Monday, January 15, 2018

විභාගේ




පහුගිය සතියක උසස් පෙළ  විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණා. ඒ ප්‍රතිඵල  තමන්ගේ දක්ෂකමේ , ධෛර්යවන්ත කමේ වගේම කැපවීමේ ප්‍රතිඵලයක් බව එයින් හොඳට සමත්  වුන දරුවන්ට දැනුණා. තමන්ට මීට වඩා  කැපවෙන්න තිබුණ බව අනික් දරුවන්ට හරියටම දැනෙන්නේ අනික් අයගේ හොඳ ප්‍රතිඵල දැක්කාම. අම්මලා උදේ හවා කිව්ව දේවල් හොඳින් තේරුම් යන්නෙ ඊට පස්සේ. එහෙම දරුවන්ට තමා දෙවනි සැරේට විභාගෙට ඉඳගන්න අවස්ථාවක් හදලා දීලා තියෙන්නේ.

මේ විභාගයට අත්තිවාරම දාන්නේ ඉස්කෝලෙට ඇතුළත් වෙන්නත් කළීන්. ඒ කියන්නේ අකුරු කියවන දවසේ ඉඳලා කිව්වොත් හරි. ඒකට බොහෝම කල්පනාවෙන් නැකැත් බලලා උගතෙකු ලවා අකුරු කියවන්නේ ඒකයි. ලංකාවේ මොනවා නැතත් තවමත් අධ්‍යාපනයට සලකනවා. ඉගනගත් පුද්ගලයෙකුට ලොකු ගෞරවයක් සමාජයේ තියනවා.

මම මේ කියන්න යන්නේ පොඩි කොලු පැටියෙක් ගැන. පවුලේ අන්තිමයා නිසා පොඩ්ඩා කිව්වේ. අක්කලා තුන් දෙනෙකුට පස්සේ ඉපදුන කොල්ලා අන්තිම නරක් වුණා වැඩිපුර ලැබුණු ආදරයට. තාත්තා අකුරු කියවන්න නැකතක් බලන්න ගියාම තුන් පළකින් කිව්වා ඉස්කෝලේ නම් යවන්න බැරිවෙයි අවුරුදු දහයකවත් කියලා. අතේ පයේ වැඩක් පුරුදු කිරීම තම ලැබුණ උපදෙස වුනේ.

 අකුරු කියවන දවසට  ආවේ ඉස්කෝලේ මහත්තයෙක්. ඉස්කෝ්ල් මහත්තයා ඒ වෙනකොට පෙන්ෂන් ගිහන් . පොඩ්ඩා ඉස්කෝලේ අත්තාව හොඳට අඳුරනවා. ඊටත් වඩා ඉස්කෝලේ අත්තා පොඩ්ඩාව මොන ජාතියේ කෙකේද කියලා අඳුරාගෙන හිටියේ. අකුරු කියවන නැකත ආවා. අක්කලා ඉස්කෝලේ යන්න ඇඳගෙන පොඩ්ඩා වටේ ඉන්නවා. වෙනදට නැති කෑම වටේට පිරිලා නිසා පොඩි උනන්දුවකුත් ආවා. නැකත් වෙලාව ආවා. නැකතේ හැටියට  ඉස්සරලාම කියවන්න තිබුනේ ස යන්න.

 ඉස්කෝලේ අත්තා උගුර පාදලා ස්වස්ථි සිද්ධම් කියලා  ස යන්න  කිව්වා.

ම්හු..................කිසි සද්දයක් නෑ

“ස“ ආපහු කිව්වා. ඒත් සද්දයක් නෑ.

'පොඩ්ඩා මේ අකුර මාත් එක්ක කියවන්න අත්තා ඉල්ලා හිටියා

“ අනේ බෑ අත්තේ ......මම ඔය අකුරට ආසා නෑ... මට ඒ අකුර පේන්නේ බකමූණෙක් වගේ“

තාත්තගේ මූණ නරක් වෙනවා දැක්ක අක්කලා හිමිහිට මාරු වුණා. නැකතත් පහුවේගන එනවා.

නෑ ... පුතා කියවන්න ඕන නෑ.. මට කියලා දෙන්නකෝ තාත්තා කේන්තිය මට්ටු කරගෙකන කිව්වා.

“ තාත්තා මේ අකුර දන්නෑ..........? ඇයි අත්තේ තාත්තාට අකුරු කියවද්දි මේ අකුරු තිබ්බේ නැද්ද?

ඔය විදිහේ තර්ක විතර්ක මිසක එදා කිසිම අකුරක් කියවුනේ වත් ලියවුනේ වත් නෑ. හඳහන් කාරයෝ කිව්ව දේ නම් ඇත්ත බව තාත්තාට තේරුම් ගියා.

අවුරුද්දක් කළින් මොන්ටිසෝරි යැව්වෙත් මොකක් හරි පිළිවෙලක් කරගන්න. ඒකත් මේ ආවට ගියාට නෙවෙයි. එළියට එනකොට වාක්‍ය දෙක තුනක් ලියන්න පුළුවන් මොන්ටිසෝරියකට තමා යැව්වේ! කොල්ලට ඒ මොන්ටිසෝරිය එපා වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. අත්වැඩ ටික කරලා දැම්මට අකුරු ලියවිල්ල කරවන්න බැරි වුණා.

ඉස්කෝලේ තුනේ පන්තියට විතර එද්දි අකුරු ටික ලිව්වා. ඉලක්කනුත් ලිව්වා. ඒත් මේ ඒ පන්තියේ ටීචර්ගේ හිත රිදවන්න බැරි කමට මිසක උවමනාවකට නෙවේ. තාත්තා මේ කොල්ලට මොනවා කරන්ද කියලා දහ අතේ කල්පනා කරනවා. අක්කලාටත් ඉස්කෝලේ පැමිණිලි ඉවරයක් නෑ මල්ලි නිසා. ලොකුම පැමිණිල්ල ඉස්කෝලේ වත්තේ බල්ලන්ට පූසන්ට කෑම දීලා උන් හුරතල් කරන එකට. දවසක් පොඩ්ඩා ආවා අත දිගේම ලේ පෙරාගෙන‍.

තාත්තා හවස ගෙදර එනකලුත් අක්කලා දැකලා තිබුණේ නෑ.  තාත්තා හිනි කෝටුවක් කඩාගෙන පොඩ්ඩාව ඇදලා ගත්තේ වෙන විදිහකට ඇහුවට උත්තර දෙන්නනේ නැති නිසා.

මොකද මේ  තුවාලේ ?

නෑ ............ ඉතිං  මම සාධාරණේට බෙදලා දෙන කෑම කන කොට රණ්ඩු වෙන එක වැරදියිනේ.......

ඒ කිව්වේ ?

අද අර පිටේ මල් තියන පූසයි, කළු පාට මේස් දාගෙන වගේ ඉන්න පූසයි දෙන්නම එක සැරේ ආවනේ...

කොහාටද?

අපේ පන්තිය පිටිපස්සට , උන් දන්නවා මම දවල්ට කෑම කන්නේ නැති බව. කෑම අහක යන නිසා ඒ දෙන්නට දෙනවා කෑම..

ඉතිං….?

අද මාළු කෑල්ල බෙදා ගන්න බැරුව පිටේ මල් පූසා අනිකට හැපුවනේ

ඔව් ඉතිං?

ඉතිං කියන්නේ තාත්තේ මම එයාව අල්ලාගෙන පැත්තට කරලා තියාගත්තා අනිත් කෙනා කනකල්...............මේ ඒකට තරහා ගිහින් මගේ අත  හැපුවා..



අන්තිමට ඉස්පිරිතාලේ ගිහින් ඉංජෙක්ෂන් විදලා තමයි ගෙදර ගෙනාවේ. ඒත් පූසන් බල්ලන් හුරතල් කරන වැඩේ අතෑරුනේ නෑ.

‍පොඩ්ඩා ඉස්කෝලේ දහයේ පන්තියේ විතර ඉද්දි තාත්තාට තමන්ව ඇවිත් හම්බවෙන්න කියලා ඉස්කෝලේ ප්‍රින්සිපල් පණිවිඩයක් එව්වා. තාත්තා පොඩ්ඩෙගේ මූණ දිහා බලං හිටියේ කරලා තියන නසරානි වැඩේ දිග පළළ තේරුම් ගන්න. මොන ඒ මූනේ කිසි වෙනසක් නෑ.

වැඩේ මේකයි. පොඩ්ඩලා විද්‍යාගාරේ  වැඩ කරද්දි  අළුතින් ආපු සර් අළුත් අළුත් පරීක්ෂණ කරවලා. ඇමෝනියා වායුවත් හදලා එදා. පොඩ්ඩා කරලා තියෙන්නේ බෝතලේකට ඒ කියපු දේවල් ටික දාලා ප්‍රින්සිපල්ගේ ජනේලෙන් එහා පැත්තේ තියලා. එදා කාමරේ මහා කුණු ගඳක් එනවා කියලා දවසම කාමරේ අස් කරවලා , කාණු සුද්ද කරවලා. ඒත් ඒ ගඳ එනවලු. පස්සේ තමා අර බෝතලේ සිද්ධිය සහ මහා මොළකරුව හොයාගෙන තියෙන්නේ. එදා නම් පොඩ්ඩෙට ඉස්කෝල රැස්වීමෙ දීම ප්‍රසංසනීය ඇගයුම් සහ ගෙදරදී පසු ඇගයුම් ලැබුණා. හැබැයි කොල්ලා එහෙම හිතා මතා ප්‍රින්සිපල්ට අපහාසයක් නොකළ බව ප්‍රින්සිපල් යටි හිතෙන් පිළිගත්තා.

දහයේ විභාගේ ගන්න කාලේ වත් වැඩක් කළේ නෑ. අක්කලා දෙන්නා එතකොට ඉස්කෝලේ ගිහින් ඉවරයි. එක්කනෙක් ගුරු විද්‍යාලේ. අනිත් කෙනා ප්‍රතිඵල එනකල් හිටියේ. ඒ දෙන්නා කොහොම හරි එකතු වෙලා පොඩ්ඩෙව ඒ ලෙවල් කරන තරමට ගොඩ දැම්මා.  තාත්තා පොඩ්ඩෙව අතෑරලා දාලා හිටියේ මොන තරම් දඩුවම් කළත් වැඩක් නැති නිසා. හැබැයි කොල්ලා කිසි දාක අනිත් කොල්ලන්ට එකතු වෙලා රවුම් ගහන්න , රණ්ඩු වෙන්න නොගිය නිසා තාත්තාට සහනයක් තිබ්බා.

