Monday, January 23, 2017

ධනපති පන්තිය




අබේරත්න මේසේ උඩ තිබුණ කෑම පෙට්ටි දෙක පරෙස්සමින් ඩිකියට දා ගත්තා. සර් කෑම එක  කොටු වැටුන දිස්නේ ගහන සර්වියට්  එකකින් බැඳලා තියනවා. ඉරි  තියන සාමාන්‍ය සර්වියට් එකකින් බැඳලා තියෙන්නේ අ‍බේරත්නගේ කෑම එක. මේක අබේ ආව දවසේ ඉඳලාම වෙනස් නොවෙන දෙයක්. අමාත්‍යාංශයෙන් සර් ට දීලා තියන රියදුරු තමා අ‍බේරත්න. එයා මීගොඩ ඉඳන් බස් එකේ ඇවිත් ‍කොට්ටාවෙන් බැහැලා සර්ගේ ගෙදරට යනවා හත වෙනකොට. හත හමාරට සර් ව කාර් එකේ  දාගෙන අමාත්‍යාංශෙට යනවා අට හමාර  වෙන්න කලින්. ආපහු ගෙදර එන වෙලාව නම් කියන්න බෑ. වැඩ ඉවර වුනාම , රැස්වීම් ඉවර වුනාම තව කොන්ෆරන්ස්, සෙමිනාර්, හදිසි සාකච්ඡා ඉවර වෙලා තමයි එන්න වෙන්නේ.


මීට කලින් අබේරත්න වැඩකරපු තැන සර් නම් හතර හමාර වෙනකොට ගෙදර එන්න පිටත් වෙනවා. ඒ‍ත් අතර මගදී අ‍බේ දහ පොළක විතර බැහැලා බඩු එකතු කරනවා. අඳුරන කෙනෙක් හම්බ වුනොත් කියන්නේ එ් ගෙදර වැඩට ඉන්න මනුස්සයාට සනීප නැතුව අද බඩු ගන්න එයා ආවා කියලා. එහෙම කරලත් ගෙදර ගියාම බේබිලාගේ ඉස්කෝ‍ලේ වැඩ වල ගේන්න කියපුවා හදලා දෙන්න වෙනවා. නැත්තං පන්ති ඉවර වුනාම එයාලව  ගේන්න යන්න වෙනවා. එපාම කරපු දේ තමා ඒ ගෙදර පාටියක් තියන දවසට ඇවිත් උදව් වෙන්න කියන එක


“ තමුසේ ඩ්‍රයිවර්නේ  බොන්න එහෙම ලෑස්ති  වෙන්නෑ..” පරණ සර් කියනවා.


මදිවට බයිට් එකක්වත් නෑ. රෑ දෙගොඩ හරියේ පාටිය ඉවර වුනාම වෙරි වෙච්ච මහත්තුරු ගෙවල් වල ගිහින් දාලා ආපහු යන්න පිටත් වෙන කොට ඔය ඉතුරු බිතුරු දාලා හදලා දෙන බත් එක දික්  කරන කොට අබේට දැනෙන කේන්තිය කියන්න බෑ.


අපරාදේ කියන්න බෑ දැං සර් ෙග් ගෙදරින් නම් උදේ කෑමත් දීලා, දවල් කෑමත් දීලා ගොඩක් රෑ වුන දවසට රෑටත් කන්න දීලා තමයි අබේව ගෙදර යවන්නේ. අබේ තනිකඩයා. අම්මාත් ගොඩක් වයසයි. පාන්දර නැගිටලා උයන්න අමාරු නිසා ඉස්සර අබේ කෑවේ කඩෙන්. දැං සර් කෑම දෙන නිසා පඩියෙන් සෑහෙන ගානක් මාසේ අන්තිමට ඉතුරු වෙනවා.



දවල්ට කෑම කන්න අමාත්‍යාංශෙ ඩ්‍රයිවර් ලා ඔක්කොම එකතු වෙනවා කැන්ටිමට. ඕපාදූප දැනගන්න කියාපු තැන. ගෙවල්වල ඒවයි, ඇමතිතුමාගෙන් සර් ලා බැනුම් අහපුවයි, සර් ලගේ රට සවාරියි ඔය හැමදේම දන්න අය තමා ඩ්‍රයිවර් කියන්නේ. සමහර සර් ලා ගැන කියන කතා අහපුවාම නම් ටයි කෝට් දාගෙන ආවට වැඩක් නෑ කියලා හිතෙනවා. ඇයි මෙතන ඒ ඔක්කොම ගලවනවනේ. මේ කතා බොහොම උනන්දුවෙන් අහගෙන ඉදලා ඔෆිස් එක පුරාම ඒවා පතුරන කොටසකුත් ඉන්නවා. තමන්ට නිවාඩු අනුමත නොකරපුවාම, හොර නිවාඩු පොතේ දාන්න කීවාම නැත්තං කෑමට ගිහින් හරියටම පැයෙන් ඇවිත් ඉඳගන්න කිවාම සර් ලට විරුද්ධව කියන්න දෙයක් තියෙන්නත් එපැයි!



අබේරත්න වැඩිය මේ කතා වලට හූමිටි තියන්න යන්නෑ. අනිත් අය කියන්නේ සර් ෙග්  රස්නේ වැදිලා කියලා. පිළිවෙලකට ජීවත් වෙන අයට ටිකක් අනික් අයගේ අකමැත්තකුත් තියනවනේ.  ඒ කොහොම වුනත් බත් එක දිගෑරගත්තම නම් නොවැරදීම ළං වෙන කීප දෙනෙක්ම ඉන්නවා. ඒ කාගේවත් කෑම එකක් අබේට හම්බවෙන බත් එක තරම් සරු නෑ. ළං වෙන අය බත් එකට අතදාලා මාලු කෑල්ලක්  හරි මස් කෑල්ලක් හරි ගන්න ගමන් තමන්ගේ බත් එකේ මෙ‍ලෝ රහක් නැති මොකක් හරි  වෑංජනයක් අබේගේ බත් එකට හලනවා. සර්ලගේ ගෙදරින් බොහොම පිරිසිදුව හදලා දෙන කෑම එකට එක එකා ඇඟිලි ගහන්න පටං ගත්තම  බඩගින්නත් අතුරුදහන්. අන්තිමට අනිත් අයට කන්න ඇරලා අබේ නැගිටිනවා කෑම එක දාලා. අනිත් අය ඒ කන ගමන් අබේට තුන්වේල ඒ ගෙදරින් කන්න හම්බවෙන එක ගැන ඇනුම්පදත් කියනවා. නොවැරදි ම සොයිසා ඒ කියන්නේ  ලේකම්තුමාගේ ඩ්‍රයිවර් තැන එතන ඉන්නවාමයි. මිනිහට කියන්නේ හැකර සොයිසා කියලා. ඕනම කෙනෙකුගේ කෙන්දක් කන්ද කරලා ගන්න උපන් හපන් කමක් තියන පුතයෙක්!



“ඈ අබේ ... උඹට කරවල දීලා සර් ලා නම් කනවා ඇති තෝර මාලු.... මොකද්ද මචං බල්ලට දාපන්කෝ මේ කෑම එක”



හැකර  සොයිසා එහෙම කියන්නේ හොඳම කරවල කෑල්ල අරගෙන තමන්ගේ දිය හොදි බත් එකට දාගන්න ගමන්.



කෑම එකේ  මාළු තිබුනොත්

 “මොකද්ද අබේ උඹලට කටු මාළු දීලා මහත්තුරු හොඳ කෑලි කනවා ඕක තමයි පාලක පන්තිය හැමදාම කරන්නේ. අපට  හැමදාම පිඩනය තමා”  කියනවා.


  දවසක බත් එකට එබිලා එදාට බිත්තර තිබුණෝතින් අබේට කුකුල් මස් නොදී ලාබ බිත්තරයක් දිලා කියනවා.



“ සහෝදරයා, උඹලට නාඩු හාල් කවලා සුපිරි පන්තිය බාස්මතී කනවා....මේක තේරුම් ගන්න බැරිතාක් උඹ‍ට වෙන්නේ ඔතනට කඹුරන්න...”



ඒවට උල්පන්දම්  දෙන්න කට්ටිය ඕන තරම්.



“ හැබෑව. ඔය ගෙවල් වල ඩ්‍රයිවර්ලට, වැඩකාරන්ට වෙනම උයනවා. වෙනම කියන්නේ ඔය සෙකෙන්ඩ් කොලිටියේ ඒවා...”



තමන්ටත් එහෙම වෙනවද කියලා අබේ මතක් කරනවා. ගමෙන් ගෙනාව දෙයක් වුනත් තමන්ට කොටසක් සර්   ගේගෙදරින් ලැබෙනවා නේද කියලා හිතට එනවා. හිතා මතා තමන්ට වෙනස් කමක් කරලා සලකලා නැති බව තමා  දැනෙන්නේ. ගෙදර ඉන්න අනිත් සේවකයන්ට වුනත් සැලකිල්ලේ වරදක් කවදාවත් අබේ දැකලා නෑ.


ඒත් සොයිසලා මෙච්චර මේ කියන්නේ එයාලගේ අත්දැකීම් නිසා නේද? තමන් උදේ සුක්කානම කරකවන්න පටං ගත්තම සමහරදාට රෑ දොළහ වෙන‍කොටත් ඒකෙන් නිදහසවෙලා නෑ නේද කියලා අබේට දැනෙන්නෙ ආත්ම අනුකම්පාවක් එක්ක. සර් ට නගින්න  බහින්න දොර අරින්න , බෑග් එක ඔෆිස් එකට අරං යන්න, අර තදබදේ එක සීරුවට වාහනේ ගාවන්නේ නැතුව ගෙනියන්න ඉන්න මට සලකන්න ඕනෑ තමයි අබේට හිතෙනවා. අපිත් මනුස්සයෝනේ. අපි දෙන්නම රජ‍යේ  සේවකයොනේ.



“සහෝදරයා අපි මහජන සේවකයෝ. හැමෝම බදු සල්ලි වලින් පඩි ගන්නේ. ඒකට පන්ති බේදයක් නෑ”



 හැකර සොයිසා කියන කතාවත් ඇත්ත තමා.



ඇත්තට හිතුවොත් අපේ ශ්‍රමය සූරා කනවා කියන්නේ මේක තමා. මම මේ වාහනේ කරකැව්වේ නැත්තං කොහොමද සර් මෙතෙන ඉන්නේ. අබේගේ හිත සැරෙන් සැරේ වෙනස් වෙනවා. එදා නම් හිත නරක් වෙලා තිබුණේ ටිකක්. කලින් දවසම සුද්දන්ගේ මිටින් ඉවර වෙනකල් හෝටලේ රස්තියාදු වෙවී ඉන්න වෙච්ච එකට. අනික් අය කැන්ටිමට වෙලා කකා බිබි කතා කර කර ඉන්නවා ඇති කියලා අබේට හිතුණා . එක අතකට මටත් පූල් එකේ ඩ්‍රයිවර් වෙන්න තිබුනේ. සොයිසත් ඔය කියන්නේ ලේකම්තුමා එන්න දෙන්නේ නෑ මිසක් නැත්තං එයා පූල් එකට එනවා කියලා.



