සතයක් වත් නොදී කරගත්ත වැඩේ දැං රුපියල් විස්සකටවත් කරගන්න බෑ. ගුණේ ලව්වා වත් පෙත්සමක් ලියලා නගර සභාවට දෙනවා කියලා ඥානලතා හිතනවා.

“අම්මේ මේං ටොමියා කුණු මල්ල ඇදලෝ...”

වැඩට යන්න එළියට බැස්ස පුතාගේ කෑ ගැහිල්ලට ඥානලතා එළියට පැන්නේ ඉදලත් අරගෙන. මාළු ඔලු  ටික ඇදලා දාලා හැමතැනම, පොල් කුඩු ටික ගේට්ටුව ළගට යනකල්ම හැලිලා.

බැග්... ගාගෙන ටොමියා පැන්නේ ඉදල් පාරේ සැරට . ගේට්ටුව ළගට කිට්ටු වෙන්න බෑ. ඥානලතාගේ කේන්තිය දෙගුණ වුණා.

“මේං  හොද්ද උතුරනවෝ .......”’ ගුණේ කෑ ගහන කොට තමා ඥානලතාට මතක් වුණේ ලිපේ තියන දේවල්

“ඇයි දෙයියනේ මේ මගේ කුණු විතරද? ගෙදර ඔක්කොමලා කාලා කුණු ගොඩ කරනවා. උයන්නෙයි අතුගාන්නෙයි මම. ඒ විතරක් යෑ දැං කුණු  ටික දාගන්නත් එක එකාගේ රැස්පොට් බලන්න වෙලා”  ඥානලතාගේ හිතේ වේගේ ගෙදර අය උඩින් පාවුණා.

“ අම්මේ කිරිබත් ගුලි ටික හැදුවේ නැද්ද?”

  ඒ සෙනසුරු අපලේ නිසා කසාද පරක්කු වෙලා ඉන්න ඥානලතාගේ දෝණියැන්දා. උදේම කපුටන්ට කිරිබත් දෙනවනේ එළගිතෙල් දාලා. අද කුණු මල්ලේ වැඩේ හින්දා ඒකත් අමතක වුණා කවදාවත් නැතුව

“ නිදාගනිල්ලකෝ ළමිස්සියෝ පස්ස පැත්තට ඉර එළිය වැටෙන කල් . කපුටන්ට කිරි බත් ගිල්ලවන්ට නෙවේ උයන්න පිහින්න ඉගන ගනිං. එතකොට ඔය මොන අපලයක් වත් නෑ නෙව”



මූණත් නරක් කරගෙන ගස්සලා දුව ගේ ඇතුළට ගියා. වැඩට යාම පැත්තක තියලා පුතා ඉදලෙන් කුණු ටික එකතු  කරනවා දැක්කම ඥානලතාට දුකත් හිතුණා.  නරක් වෙච්ච බත් නම් එකතු කරන්න වෙන්නෑ ඉදලෙන්. තමන් අතින් මොන තරම් බත් අහක දැමෙනව ද කියලා ඥානලතාට හිතුණේ ඒ වෙලාවේ. මේ කිසි දෙයක් නෑ කුණුකාරයෝ මේ අළුත් අළුත් දේ නොකරන්න. තව කොම්පෝසට් හදන්නත් කියන්නේ. අනේ මේ අපිට නම් ඕන්නෑ ඔය කුණු ගන්දස්තාරේ ඉන්න.

“පුතේ මේ යන ගමන් අර පාර අයිනට මේක විසි කරගෙන පලයං” ඥානලතා  යාප්පුවෙන් පුතාට අළුත් සිලි කවර දෙකක දාලා කුණු මල්ල දුන්නා.

“අම්මට පිස්සුද ? මිනිස්සු දැක්කොත් මට එළවලා ගහයි“

ලයිට් කණුව ළඟ දාන්නත් බෑ. ගෙදර තියා ගන්නත් බෑ. ඥානලතා දහ අතේ කල්පනා කරලා රෑ වුනාම මොකක් හරි කරනවා කියලා හිත හදා ගත්තා.