තමන්ට ගණිතය කරන්න දෙන්නෙ නැත්තං ඉස්කෝලේ නොයා ඉන්නම් කියලා ඉස්තීරෙටම කිව්ව නිසා තාත්තා උසස් පෙළට ගණිතය කරන්න ඉඩ දුන්නා. හනේ නිකම්ම ඒ අවුරුදු දෙක ගෙවුණා කියමුකෝ. ඒත් එස් තුනක් අරන් තිබුණා. ඒ වෙනකොට දෙවනි අක්කා විශ්ව විද්‍යාලේ. එයා කිව්වේ  මල්ලි පාඩම් කළා නම් එයා ඉන්න තැන හිතා ගන්න බැරි තරම් දක්ෂයෙක් කියන එක. විභාගෙට තමන් මොන තරම් මහන්සි වුණා ද කියලා එයා මතක් කළා.

පොඩ්ඩෙට යන කළ දසාව ගැන තාත්තා හරියට කම්පා වුණා. අර අකුරු කියවපු අත්තා නම් කිව්වා කොල්ලාගේ හිත වෙනස් කරොත් එයා ඉගන ගන්නවාමයි කියලා. ඒ හිත වෙනස් කරන්න අඟහරුලෝකෙන් එන්න වෙයි!

අන්තිමට හැමෝගෙම කැමැත්ත බලලා තාත්තා තීරණය කළා පොඩ්ඩෙලාගේ පරණ කඩ කෑල්ලේ ගරාජ් එකක් දාල දෙන්න. මොකද කැඩිච්ච වාහනයක් පිටින් බලලා වෙලා තියන දේ කියන්න කොල්ලට පුළුවන්. ලොකු ශ්‍රමදානයක් දාලා කඩ කෑල්ල අස් කරා. අක්කලාගේ පරණ පොත්, තාත්තාගේ ෆයිල් එකක් නෑර බලලා තමා ගිනි තිබ්බේ. හවස් වෙනකොට  මුළු කාමරේම හිස් කරලා ගත්තා. එදා රෑ ඔක්කොමලා එකතු වෙලා ගන්න ඕන බඩු ලැයිස්තුව සාකච්ඡා කළා. ඒකේ මූලිකත්වය ගත්තේ දෙවනි අක්කා බඳින්න හිටපු ඉංජිනේරු අය්යා. ඒ අය්යා නම් විරුද්ධ වුණා මල්ලි ගරාජ් දානවට. තමන්ට ගාණක් කියලා දෙන්න තරම් පොඩ්ඩට මොළේ තියනවා කිව්වේ දවසක්.

තාත්තේ මම දෙවනි පාරට විභාගේ ගන්නවා..........

පොඩ්ඩා එක පාරට කිව්වා.

මේකගේ හිත වෙනස් වුනේ කොහොමද තාත්තා ඇස් උඩ තියාගෙන ඇහුවා.වෙච්ච දෙයක් කාටවත් තේරුම් ගන්න බැරි වුණත් පොඩ්ඩේ පන්ති ගියා . පාඩම් කළා.වෙන්ඩ මස්සිනා ගෙන්නා ගෙන ගණන් අහගත්තා.

මස්සිනාට තේරුණා මොකක් නමුත් ලොකු විපර්යාසයක් වෙලා බව. එයා දවසක් පොඩ්ඩෙගේ පොත් අතර දිනපොතක් දැක්කා. ඒක පෙරලුවාම දැනගත්තේ පොඩ්ඩෙගෙ අම්මාගේ බව. ඒකේ පොඩ්ඩෙව ලැබෙන්න කලින් අම්මා එයා ගැන මවපු හීන ලියලා තිබ්බා. අම්මා තරයේම විශ්වාස කරලා තිබුණා මේ පාර ලැබෙන්න ඉන්නේ පුතෙක් බව. එක සටහනක තිබ්බා එයාගේ පුතා හොඳට ඉගෙන ගෙන ලොකු තැනක ඉන්නවා බලන එක තරම් ආසාවක් තවත් නැති බව. ඒ පිටුවට පොඩ්ඩේ සටහනක් දාලා තිබුණා.

පහුගිය දා ප්‍රතිඵල ආවේ පොඩ්ඩේ දෙවනි සැරේට ලියපු විභාගේ. කොල්ලා ඒ තුනක් අරං පාස් වෙලා හිටියා. තාත්තාගේ ඉහිලුම් නැති සතුට ඉස්සරහා පොඩ්ඩෙ පුරුදු විදිහට නිශ්ශබ්දව හිටියා.

‘උඹට මගේ සතුටවත් තේරුම් ගන්න බැරිද  පුතේ .... තාත්තා කම්පාවෙලා ඇහුවා

මගේ අම්මා මට තේරුම් කරලා දුන්න  විදිහට මට ඒ දුක සතුට තේරුම් කරලා දෙන්න තාත්තේ..........

තමන් ඇස් අරින වෙලාවෙදි මේ ලෝකේ අතෑරලා ගිය අම්මා වෙනුවෙන් යුතුකම් ඉටුකරපු පුතෙකුගේ කඳුළු තාත්තා ඒ වෙලාවේ දැක්කා.





















































































































Monday, October 2, 2017

කහවණු


 කහවණු



කහ පාට ෆයිල් කවරෙ ඇතුළේ තිබුණ කොලේ  හිමිහිට යමුනා මිස්ගේ මේසෙට මාරු වුණා. කොලේ ගෙනත් තිබ්බ බන්දුගේ මූනේ තිබුණ හිනාව යමුනා අඳුරනවා.



“ලියන්න මිස්  අත දිගෑරලා පන්දාහක්. පණ්ඩිත මහත්තයා මොන තරමක් මිස්ට උදව් කරලා තියනවද?“



යමුනා මිස්ට හිනාවක් පැන්නා. තමන් බැංකුවට ආව දවසේ ඉඳලා මොන තරමක් පණ්ඩිත මහත්තයා එක්ක වාද විවාද වෙලා තියනවද කියලා මතක් වුණා.



පණ්ඩිතරත්ත මහත්තයා බොහෝම පොඩි තනතුරකට ආවේ. හැබැයි හරිම උත්සාහයෙන් අද  දෙවනි මහත්තයාගේ තැනට ඇවිත්. ඒ ගමන  ගැන එයා වැඩිය කතා කරන්න කැමති නෑ. ඒත් පරණ සේවකයෝ දන්නවා ඉතිහාසේ.  බන්දු  කියන්නේ පණ්ඩිතරත්න මහත්තයාගේ හඳහනේ තිබුණලු කවදාහරි දවසක බැංකුවක් අරිනවා කියලා. එයාගේ දෙමව්පියෝ මැරෙන කල් බලාගෙන හිටියේ තමන්ගේ පුතා බැංකුවක අයිතිකාරයෙක් වෙන කල්ලු. ඒත් හඳහනේ තියන දේ ඇත්ත වුනේ පණ්ඩිතරත්න මහත්තයාට අවුරුදු විසි දෙක වෙද්දිලු. මොකද කුකුළා අතින් අරගෙන බැංකුවට බැඳුන දා ඉඳන් ආව ඒ මහත්තයාලු හැමදාම බැංකුව ඇරියේ! ආව වෙලාවේ ඉඳන් අකුරට වැඩ කරලා, හැම වගකීමක් ම ඉෂ්ඨ කරලා ඉතුරු වෙලාවේ පාඩම් වැඩ කරලා කොහොම හරි ඉහලට ආවා. එහෙම ඉහලට ආව පණ්ඩිත මහත්තයාට මේ අද ඊයේ උපාධි ගත්ත යමුනා මිස්ලාගේ වැඩ බලාගෙන ඉන්න පුලුවන්ද?



යමුනා මිස්ලාගේ කණ්ඩායමේ අට දෙනෙක් ආවා බැංකුවට ඉස් ඉස්සෙල්ලාම පත්වීම අරගෙන‍ . ඒ අයව ලොකු මහත්තයා  බාර දුන්නේ පණ්ඩිත මහත්තයාට. හැබැයි වැඩ බෙදලා දීලා තමා එහෙම බාර දුන්නේ. ඒ හැම වැඩක්ම මීට ඉස්සර තිබුනේ පණ්ඩිතගේ අතේ. ඒ බව දැනගත්ත හැටියේ පණ්ඩිත මහත්තයා දිව්වා ලොකු මහත්තයා ළඟට. අද ඊයෙ කජු කිරි කොල්ලන්ට මේ වගකීම් දුන්නොත් බැංකුවේ වහලේ බිමට පාත්වෙන්න වැඩි දවසක් යන්නේ නෑ කියලා උගුර ලේ රහ වෙනකල් කියලා   දුන්නත් තේරුනේ නෑනේ ලොකු මහත්තයාට.



යමුනා මිස් වැටුනේ පණ්ඩිත මහත්තයාගේ දෙවනි මිස් විදහට. අනිත් නගරං කොල්ලෝ ටික නම් පණ්ඩිත මහත්තයාට දකින කොටත් කරදරයක්. මුලින්ම දේසනාවෙදි කිව්වා කිසිම කෙනෙක් ඔෆිස් ඉවර වෙන වෙලාවල් අහන්න එපා කියලා. ඒ වගේම ගෙවල් වල ප්‍රශ්ණ නිසා හවසට ගෙදර දුවන්න , නිවාඩු දාන්න එපා කිව්වා. තව යාලු මිත්‍ර කම් එකට රංචු ගැහිලා කෑම කන එක, ලන්ච් වලට එළියට යන ඒවා කරන්නත් බෑ. තමන් ඒ කිසි දෙයක් නොකර ආයතනයේ දියුණු කරපු නිසා තමා මේ අට දෙනා ඇවිත් සනීපෙට මේ ඉ ඳගෙන වැඩ කරන්නේ කියලත් කිව්වා.

අළුතින් ආපු කාණ්ඩේ පිළිගන්න පොඩි උත්සවයක් තිබ්බා ලොකු මහත්තයාගේ ගානේ. ඒ උත්සවේ වෙලාවේ ලොකු මහත්තයා කිව්වේ කිසිම වෙලාවක තමන්ගේ පෞද්ගලික ජීවිතේ පස්සට දාන්න එපා තමන්ගේ රස්සාව නිසා කියලා. ඒ දෙක සමබර කරගත්තොත් තමා ජීවිතේ නියම සතුට විඳින්න  පුළුවන් කියලා අළුත් කොල්ලන්ට කෙල්ලන්ට කියලා දුන්නා. පණ්ඩිත මහත්තයා නම් විරුද්ධ වුනා කතාවට. එයා ඉතිං බැංකුවනේ බැඳලා ඉන්නේ.