“අබේරත්න සහෝදරයා මම කියනවට එක දවසකට ලොක්කගේ කෑම එක අරං බලනව‍කෝ. තමුසෙට එදාට පෙනෙයි ධනපතියන්ගේ ජිවිත දර්ශනය. ඔය.. කියනකොටත් තමුසේ බයයි. මේ මානසිකත්වය අපි අවබෝධ කරගත්තේ නැත්තං කිසි දවසක අපට විප්ලවයක්  ........................”



සොයිසා කතාව නැවැත්තුවේ අබේ නැගිටලා යන්න ගියපු නිසා.



එදා අබේගේ‍ හිතෙත්  මේ විප්ලවීය වෙනස වුනා. සර් කාර් එකෙන් බැහැලා ගියාට පස්සේ එයා තමා කෑම එක ලන්ච් රෑම් එකෙන් තියන්නේ. අබේ හිමිහිට කෑම පෙට්ටි දෙකේ සර්වියට් මාරු කලා. එදා පීඩිත පන්තියෙ කෑම එක ගියා ධනපතියන්ගේ කාමරේට.



දවල් කෑම වෙලාවෙදි අබේ ඉඳගත්තතේ සොයිසට කෙලින්ම පේන මේසෙක. විප්ලවය පටන් ගත්ත හිතේ සතුටත් එක්කම කෑම එක ඇරියා. අබේගේ සතුටු මූණ දැකලා සොයිසත් පුටුවෙන් පැනලා වගේ එතෙන්ට ආවා. හිමිහිට දැවටුම ඇරුණා. රතු හාල් බත් හැන්දකුයි, තම්බපු බිත්තර සුදු මද දෙකකුයි, කැරට් අලයකුයි , මිරිසට උයපු මාළු කෑල්ලකුයි  ධනපති පන්තියේ දවල් කෑමට තිබුණා.

Saturday, January 14, 2017

සර්ප්‍රයිස් පාටි


අවුරුද්දේ අන්තිම දවසේ හෝටලයකට එකතු වුන යාළුවෝ කට්ටියක් පුරුදු විදිහට තමන් අවුරුද්ද ගෙවපු විදිහයි ලබන අවුරුදේ බලාපොරොත්තු ගැන කතා කරා. මේක අවුරුදු ගනණාවක් පුරාම වෙන දෙයක්. පවුල් පිටින්ම එකතු වෙන නිසා හැමෝම එදාට විනෝදයක් ලබනවා.

පුරුදු විදිහට ළමයි එකතු වෙලා‍ සෙල්ලම් කරනවා. හෝටලයේ වත්ත ළමයි වෙනුවෙන්ම නඩත්තු කරලා තියන එකක් නිසා අම්මලාටත් වද වෙවී ළමයි පස්සේ ඉන්න දෙයක් නෑ. ඒ හින්දම එයාලා නිදහසේ කතා බහ කරගෙන ගියා. ඒ හින්දම මහත්තුරුත් නිදහස්. නැත්තං ළමයි බලලාම හෙම්බත් වන නෝනලා රවන්න පටං ගත්තම, අහන දේවල් වලට නොරිස්සුමෙන් උත්තර දෙන්න ගත්තම, මහත්තුරුන්ට ඇනුම් පද කියන්න පටං ගත්තම අර බොන බීමත් තිත්ත වෙනවා ආව ගමන වගේම.

නෝනලා ටික බොහෝම පොඩි  මාතෘකා වලින් පටං අරං දිග සංවාද වලට එකතු වෙනවා. මොන තරාති‍රමේ ජීවත් වුනත් එකම ජාතියේ අත්දැකීම් තමා එයාලට තියෙන්‍නේ. මේ කතාබහ ටිකකට හරි  බාදා වෙන්නේ ඉඳලා හිටලා කේලමක් කියලා යන්න එන පොඩි එකෙකුගෙන් හරි, බොරුවට තමන්ගේ නෝනට අවධානය පෙන්නන්න  මේසෙන් මොහොතකට නැගිටලා එන මහත්තයෙක්ගෙන් හරි විතරයි.

“ආ.... අපට කිව්වේ නෑ ‍නේද මේ සැරේ උපන් දිනේ?”  කාන්තා සංගමයට අර කිව්ව විදිහට කඩා වැටුන මහත්තයෙක් එක නෝනා කෙනෙකුගෙන් ඇහුවා. ඒ නෝනා තමන්ගේ උපරිම දායකත්වය  සාකච්ඡා වටයට ලබා දෙන කෙනෙක්. ඒ වගේම හැමෝගෙම අවධානය ලබන කෙනෙක්.

ඒ ප්‍රශ්නෙත් එක්ක නෝනගේ පැහැපත් මූණ තවත් පැහැපත් වුනා. කටහඩ  තවත් ප්‍රීතිමත් වුනා.

“ ආනේ අපේ විකී කිවේ නැද්ද අපි සෙලිබ්‍රේට් කරපු විදිහ?” එයා ඇහුවා.           

“නෑ... රටවත් ගියාද?”

“ නෑ  අය්යෝ ... එයා සප්‍රයිස් පාටියක් දුන්නා මට”

“අනේ විකී නම් හරිම රොමෑනිටික් ! කියන්‍නකෝ ඒ ගැන” නෝනලා මැඩ ගත්ත  ඉරිසියාවෙන් තමන්ගේ යෙහෙළියට බල කලා.

“එදා පුතාලා උදේම ප්‍රැක්ටිස් අරං ගිය නිසා විකීට වෙලාවක් තිබ්බේ නෑ විශ් කරන්නවත්. මට ටිකක් තරහත් ගියා ඒකට. මොකද මට පස්සේ හරි  කෝල් කරලා වත් එහෙම කරන්න  තිබුණානේ. ඔෆිස් එකේ යාලුවෝ අහන කොට මොනවද මහත්තයා තෑගි දුන්නේ කියලා මට  ලැජ්ජත් හිතුනා. එයා දවල්ට පොඩි පුතා අරං ඇවිත් මට කෝල් කරයිනේ කියලා හිතුවත් එහෙම කලෙත් නෑ. මට හරි කේන්තියි. මම වරුවෙන් ලොකු පුතාවත් අරගෙන ගෙදර ආවා. එයාලට එදා රෑ ඉස්කෝලේ ස්කවුට් කෑම්ප් එකට යන්න තිබුණා. විකී හවස ගෙදර ඇවිත් කිසි කතාවක් නැතුව පුතාලා දෙන්නා ඉස්කෝලෙට දාලා ආවා. ඇත්තටම මට ඇඩෙන්න තරම් දුකයි. මගේ උපන් දිනෙත් එයාලට කිසි වැඩක් නෑ. විකී ටිකක් කලබලයෙන් තමා ගෙදර ආවේ . ගෙදර එනකොට ලයිට් ගිහින්. එයා ඇගපත හෝදගෙන කළුවරේම බැල්කනියේ ඉඳලා මට කෑ ගහලා කීවා එයා පොඩ්ඩක් එළියට ගිහින් එනවා එනකොට කෑම  අරං එන්නං කියලා. මට එතකොට හිතුණා ලයි‍ට් නැතිවුන එකත් හොඳයි කියලා.විකී  ඉක්මනට ආපහු ආවා. ඇවිත් කිවා අද කෑම එළියට ගිහින් කමු, ලෑස්ති වෙලා එන්න කියලා. මම ලෑස්ති වෙලා එනකොට එයා බොහොම සැහැල්ලුවෙන් හිනා වෙලා කීවා අද අපි දෙන්නා පයින් යමු කියලා. මටත් පුදුමයි. අඩි දෙකක්වත් පයින් යන්න බැරි කෙනා. අ‍පේ ගෙදර ළඟ ඉඳලා කෙටි පාරක් තියනවා ටවුන් එකට. ඒ පාර දිගටම ගස් නිසා දවල්ටත් සීතලයි . හරිම නිස්කලංක පාර. ලයිට් නැති නිසා  යන්තමින් පාර පෙන්නේ. ඈත පත්තු වෙන ලචයිට් පේනවා පුංචි තිත් වගේ. මහපාරේ යන වාහන වල එළි එක දිගට වැලක් වගේ පුංචියට  පෙනුනා. පාර දිගටම රතු පාට මැයි මල් වැටිලා. අපි දෙන්නා ‍ගොඩක් කාලෙකට පස්සේ මේ වගේ  ඇවිදගෙන ගියේ. ඇත්තටම මගේ හිතට හරි සැහැල්ලුවක් දැනුනා. ඒ පාරේ කෙලවරේ තියෙන්නේ මම ආසම කරන රෙස්ටොරන්ට් එක. අපි දෙන්නා ඇවිදගෙන ගියේ ඒකට . එතන කොනේම මේසේ පුංචි ඉටිපන්දම් පත්තු කරලා තිබුණා. ඉටිපන්දම් මැද මල් පොකුරකුයි, තෑග්ගකුයි තිබුණා. හෝටලේ වේටර් ගෙනාව පොඩි කේක් එක කපලා ඉවර වුනාම විකී මට විශ් කරලා කීවා එයාට මාව සර්ප්‍රයිස් කරන්න ඕන වුනා කියලා. පුතාලත් කතා කරලා ඇහුවා අම්මිගේ සර්ප්‍රයිස් පාටි එක කොහොමද  කියලා.

“ප්ලසන්ට් සප්‍රයිස්!” එතන හිටිය නෝනලා කෑ ගැහුවා.

“ඔව් අනේ විකී මම ගැන කොච්චර හිතලද? එයාට මාත් එක්ක තනිවෙන්න ඕන වෙලා තිබුණා කියලා මට ‍තේරුණා. කොනේ මේ‍සේ  සාමාන්‍යයන් ඉඳගන්නේ ලවර්ස්ලා. එතන තියෙන්නේ පුටු දෙකයි. ඉටිපන්දම් එලියයි, අඳුරයි නිසා හරිම රොමෑන්ටික් . සතුට වැඩිකමට මම ගොඩක් කතා කළා. විකී කාලෙකට පස්සේ ඒ කියන්නේ අපි යාළුවෙලා ඉන්න කාලේ වගේ මට ගොඩක් ඇහුම්කන් දුන්නා. අපි ගෙදර ආවෙත් පයින්. ඒ වෙලාවේ  පුංචි සිරි සිරි ‍වැස්සක් වැටුනා. මට ඒ හැමදේකින්ම අපේ අතීතේ මතක් වුනා . ගෙදර ඇවිත් ලා හඳ එළියේ අපි නින්දට වැටුනේ. ඇත්තටම විකී මාව අළුත් කළා............”

“ආනේ....විකී කොච්චර ආදරේ ඇතිද? ඔයා නම් හරිම ලකී” නෝනලා හැමෝම කීවා.