උදේට නැති නුවණ රෑට පහළ වෙනවා කියනවනේ. ඥානලතා හිමිහිට කුස්සිය පැත්තෙන් ගිහින් තාප්පෙට එහා පැත්තේ ගලාගෙන යන කාණුවට මල්ලා ලෙහලා අතෑරියා. අනේ ඔය ගසාගෙන ගියේ. මීට පස්සේ කරන්න තියෙන්නේ එදාට එදාට කුණු ටික මෙහෙම දාන එක.

කිසි කරදරයක් නැතුව සති දෙකක් ගෙවුණා. මෙන්න ඊළඟ ඉරිදා හරි කලබලේ ගෙවල් තුනකට එහායින් කානුව හිර වෙලාලු. කුණු ඉතිරෙනවලු පාරෙත් එක්ක. කට්ටියම බලන්න ගිය හින්දා ඥානලතාත් ගියා. මාලාගේ කටනේ වැඩේ. කුණු දාපු එවුන්ට ඩෙංගුම හැදියන් කිය කියා ආපහු ආවේ.

“අනේ අපි නං අපේ කුණු කොහෙවත් දාන්නෙත් නෑ. අනික ඔය කලින් කරපු පව් වලට තමා ඔය කොව්වත් හැදෙන්නේ”ඥානලතා  මාලා යන්න ඇරලා ඇහෙන්න කීවා.

හවස පුතා ආවේ ඇඟ රිදෙනවා කියාගෙන. හිසේ රදේ ඉවසන්න බෑ කිව්වා. පාරේ බස්වල ඇවිල්ලම ඇඟ තැලිලා කියලා ඥානලතා කීවේ.

ගුණේට නම් හිතට සැකයක් ආවා. හිතුවා වගේම දවස් තුනින් ලේ බලපුවාම පුතාට ඩෙංගු.

“අනේ නොදකින් අර ගෑණීගේ කටවහ. නැත්තං මේ කිසි වරදක් නැති අපිට ඩෙංගු හැදෙන්නේ කොහෙමද?”  ඥානලතා  පාරේ ඉන්න රොයිටර් නැන්දා අතේ මාලාට පණිවිඩේ ඇරියා.


10 comments:

  1. very timely article applicable to various corners......should publish this in the papers for such idiotic people to read..... People with such mentalities are responsible for this epidemic to a greater extent. Nicely written. you can do a great service to the country if this kind of articles (with timely and related topics) are published as an eye opener for the public. think about it. keep it up.

    ReplyDelete
  2. Vasana Lokubandara

    realistic hard comedy... Good one👍🏻

    ReplyDelete
  3. Malkanthi Jayarathne

    කාලීනයි...!! ලස්සනයි..!!

    ReplyDelete
  4. Owadini Bandara

    Thanks for writing this . It suits the situation in our country

    ReplyDelete
  5. Lakmini Senewirathne

    Timeliness... As well attractive writing style.

    ReplyDelete
  6. Chamalee Perera

    As always. . Interesting and nice writing.

    ReplyDelete
    Replies
    1. Chamalee

      It's properly maintaining. I think it should come from the childhood.
      Decipline is the most important thing. I can't even imagine that when it's going to be happened in srilanka.
      Rather than implementing rules and regulations. .. it should be come from the hearts of the people. They should learn to love their mother country..
      But not destroy our beautiful nation. Politicians destroying our country. They want to separate people. That's how they survive. People should understand this. ..

      Delete
  7. Borgata Hotel Casino & Spa to host first tribal-led - JTM
    The Borgata Hotel Casino 통영 출장안마 & Spa will host a 강릉 출장안마 tribal-led 제천 출장마사지 tribal-led event on 안양 출장안마 Friday, May 28th. The event will run from 8 a.m. to 3 아산 출장안마 p.m. for

    ReplyDelete