යමුනා මිස්ලට ඕපදූප අරං එන්නේ බන්දු. ඒ වෙනකොට අවුරුදු හතලිහ පැනලා හිටපු පණ්ඩිතරත්න මහත්තයා බැන්දේ අවුරුදු තිස් හයෙන් බවත් තාම දරු සම්පතක් නැති බවත් කටිටිය දැනගත්තා. ඕකට ඉතිං අළුත් කොල්ලෝ නොකියන කතාවක් නෑ. හැබැයි ඕකේ බරපතලකම දැනගත්තට පස්සේ හැමෝම විහිළු කරන එක නැවැත්තුවා. පණ්ඩිත මහත්තයාගේ කසාදේ කැඩෙන්න ඔන්න මෙන්න කියලා තියෙන බව දැන ගත්තට පස්සේ ඔතන හිටපු දුලිත මහත්තයා එයාගේ දොස්තර අය්යා ලව්වා පරීක්ෂණ පෙළක්ම කරවලා දුන්නා. මේවා කළේ ලොකු මහත්තයා හරහා. පණ්ඩිත මහත්තයා පස්ස ගහන කොට ලොකු මහත්තයා බලෙන්ම යැව්වා ඒවට. අන්තිමට තීරණය වුනා සිංගප්පූරුවේ ගිහින් ඉතුරු ප්‍රතිකර්ම ටික කරොත් දරුවෙක් හදන්න පුළුවන් කියන එක. පණ්ඩිත මහත්තයාගේ නෝනා කැමතියි  පුරුදු විදිහට පණ්ඩිත පස්ස ගහනවා. සල්ලි පැත්තෙන් කරදර නම් අළුත් අය ලෑස්තියි ඒකටත් උදව් කරන්න.  සල්ලි වකාරෙට තියනවා කියලා ලොකු මහත්තයා කෑ ගැව්වා.



“ මේ මිනිහගේ කුණු කම.... දරුවෙක් මල්ලෙක් බලන්නවත් කහවණු මල්ල හොල්ලන්නෑ......“



කට්ටියම එකතු වෙලා බලෙන්ම පණ්ඩිතව කැමති කරගත්තා. ඒ පාර බැංකුවේ වගකීම් , තව සමිති සමාගම් ඕවා මේවා දාලා මාසයක් සිංගප්පූරුවේ ඉන්න බැරිලු. යන වියදමත් උහුලන්න බැරි බවකුත් කියලා තිබුණා. ඒක එළිපිට නොකිව්වේ නෝනා මුළු වියදම දරන්න ලෑස්ති වෙලා ඒ වෙනකොටත් එකවුන්ට් එකෙන් සල්ලි අරං තිබුණ නිසා. නිවාඩුත් බලහත්කාරයෙන්ම අනුමත වෙලානේ තිබුණේ. සිංගප්පූරු යන්න  දවස් තුනකට  ඉස්සරලා පණ්ඩිත හිමිහිට ලොක්කගේ කාමරේට  ගෑටුවා. අළුත් මහත්තුරු ලන්ච් අවුට් ගිහින්.



“සර්... මං මේ බැලුවේ මෙතන අළුත් ළමයින්ට දාලා යන්නේ කොහොමද කියලා. කිසිම වැඩක් හරියට කරගන්න කෙනෙක් නෑ. මම එනකොට මෙතන විනාස වෙලා තියෙයි.. මම කියන්න ආවේ මේ ...............මම තව නෝනත් එක්ක කතා කරෙත් නෑ.. මේ බැලුවේ නෝනව යවලා මම සතියකට විතර පස්සේ ගිහින් එන්නද කියලා..“

ලොකු මහත්තයාට නැගිට්ටුනා.



“..........................“  බැංකුවට නොගැලපෙන වචන දෙක තුනක් ලොක්කාගෙන් පිට වුනා. පස්සේ ටිකක් සන්සුන් වෙලා ඕයි ............ තමුසේ ඔල්මාදෙන්ද? එච්චරයි ඇහුවේ. කාරෙකේ යතුරත් අරගෙන එළියට ගියා.



අන්තිමට පණ්ඩිත මහත්තයා සිංගප්පූරුවට පැටවුනා මාසෙකට‍.



සැරෙන් සැරේ ලොකු මහත්තයා එහේට කතා කළා. අන්තිමට මුලු බැංකුවම සතුටු වෙන ආරංචියක් ආවා. තවත් සති දෙකක් වැඩිපුර ඉඳලා පණ්ඩිත මහත්තයි නෝනයි ලංකාවට ආවා. දෙන්නා දෙමව්පියෝ වෙන්න යන්නේ. පණ්ඩිත මහත්තයාට සතුට වාවන්නෑ. ඒ වගේමයි වියදම් වුණ සල්ලි මතක් වෙනකොටත් පපුව වෑවෙන්නෑ. ඔක්කොට එහා මේ අළුත් එව්වෝ ලොකු මහත්තයා අල්ලගෙන මුළු බැංකුවම වෙනස් කරලා. විනාස කරලා. මහා සල්ලියක් වියදම් කරලා මල් පෝච්චි, මල් පොකුරු , අළුත් බෝඩ්, විච්චූරණ මේස ............. මොන එහෙකටද මේවා. මදිවට එන එන මිනිස්සු බැංකුවේ වැඩ ඉක්මන් කමයි, සිරියාවට හිනා වෙලා වැඩ කරන අළුත් නෝනලා මහත්තුරු ගැනයි කියවන එක ඉවසන්න බෑ. අනේ අර වයසක උන්දෙලා ආවම මේ අළුත් කාණ්ඩේ අතට පයට වැඩ කරලා දෙන හැටි!



පණ්ඩිත මහත්තයා අතෑරියේ නෑ. අළුත් අය මොකද්ද කියන්නේ පණ්ඩිත මහත්තයා බෑ කියනවා. පණ්ඩිත මහත්තයා බෑ කියන්නේ මොක්දද අළුත් අය හා කියනවා. වැඩේ කියන්නේ මේ බැංකුවට සම්මානෙකුත් හම්බ වුනානේ ඒ අවුරුද්දේ. ඔන්න කට්ටියම එකතු වෙලා එදා ස්ටේජ් එකේ ගත්ත පින්තූරේ පණ්ඩිත මහත්තයාත් විරිත්තාගෙන ඉන්නවා. පණ්ඩිත මහත්තයාට හැබෑම සම්මානේ ලබන මාසේ හම්බ වෙනවා කියලා ගොඩක් අය එදා උත්සවේදි දැන ගත්තා.



හැබෑම සම්මානේ ගන්න නෝනා ඇතුලත් වුනේ නම ගිය ඉස්පිරිතාලෙක. ආයෙමත් පණ්ඩිත මහත්තයා වියදම් ගැන කල්පනා කරනවා. මෙච්චර අමාරුවෙන් ලබා ගත්ත සම්පත ගැන සතුටින් ඉන්න නෝනානම් තඹ සතේකට වියදම් ගැන හිතුවෙ  නෑ .එයා කියන්නේ මෙච්චර කල් ඉතුරු කලේ දරුවන්ට නම් ආය තවත් මොන ලෝබකම්ද කියලා.



පණ්ඩිත මහත්තයත් තාත්තෙක් වුණා. ඒත් ඒ ගැන එච්චර සතුටක් නැති පාටයි. මේකට නිවාඩු දාගෙන ගිහින් බැංකුවේ තමන්ට තිබ්බ තැනත් නැතිවුණා කියලා හිතෙනවා එයාට. ඒ මදිවාට එකවුන්ට් දෙකක්ම හිස් වුනානේ.



දරුවාට මාස තුන පිරුණාම කට්ටය කතා වුණා බලන්න යන්න. පණ්ඩිත මහත්තයා කිව්වේ මාස තුනේ ඉංජෙක්ෂන් එක දෙන්න ගේන ගමන් බැංකුවට අරන් ආවම කාටත් බලන්න පුළුවන් කියලා. ඒකට මනුර විරුද්ධ වුනා.

“මොකද්ද මිස්ට පණ්ඩිත.... අපි ඇවිත් එහේ බංග්ලෝ  එකේ නැවතිලා අර දිය ඇල්ලෙන් නාලා ස්පෙන්ඩ් ද ඩේ කරලා ආපහු කොළඹ එන්න බැලුවේ“



පණ්ඩිත මහත්තයාට කොහොමත් මනුර දිරවන්නෑ. මිනිහගේ එංගලන්ත ඌරුවට කරන කතා බහ තමා පළවෙනි එක. අනික මිනිහා මහා නාස්තිකාරයෙක්. මුළු පඩියම අඳින්න වියදම් කරනවා. බැංකුවම සුවඳයි උදේට එනකොට. අත දිගෑරලා තෑගි දෙන්නේ සෝබනේට. අනික මිනිහා ලෑස්ති  වුණාලු නේ පණ්ඩිත මහත්තයාටත් සල්ලි දෙන්න. පස්සේ කවුරු හරි  කියලා තිබ්බලු පණ්ඩිත මහත්තයාට පුස් කාච්ච සල්ලිත් තියන බව.



පණ්ඩිත මහත්තයාට  මොනවා කිව්වත් කට්ටිය  බබා බලන්න එන එක නතර කරගන්න බැරි වුනා. කොහොම ගනන් හදලා බැලුවත් කොළඹ ඉඳලා කළුතරට එන්න පැය දෙකක් යනවා. එතකොට පැයක් හමාරක් කතා කර කර ඉඳලා ආපහු පිටත් කරත් තව පැය දෙකක් යාවි. යමුනා මිස් ජා ඇල. එතකොට මනුර කඩවත. ලොකු මහත්තයා නම් පන්නිපිටියේ එතකාට තව.. කොහෙම බැලුවත් තේ දීලා පිටත් කරන්න බැරි පාටයි.



“එහෙම නම් උදේ පාන්දරින් පිටත් වෙන්ට .. එතකොට නමය විතර වෙනකොට අපේ ගෙදර ආවොත් තේ ටිකක් බීලා එකොළහට විතර ආපහු පිටත් වෙන්න බැරියෑ“



“ එහෙම බෑ..  අපිට ලන්ච් ඕන එහෙන්...“ රත්නාවලී මිස් කිව්වම පණ්ඩිත මහත්තයාට කට උත්තර නෑ.



අනේ මේ නාකි ගෑනුනේ වැඩේ. බඳින කල් බඳින්නේ නැද්ද ඇහුවා. ඊට පස්සේ ළමයි නෑ නේද ඇහුවා. දැන් කරච්චලේ බබාව බලන්න එන්න.