සංගමයට කඩා වැදුන මහත්තයා බලං හිටියේ තමන්ගේ නෝනගේ මූණ දිහා. එයා සතුටක් පෙන්නුවට ඇතුලේ හැඟිම් කියවන්න පුළුවන්. තමන්ට මේ  වගේ උපන් දිනයට පාටියක් දීලා නැති වග එයාගේ ඇස් දෙකෙන් කියවුනා. වැඩි වෙලා එතන රැදෙන එක ගුණ නැති නිසා මහත්තයා හිමිහිට මාරු වුනා.  ගියාට කටපියාගෙන ඉන්න හිතෙන්නෙත් නෑ‍නේ. තමන්ගේ පාසල් කාලේ ඉදන්ම මිත්‍රයට ඇනුම්පදයක් කීමේ එයාගේ ආසාව බලවත් වුනා.

“විකී , උඹ හරිම රොමෑන්ටික් වෙලානේ... වයිෆ්ට නියම සර්ප්‍රයිස් එකක් දීලනේ.. ඇත්තට උඹ බැඳලා පිළිවලකට ඉන්න එක තමා මට නම් සර්ප්‍රයිස් එක”

විකීගේ මූණේ හීනි හිනාවක් ඇදුනා. යාළුවන්ගේ කුතුහලය පිරුණ මූණ දිහා බලලා එයා කතාව පටන් ගත්තා.

“මට මෙලෝ මතකයක් තිබු‍ණේ නෑ එදා මේධාගේ බර්ත් ඩේ කියලා. කොල්ලෝ දෙන්නට මට තරං වත් සිහියක් නෑනේ. උදේ මම එළියට යනකොට එයාගේ මූණ හොඳ නෑ කියලා නම් දැනුනා. ඕක ඉතිං අමුත්තක් නෑනේ. හවස ගෙදර එනකොටත් මුණ හොඳ නෑ. මම සද්ද නැතුව පුතාලා දෙන්නා කෑම්ප් එකට දාන්න ගියා. එදා මටත් ඔ‍ෆිස් එකේ මළ පැනලා තිබුණේ. මදිවට හවස ගෙදර එනකොට ලයිට් නෑ. කළු‍වරේම ඇග හෝදගෙන කෑමත් අරං එන්න එලියට බැස්සේ මාර කේන්තියෙන්. කෑම ඕඩරේ දාන තැන  මාර සෙනගක් . පැයක් විතර යයි කියලා කීව නිසා මම රෙස්ටොරන්ට් එකේ සෙටියට වෙලා ‍ෆේස් බුක් ගියා. හත්වලාමයි එතකොට තමයි දැක්කේ මේධාගේ බර්ත් ඩේ කියලා තිබුණ නෝටිස් එක. මට දෙලොව රත් වුනා. අවුරුදු ගානක් නෝක්කාඩු අහන්න වෙන ‍වැඩක් නේ . මම ඉක්මනට එතන මැනේජට කතා කරලා කීවා මට ඩිනර් ඇරේන්ජ් කරන්න කියලා. කරුමෙට ඉතුරු වෙලා තිබුණේ කොනේම මේසේ විතරයි.එතන දෙන්නෙකුට විතරක්  පුළුවන් නිසා බේරිලා තිබුණා. ලයිට් නැති නිසා ජෙනරේටරෙන් වැඩ    කරන ලයිට් විතරයි තිබුණේ. එතෙන්ට ඉටිපන්දම් දෙන්නං කීවා. මම කේක් එකකුත් ඕඩර් කරලා, තෑග්ගකුත් තෝරලා එතනට යවලා ආවා. මේධානිගේ මූණට එළියක් ආවේ මම ගෙදර ඇවිත් එයාට එළියට යන්න ලෑස්ති වෙන්න කීවම. කරුමෙට වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැතුව ගියා. මහ පුදුම කරුම දවසක්. මම ඒ බවක් නොකියා මේධාට කීවා පයින් යමු කියලා. එයා පැනලා කැමති වුනා.

“ආහ්.. කපල් එක අත් අල්ලගෙන යන්න ඇති පයින්..”

“මරු මචං.. ලයිට් නැතුව කරුවලේ, වැටිච්ච කොළ රොඩු පාග පාගා යනකොට ඈත කාර් ඉගිල්ලිලා යනවා පේනවා. මම නම් කීයටවත් පයින් යන්නෑ. වෙන කරන්නම දෙයක් නැතිවුනා. වැඩේ   මේධා පුදුම විදිහට සතුටු වුනා අර කනා ඉටිපන්දම් එළිවලටයි, කවුරුත් කැමති නැති මේසෙටයි. කොටින්ම තෑග්ග මොකද්ද කියලා බැලුවෙත් මං කීවට පස්සේ. කොල්ලෝ දෙන්නටත් කියලා තිබුණා ‍අම්මට කතා කරන්න කියලා. කන ගමන් අපි යාලු වුන කාලේ ඒවයි , දුන්න  තෑගියි, අපි බැන්ද දවස් වල ඒවයි ඉවරක් නැතුව කියවන්න ගත්තා. මහ කරච්චලේ. මම හ්ම් කිය කියා හිටියා නැත්තං බේරිල්ලක් නෑනේ. කාලා එළියට බැස්සේ ටැක්සි එකක එන්න. කරුමෙට කඩා වැ‍ටුන වැස්ස නිසා ටැක්සි ඔක්කොම මිනිස්සු දාගෙන ගිහින්. අර කලුවරේ චිරි චිරිය මැදින් ගෙදර ඇවිත් යංතං ඇඳට පැන්නා. මේධා නම් වැස්සට පස්සේ හඳ එළීය ලස්සනයි කිය කියා ජනෙල් ඇරලා බලලා මටත් කතා කළා ලස්සන බලන්න. ඇගේ ගෑවි ගෑවි හැමදාම බලන හඳ බලන්න ගිහින් මොන මරාලයක් කඩා වැටයිද දන්නැති නිසා අනේ මම නම් දෙවියන්ට මේ දවස ඉක්මනට  ඉවර කරලා දෙන්න කියලා නිදා ගත්තා.

“මරු සප්‍රයිස් එක..” මහත්තුරු අනුමත කලා.

“බලං යනකොට විකී රොමෑන්ටික් වෙන්න එච්චර අමාරුත් නෑ..” අර කතාව පටං ගත්ත මහත්තයා කිවා.


Friday, January 6, 2017

සිල් පෝය


වටපිට  බලලා පන්සලේ දැහැත්  වට්ටියෙන් කටේ දා ගත්ත දුං කොළේ සැරට බිසෝ මැණිකෙගේ කනින් දුං  පිටවුනා. උදේ පින්නෙම පන්සලට ආවේ කනුවක් අල්ලාගෙන සිල් සමාදන් වෙන්න  හිතාගෙන. ඒත් ගිය පෝයට ඉඳගත්ත ගමන්ම කට්ටිය තාමත් ඒ තැන්වලම හිටිය නිසා ඒ වැඩෙත් බකල්. වෙනදා ගෙදර ළගින් වැට පැනලා ලලිතාගේ ගෙදර හරහා ආවා නම් පරක්කුවක් නෑ. ඒත් ඒ යාළුකම් පලුදු වෙලා නිසා මම නම් හතර හන්දි කැඩුනත් උන්ගේ මිදුලේ පස් පාගන්නෑ කියලයි බිසෝ කී‍වේ. ලලිතාගේ දුව චින්තා, කැම්පස් තේරුන එක හතර පෝයට සිල් ගත්ත බිසෝ‍ට ඉහලුම් දුන්නෑ. ලොකු කොල්ලට බන්දලා දෙන්න බලා ගෙන හිටියට දැං නම් ඒකිව අල්ලන්නවත් වෙන්නැති බව බිසෝ දන්නවා. ලලිතාටත් දැං සිල් ගන්න උනන්දුවක් නෑ. ඇයි ‍දෝණියැන්දා ඉන්නව‍නේ හතර වරි‍ගේ ගොඩදාන්න. හිතේ පටලැවෙන මේ රොඩු බොඩු නිසා අන්තිමට වුනේ දුර පාරකින් ඇවිත්  පන්සලේ කනුවත් නැති කර ගත්ත එක.

හාමුදුරුවො උපාසක කට්ටියට සිල් දීලා පන්සලට වැඩියා. උදේ දානේ අරගන හැමෝම පුංචි පුංචි  රවුම් හදාගෙන ධර්මයේ සැකමුසු තැන් විචාරනවා. ගිය පෝයට ආවෙත් නැති  දැන ගන්න දේවල් බොහොමයක් තියනවා. දුංකලේ කටේ දාගත්තා විතරයි කන් අගුලු වැටුන එකයි ඔලුවේ බර ගතියයි ගියාට කොන්දේ හීන් කැක්කුමක්   උඩ පහල දුවනවා. ඒ හැමදේකින්ම බිසෝ ගේ හිතේ නොරිස්සිල්ලක් ඉපදුනා. ඒ නොරිස්සිල්ලේ හරි මැද ඉන්නේ ලලිතාගේ දුව චින්තා. ඇත්තටම ඒ කෙල්ල කැම්පස් නොයන්න මේ මොකවත් වෙන්නෑනේ.

“හැබෑට!  

ගිය සති‍යේ ධර්ම සාකච්චාව ගැන අඩු වැඩිය සපයන කවයෙන් එක්කනෙක් කටහඩ උස් කරලා ඇහුවා. ඒ උපාසක අම්මගේ මූ‍ණේ තිබුන පුදුමය දැකලා බිසෝ ඉක්මනට ඒ පැත්තට ඇදුනා. මොකක් නමුත් තමන්ගේ හිතට සතුට දෙන එතන කතා වෙන බව දැනුනා.

“අනේ අක්කේ මුල ඉඳලම කීවනං කතාව..... මමත්  ගිය පෝයට බත් තම්බ තම්බා ගෙදර. අදත් නාවා නම් කිසි දෙයක් දැනගන්න වෙන්නෑ...” ඒ තව කෙනෙක්

“මොකද්ද නම කීවේ ? “ ඒ තවත් කෙනෙක්.

“චිං--“ ලොකු උපාසක අම්මා නම කීවේ හෙමිහිට.

බිසෝ මැණිකෙට ඇහුනේ මුල අකුර විතරයි.හිතේ විදුලියක් කෙටුවා වගේ සතුටක් දැනුනා. ඒ කී‍වේ චින්තා  ගැන නේද? . මොකක් නමුත් අඩව්වක් අල්ලලා වගේ. ඕනවට එපාවට  ඒ කතාව දිහාට ඇදුනාවගේ පෙන්නුවාට බිසෝගේ හිතේ නොඉවසිල්ලට කතාව කියපු කෙනාව හොල්ලලා ඉතුරු ටික අහගන්න තරම් හිතුනා.

“එන්න බිසෝ අක්කේ ... හොඳ කතාවක් තියනවා අහගන්න”

“අනේ අපිට මොකටද  අනුන්නේ දේවල්... කමන් නෑ.. මම නම් මේ බල කරන නිසා අහනවා..’

ලොකු උපාසක අම්මා කතාව පටන් ගත්තා‍

“මම නම් මේක අපේ හාමුදුරුවෝ නොකියන්න විස්වාස කරන්නෑ. අනේ මෙහෙමත් දේවල් අහන්න සිද්ධ වුනානේ. චීවරයක් දරාන ඉන්න උන්නාන්සේටත් ඉන්න ‍දෙන්නේ නැති අඟනෝ...’”