“හරි පණ්ඩිත ... කිසි දේකට කලබල වෙන්න එපා ලබන සෙනසුරාදා නෙවේ ඊළඟ සෙනසුරාදා අපි එහේ. අපි සුජාතාට කිව්වා . එයා ඔක්කොම ලෑස්ති කරයි. පණ්ඩිතට තියෙන්නේ අළුතෙන් බෝතල් ටිකක් හොයලා කඩලා ගන්න. අනේ අපි නම් ඔය පැත්තේ කිතුලෙන් බාන ඒවට වුණත් කැමතියි“ ඒ සුමනසේකර මහත්තයා.



ඒ ගමන යන්න සල්ලි එකතු කරන කොලේ තමයි අර යමුනා මිස්ගේ මේසෙට ආවේ.



කවුරුත් ලෝබ නැතුව ගාණ ලිව්වා. අපරාදේ කියන්න බෑ සුළු සේවකයන්ට තහනම් ඒ ලිස්ට් වලට සල්ලි දාන්න. ඒත් ඒ තුන් දෙනාම එනවා කළුතර යන්න. ඩ්‍රයිවර් මහත්තයත් එක්ක දාහත් දෙනෙක් ගමනට යනවා. පණ්ඩිතගේ කළ එළියක් නැති මූණ දැකලා ක්‍රිස්ටින් ඇහුවා එයාගේ මහත්යාගේ හොටෙල් එකේ ලන්ච් ගමුද කියලා. ලොකු මහත්තයා විරුද්ධ වුනා. මගුල් ගෙදරටවත් අපිට ආරාධනා නොකරපු එකේ ගෙදර ගිහින් සතුටටත් එක්ක කෑම වේලක් කාලම යමු කියලයි එයා කිව්වේ. අනික් අතට බර ගාණක් එකතු වෙලා තියනවා තෑග්ගට.



සිකුරාදා කට්ටිය බලෙන්ම යවන්න ගියේ පණ්ඩිත මහත්තයා වරුවක් නිවාඩු දම්මලා. මොන හෙල්ලුනේ නෑ වෙනදා වෙලාව එනකල්. සෙනසුරාදා කට්ටිය කියාපු වෙලාවටම කොළඹින් පිටත් වුනා. කටකම සෙය්යාවක් නැතුව පැය දෙකක් විතර විනෝද සාගරේක ගිලිලා හිටපු කට්ටිය කළුතරින් වාහනේ හැරෙව්වාම ආපහු තොල් පාට කරගෙන, කොණ්ඩා පීරගෙන  නිශ්ශබ්ද වුනා. වාහනේ ඇතුළු වුනේ පරණ බංගලාවකට . අක්කර දහයක් විතර මුළු ඉඩම. දෙපැත්තේ මැංගුස් ගස්. ගෙදර පරණ වුනාට බොහෝම අලංකාරයි.



පණ්ඩිත මහත්තයා කට්ටිය පිළිගත්තා. බීරලු රේන්ද දාලා හැඩ දාපු සෙටියේ ලොකු මහත්තයා බර වුනේ අවුරුදු තිහකට උඩදි දැක්ක ගේ එක ඩිංගක් වෙනස් වෙලා නෑ නේද කියලා.



පණ්ඩිත මහත්තයා තැඹිලි කපලා කට්ටියට දුන්නා. වෙන මොකවත් හැදුවේ නෑ කිව්වා කෑම කන්න බැරි වෙන නිසා. මනුර හිමිහිට ඇන්නා යමුනට. වාද්දූවෙන් තේ බිව්වෙත් නෑ යමුනා මෙහේ ඇවිත් උදේ තේ බොන්න වෙන නිසා කියලා.



සුජාතා බබාව වඩාගෙන ආවා. අපූරු කොලු පැටියා. හැමෝම ආදරෙන් හුරතල් කරනවා බලාගෙන හිටපු පණ්ඩිතගේ පපුව ආඩම්බරෙන් පිරුණා.



ගස් වල වැක්කෙරෙන්න හැදිලා තිබ්බ පේර , නමිනං, ජම්බු වලට කට්ටිය වග කිව්වා. දවල්ට කන්න කලින් කතා වෙලා ආව විදිහට පහළ දිය ඇල්ලෙන් නාලා එනකොට යකෙක් කන්න බඩ ගිනියි. මහත්තුරුන්ට නම් එතෙන්ටම කිතුලෙන් බාපුවා හම්බ වුණා.  නෝනලා ටික බඩගින්නේ.



කෑමට කට්ටිය ඉඳගත්තා. පණ්ඩිත මහත්තයා හැමෝටම රතු බත් බෙදුවා.



“ඔන්න අපේ නෝනගේ වදේ චයිනීස් හෝටලෙන් කෑම ඕඩර් කරමු කියලා. මම කිව්වා මේ හාපුරා කියලා එන අයට ගෙදරම උයලා දෙන්න ඕනෑ කියලා. ඕං ලොකු මහත්තයා අපේ පල්ලෙහා ගහේ කොස්. මේ කරකොල මැල්ලුම, එතකොට මට හවසම වෙල් මාළු ගෙන්නා ගත්තා. මේ පහළ වත්තේ සාරණයි කොස් ඇටයි, එතකොට මේ කොහිල අල සුජාතාගේ අම්මා එවපුවා. තරහා නැතුව මේ කඩෙන් ගත්ත පපඩමකුත් බෙදා ගන්නකෝ....

අතුරුපසට ඇඹුල් කෙසෙල් මේ ඒවත් අපේ වත්තෙන්“



කිසි කතාවක් නැතුව කෑම කාලා කට්ටිය ආපහු යන්න ලෑස්ති වුනා. පොඩ්ඩා සැප නින්දේ..



“ යසරත්න මහත්තයා අපේ දරුවට නමක් තියන්නකෝ මම අකුරු ටික බැලෙව්වා ම යන්න තමා සුබ කියන්නේ. මේ බොරු වැඩ එක එක්කනාට දාස් ගණන් දීලා නම් තියන්නේ. “ පණ්ඩිත මහත්තයා ඇදලා පැදලා කිව්වා.



යසරත්න මහත්තයා එදා ඉඳලාම පණ්ඩිත මහත්තයාව දන්නවා. කොච්චර වෙනස් කරන්න හැදුවත්  කහවණු පොදි ගහන ගතිය වෙනස් වුනේම නෑනේ. ටිකක් උඩ බලාගෙන යසරත්න මහත්තයා කල්පනා කරා. රැල් බුරුල් ඇරලා කටහඩ පෑදුවා.



“ මට්ටකුණ්ඩලී........... ඒ නම ගැලපෙයි මයේ හිතේ ..........."














































 











































Friday, August 4, 2017

ඒ බරත් ඉවරයි...


නිවාඩු කාලේ පටන් අරගෙන දවස් තුනකට පස්සේ  කන්දක් උඩ පිහිටලා තියන ලස්සන බංගලාවට එක සීරුවට වාහන ඇ‍දෙනවා. අන්තිම ගේට්ටුව හදලා තියෙන්නේ  කළු ගල් වලින්. ඒක හරියටම බංගලාවේ බිත්තියට ගැලපෙනවා. දෙපැත්තේ ගානට කප්පාදු කරපු මල් පිරුණු ගස් දෙකක්. එතනින් එහාට වාහන ගන්න බෑ. හැමෝම එතන බැහැලා බංගලාවට ඇවිදගෙන යනවා. බෑග් ටික ගන්න වෙනම සේවකයෝ එතෙන්ට එනවා. පොඩ්ඩන්ට නම් බංගලාවේ කන්ද නගින තැන ඉඳලාම පයින් එන්න පුළුවන්. කන්ද වටේ රවුමට රවුමට පාර තියන නිසා අම්මලාට උඩ ඉඳගෙන බලාගෙන ඉන්න පුළුවන් ළමයි එනකල්.

වාහනෙන් බහින්න නෝනලාට ටිකක් අමාරුයි. දිග ගමනාන්තයක්. ගොඩක් වෙලාවට මහත්තුරු ඇවිත් බඳ පටිය ගලවලා උදව් කරනවා. අමාරුවෙන් දනිස් දෙක නවලා අරගෙන දොරේ එල්ලිලා බහින ගමන් කූඩැල්ලෝ එල්ලිලාද කියලත් බලන්න වෙනවා. තණකොළ අස්සේ කූඩැල්ලෝ එමට. හිමිහිට ඇවිද ගෙන යන ගමන් බලාපොරොත්තු පිරුණු මූණු වලින් බංගලාවේ වට පිට බලනවා.

ආපු පිළිවලට තමා හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. කලින් මුදල් ගෙවලා ආපු අයට හරිම ලේසියි. එයාලව බංලාවේ ඇතුලේ අමුත්තන්ගේ කාමරේ තියලා තියන පොතේ තමන්ගේ විස්තර හරියට ලියලද බලලා අත්සනක් දාලා ඇවිත් එළියේ රතු පුටු වල වාඩි වෙනවා. එතකොට ඒ පවුලේ අයගේ උදේ කෑම වේල ලස්සන බන්දේසියක දාලා  හීනි හැඩ තරුණ ගෑණු ළමයි ඇවිත්  බොහොම උද්යෝගයෙන් දීලා යනවා. ඒ ගෑණු ළමන්ගේ හැඩ දැක්කම නෝනලාගේ හිත ඊටත් වඩා උද්යෝගෙන් පිරෙනවා.

මේ බර ශරීර බර අඩු කිරීමේ කඳවුරක්. අගනුවරින් ඈත සීතල පරිසරයක මාසයක් පුරා පැවැත්වෙන නේවාසික කඳවුරක්. හැබැයි කාන්තාවන්ට විතරයි. ඒ මාසේ ඇතුළේ ගෙදර යාම් ඊම් තහනම්. අනිවාර්යයනේම කඳවුරේ ආහාර පාන විතරයි. ටිකක් ලොකු ගාණක් තමා. ඒත් බර කිලෝ පහළවකින් අඩු කරලා දෙන එක ! ඒක ජීවිත කාලෙටම කරගන්න බැරි දෙයක් තනියම.
සමහර නෝනලා ආපහු හැරිලා යන අවස්ථාවලුත් තියනවා. ඒ වැඩසටහනේ විස්තර බලපුවාම ටිකක් හිත පසුබට වෙන නිසා. තමන්ගේ පුරුදු ජීවන රටාවට වඩා හාත්පසින්ම වෙනස් දෙයකට හැඩ ගැහෙන්න වෙනවට සමහර අය බයයි. ඉතිං බය නැති , ආපහු ළමිස්සියෝ වගේ ඇඟවල් හදාගන්න කැමති අය නවතිනවා. එයාලගේ මහත්තුරු දරුවොත් එක්ක ගෙවල් බලා යනවා මාසෙක බර හිතේ තියාගෙන.