ලොකු උපාසක අම්මාගේ කටින් පිට වෙන වචනයක් ගානේ බිසෝ මැණිකෙගේ හිතේ ඇ‍‍දෙන්නේ චින්තාගේ රූපේ. පොත්ත රතු වුනාට ළමිස්සියෙක් ගෙන් වැඩක් තියේද? අනේ අපේ කොල්ලට ඕන නෑ මෙහෙම කතා හදා ගත්ත එකියක්. ඒත් හෙට අනිද්දට උපාධියක් අරං ඇවිත් ආණ්ඩුවේ රස්සාවකට යනකොට? එක අතකට මේ හදාගෙන තියන පදේ හින්දම ලලිතා කැමති වෙන්නත් පුළුවන් අපේ කොල්ලට චින්තා කසාද බන්දලා දෙන්න. අපිත් ටිකක් අදිමදි කරලා තමයි කැමති වෙන්නේ.

“උන්නාන්සේ පස්සෙන් සෑහෙන කාලයක් ඇවිත් තියනවා ආපහු ගිහිගෙට ගන්න බලාගෙන. කොච්චර දර්මේ කියලා දුන්නත් කනකට ගත්තේ නෑ කියන්නේ....” ලොකු උපාසක අම්මා කටහඩ තාලයකට උස්පහත් කරනවා.

එතකොට මේ පටලැවිල්ල ඇතිවෙලා තියෙන්නේ මේ කෙල්ල දහම් පාසල් යන කාලෙද? අපි නායක හාමුදුරුවන්‍ට කීවා පන්සලේ දහම් පාසලට කෙල්ලෝ‍ කොල්ලෝ ඇවිත් දඟලනකොට මේවා වෙයි කියලා.  කොලු හාමුදුරුවරුත් පැනලනේ දහම් පාසලේ උගන්නන්න ආවේ. අපේ කොල්ලා දහම් පාසල් එන්න අදිමදි කරෙත්  මේකයි හොරේ එහෙනම්. මං දැනං හිටියා නම් කොහොම හරි කොල්ලව එවනවා. එතකොට මේ කෙල්ල උනත් හාමුදුරුවෝ පස්සෙන් යන එක නවත්තයිනේ. බි‍සෝ මැණිකේ තමන්ගේ හිතත් එක්ක කතාව.

“’ටික කාලයක් යනකොට මේක කටින් කට ගිහිල්ලා දායකයනුත් උන්නාන්සේ ගැන සැක පහල කලාලු. ඇයි මේ අඟන කියනවාලුනේ සම්බන්ධයක්  තිබුණාමය කියලා. සමහරු ඒක විස්වාස කලාලු. සමහර අය නැතිලු. වැඩේ තියෙන්නේ’ ගොඩක් අය දැකලා තියනවනේ නිතර දෙවේලේ පන්සලටම වැදිලා හිටපු හැටි. අන්තිමට මිනිස්සු උන්නාන්සේට බොහොම පරිබව කරලා කතා කරාලු”

මිනිස්සු පන්සලයි අතරේ මේ වගේ වෙච්ච දෙයක් නම් බිසෝට මතකයක් නෑ. කොහොමත් තමන් සීට්ටු දානයක්වත් අරං පන්සල පැත්තේ ආවේ ගියේ නෑ කියලා මතක් වුනා ඒත් එක්කම. ඉඳලා හිටලා කටිනයකට අතගැහැව්වට වෙසක් පෝයටවත් සිල් ගත්තේ නෑ ඒ කාලේ. අනේ මොකට ඇවිත් දානේ දෙනවද? බලං යනකොට කෙල්ලො හාමුදුරුවන්ගේ ඇගේ ගහන්න බලාගෙන ඉන්න අම්මණ්ඩිලා තමයි මේ හතර පෝයට ඇවිත් පන්සලේ වැටෙන්නේ. අනුමානයක් නෑ ඔය කෙල්ල විස්ස විද්‍යාලේ ගිහින් නෑ. විභාගේ පාස් වෙලත් නැතිව ඇති. මේ හාමුදුරුවොත් එක්ක නටන්න හදපු නාඩගම වැරදුනාට පස්සේ ලලිතා හිමීට කෙල්ල ගමෙන් පිට කරන්න ඇති. ඇයි දෙය්යනේ ගමේ  තියාගන්නේ කොහොමද? මදෑ කපටි කමක තරම. බිසෝගේ හිත ටික ටික සීතල වෙනවා. බණ පදයක් ඇහුවේ නැති වුනත් දැං නම් හිතට නිවනක්.

තවත් ටිකක් ලොකු උපාසක අම්මා ළඟට කිට්ටු වුනේ වෙලා තියෙන දේ සහසුද්දෙන් දැන ගන්න.

“හැබැයි උන්නාන්සේට නිග්‍රහ කරලා මේ අඟන ගියේ කොහාටද දන්නවාද?”

“කොහාටද අක්කේ? බිසෝ කලබල වෙලා ඇහුවා.

“අවිචි මහා නරකාදියට...තාම පැහෙනවාලු.....”

බිසෝ අන්දුන් කුන්දුන් වෙලා අ‍නිත් අය දිහා බැලුවා. ඒ අය කාටවත් ප්‍රශ්ණයක් නැති ගානයි.

“එතකොට අක්කේ මේ කෙල්ල විස්ස විද්‍යාලේ ගියේ නැද්ද?”

“ මොන කෙල්ලද? කවුද? “ ලොකු උපාසක අම්මා බිසෝට වැඩිය අන්දුන් කුන්දුන්.

“ඇයි ඔය කිව්වේ ලලිතාගේ කෙල්ල චින්තා... කොයි දැං ඒ කෙල්ල?”

 “මොකක්? මේ ගිය සැරේ බණට හාමුදුරුවෝ කියපු චිංචි මානවිකාවගේ කතාව......”




Wednesday, September 7, 2016

පට්ට


“අනේ රාළහාමි මගේ එහා ගෙදර මහා නැහැදිච්ච ගෑණියක් ඉන්නේ.......” සුළු පැමිණිලි අංශය‍ට ආව කාන්තාව එතන පුටුවේ ඉඳගෙන හිටපු පොලිස් නිලධාරියාට කීවා.

දවසට අප්‍රමාණ පැමිණිලි ගානක් එන තැනක‍ ඉතිං  මහා දේකුත් නෙවේනේ මේක. ඒ වුනත් හිසකේ අවුල් වුන , බාගට සෙරෙප්පු දමා ගත් , කිසිම ලකයකට ඇඳුමක් ඇදලා නොහිටපු කාන්තාවගේ හිතේ ලොකු පටලැවිල්ලක් තියන බව  රාළහාමිට තේරුණා.

“ඇයි මුකුත් තමුන්ගේ මහත්තයා එක්ක මොකක් හරි..................’’

“නෑ.........නෑ.....මම තාම බැඳලත් නෑ.... අපි නම් නම්බුකාර විදිහට ඉන්නවා. ඒත් මෙහෙමත් ගෑනු!”  කාන්තාව ආයෙමත් කම්පා වුනා.

“හරි පැමිණිල්ල ලියමුකෝ. මොකක්ද දැං කාරණාව?’

“රාළහාමි මම ඉන්නේ අපේ පරම්පරාගත ගෙදර. අපේ මල්ලිලා කවුරුත් මේකට අයිතිවාසිකම් කියන්නේ නෑ. හැමෝම කැමැත්තෙන් මට මේක දුන්නා. මාව බඳින්න නම් ඕන තරම් අය ඉන්නවා. මේ දැං උනත්. මම නම් එහෙම කැමති වෙන්නෑ. හොඳ හැදිච්ච කමක් තියන අය එහෙම ආවට ගියාට මගුල් තුලා හොයා ගන්නේ‍ නෑනේ.... ඕන කෙනෙකුගෙන් අහන්න රාළහාමි මම කොහොම කෙනෙක්ද කියලා.......”

රාළහාමි පෑන පැත්තකින් තියලා කාන්තාවගේ  උඩ ඉඳලා පල්ලහාට බැලුවා. තැනින් තැන සුදුවුන හිසකේ, තරබාරු ශරීරය, බාගට නියපොතු ගෙවුන ඇඟිලි නිසා අවුරුදු පනහකට වැඩි පෙනුමක් තිබුණා.

“දැං ප්‍රශ්නේ මොකද්ද?”

“මේකයි රාළහාමි, හැදිච්ච කමක් නැති ගෑණියකට මොනවා තිබුණත් මොකටද නේද?”

“ඒක ඉතිං පැමිණිල්ලක් නෙවේනේ.......”

“’අපේ එහා පැත්තේ ඉඩමේ අලුතින් ගෙයක් හදාගෙන ගෑණියක් ආවා පදිංචියට. අනේ ගෙවල් කීවට අපේ ගෙවල් අහලකින් තියන්න බෑ. බිත්ති වලට ගල් අල්ලලා. ගල් කනු දාලා, මහා  ලොකු හුළං කපොලු දාලා..... එක මලක් වත් පිපෙන්නේනැති මල් පෝච්චි තියාගෙන...”

“ම්හු..... ඒකෙත් පැමිණිල්ලක් දාන්න තරම් දෙයක් නෑ....”

“නෑ... නෑ...... මේකයි කාරනේ .......... මේ ගෑනි පෙන්නගෙන ඉන්නේ හරි වැදගත් විදිහට. තනියම කාරකේ යනවා එනවා... මොකද්ද ලෙච්චර් දෙන තැනකලු. නිකමටවත් අහල  පහල කඩේකට යන්නෑ. කිසි කෙනෙක් එක්ක ඇයි හොඳයියක් නෑ. කොටින් ම කීවොත් ගෙදරට ලඟට එන කීර කාරයාවත් බෙල් ගැහුවට එන්නෑලු. මෙහෙම කෙනා නාන්නේ  නිර්වස්ත්‍රයෙන්. ඇදුමක් නැති ගානයි. පොත්ත සුදු වුනා කියලා හැදිච්ච ගෑනියකුට මේවා කරන්න පුළුවන්ද?”

“මොනවා ........ ප්‍රසිද්ධියේ  එහෙම නානවද?’

“ඒකනේ කියන්නේ...” කාන්තාවගේ හඩ ප්‍රබෝධමත් වුනා. “හැමදාම එහෙම තමා .. මටත් අහක බලාගෙන ඉන්න තිබුණා මේ ඉලන්දාරි ටික නොහියා නම්”

“ඉලන්දාරි කිව්වේ........?”‍                                                                                                                                 

“ආ......... මම ඉතිං මේ නිකං තියන ගෙදර පිරිමි ළමයි ටිකකට නවාතැන් දීලා තියනවා. මට ඇහිලා තියනවා කට්ටිය මේ ගෑනි ගැන කියනවා . මොකද්ද වචනයක් මේ .... ඒංජල් ද මොකද්ද වගේ කීවා. නම වෙන්ඩැති... මට බය මේ ගෑණි නාන විදිහ දැක්කොත් ... අනේ මේ  අපිටත් ලැජ්ජයි....”කාන්තාව උරහිස් ඇකිලුවා. “ මේ කොල්ලෝ මම ගැනත් ‍මොනවා කතා වෙනවාද දන්නෑ. දවසක් මේ ළමයි අපේ ළඟ ඉද්දී ‍මේ ඉස්කුරුප්පුව කිරිස් ගාලා කාර් එක ගසාගෙන ගියා. කොල්ලෝ පට්ට  කීවා. නොකීවට රාළහාමි මේ ගෑනුන්ට කියන  වචනය ඕක තමා....” කාන්තාව ලොකු හුස්මක් ඇරියා.