ලියාපදිංචියේ දී ලොකු දෙයක් කෙරෙන්නේ නෑ.  ලස්සන මල් පිරුණ ඕකිඩ් කොටයක් ළග තියලා ෆොටෝ එකක් ගන්නවා. කොට දෙකයි ! මූලික විස්තර , රෝග වාර්තා ටික එකතු කරගෙන කට්ටියගේ බර මැන ගන්නවා. සමහර වෙලාවට  තරාදියේ කට්ට ඇඟ හිරිවට්ටන වේගෙන් දකුණට කැරකෙනවා. ඒ වෙලාවට තරාදිය උඩ ඉන්න නෝනගේ මූනේ හරිම කලකිරීමක් සටහන් වෙන්නේ. ඒත් එතන ඉන්න කාර්ය මණ්ඩලට නම් ඒක සතුටක්. මොකද ඒ නෝනා ගෙදර යන කොට ඔය කැරකුනු කට්ට වම් පැත්තට තමා බර වෙන්නේ!
මූලික වැඩ ඉවරයි. තමන් ඉල්ලපු කාමර වල යතුරු ලැබෙනවා. පුංචි පුංචි කාමර වෙන් කරලා හදලා තියෙන්නේ බංගලාවේ තේ වත්ත ඇතුලේ. හැම එකකටම පඩිපෙලක් නැගලා බහින්න වෙනවා. කැමති නම් දිග කොන්ක්‍රිට් පාර දිගේ ගිහින් යන්නත් පුළුවන්. ඒක ඈතයි. නුරුස්සන මූණින් සමහර නෝනලා කුෂන් කරපු පුටු වලින් නැගිටලා බාගෙට ඉවර කරපු කෑම බන්දේසි මේසෙන් තියලා තමන්ගේ කාමර වලට යන්න පටන් ගන්නවා.

දවල් එකට ආපහු පඩිපෙළ නැගලා බැහැලා කෑම කන්න එන්න වෙනවා. ඒක තියෙන්නේ එළිමහනේ. වැස්ස දවසට විතරක්  ඇතුලේ කෑම ලෑස්ති කරනවා. මුල දවස් ටිකේ කෑමට කට්ටිය ඇදිලා එනවා බලා ඉන්න ලස්සනයි. දැවැන්ත සතෙක් තමන්ගේ ගුහාවෙන් එනවා වගේ තමා පේන්නේ. බොහෝම හෙමින් . එහෙමත් කෙනෙක් තමා පඩි පහක් විතර එක දිගට නගින්නේ. කෑම විතරක් නෙවේ තේ බොන්න උනත් නියමිත තැනට එන්න වෙනවා. ප්ලේන් ටී එකක් බොන්න මේ තරම් මහන්සි වෙන්න කැමති නැති අය නෑවිත්ම ඉන්නවා. එහෙම වෙන්නේ මුල සතියේ විතරයි. කට්ටිය හොඳට යාලු වුනාම හැම වෙලේම එකට.
උදේ හය වෙනකොට උණු වතුර වීදුරු දෙකක් බීලා දවස පටන් ගන්නවා. හය හමාරට ව්‍යායාම කරන තැනට එන්න ඕනෑ හැමෝම.  උදේ පුරවලා කිරි වීදුරුවක් බොනකල් ඇ‍ඳෙන් බහින්න බැරි අයගේ මූණු වල තියන සිරියාව!  තද සීතල පින්න නිසා එළිමහනට යන්නෑ. මුලින්ම සැහැල්ලු ව්‍යායාම වලින් පටන් ගන්නවා. ව්‍යායාම වලට එන දෙන්නගේ ඇ‍ඟේ සැහැල්ලුව දැක්කම තම තමන්ගේ ඇගේ එල්ලෙන මේද තට්ටු අතින් හරි තද කරලා වහගන්න ගොඩක් දෙනෙකුට හිතෙනවා.  ශරීරය නමලා ව්‍යායාම කරන්න බැරි තරම් මහත අයට ව්‍යායාම උපකරන තෝරා ගන්න පුළුවන්. ඒත් හිත නැලවෙන ඇරොබික්ස් වලට නෝනලා ගොඩක් ආසයි. මුල පැය බාගෙන් පස්සේ විනාඩි තුනක් මහන්සි අරිනවා. ආයම පැයක් එක එක ඉරියව් මාරු කර කර ව්‍යායාම. පලවෙනි දවසේ බර අනුව කොටස් තුනකට කාණ්ඩය බෙදලා ඒ අනුව ව්‍යායාම ක්‍රම මාරු කරනවා. මුල ටික ඉවරයි. කැමති අයට තව ටික වෙලාවක් තමන් කැමති ව්‍යායාමයක් කරන්න පුළුවන්. ඒ වෙලාවට  යොදය රහිත කිරි වීදුරුවක් බොන්න අවසර තියනවා. නැත්නම් පොල් කිරි නැති කොළ කැඳ..
උදේ කෑම අරගෙනම කාමර වලට යන්න පුළුවන්. උදේ කෑමට ඕට්ස්, කඩල , නැත්තං පළතුරු .ඒකත් නියමිත ප්‍රමාණ විතරයි. ග්‍රීන් ටී එක අනිවාර්යයි.

ආපහු  උදේ දහයට පටන් ගන්නවා මයින්ඩ්  ඇන්ඩ් සෝල් වැඩසටහන. ‍ඒක මෙහෙයවන්නේ පළපුරුදු මනෝ විශේෂඥවරයෙක්. වැදගත්ම දේ තමා  එතන ඉන්න කාර්ය මණ්ඩලයේ හැම දෙනාම ඉතා ම හොඳින් තමන්ගේ සිරුරු පාලනය කරගෙන ඉන්න අය වීම. තමන්ගේ මානසික වියවුල් නිසා ශරීරය අසමතුලිත වෙන හැටි සහ ඒකෙන් තමන්ගේ රූපයට වෙන හානිය හොඳින් පැහැදිළි කරනවා. විවිධ මාතෘකා ඔස්සේ හැමදාම ඒ වැඩසටහනත් එයින් පස්සේ ‍පෞද්ගලික සාකච්ඡා වටයකුත් තියනවා. අර ‍පොදුවේ කතා කරනවාට වැඩිය පෞද්ගලික  කතා බහේදි ඇත්තටම ම‍නෝ චිකිත්සක ප්‍රතිකාර ලැබිය යුතු අයත් හම්බ වෙලා තියනවා.
උදේ වරුවේ වැඩ ඉවරයි. දවල් කෑම එක හමාර වෙනකල් තියනවා. කැමති අයට නාන කාමරෙන් හරි එළියේ ගල් ටැංකි වලින් හරි නාන්න පුළුවන්. අනිත් අයට පහළ දිය ඇල්ලට යන්න පුළුවන්. දෙවනි සතිය වෙනකොට නාන කාමර වලින් නාන අය නෑ. මහ කන්ද බැහැලා හැමෝම දිය ඇල්ලේ දිය කෙළියේ.

මුල දවස් දහයේ දවල් කෑමට බත් නෑ. එළවළු සලාද, තම්බපු එළවලු , සුප් සහ විවිධ විධියට තම්බපු , ග්‍රිල් කරපු මාලු ජාති. ඒත් ප්‍රමාණය ඉක්මවන්න බෑ. ඒ දවස් ටිකේ කිරිම පිරියක් නැතුව කෑම කන්නේ හැමෝම. වැඩි සීමාවක් නොකර ලැබෙන පළතුරු නිසා හිත හදා ගන්න පුළුවන්.

හවසට යෝග වැඩසටහනකුයි , භාවනා වැඩසටහනකුයි  තියනවා.  කැමති දෙයක් තෝරා ගන්න පුළුවන් .මේ දෙකෙන්ම කරන්නේ තමන්ගේ අරමුණ වෙනුවෙන් හිත පුහුණු කරන එක. මොකද මෙතන ඉන්නේ තමන්ගේ  ජිවිතේ සැප ම ලං කරගෙන තරබාරු බවින් පෙළෙන අය. එයාලට කැපවීම් කරන්න ටිකක් අපහසුයි. තාවකාලික දුකක් විඳින්නවත් හිත හදාගන්න අමාරුයි. නමුත් මේ කඳවුරේ අරමුණට ළං වෙන්න ඒ කැපවීම සියයට සියයක් අවශ්‍යයි. මොකද මාසයක් ඉවර වෙනකොට ඒ නියමිත බර අඩුවෙලා නැත්නම් ගත්ත සල්ලි ටික ආපහු දෙන කොන්දේසිය උඩ තමා කට්ටිය කඳවුරට එන්නේ. ඒ හින්දා පුංචි අතපසු වීමක් වත් නොවී හැම කෙනෙක් ගැනම විශේෂ අවධානයකින් කඳවුරේ වැඩ කෙරෙනවා.

ඒ වැඩ සටහන් දෙක ඉවර වෙලා හැමෝම සැහැල්ලු ගමනක යෙදෙනවා කඳු දෙක අතර . එක රවුමක් කිලෝ මීටර තුනයි. ඒක මොන අමාරුවෙන් හරි යන්න වෙනවා මොකද ගියපු තැනට එන්න වෙන්නේ ඒ රවුම ගහලා මයි. ඒ වෙලාවට පරිසරයේ ලස්සනට කොළඹ නෝනලා වශීවෙනවා. ඒකම තමා තියන පෙළඹ වීමත්. නැත්නම් සැපට හිටපු එයාලට ඒ දවස අන්තිම පැය කීපය හරිම මන්සියි. ගෙදර නම් අතට පයට සේවකයෝ සමහර අයට.  ගොඩක් අය විශේෂ හේතුවක් නැතුව රවුම් දෙකක්ම යනවා. සමහර වෙලාවට කතාව නවත්තන් වෙනවට වඩා රවුමක් යන එක හොඳයි කියලා හිතන අයත් ඉන්නවා ඇති . ඒකයි. කතාව ගමනට ඉණිමගක් නොවැ!

හවසට ගිහින් ඇඟ පත හෝදා ගත්තම ගොඩක් අයට ආපහු එන්න කම්මැලි රෑ කෑමට. කෑම කිව්වට මාළු පෙත්තයි , සුප් එකයි. නමුත් ඒක අනිවාර්යයි. රවුම් දෙකක් ගහපු අය එහෙම්ම කෑම අරගෙන කාමර වලට යනවා. අනික් අය සැහැල්ලු ඇඳුමින් ඇවිත් කෑම අරගෙන එතන තියන සඟරාවල එක මිටට ඉන අල්ලන්න පුළුවන් ගෑනු ළමයින්ගේ ඇඳුම් විලාසිතා බලනවා. තව සති කීපයකින් තමන් අඳින්න බලාපොරොත්තු වෙන ඇඳුම්.

දෙවනි සතියත් ගියාම හැමෝම වගේ වැඩ සටහනට ඔරොත්තු දෙනවා. වෙනදට වඩා ව්‍යායාම වැඩියි. අහාර පාලනය තිතට. බැලූ බැල්මට ඇගේ වෙනස් කම් පේනවා. තරාදියත් කිරි කිරි ගාන්නේ නෑ නැග්ගම. මුල දවස්වල ගස් යට වැටිලා නරක් වුන පේර දැන් ගැට වෙද්දිම ඉවරයි. හරිම ඉක්මනට හිත හැදෙනවා එළවලු , පළතුරු විතරක් කන්න. කිලෝ මීටර දෙකක් පයින් ගිහින්  පල්ලහා ෆාම් එකෙන් පළතුරු ගන්න අවසර ලැබෙනවා හැමෝටම  දෙවනි සතියේ ඉඳන්.  හැබැයි අලිපේර , කෙසෙල් හොරෙන් වත් කන්න බෑ. ‍ලොවි ගෙඩි පහක් දවසට අනිවාර්යයි. ඒ කෑම දිරවන එක ලේසි කරන නිසා.

තුන්වෙනි සතිය වෙනකොට ආසාවට කවුරුත් පුටු උඩ නෑ. එක්කෝ නෙට්බෝල් නැත්තං බැඩ්මින්ටන් නැත්තං දොලේ පිහිනුම්.  රෑට ෆයර් කෑම්ප්. ඇති වෙන්න සින්දු කියන්න , නටන්න පුලුවන් . මදි පාඩු සංගීතයට සීතලේ පින්නේ තෙමෙන ගෙම්බෝ කෑ ගහනවා.  කොළඹ දී නම් බාර්බක්‍යු නයිට් එකක දී මොන තරමක්  තෙලුයි පිටියි ශරිරයට බස්සා ගන්වද කියලා හැමෝම කතා වෙනවා. ඒ වෙනකොට ඒ කෑම දැක්කත් අරගෙන කන්න බෑ. ඒකට මනස හදලා ඉවරයි.

අන්තිම සතියේ යන්න දෙනවා ළගම තියන ටවුන් එකට . ඒ අළුත් ඇඳුම් ගන්න . එකකොට ගෙනාව ඒවා ගොඩක් බුරුල්. තමන්ගෙ ඉන මනින නෝනලා කෑ ගහන්නේ පුදුම සතුටින්. ඒත් ඇඳුම් දෙකකට වඩා ගන්න එපා කියනවා. ඒ අනිත දවස් හයේදි තව ගොඩාක් බර  අඩුවෙන නිසා.

කඳවුරේ අන්තිම දවසට කලින් දවස. හැමෝගම අතර පෙර / පසු කියලා ෆොටෝ එකක් ලැබෙනවා. පෙර කියන්නේ කඳවුරට ආව දවසේ ගත්ත ‍ෆොටෝ එක. පසු කියන්නේ කලින් දව‍සේ අන්තිම වැඩසටහනේ දී ගත්ත එක. ඒ ‍පසු ෆොටෝ එකේ නොවැරදීම තියන ලක්ෂණ දෙකක් තියනවා. එකක් බොහොම හැඩැති සිරුරක්. අනික ප්‍රීතිමත් හිනාවක්. මේ දෙක ජීවිතේ හැමදාම තියාගන්න විදිහ අන්තිම දවසේ හිතේ පතුළටම දානවා. ඒ වෙනකොට කඳවුරෙන් ලබපු ශික්ෂණයයි, අත්දැකීමයි නිසා තමන්ට ලැබෙන දේශනයේ හැම අකුරකම ඇති වැදගත් කම අවබෝධ වෙනවා. මෙච්චර කැපවීමක් කරලා ලබා ගත්ත දෙයක් නැති කරගන්න අකමැති කව්ද?

අන්තිම දවස......

උදේ නමය වෙනකොට තමන්ගේ බෑග් ඇදගෙන පාර දිගේ කඩිසර ගමනින් එක නෝනලා ටිකක්. වෙනදාට නම් මහත්තුරුන්ට ඇගේ හැඩයෙන් කියන්න පුළුවන් අර ඈත එන්නෙ මගේ නෝනා කියලා.  ඔක්කොමලා දැං ළමිස්සියෝ ව‍ගේ. අර යාළුවෙලා ඉන්න කාලේ වගේ. මහත්තුරු එක එක්කනා හොරෙන් තමන්ගේ මහත අතපය, ඉදියට ආව බඩවල් දිහා බලනවා.

හැම විදිහටම ලස්සන වුන නෝනා කෙනෙක් ඇවිත් තමන්ගේ දරුවො මහත්තයා ඉස්සරහා හිනා වෙලා හිටගන්නවා. ඒ හිනාව දැක්කම මහත්තයාගේ හිතේ තිබ්බ බර නෝන‍ගේ අඩු වෙච්ච බරට සමානවම නැතිවෙලා යනවා.

මාසෙකට කලින් අමාරුවෙන් කඳු අද්දපු වාහනේ හරිම පහසුවෙන් කොළඹ බලා පිටත් වෙලා යනවා.

ඒ බරත් ඉවරයි.


(සැ.යු. මගේ හඳහන බලපු දෛවඥයෙක් කිව්වා මහ ධන යෝගයක් මට තියනවා කියලා. මට කෝටි ගානක ලොතරැය්යක් ඇඳු‍නේ නැත්තං එතුමා ප්‍රසිද්ධියේ වෙඩි තියාගන්නවා කිව්ව නිසා මම ඒක ඇත්ත බව විශ්වාස කරනවා. මේ ලියලා තියන්නේ ඒ සල්ලි යොදවලා කරන්න යන WEIGHT LOOSING CAMP එක ගැන. වැඩේ ස්ථිරයි. හැම නිවාඩු කාලෙකම‍ කෙරෙනවා. දැං තියා රෙජිස්ටර් වෙන්න පුළුවන් ගාස්තුවෙන් බාගයක් ගෙවලා. ලයික් කිරීම පණමක් මූලික වටයේ රෙජිස්ටර් කටයුතු සඳහා සෑහේ)