“මට මේක මහා වදයක්. රාළහාමි මේ පැමිණිල්ල ලියාගන්න.”

“හොදයි. තමුන් ගේ පැමිණිල්ල ගැන ඔය කියන  ඒංජල්  නෝනා ගෙන්නලා බලමු...”

හිතේ පිරුණු සහනයෙන් කාන්තාව නැගිට්ටා.  ඒත් ආපහු ඉඳගත්තා.

“මට මේ ඉවසන්නම බැරි වුනේ පෙරේදා ඉඳන් ඔය බැඳලා ඉන්නවා කියන සුද්දා එක්කත් අර විදිහටම නානවනේ. මොකද මේ රටේ මිනිහෙක් ඉන්නේ එයාට විතරයෑ..ඒ මිනිහා ගෙන්න ගත්තේ මට පෙන්නන්න වෙන්න ඇති”

තව  දේවල් කියන්න උවමනාව තිබුණත් රාලහාමි ඔලුව දුන්න සංඥාව තේරුම් අරං කාන්තාව  ලොකු හිනාවක් දාලා පොලීසියෙන් පිටවුණා.

මොකක්  හරි හේතුවක් නිසා  පරික්ෂණය ඉක්මන් වුනා. රාලහාමි ගියා පැමිණිල්ලටයි විත්තියටයි‍ පොලිසියට එන්න කියලා නිල දැනුම් දීම කරන්න. පැමිණිලි කාරයාගේ ගෙදර හොයා ගත්තා කියන්නේ විත්තිය එහා පැත්තේ ගෙදර ඉන්නවා කියන එකනේ.

බොහෝම පරණ තාලේ  ගෙයක් තමා දිලා තිබුණ ලිපිනයට අදාල වුනේ. ගෙදර පරණ වුනාටත් වැඩියෙන් පරණ කම කැපිලා පේන්නේ එහා පැත්තේ තිබුන නවීන පන්නේ ගෙදර නිසා. ‍අළුත් ගෙදර ජර්මන් තාලෙට හදලා තිබු‍නේ.  තොරතුරු ලබා දීමේ ‍හොඳකම නිසා ‘ ඒ ගෙදර ඒන්ජල් නෝනාගේ බව රාලහාමිට තේරුම් ගියා. පරණ ගෙදර මලකඩ කාපු ගේට්ටුව හිමින් තල්ලු කරගෙන ගිහින් දෙපාරක් විතර දොරට තඩිබාන කොට අර කාන්තාව අත් දෙක හවුස් කෝට් එකෙන් පිහපිහා දුවගෙන ආවා.

“හොඳ වෙලාවට රාලහාමි ආවේ . මේ අර ගෑනි නාන වෙලාව.. අද නම් සාක්කි ඇතුවම උසාවි දාන්න පුළුවන්....” එයා සතුටින් කීවා.

ඒ ගෙදර පරණ වහලේ කඩා වැටෙයි කියලා හිතුනා මේ කෑ ගැහිල්ලට. කොහෙමත් අයිතිකාරයාත් ඒ ගෙදරම කොටසක් වගේ. කිසිම නඩත්තුවක් නැතුව අභාවයට යමින් තිබුණා.

“අර ඉලන්දාරි නවාතැන් අරං ඉන්නේ කොයි පැත්තෙද?”

“අනික් පැත්තේ ..” කාන්තාව වම් අත පැත්තේ තියන ගෙට අල්ලපු කුඩා කාමර තුනක් පෙන්නුවා. ඒකයි මහ ගෙදරයි සම්බන්ධ වෙන්නේ පොඩි ගේට්ටුවකින්. අර කියන නෝනගේ ගෙදර ති‍යෙන්නේ ගෙට දකුණ පැත්තෙන්.

“එහේ ඉන්න ඉලන්දාරින්ට මේ පැත්තට එන්න පුළුවන්ද?”

“අපෝ බෑ.. මම මේ ගේට්ටුව වහලාමයි තියන්නේ.”

“එතකොට අර කියන ගෙදරට යන්න කොහොමත් බැරුව ඇති. පේන්නෙත් නැතුව ඇති”

“අපෝ බෑ....”

“දැං ඔය තැනැත්තී කොහොමද අර  නෝනා නානවා දකින්නේ?” රාලහාමි කුතුහලයෙන් ඇහුවා.

“එන්නකෝ රාලහාමි පෙන්නන්න ...” කාන්තාව රාලහාමිට ඉස්සර වෙලා ගියා. එහා ගෙදර බිත්තියයි මේ ගෙදරයි අතරේ අඩි දෙකක විතර පරතරයක් තිබුණා. දිය සෙවල බැදිච්චි බිත්තිය මග ඇරලා කඩා වැටිලා තිබුණ වැහි පිහිලි උඩින් පැනලා කුණු ගඳ ගහන කානුව දිගේ දෙන්නම දුෂ්කර ගමනක් ආවා.

“මම මේ පැත්ත පාවිච්චි කරන්නේම නෑ. අතෑරලාමයි තියෙන්නේ” කාන්තාව කිව්වා.

“මේන් මෙතන මේ ගැලවිච්ච ගඩොල් දෙකට අඩිය තියලා නගින්නකෝ”.

රාලහාමි විධානයට අවනත වෙලා බයෙන් වගේ කඩාවැටෙන්න ඔන්න මෙන්න තියන තාප්පෙට නැග්ගා.

“තව ගල් දෙකක් නගින්න... රාලහාමිත් නැග්ගා. මැසි මදුරුවෝ එලව එලවා පහර දෙන්න පටං අරං...

“දැං රාලහාමි  ඔය උඩ තියන බාල්කෙට දාලා තියන ලනුවේ එල්ලිලා තාප්පේ හිලෙන් අර ගෙදර පැත්ත බලන්නකෝ”

ලනුවේ එල්ලුන සර්කස් කාරයා වගෙ රාලහාමිත් කැරකි කැරකි තාප්පේ හි‍ලෙන් බලං හිටියා. ඒන්ජල්සා බලන්න ලේසි නෑ.

ජර්මන් ගෙදර නෝනා  මේ කිසි දෙයක් දන්නෑ. එයා එයාගේ මහත්තයා එක්ක තමන්ගේ නාන තටාකෙට බැහැලා ඉන්නවා. ලෝකේ සම්මත නාන ඇඳුම් තමා ඇඳලා ඉන්නේ. බොහෝම විවේකී තැනක්. ඒ වගේම බොහොම පෞද්ගලික තැනක්. තමන් එල්ලිලා ඉන්නේ ලනුවක බව රාලහාමිට මො‍හොතකට අමතක වුනා ඒන්ජල් නෝනාගේ ලස්සන දැකලා. ඇත්තටම කොල්ලෝ දාපු නම හරි. ගෙදරත් දිව්‍ය ලොකේ වගේ තමා

“නානවා නේද? හරිම හිරි‍කිතයි නේද? අපායෙන් කතා කරලා ඇහුවා.

තමන් ආවේ රාජකාර ගමනක් බව මතක් වෙලා රාලහාමි බිමට බැස්සේ  බාගෙට ගැලවුන ග‍‍‍ඩොල් වලට වැලමිටි දෙකම හූරාගෙන. සපත්තු දෙකේ දිය සෙවල ඇලිලා.

“දැක්කා නේද? මම කීවේ. අපේ වැදගත් කම... “   රාළහාමිගේ රැවිල්ලට කතාව අතරමග නැවතුනා. කකුල්‍ දෙක පොලවේ ගහලා දිය සෙවල ඇර ගත්ත රාලහාමි අඩියට දෙකට ගේට්ටුව පැත්තට දීවා.

“ රාළහාමි කවදද ඒ ගෑනි පොලිසියට ගෙන්නනේ ....”

“ඕයි... අඩුම ගානේ නෝනා දවසට සැරයක් හරි වතුරට  බහිනවනේ..  තමුනුත් ඒක බලලා නිකං ඉන්නේ නැතුව දවසට සැරයක් හරි මූණ කට  හෝදලා දත් ටික මැදගන්නවා.... දඩාස් ගලා ගේට්ටුව වහගෙන එලියට  පනින ගමන් රාළහාමි  කීවා.

කාකි කෝට් එකට  වැහුනට මොකද වැලමිටි දෙක සීරුවට ඇදුම් කනවා.

“පට්ට තමා.......”රාළහාමි තමුන්ටම  කියාගත්තා.


Friday, August 26, 2016

රාජකාරි‍ය




කොළඹ ්‍රධාන පාසලක ත්‍යාග ප්‍රදානෝත්සවයක්. රටේ නම ගිය අය සහභාගී වෙන්නේ ඒ පාසලේ ආදි සිසුන් විදිහට. ඒ හැමෝම මේ විදිහට තමන්ගේ පාසලේ ත්‍යාග ලබා ගත්ත අය. පාසලෙන් ලබපු ඇගයුමටත් වඩා ගෞරවයක් විදිහට සැලකෙන්නේ මේ උත්සවයට ආරාධනා ලැබීම. තමන්ගේ අතීතය දිහා හැරිලා බලලා සතුටු වෙන්න මේ පුටුවල ඉඳගන්න අයට පුළුවන්. තමන් එක්ක එකට විභාග ලියපු , සෙල්ලම් කරපු, බාහිර වැඩ වල යෙදුන අය නැවත මේ විදිහට හම්බවෙන්නේ නමේ ඉස්සරහා ආචාර්ය, මහාචාර්ය වගේ කෑලිත් එක්ක. එක්‍කෙනෙකුට එක්කනෙක් නොදෙ‍වනි වෙන විදිහට නිලතල , බලතල වගේම පෙනුමත් . එහෙම වෙලාවට හිතෙනවා අපේ රටේ ඉන්න හැමෝම මේ මට්ටමේ ‍නේද කියලා. මේ ඉස්කෝලේ කවදාවත් දේශපාලඥයෙක් ඇවිල්ලා තෑගි දෙන්නේ නෑ. ඒ වාසනාව ලබන්නේ පාසලේ රන් පදක්කමක් දිනපු දක්ෂතම ශිෂ්‍යයා. ඒකට  සීතල තරඟයකුත් ආදි සිසුන් අතරේ තියනවා.