Friday, July 14, 2017

රිසි නොරිසි


කඳුවල පරණ තේ පඳුරු ඔහේ මාසෙකට සැරයක් විතර අලුත් දල්ලක් දාන ගමන් ඉවරයක් නැති සිරිපොදයට මුහුණ දෙනවා. කිසිම සැලකිල්ලක් නොකර තමන්ව අභාවයට යන්න ඇරිය නිසා වත්තේ තේ දලු ඉවරටෙම ඉවර වෙලා දැං දෑවුරුද්දක් විතර. ඉඳලා හිටලා ඇවිත් යන රාණිත් වත්තේ වැවිලා තියන ගොටු කොළ ටික ගලවාගෙන යනවා මිසක් ආය වෙන දේකට එන්නෑ. බලන්න එපායෑ ඒ දවස් වල රාණි හිටපු විදිහ. හැම වෙලාවකම නාන්නේ සුවඳ සබන් ගාලා. අනිත් ලැයිමේ අයගේ වගේ තේ කහට තිබුණේ නෑ ඇඟිලි වල. හවසට කූඩළු ගෙඩියක් දාලා නියපොතු සුද්ද කරගන්නවා. පෙනුමත් සුදුයි. ඒකට හේතුව විදිහට ගමේ අය කීවේ රාණිගේ තාත්තා ඉස්සර වත්තේ අයිතිකාර සුද්දා වුන හින්දා කියලා.
රාණි ඒ කාලේ හිටිය ඒ වත්තේ ලස්සනම කෙල්ල. රාණිගේ අම්මා නැතිවෙන කොට රාණිට වයස අවුරුදු දාසයයි. අම්මලා වගේ තේ දළු කඩන්නේ නෑ කියන තැනම තමා රාණි ඉස්කෝලෙන් අයින් වෙනකොටත් කීවේ. තාත්තත් නැති අම්මත් නැති රාණි වත්තේ වැඩට ආවේ නැත්තං ලැයිමෙන් යන්න වෙනවා. නෑදෑයෙක් ළඟටවත් යන්න රාණිගේ හිත නැමුනේ නෑ. අන්තිමට වත්තේ නෝනා කරපු යෝජනාවට රාණි කැමති වුණා. ඒ නෝනාලාගේ බංලාවේ වැඩට යන එකට. ඒකට කැමති වුණෙත් තව අවුරුදු කීපයකින් එහේ බේබිලා අරගෙන  කොළඹ යනකොට එක්කගෙන යනවා කියාපු නිසා. මුලදී බංගලාවේ වැඩ කරලා හවසට ගෙදර ආවත් පස්සේ පස්සේ තනියම ලැයිමේ ඉන්න එක රාණිට එපා වුනා. ලැයිමේ මිනිස්සුන්ටත් චාරයක් නෑ. හවසට වැනි වැනි යන ගමන් රාණිගේ ලැයිමටත් එබීගෙන යනවා. ඒ අය අතරේ රාණිගේ අම්මගේ වයසේ මිනිස්සුත් හිටියා. කොහොමින් හරි වුනේ රාණි බංගලාවට සින්න වුන එක.
බංගලාවේ වැඩ ලේසි නෑ. අතුගාන්න, කාණු හෝදන්න, උයන්න වගේම බල්ලෝ බලා ගන්නත් තියනවා. එළියේ වැඩට නම් පිරිමි කට්ටිය හිටියා. සමහරදාට  උයන්න  නෝනත් එනවා. ඒත් ආවහම කරදර වැඩියි. හිතෙන හිතෙන ඒවා හදනවා කම්පියුටර් එකෙන් බලාගෙන. ඒ අතරේ මොකක් හරි කෝල් එකක් ආවොත් ඔක්කොම නවත්තලා ඒක විතරයි. රාණිට ඒ වැඩයි මේ වැඩයි දෙකම පැටවෙනවා. මහත්තයාගේ අම්මා ලෙඩ ගානේ ඉන්නේ. එයාට පොඩ්ඩ වරදින්න බෑ. කෑ ගහනවා . අර බේබිලා බලන්න අරං ඉන්න කෙල්ල නම් පැත්ත පලාතේ යන්නෑ. රාණි ඉතිං බැන්නත් පාඩුවේ ඉල්ලන දෙයක් ගිහින් දෙනවා.
බේබිලා ලොකු වුණා. කිව්වත් වගේම නෝනා එයාලාව අරගෙන කොළඹට ගියා. රාණිත් ගියා.  මහත්තයා බංගලාවේ වැඩට පිරිමි කෙනෙක් ගන්නවා කීවා නෝනත් නැතුව ගෑනු නවත්තාගන්න බැරි නිසා. කොළඹ වැඩ නම් ලේසියි. ඒත් බදුල්ලේ වගේ සීතල නෑ. උදේට නම් යුද්දයක් වගේ බේබිලා තුන්දෙනාටම කෑම හදලා , පොත් බෑග් හදලා , අන්දවලා එයාලා ඉස්කෝලෙට ගෙනියන්නේ රාණි. ඒ ඇවිත් අනික් අතට ගෙවල් සුද්ද කරලා දවල්ට උයනවා. නෝනා ජිම් එකට ගිහින් දවල්ට බබාලා අරගෙන ඇවිත් ටිකක් නිදා ගන්නවා. රාණිට නම් නිදා ගන්න වෙන්නෑ. පහුවදා ඉස්කෝලේ ගෙනියන දේවල් හොයන්න, රූප කපන්න, කාසි අච්චු ගහන්න තියනවනේ.  බේබිලා තුන්දෙනාම කොල්ලෝ වුනාට රාණිට ආදරෙයි. හැබැයි පොඩ්ඩක්වත් බය නෑ. නෝනා ලොකු පාලුවකින් තමා කල් ඇරියේ. මූණේ හිනාවක් ආවේ මහත්තයා කොළඹ ආවම විතරයි.
මුලදි මහත්තයා කොළඹ ආව සතියක් ‍ගානේ. ඒ එනකොට කවුරු හරි යාළු මහත්තයෙක් එක්කන් එනවා තනියම එන්නේ නැතුව .  නෝනා කිව්වේ එනකොට ඩ්‍රයිවර් එක්ක එන්න නැත්තං ගෙදර අයට එකට ඉන්න වත් ලැබෙන්නේ නෑ යාලුවෝ ආවම කියලා.  මහත්තයා කළේ තමන්ට කැමති දේ විතරයි.  මහත්තයා කොළඹ ගෙදරට එන එක අඩු වුණා බේබිලා ලොකු වෙනකොට . ඒ වෙනුවට එයාලා නිවාඩු අල්ලලා බදුල්ලට ගියා . රාණිත් ගියා ඒත් එක්ක. දැං ලයිමත් දිලා වෙන කෙනෙකුට. රාණිට කසාදයක් කරලා දීලා හොඳ තැනකින් ගේ පොඩ්ඩක් හදලා දෙනවා කීව නිසා එයාගේ කලබලයක් තිබුණේ නෑ. ඒ ගියාමත් නෝනට නිදහසේ මහත්තයා එක්ක කතා කරන්නවත් නෑ. හැම වෙලාවෙම මහත්තයාට වෙන රාජකාරි.
නෝනයි මහත්තයයි ටික ටික නොහොඳ වෙන්න ගත්තා. මොකක් නමුත් ලොකු දෙයකට නෝනා‍‍ තද අමනාපයක් ඇති කර ගත්තා. මහත්තයා නිතර යාළුවෝ ආශ්‍රය කරපු එකත් නෝනගේ හිත තැලුවා. හැම ඉරිදටම වරද්දන්නේ නැතුව පල්ලි ගිය කෙනා ඒකත් අතෑරියා .දවසක්  ඩේසි නෝනා ඒ කියන්‍නේ මහත්තයාගේ යාලුවෙකුගේ නෝනා කෙනෙක් ආවා කොළඹ ගෙදරට . ඇවිත් දෙන්නා එක්ක ගොඩක් වෙලා කතා කර කර හිටියා. එදා නම් නෝනා දරුවෝ දිහා වත් බැලුවේ නෑ. නෝනගේ ගෙදරට කතා කරලා හරියට ඇ‍ඩුවා. බඳින්දලා දෙන්න ඉස්සරලා තමන් කීව දේවල් වලට විරුද්ධ වුණා කියලා නෝනගේ තාත්තට තදින් කතා කලා.  අන්තිමට
"ඒක දෙවියන්ගේ කැමැත්ත නෙවේ මමී ..." කියලා උස් හඩින් කියලා ෆොන් එක තිබ්බා. ආය ඒ ගෙදරින් ආව එක කෝල් එකකටවත් උත්තර දුන්නේ නෑ.
ඊට පස්සේ දවසක ටෙලි‍ෆෝන් එකෙන් මහත්තයට බොහෝම දොස් කීවා . දිගටම වාද වුණා. අන්තිමට ෆෝන් එක තිබ්බේ මහත්තයාගේ ජීවිතේ එයාට කැමති විදිහට ගත කරන්න නෝනා ඉඩ දෙනවා කියලා . පහුවදා උදේ කාමරේ දොර අරින්නේ නැතුව නෝනා හිටියා. අන්තිමට රාණිට වුණා ගෙදර  ඩ්‍රයිවර්ට කියලා දොර කඩවන්න. කිසි දවසක රාණි දකින්න බලා‍පොරොත්තු නොවුණ විදිහට නෝනා කාමරේ විදුලි පංකාවේ එල්ලිලා හිටියා. වෙනදට එක එක සායම් ගාලා රෝස පාට කරපු  නියපොතු නිල් වෙලා. ලස්සන මූණ ලොකු වේදනාවකින් පිරිලා. බේබිලා තුන් දෙනා රාණිගේ ඇ‍‍‍ඟේ එල්ලිලා විලාප තිබ්බා.
මළ ගෙදර කටයුතු කෙරුණු විදිය රාණිට මතක නෑ. මතකේ තිබ්බේ බේබිලා තුන්දෙනා විතරයි. තමන්ගේ විවාහය අමතක කරලා රාණි බේබිලා ලොකු මහත් කරා. කොහොමත් ගමේ හැදිලා තිබුණ කතා වලට ආය රාණිට හරි හමන් දීගෙක යන්නත් බෑ. ඒත් මහත්තයා රාණිටවත් වෙන ගෑනු කෙනෙකුටවත් තමන්ගේ ජීවිතේ බෙදා ගන්න දුන්නේ නෑ.
බේබිලා ඉගන ගත්තා. රට‍ ගියා දෙන්නෙක්. දෙවනි බේබි දොස්තර කෙනෙක් වෙලා මෙහේම නැවතුනා. ඒ වෙනකොට එයාලා රාණිගෙන් ඈත් වෙලා. අන්තිමට ගෙදර ඉතුරු වුනේ රාණියි ඩ්‍රයිවරුයි විතරයි. මහත්තයා තීරණය කළා කොළඹ ගෙදර විකුණලා දෙවනි බේබිට අලුත් ගෙයක් අරං දෙන්න. රාණි අවුරුදු තිහකට පස්සේ ආපහු තමන්ගේ රෙදි ටිකත් ඔතාගෙන බදුල්ලට ආවා. වත්තේ බංගලාවට යන්න හිත දෙන්නෑ. හැම වෙලාවෙම මහත්තුරු පිරිලා. මහත්තයාගේ මේ අමුතු ආශ්‍රය ගැන රාණිටත් ටිකක් අපුලක් දැනෙන්ට පටන් අරන්. ඇරත් ගමේ මිනිස්සු කියන දේ වලට නෝනා ගැන පපුව පැලෙන්න වේදනායි රාණිට. අන්තිමට මහත්තයා අර හදලා දෙනවා කිව ගේ පොඩ්ඩ වෙනුවට පරණ ටකරන් ගැලවුන වහලයක් තියන ලැයින් කාමරයක් අස් කරලා රාණිට දුන්නා. බංගලාවට ඇවිත් අඩු පාඩු ගෙනියන්න කීවත් හැමදාම ඔය කන්ද නැගලා බහින්න රාණිට බෑ. අවුරුදු ගණනාවක් රෑ දවල් නැතුව මහන්සි වෙලා රාණි දැං වයසට වඩා වයසයි.
දරුවන්ට වියදම් කරලා ඉවර වුනාම මහත්තයත් තේ වතු අතෑරියා. දරුවෝ නම් තාත්තා ඉන්නවද නැද්ද කියලා බැලුවේ නෑ. ටිකක් හරි බැලුවේ දොස්තර බේබි විතරයි. ඒ බේබිත් කසාද බඳින්න යනවා කියලා ආරංචි වුණා බංගලාවේ පැත්තේ ගිය දවසක. එදා ඒ දෙන්නම රාණිට හම්බ වුණා. දොස්තර බේබිට තිබ්බේ තාත්තාගේ හැඩ රුව මයි. ඇවතුම් පැවතුම් ඒ වගේ වෙයිද කියලා රාණිට හිතුනා. ඒත් හොයාගෙන තියන චූටි නෝනා නම් බේබිලාගේ අම්මා වගෙ නෙවේ. ටිකක් සැර පාටයි.
දෙන්නා වැඩි සද්දයක් නැතුව මගුලක් අරගෙන බංගලාවේ පදිංචි වුණා ටික දවසකට. ඒ දවස්වල බේබි වත්තේ ඉස්පිරිතාලේ වැඩ කළේ. බැන්ද අලුත වුණත් නිතර රෑ වැඩ කියලා  බංගලාවට ආවේ නෑ. රාණිත් ඉස්සරට වැඩිය බංගලාව පැත්තේ ගියා . මහත්තයා වයසට ගියත් පුරුදු විදිහමයි. යාළුවෝම තමා.
බොහොම සතුටින් දුව පැන පැන හිටපු චූටි නෝනා ටික දවසක ඉඳලා ලොකු කල්පනාවක. අනේ මේ වගේම අඳුරක් තිබුණා අපේ නෝනගේ මූනෙත් රාණිට හිතුනා.
"රාණි අම්මා, සුදේෂ්ගේ අම්මා මැරුණේ ඇයි? " නොහිතපු වෙලාවට චූටි නෝනා රාණිගෙන් බේබි මහත්තයාගේ අම්මා ගැන ඇහුවා.
රාණි ඇත්තටම කාරණයක් දැනං හිටියේ නෑ. පස්සේ නම් එක එක දේවල් එයාට හිතිලා තිබ්බා.
"මට එයාගේ ඩයරියක් හම්බ වුණා....." චූටි නෝනා පරණ දින පොතක් පෙන්නුවා.
"මේ එයා අන්තිමට ලියපු දවස.. ඊට සතියකට පස්සේ තමා මැරිලා තියෙන්නේ...
කියවන්න බැරි වුනත් රාණි දිනපොත ගත්තා. නෝනගේ අකුරු තමා.

Why God created human beings and  made them  male and female ? It was  god's wish to  unite man and women and to become one flesh. Was it Satan's wish to  united man and man  and to become one flesh?  
නෝනා ලියලා තිබුණේ එහෙමයි.

චූටි නෝනගේ  ඇස් වේදනාවට හරි කේන්තියට හරි දිළිසෙනවා. ඒත් කතා කළේ හරිම සන්සුන් ස්වරයකින්.

" තවත් මෙහේ හිටියොත් මටත් ඩයරි එකේ ලියන්න වෙන්නේ  මේකම තමා... රාණි අම්මා මම දැන් අපේ ඩැඩී ආවම ගෙදර යනවා. කලබල වෙන්න එපා. මම සුදේෂ්ටයි , එයාගේ තාත්තටයි කතා කරලා මම යන බව කීවා. සුදේෂ් ආව දවසක  මේ යතුර එයාට දෙන්න"

Wednesday, July 12, 2017

රිලව්


රිලව් කියන්නේ පේරාදෙණි‍ය කැම්පස් එකේ මතකයන්ගෙන් කොටසක්. මිනිස්සු පැවතගෙන එන්නේ රිලවුන්ගෙන් කියලයි හිතෙන්නේ  ඒ හැසිරීම දැක්කම. කැම්පස් පාරවල් , හොස්ටල් වටේම ගස් කොළන් තියන නිසා අපි සහ රිලවු අතර හොඳ සමාජ ආශ්‍රයක් තිබුණා. මේ ආශ්‍රය හොඳටම වැඩි දියුණු වුණේ දෙවනි අවුරුද්දේ ඉඳන්. අපි හිටියේ සංඝමිත්තා ‍ක්ලස්‍ටර්ස් වල. එහා පැත්තෙන් මහවැලි ගඟ. රිලා ආකර්ෂණය තියන කැලෑවක් තිබ්බේ. ඒකේ රිලව් තට්ටු ගෙවල් හදාගෙන පදිංචි වෙලා හිටියා.
මම අවුරුදු හතරක අත්දැකීම් වලින් දන්නවා රිලව් කැමති නිල් පාටට කියලා. අපේ රෙදි හෝදලා වැඩි පරෙස්සමට කටුත් ගහලා වැලේ දැම්මාම උදේ අට වෙනකොට රාජකාරියට වාර්තා කරන රිලව් ටික ඉස්සරලාම කරන්නේ කටුව ගලවාගෙන කටේ දාලා දෙකට කැඩෙන්න හපන එක. ඊට පස්සේ නිල් පාට ඇඳුම් ටික තෝරලා තමන්ගේ සර්වාංගයම ඒවායෙන් පිහ ගන්නවා. අනිත් ඇඳුම් ටික කැමති විදිහට හපන්න, පාගන්න නැත්තං කඹ අදින්න යොදාගන්නවා. කොහොමත් රෙදි වැලේ තියන හැම ඇඳුමකම පශ්චාත්භාගය ගාගෙන තමා හැම එකාම වහලට පනින්නේ. ඒ රෙදි සතියක් පෙ‍‍ඟෙන්න දාලා හේදුවත් රිලා ගඳ යන්නෑ.
සංඝමිත්තා එකේ ඉද්දී  රිලා රංචුවක නායකයා වගේ හිටියේ තඩි රිලවෙක්. ඒකට අපි කිව්වේ  හර්ෂ කියලා. ඒකට හේතුව අපේ යාලුවෙක් හිටියා ඒ සයිස් එකේම. එයාට උපහාරයක් විදිහට තමා ඒ නම දැම්මේ.
උදේ පාන්දර රිලා රංචුව ඇවිත් අපේ රෙදි මිරිකන කොට
" අන්න හර්ෂ ඇවිත් ඔයාලගේ රෙදි ගෙනියනවෝ...." කියලා කවුරු හරි කෑ ගහනවානේ.
ඒ වෙලාවට අපේ සබ් වෝඩ්න් බූසෑ කොණ්ඩෙත් අවුල් කරගෙන නයිටිය පිටින්ම එළියට පනිනවා  ඒ පණට ආදරේ නැතුව හොස්ටල් එකට පැනපු කොල්ලා මොකාද බලන්න. මුලදී නම් අපට කෑ ගැහුවා විකාර නම් සත්තුන්ට කියන්න එපා කියලා . පස්සේ පස්සේ එයත් කියන්න ගත්තා
"ළමයි ඔයාලගේ වැරදි නිසා තමයි හර්ෂලා හොස්ටල් එකට පනින්නේ" කියලා.
ඒ දවස්වල මේන් හෝල් එකේ මොනවද ‍අලුත් වැඩියාවක්. සිමෙන්ති බාල්දි උඩට අදින කඹයක් තිබුණා ස්ලැබ් එක උඩ දාලා. දවසක් පුරුදු විදිහට හර්ෂ ඇවිත් වතුර බට දිගේ , වහළ දිගේ නටනවා. එක පාරට උඩ තට්ටුවේ එල්ලී එල්ලී තිබුණ කඹේ දැකලා එල්ලුනා. නිකම්ම තිබුණ කඹේ හර්ෂත් එක්කම බිම. අපමණ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද හර්ෂ ගස් වලට පැනලා නොපෙනී ගියා!
තුන්වෙනි හතරවෙනි අවුරුදු වල අපි  ජේ. පී . හෝල් එකේ .  අපරාදේ කියන්න බෑ එහෙදි නම් අපි එයාලගේ තැනට ආව විදිහට තමා රිලව් අපට සැලකුවේ. දවල් එකට තියන ලෙක්චර්ස් වලට යන්න කලින් අර මනමාලි එළියට බහිනවා වගේ රතිඤ්ඤා පත්තු කරගෙන තමයි කට්ටිය යන්නේ. ඒ සද්දෙට කොරිඩෝවල පවත්වන මහා සභා රැස්වීම ඉබේම විසිරිලා ගස් වල එල්ලෙනවා. ඉතුරු හරිය රතිඤ්ඤා ශබ්දය ඇසී විනාඩි විස්සක් ගෙවුණ පසු ආපසු පැවැත්වේ.... නැවතත් රතිඤ්ඤා හඩ ... නැවතත් විසිර යාම.  ඔය වගේ තමා.
අපේ කාමර වල එළි‍යේ බැල්කනි එකට ඇරෙන දොරකුයි, ජනේලයකුයි තියෙනවා. හදිසියේ හරි ඒක වහන්න අමතක වෙලා ගිහින් තිබුණොත් කාමරේ බිත්ති හතර විතරයි අපි ආපහු බලාපොරොත්තුවෙන් එන්නේ. එහෙම වුණා එක දවසක්. අපි ලෙක්චර්ස් ඉවර වෙලා එනකොට රිලව් තුන් හතර දෙනෙක් කාමරේට පැනලා අපේ ඇඳ යට තිබුණ අලිපේර බාගෙට කාලා, බිත්තර බිඳලා ඇඳ උඩ. සීනි හලලා, බිස්කට් නම් තිබ්බ තැනවත් නෑ. එක්කනෙක් පේෂල් කරගෙන ඉන්නවා අපේ  කිරිපිටි වලින්. මදිපාඩුවට අපේ ගුරුලේත්තුව කෑලි වලට බිඳලා. ඒ වතුරේ පනිනවා , ඇඳන් උඩට පනිනවා.
සමහර වෙලාවට අපේ පනා , කන්නාඩි අරගෙන  හොරෙන් පනිනවා . ගස් වලට වෙලා කන්නාඩියෙන් බල බලා පනාවේ අනික් පැත්තෙන් කොණ්ඩේ පීරනවා. සමහර වෙලාවට අපේ ඇඳුම් ඇඳගන්නවා හරිම පිලිවෙළට. ගවුමේ අතින් දානවා ඔලුව . එතකොට අර වෙඩින් වලට ඇන්දා වගේ ඇඳුම දිගට තියනවා. ඊට පස්සේ වහලේ දිගේ හොල්මන වගේ පැන පැන යනවා ගවුම පැටලෙන කල්.
‍ජේ.පී එකේ තිබුණ පොකුණේ හිටියා ඉබ්බෙක්. දවල්ට  නලපාන ජාතකයේ අළුත්ම වර්ෂන් එක එතන රඟ දැක්වෙනවා. රිලව් ඇවිත් පොකුණට බැහැලා නාන ගමන් ඉබ්බව අල්ලලා එළියෙන් තියනවා. ඒ ඉබ්බත් ටිකක් වෙලා කටුව ඇතුළේ ඉඳලා පනිනවා පොකුණට. හරියට බලාගෙන හිටියා වගේ රිලවෙක් ඇවිත් ඒ ඉබ්බා පොකුණේ පතුළේ ගෑවෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ආපහු දෝතින් බදා එළියේ තැන්පත් කරනවා.
රිලා අත්දැකිම් වලින් මම ආසම මේකට. අපේ හොස්ටල් එක සුද්ද කරන කෙනෙක් හිටියා . නම මුත්තු වගේ මතක. සුද්ද කරනවා කීවාට බොරුවේ හොඳම එක. ආයි වෝඩ්න්ටවත් බය නෑ. බොරුවට බාත් රූම් වලට වතුර දෙකක් ගහලා අපිටත් පාට් දාලා වෝඩ්න්ටත් පාට් දාලා දවසම විට කකා ඉඳලා යනවා. මිනිහා දවසක් එනවා උදේම කාට හරි බැන බැන. ඒ වෙලාවේ කොරිඩෝවේ මුල්ලේ තියන බින් එකේ රිලවු පිරිලා. අපි අනික් පැත්තේ ඉදන් දන්න විදිහට කීවා රිලව් ඉන්නවා එන්න එපා කියලා.
" මොනවා මේ නාන කාමරේ.. මම සුදු වෙන්න මැදලා ගියේ. ඔය මිසීලට ඕන ඕන විදිහට මට බෑ මේවා අතුල්ලන්ට "  මුත්තු හිතුවේ අපි බාත් රූම් එක සුද්ද කරන්න කීවා කියලා.
එහෙම කියාගෙන හැරෙන කොටම එතන රිලව්. පාර්ශව දෙකම බයවුණා. රිලව් පැන්නා මුත්තුගේ ඇඟට. මුත්තු පැන්නා බාගෙට ඇරලා තිබ්බ කාමරේකට.
හදිසියේ ඇති වුණ රිලා සහ නූතන වානරයාගේ ආගමනයෙන් උද්දාමට පත් උපාධි අපේක්ෂිකාවන් ගිරිය යටින් නැගූ ඔල්වරසන් හඩ පේරාදෙණියේ අනන්‍යතාව කියාපෑවා.

මිනිසා සැබවින්ම පැවත එන්නේ රිලවුන්ගෙනි!