මේ අවුරුද්දේ ආරාධනාව ලැබුවේ අමාත්‍යාංශයක ඉහලම නිලධාරියෙක්. එයා ආදි සිසුවෙක් වගේම පාසලේ දෙමව්පියෙක්. ඒත් කිසිදාක දරුවගේ පන්ති රැස්වීම් වලට ඇවිත් නෑ. ඒ ඇත්තටම කාර්ය බහුල නිසා. ඉස්කෝලේ කාලේ හැම අතින්ම කැපිලා පෙනෙන චරිතයක්. මුළු පාසල් ජීවිතේටම දින දහයයි නෑවිත් තියෙන්නේ. එයා ප්‍රධාන ශිෂ්‍ය නායකයා වුන දවසේ භාර ගුරුතුමා විශේෂ කතාවක් කළා. පාසලට පළවෙනියටම එන අන්තිමටම පාසලෙන් පිටවෙන ළමයාට ශිෂ්‍ය නායකකමක් අළුතින් දෙන්න දෙයක් නෑ කියලා තමා කීවේ. ඉස්කෝලේ පවත්වා ගත්ත විනය ඒ විදිහටම පවත්වාගෙන තමන්ගේ රාජකාරි ජීවිතයත්  ගෙදර ජීවිතයත් දෙකම  සාර්ථක කරගන්න එයාට - අමරසිංහ මහත්තයාට පුලුවන් වුනා.

ආරාධනාව ලැබුන වෙලාවේ ලොකු සතුටක් දැනුනත් ඒක පිළිගන්න අමරසිංහ ටිකක් අදිමදි කළා. ඒ දවස්වල රටේ නාය යෑමක් නිසා පවුල් ගණනාවක් අනාථ වෙලා හිටියේ. ඒ වැඩ කටයුතු ගොඩක් තමන්ගේ අතේ තිබුණ  එක තමා ප්‍රශ්ණය. ඒත් තමන්ට මෙච්චර අලෝකයක් දුන්න  පාසලේ විදුහල්පතිතුමාගේ ඉල්ලීම ප්‍රතිෂේප කරන්නේ කොහොමද?   දැන් ප්‍රධාන අමුත්තාගේ  සහභාගී වීම හරි.

ඊළඟ දවසේ  අමරසිංහගේ පුතා ගෙදර ආවේ උඩ පැන පැන. තෑගි‍ දෙන දවසේ අමුත්තෝ පිළිගන්න එයාව තෝරාගෙන. ඒකත් සුළුපටු ගෞරවයක් යෑ.......

උත්සවේ දවසේ පාන්දර පහට  අමරසිංහ මහත්තයට කෝල් එකක් ආවා. තවත් නාය යාමක් වෙලා . එයා යන්නම ඕන එතෙන්ට. හවස හතරවෙනකොට උත්සවයට යන්න ගෙදර එන පොරොන්දුව පිට කොළඹින් පිටත් වුනා. අම්මයි පුතයි දවල් දොලහේ ඉඳන් මග බලනවා. දෙන්නම ලෑස්ති වෙලා පැය දෙකක් විතර බලාගෙන හිටියා. තව පැය බාගයයි උත්සවේට. පුතාට ඉස්කෝලෙට  එන්න නියම කරපු වෙලාව පහු වෙලා පැයකට වැඩියි. තමන්ට නම් කිසිම සමාවක් නැති බව පුතා දන්නවා.  මොනම හේතුවකටවත් පරක්කු වෙලා අමුත්තන් පිළිගන්න වැඩේට එන්න එපා කියලා ඒ රාජකාරිය  බාර දීලා තිබුන ගුරුතුමී කීවේ. එයා කතා කිසි දෙයක් කතා කරලා විසඳා ගන්න පුලුවන් කෙනෙක් නෙවේ.

විනාඩි විස්සක් තියලා ප්‍රධාන අමුත්තා ගෙදරට සැපත් වුනා. මඩ ගෑවුන කකුල්, අවුල් වුන හිසකේ දැකලා  පුතා තාත්තාගෙන් ප්‍රමාදයට හේතුව ඇහුවේ නෑ. විනාඩි පහෙන් අමරසිංහ මහත්තයා ලෑස්ති  වුනා.

“ දුක් වෙන්න එපා පුතේ. ඔයාට ටිකක් ප්‍රමාද‍ වෙලා උත්සවට යන්න පුළුවන්. ඔයාගේ ඉස්කෝලේට කිසි දෙයක් වෙලා නෑ. ඒත් අර දරුවන්ගේ ඉස්කෝලේ වැහිලා තියෙන්නේ ඒ ළමයින්වත් ගෙවල් වලට යට කරගෙන......”

පුතා එක මොහොතට තාත්තා කීව දේ තේරුම් ගත්තා. තමන් මේ නොසන්සුන් වෙලා ඉන්නේ කොච්චර සරල දෙයකටද කියලා හිතුනාම හිත සැහැල්ලු වුනා.

අම්මයි , තාත්තයි , පුතයි ඉස්කෝලෙට යනකොට පැය බාගයක් ප්‍රමාද වෙලා. හැම දේම ලෑස්තියි  ප්‍රධාන අමුත්තා පිළිගන්න. අම්මා පුතාවත් අරගෙන අමුත්තෝ පිළිගන්න ලෑස්තිවෙලා ඉන්න තැනට ගියේ ඒ ගුරුතුමීට කාරණාව  කියලා සමාව ඉල්ලන්න.

එක වචනයක් කියන්න ලැබුණේ නෑ.

“මොකද ළමයෝ වෙලාවක් කීවම එන්න දන්නේ නැද්ද? අම්මලා තමා මේ ළමයිව නරක් කරන්නේ. මේක ඉස්කෝලයක්. යනවා පෝළිමේ පිටිපස්සට. මේ ළමයට බෑ ප්‍රධාන අමුත්තා පිළිගන්න. ඒ වගේ වැදගත් කෙනෙක්ට අගෞරවයක් ඒක.මට කාරණා පැහැදිළි කරන්න එපා. කරුණාකරලා උත්සවේ ඉවර වෙලා ප්‍රින්සිපල් හම්බවෙන්න එන්න” ගුරුතුමී කඩා පැන්නා.

අම්මාවයි , පුතාවයි දන්න ගුරුවරයෙක් මැදිහත් වෙලා   ‍අමරසිංහ මහත්මියව ප්‍රධාන ළඟට අරන් ගිහින්  ප්‍රධාන අමුත්තා ළඟ හිට්ටව්වා. ඔක්කොම හරි.  බෑන්ඩ් එක ගහලා අමුත්තන් පිළිගත්තා. ඉස්කෝලේ ළමයි ප්‍රධාන ශාලාව ලඟ පේළියට හිටයා බුලත් අරගෙන. ඉස්සරලා කීව ගුරුතුමී ප්‍රසන්න හිනාවක් එක්ක පළවෙනියට හිටපු දරුවා ‍යොමු කරා ප්‍රධාන අමුත්තා ළඟට . ‍දෙවනියා අමුත්තාගේ පිය බිරිඳ ‍ අමරසිංහ මහත්මිය ළඟට කිට්ටු කරවලා  ගුරුතුමී ඔලුව උස්සලා බැලුවා.

මේ මොහොතකට කලින් තමන් බැන වැදුනේ ප්‍රධාන අමුත්තාගේ බිරිඳටයි පුතාටයි බව  දැනගත්තාම එයාගේ ඔලුව බිමට නැමුණා. ඒත් තමන්ගේ අත අල්ලලා අමරසිංහ මහත්මිය කීව දේ හිත පතුලටම දැනුනා.

“ඔයා ඔයාගේ රාජකාරිය හරියටම කරන කෙනෙක් නිසා තමා කලබල වුනේ. ප්‍රශ්ණේ වුනේ මගේ මහත්තයත් ඒ විදිහම කෙනෙක් වුන එක. අපි මොකටද ඒ ගැන හිත නරක්කරගන්නේ .....”

Thursday, July 21, 2016

රුවට යටින්


 

චැන්ගි ගුවන් තොටුපළ පැය විසිහතරම හරිම ක්‍රියාශීලී තැනක්. ඒත් කිසි කලබලයක් මතුපිටින් පේන්නේ නෑ. රාජකාරි ගමනකින් පස්සේ බංගලාදේශයේ ඉඳන් ඇවිත් මම මේ ගුවන් තොටුපලට වෙලා බලාගෙන ඉන්නේ මගේ පවුලේ තුන්දෙනා එනකකල්. මම එනකොට උදේ පහ හමාරයි. එයාලා එන්නේ උදේ හත හමාරට. පැය දෙකක් මම කොච්චර නොඉවසිල්ලකින් ගෙවන්නද? ගුවන් තොටුපලෙන් එලියට ඇවිල්ලා මම කැෆේ එකක අයිනේ ආසනයක ඉඳ ගත්තා. බොහොම හිමින් කිරි තේ ලොකු කෝප්පයකුයි ටෝස්‍ට් කරපු පාන් පෙති කීපයකුයි කාලා වෙලාව බැලුවා. විනාඩි පහළවයි ගිහින් තියෙන්නේ. නිදිමතට ඇස් වැහෙනවා. අනික් පැත්තේ තියන දිග ආසනයකට මාරු වුනේ ටිකක් හරි නිදාගන්න බලන්න. එක පාරයි ඇස් වැහුනේ.

“ඔයා ලංකාවෙන් නේද?” මට ඉස්සරහා හිටිය අවුරුදු පනහක විතර පිරිමි කෙනෙක් දෙමළ උච්චාරණයක් සහිත ඉංග්‍රීසියෙන් ඇහුවා.

“ මම බෑග් එකේ ලියලා තියන එකෙන් දැනගත්තේ. හිටියා. අසනීපයක් වෙලා මම ගිය මාසේ ලංකාවේ හොස්පිටල් එකක හිටියා” එයා ස්වේච්ඡාවෙන් කීවා.

ඒ විශ්වාදරන්. ඉන්දීය ජාතිකයෙක්. විද්‍යා උපාධිධාරීයෙක්. රජයේ නිලධාරියෙක් විදිහට සේවය කරලා දුවලා දෙන්නගේ අධ්‍යාපන වැඩ නිසා කලින්ම සේවයෙන් අයින් වුනා කීවා. එයා බිරිඳ නැතිවුන දවසේ ඉඳලා දරුවෝ දෙන්නා ජීවිතේ එකම වස්තුව විදිහට සලකලා ජීවත් වෙන කෙනෙක් බව මට දැනුනා.

“මම මගේ දුවලා දෙන්නයි මහත්තයයි එනකල් මේ ඉන්නේ?” නිකම්ම කට පියාගෙන ඉන්න බැරි නිසාත් වෙන මොකක් හරි හේතුවක් නිසාත් මම කීවා.

“දුවලා දෙන්නෙක්.......... ? දෙන්නම දුවලද?”  විශ්වා බයවෙලා වගේ ඇහුවා.

මට දුවලා දෙන්නෙක් ඉන්න එකට එයා බය වෙන්නේ ඇයි?

විශ්වා ලොකු හුස්මක් පහළ දාලා කතාවක් පටන් ගත්තා.

“ මම මේ කතාව කාටවත් කියන්න හිතුවේ නෑ... ඒත් මට දැං ඒක කියන්න හිතෙනවා. මම බොහොම සැපට මගේ පොඩි කාලේ ගෙවපු කෙනෙක් . මගේ අම්මටයි තාත්තටයි හිටියේ මම විතරයි. මම ඉගනගන්න ගොඩක්  උනන්දුවක් දක්වපු කෙනෙක් නෙවේ. ඒත් ‍විද්‍යා උපාධියක් ගත්තා. ලේසියෙන්ම රස්සාවක් හොයා ගත්තා. අනික් අයට තිබුණ ප්‍රශ්ණ මට තිබුණේ නෑ. එකම ප්‍රශ්ණයකට තිබුණේ මට පොඩි කාලෙම බඳින්න කතා කරලා තිබුණ මගේ නෑදැයෙක්ගේ දුවව කසාද බඳින්න මට බෑකියලා හිතුන එක. මම ගෙදරට ඒ ගැන කීවා. අම්මයි තාත්තයි විරුද්ධ වුනා මම සාවිත්‍රි ඒ ‍කියන්නේ  මට කැම්පස් එකේදී හමුවුන ගෑණු ළමයා බඳිනවාට. මම එයාව බැන්දා. මුම්බායට මාරුවක් හදා ගත්තා. අතේ තිබුණ සල්ලි වලින් ගෙයක් ගත්තා. කාරෙකක් ගත්තා. අපි දෙන්නා හරිම හොඳ ජීවිතයක් පටං ගත්තා. මුබ්බාය කියන්නේ ෆිල්ම් වලට හැදුන තැනක් . අපි දෙන්නා හැමදාම ෆිල්ම් එකක් බලන්න ගියා. ඒ ෆිල්ම්වල හිටපු නිළියන්ට වඩා සාවිත්‍රි ගොඩක් ලස්සනයි. කොටින්ම කියනවානම් එයා යනකොට නිළියොත් හැරි හැරී බලනවා. මම ඒකට ගොඩක් ආඩම්බර වුනා. මම හැමතිස්සෙම එයාගේ ලස්සන පරෙස්සම් කරන්න හැදුවේ. සාවිත්‍රි රස්සාවකට යැව්වෙත් නෑනේ මම. එයා දවසම ගෙදරට වෙලා අව්වෙන් වැස්සෙන් පරෙස්සම් වෙලා , රූපේ ලස්සන වෙන දේ කාලා, මූණේ ගාලා  තවත් ලස්සන ‍වුනා. ඒත් ඒ වගේ ලස්සනක් දැකලාවත් අපේ අම්මගේ හිත හැදුනේ නෑ. මගේ විනාසය ඕක තමා කියලා කීවේ. ටික දවසක් යන කොට සාවිත්‍රිට නිළියක් වෙන්න ඕන වුනා. මම ඒකට නම් අවසර දුන්නේ නෑ. අපි දෙන්නා ගැටුම් ඇති කර ගත්තා ඒ නිසා. සාවිත්‍රි නොකා නොබී දුක් වුනා මගේ තීරණයට . අන්තිමට එයා තීරණය කළා එයාට බැරි දේ එයාගේ දරුවෝ ලවා කරවන්න. එයා හිතුවා වගේම අපට දෙපාරම ලැබුණේ දුවලා දෙන්නෙක්. පොඩි කාලේ ඉඳලාම ලස්සනයි. අපේ ලොකු දුවට අවුරුදු 5ක් වෙනකොට පොඩි දුවත් ලැබුණා. මුම්බායේ තියනවා රූප රැජිනියෝ බිහි කරන පාසල්. සාවිත්‍රි ලොකු දුව අවුරුදු හය සම්පූර්ණ කරනකල් බලාගෙන ඉඳලා එයාව ඒ පාසලකට දැම්මා තනි කැමැත්තට. ඒ පා‍සලෙන් කරන්නේ රූප රැජිනියකට ඒ තරඟවලට ගිහින් දිනන්න අවශ්‍ය සියළුම දේ උගන්නන එක. සාවිත්‍රිගේ ගතිගුණම දුවට ඇවිත් තියන නිසා වෙන්න ඇති එයා හරිම දක්ෂ විදිහට ඒ දේවල් ඉගන ගත්තා. ගෙදර ඇවිත් ඇවිද්දෙත් ඒ උගන්නපු විදිහට. මටත් හිත යටින් ආඩම්බරයක් දැනුනා. ඒත් අපි ඉගන ගත්ත දේවල් ඉගන ගන්න ඒ ළමයට අවස්ථාව නැති වුනා නේද කියලා මගේ හිතේ හැම වෙලාවෙම තැවුලක් තිබුණා......”

විශ්වා කතාව නවත්තලා වතුර බෝතලෙන් වතුර ටිකක් බීවා. ඒ බෝතලේ වතුර ප්‍රමාණය පැහැදිලිව සටහන් කරලා තිබුණා. එහෙම මැනලා වතුර බොන්නේ එයාගේ අසනීපය නිසා බවත් මට කීවා. ආයම කතාව.

“සාවිත්‍රි මගේ විරුද්ධත්වය තකන්නේ නැතුව පොඩි දුවවත් ඒ ඉස්කෝලෙට දැම්මා. සාවිත්‍රිට වෙන ලෝකයක් නෑ. දුවලට කෑම හදනවා. ඇඳුම් හොයනවා. සපත්තු හොයනවා. ඒ තරඟ වලට ගෙනියනවා. කොටින්ම කීවොත් අපේ ගෙදර එකම දේ වුනේ රූප රැජිනියක් බිහිකරන අරමුණට වැඩ කරන එක විතරයි. මම හම්බ කරන දේ මදි වුනා වියදම් කරන්න. මට ඕන වුනා ළමයි දෙන්නා සාමාන්‍ය ඉස්කෝල දෙකකට දාන්න. ඒ වෙලාවේ තුන්දෙනාම මට විරුද්ධ වුනා. මම ගොඩක් අසරණ වුනා. මම ටික ටික මගේ ඉතුරු කරලා තිබුණ සල්ලි වියදම් කරලා ඉවර කළා. දුවලා දෙන්නගේම නහයේ හැඩ වෙනස් කළා ප්ලාස්ටික් සර්ජරි කරලා. තව දත් හදන්න ගොඩක් වියදම් කළා. මට අම්මාගෙන් තාත්තාගෙන් කිසි දෙයක් ලැබුණේ නැති වෙලා මම ණය වෙලා හිටියේ. ඒත් මගේ දුවලා දෙන්නා යන යන තරඟ වලින් දිනනවා. ඒ දෙන්නා ගැන ඉන්දියාවට බලාපොරොත්තු තියාගන්න පුළුවන් බව තමා විදුහල්පතිනිය කීවේ.එයාලට පිටරට තරඟයකට යන්න අපේ ගෙදර විකුණන්න වුනා. ඒකට මම අකමැති ‍වුනා අන්තිමට සාවිත්‍රි එයා දිවි නසා ගන්නවා කියලා මට තර්ජනය කළා. මට ඒකටත් කැමති වෙන්න වුනා. මට ඉතුරු වුනේ රස්සාව විතරයි. අන්තිමට සාවිත්‍රි සල්ලි නැතුව ඇති වුන ප්‍රශ්ණ නිසා දිවි නසා ගත්තා. මට දුවලා දෙන්නාව  ඉස්කෝලෙන් අස්කරගන්නත් බෑ . වියදම් කරන්න සල්ලිත් නෑ. මේ අතරෙදි මගේ රස්සාවත් නැතිවුනා. ලොකු දුවගේ අවසාන අවුරුද්දේ තරඟයට ලක්ෂ ගාණක් වියදම් කරන්න වෙනවා කියලා දැනගත්ත දවසේ මටත් සාවිත්‍රි කරගත්ත දේම කරගන්න හිතුනා. ඒත් මම දරුවෝ අතෑරලා ගියොත් එයාලා තනි වෙනවා කියලා මට දැනුනා.”

“කොහොමද සල්ලි හොයා ගත්තේ...? විශ්වා හරිම අසරණ හිනාවකින් උත්තර දුන්නා.

“මම ඒකට තමා ලංකාවට ගියේ...”

“ඒ ගියේ අසනීපෙකට කියලනේ කී‍වේ ?” මම ඇහුවා.

“නෑ .... මම මගේ වකුගඩුවක් විකුණුවා... මට කරන්න තිබුණේ ඒ දේ විතරයි. මට ඒක කරන්‍න කීවෙත් මගේ දුව.. මේක ඉන්දියාවෙයි ලංකාවෙයි කෙරෙන බිස්නස් එකක්.  මට කිසි දුකක් නෑ මට ඕන සල්ලි ලැබුණා. මගේ දුවට මිස් ඉන්දියා වෙන්න ඉදිරිපත් වෙන්න ඉස්කෝලේ අනුමැතිය ලැබුනා.”

මම කැළඹුන සිතුවිලි වලින් විශ්වා දිහා බලාගෙන හිටියා.

“මම මේ සිංගප්පූරුවට ආවේ දුවලගේ වැඩකට. මට තවත් සැනසීමක් නෑ ‍මේ දේවල් වලින්....”

“ඇයි දැන් දුවගේ ප්‍රශ්ණේ හරිනේ... එයා දිනුවම හැම දේම හරියයි...” මම කීවා.

“ නෑ ... දැං අනික් දුව මට බලකරනවා මගේ අනිත් වකුගඩුවත් විකුණලා එයාගේ වියදම් ටික කරන්න කියලා....”

මම ඉහලට ගත්ත හුස්ම පහලට ගත්තේ නෑ.

“ඔයාටත් ඉන්නේ දුවලා දෙන්නෙක් නේද?” විශ්වා ආයමත් ඉස්සරලා අහපු ප්‍රශ්ණය ඇහුවා.

Wednesday, July 13, 2016

ගුණදාස


 

මම ගුණදාස ඉස්සරලාම දැක්කේ මගේ රස්සාවට ආව දෙවනි දවසේ. මම ඔෆිස් ගිය පළවෙනි දවසේ ගුණදාස ඇවිත් හිටියේ නෑ. දෙවනි දවසේ පඩිපෙළ උඩට නගිද්දී මට ඉඩ දීලා පොඩ්ඩක් අයින් වෙලා මූණේ පොඩි හිනාවක් එක්ක සුදු සරමකුයි කමිසයකුයි ඇඳපු අවුරුදු පනහක විතර උස කෙට්ටු කෙනෙක් හම්බ වුනා. එයා තමා ගුණදාස. අපේ රියදුරු මහතා බව දැනගත්තා පස්සේ. ඇත්තමට කීවොත් අපේ ප්‍රධානියාගේ රියදුරු. අපි දහ දෙනෙකුගෙන් යුත් විශාල කාර්යය මණ්ඩලයට රියදුරෝ තුන්දෙනෙක්ම හිටියා. ඒ අයගෙන් ගුණදාස තමා අඩුවෙන්ම අපේ වැඩ වලට ආවේ.

ගුණදාස ඇන්දේ සුදු පාට සරමයි කමිසෙයි විතරයි. දකුණු පළාතේ කෙනෙක්. ඒත් දීර්ඝ කාලයක් තිස්සේ කිරුලපනේ එයාලගේ අක්කගේ ගෙදර තමා නැවතිලා හිටියේ. කිරුලපනේ පාලම ළඟින් ඇතුලට යන පාරේ තමා ගේ තියෙන්නේ. ගුණදාස හරිම අඩුවෙන් කතා බහ කරන කෙනෙක් . මම හිතන්නේ ඒ සුදුසු කම නිසාම තමා එයා අපේ වැඩවලට නොඑන්නෙත් අපේ ප්‍රධානියාගේ වැඩ වලට එන්නෙත්. ඒ නුසුදුසු කම නිසාම , තනිකඩයෙක්.

“ගුණදාස හරි රෙගුලාසි කාරයා.........” පේරාදෙණිය කැම්පස් එකේ , අංශ ප්‍රධානියෙක් වෙලා ඉඳලා අවුරුදු ගණනාවක් දෙස් විදෙස් රටවල සේවය කරපු අපේ ප්‍රධානියා මට එයා ගැන පළමු හැඳින්වීම කරේ තද කරගත්ත හිනාවක් එක්ක.  මම අහන්නෙත් නැතුව නිධාන කතාව පටන් ගත්තා.

“ ගුණදාස  ආපු දවසේම මට  තේරුණා‍ බොහොම තැන්පත්, පිළිවෙලකට හැදිච්ච මනුස්සයෙක් කියලා. මම එයාව ගත්තෙත් ඒකයි. අනික් එක කතාව හරිම අඩුයි. මම ලෙක්චර්ස් වලට සූදානම් වෙන්නේ  කාරෙකේ යන අතරෙදි නේ. මට ඒ පිළිවෙල හරිම ලේසියි. කිසි දවසක පිටින් කන්නේ බොන්නේ නැති නිසා අතරමග ඒවට වාහන නවත්තන්නෙත් නෑ. හැබැයි හරියට දොළහට දවල්ට කන්න ඕනෑ කියලා වැඩ බාරගන්න කලින්ම මට කීවා. ඒක එච්චර දෙයක් නෙවේනේ. මම එකඟ වුනා. මම ගුණදාසත් එක්ක දෙවනි පාරට ගිය දවසේ ගියේ එම්බසි එකකට එහේ ජාතික දිනේ සමරන්න. උදේ එකොළහට ඇතුලට ගියපු මම එළියට එනකොට දෙකයි වෙලාව. අපි දෙන්නම කතාවක් නැතුව ගෙදර ආවා. වැඩ ඉවර වෙලා ගුණදාස ගියා. පහුවදා මම උදේ දහයට පදනම් ආයතනට යන්න ලෑස්තිවෙලා බලං ඉන්නවා ඉන්නවා ගුණදාස නෑ. මම කෝල් කරාම එයාගේ අක්කා කීවා මල්ලි ආය වැඩට එන්නේ නෑ මහත්තයා කියලා . මම එහෙම්මම කාරෙක අරගෙන ගුණදාස  ඉන්න ගෙදරට ගියා. මෙන්න ගුණදාස ගෙදර ඉන්නවා දොරකඩ පුටුවේ පත්තරයක් බල බලා. මම ඇහුවා ඇයි වැඩට නොඑන්න කා‍රණේ කියලා. කාරණේ එදා මම එක්ක ගිය දවසේ දවල් දොළහ පහුවෙලා එයාට කෑම කන්න බැරි වෙලා නිසා. මම කීවා මට සමාවෙන්න ආයෙමත් ඒ වැරැද්ද වෙන්නෑ කියලා. ඒ පාර එකඟ වුනා ආපහු වැඩට එන්න. එදා ඉඳන් මම දවස් දොළහට කොහොම හරි දවල් කෑම එක කන්න වැඩ පිළිවෙල හදලා දෙනවා. කොහේ ගියත් අක්කා කීයට හරි නැගිටලා හදලා දෙන කෑම එකනේ ......”

ඒ මුළු කතාවම ඉවර වෙනකල් අපේ ප්‍රධානියාගේ මූණේ තිබුනේ උපහාසයක් සහ ලැජ්ජාවක් මිශ්‍ර වුන හිනාවක්. අපේ ලොකු තැනට මෙහෙම නම් අපට මොන වගේ වෙයිද කියලයි මට හිතුනේ.

ගුණදාසක් එක්ක අපි කතා කරන්නේ බලෙන්. සමහර වෙලාවට අපි අහස පොළොව නුහුලන විහිළු කරගන්න කොට නම් එයාටත් හිනා යනවා. එතකොට තමා මම දැක්කේ ඉස්සරහ දත් දෙක නෑ කියලා. අපේ එකවුන්ටන් නෝනා කියනවා ඊළඟ ඉන්ක්‍රිමන්ට් එක දුන්නාම දත් දෙක දාගන්න කියලා. එතකොට ඔලුව බාගෙන නමලා ලාවට හිනාවෙලා ලිස්සලා යනවා. අපි මොකක් හරි හේතුවක් හොයා ගෙන පාටි දාපු දවසට ගුණදාසට මාර අප්සෙට්. මොන හෝටලේකින් ගෙනාවත් කේක් කන්නෑ. අපි බලකරන කොට තියන පුංචිම කෑල්ල අරං පහළට ගිහින් කුස්සියෙන් තියනවා.

ගුණදාස ඔෆිස් එන්නේ බයිසිකලේ. පරණ රැලේ බයිසිකලයක්. දවල්ට අපි එයාගෙන් ඒකේ යතුර ඉල්ලගෙන  බයිසිකල් පදිනවා. ඒ වෙලාවට නම් පණ යනකල් ගුණදාස හිනා.

අපේ ප්‍රොජෙක්ට්වල වැඩ වලට අපි නිතර ලංකාව පුරා ඇවිද්දා. කලාතුරකින් තමා ගුණදාස එන්නේ රියදුරු විදිහට . එදාට වාහනේ ඇතුලේ වැඩිය කෑ ගහන්නේ නැතුව යන්න අපි වගබලා ගන්නවා. රඹුටන් ගන්න, ගල් සියඹලා ගන්න නෝනිස් එකේ අළුවා ගන්න නතර කරගන්නේ වැඳලා. ඉස්සරහා බලාගෙන එක දිගට පැය ගානක්  වාහනේ  එලෙව්වත්  මැස්සෙක්වත් එයාගේ අතින් හැප්පෙන්නේ නෑ. අපි කොහේ හරි බැස්සොත් ගුණදාස වාහනේ අයිනක නවත්තලා එනවාමයි. ඇවිත් හරිම නොඉවසිල්ලෙන් අපි මොනවා හරි ගන්නකල් ඉඳලා ඉක්මනට ආපහු වාහනේට අපිට යන්න කියනවා. අපේ නවාතැන් වලට අපිව රෑ වෙන්න කලින් දාන්න ඕනෑ කියන එක ගුණදාසගේ ඔලුවේ හැම තිස්සේම තියන දෙයක්. අපි රෑ වුනාට කමක් නෑ කිව්වොත්

“මිස්ලා නං කියයි...... තනි පිරිමියා මම .. ආවා වගේම  පරෙස්සම් කරලා ආපහු ගිහින් දාන්න එපැයි” කියලා ‍බොහොම වැඩිහිටි විදිහට කියනවා.

එක දවසක් අපි පුත්තලමේ ගියා. අපි යන්නේ ගුණදාස එක්ක බව දැනගත්ත නිසා වෙලාවටත් කලින් මම ලෑස්ති වෙලා හිටියා. ඊටත් කලින් ගුණදාස ඇවිත්. අපි කියපු වෙලාවට කලින් ගමන පටන් ගත්තත් දවල් දොළහ වෙනකොට අතරමග හිටියේ. අපි දන්න තැනක වාහනේ නවත්තලා ගුණදාසට කෑම කන්න කීවා. අපි ඉතිං ශාරීරික අවශ්‍යතා කරගෙන වඩේ එකක් කාලා එහෙම ආපහු   එනකොටත් ගුණදාස වාහනේ ඉඳගෙන. කෑම කාලත් නෑ.

“මට විතරක් කන්න බෑ.......” කියලා උත්තර දුන්නා.

දොළහට කන්න දුන්නේ නැත්තං ආපහු ‍වැඩට එන්නේ නෑනේ. ඒ හින්දා අපි එදා එතන හෝටලෙන් මඩ පුවක් ගඳ ගහන හාලෙන් උයපු දවල් කෑම කෑවා ගුණදාසට එයාගේ කෑම එක කන්න කියලා.

අපේ රස්සාවේ එක අංගයක් තමා ෂොපින් යන එක. ඒකට අපි අපේ හාෆ් ඩේ එකක් කැපකරලා මාසේ අන්තිම දවසේ අවසර ඉල්ලා ගන්නවා. එදාට රාජ්‍ය අනුග්‍රහයෙන් වාහනේකුයි රියදුරු මහතෙකුයි ලැබෙනවා. බැරිවෙලා හරි ගුණදාස රියදුරු කමට ආවොත් අපි පොළිසියෙන් ෂොපින් ගියා වගේ තමා. ගියා , පළවෙනියටම දැක්ක ඇඳුම ගත්තා , ආවා.

ගුණදාස තවම බැඳලා නැත්තේ ඇයි කියන එක අපි සමහර දාට විග්‍රහ කරනවා. ගුණදාසගේ නීති රීති, කඩචෝරු නොකෑම , ඉස්සරහා දත් නැති වීම, උස වැඩි නිසා අනික් කෙනාගේ ඇස් දිහා බලාගෙන කතා කරන්න බැරි වීම ආදී කාරණා නිසා යාළු වෙලා හිටපු ගෑනු ළමයා වෙන කෙනෙකුට බහ දෙන්න ඇති කියලා අන්තිමට අපිම තීරණය කරනවා.

මම ඒ ඔෆිස් එකෙන් අයින් වෙන දවසේ ගුණදාස නවත්තන්නේ නැතුව කතා කරා. කොහෙමත් මම දැනගෙන හිටියා බොහෝම හොඳ ගතිගුණ එයා ළඟ තියනවා කියලා. එදා ඒක තවත් දැනුවා. ඊට පස්සේ මට පරණ ඔෆිස් එකට ගිය හැමදාකම එයාව මුණ ගැහුණා. බොහොම හිතවත් කමට කතා කරා මාත් එක්ක.

මට ආයෙම ගුණදාස මුණ ගැහුණ දවසේ එයාට කතා කරන්න බෑ. ඒ එයාගේ අක්කලාගේ ගෙදරදී. අපේ යාළුවෙක් එක්ක උදේ මාතර යන්න පිටත් වෙච්චි ගුණදාසගේ වෑන් එක ගාල්ල හරියෙදි කන්ටේනර් එකකට යටවෙලා.  ‍ඒ දෙන්නා අඳුරා ගන්නවත් බැරි විදිහට තමයි ඒ අනතුර වෙලා තියෙන්නේ. වුනේ මොකක්ද කියලා අහගන්න දෙන්නම ජීවත් වෙලා හිටියේ නෑ. කන්ටේනර් එකේ රියදුරු කිව්වලු වෑන් එක වැරදි පැත්තෙන් ආවා කියලා. ඒත් ඒ වාහනේ පැදෙව්වේ ගුණදාස. මම එයාගේ මරණයට වඩා විශ්වාස කරනවා එයා අතින් වැරැද්දක් වුනේ නෑ කියන එක.