Monday, September 28, 2015

කළු ලෑලි


 

අපි පොඩි කාලේ ටීචර් අකුරු ලීවේ කළු ලෑල්ලේ. පාට පාට හුණු කූරු තිබුණත් සුදු පාට තමයි අකුරු ලියන්න ගන්නේ. ඉස්කෝලෙට මාසෙකට සැරයක් එවන බඩු තොගය අතරේ හුණු කූරු   පැකට් දෙකක් විතර තියනවා. ඒක තියෙන්නේ  ප්රින්සිපල්ගේ කබඩ් එකේ. පන්තියේ මොනිටර් ගිහින් පොතේ අත්සන් කරලා සතියට දෙන කූරු ප්රමාණය අරගෙන එනවා. බිම වැටුනොත් කැඩෙන නිසා පරෙස්සමට පාවිච්චි කරන්න ටීචර් වග බලා ගන්නවා. කැඩුණ කෑලි වෙනම බෝතලයක එකතු කරනවා නැති වෙලාවට ලියන්න ගන්න.

කළු ලෑල්ලේ සුදු අකුරු බෝල වගේ ඇඳෙන විදිය බලා ඉන්න ආසයි. ඉස්පිලි පාපිලි එක්ක වාක්යක් ලියන්න පුළුවන් දිග තීරණය වෙන්නේ කළු ලෑල්ලේ දිගත් එක්ක. කොහොමත් කළු ලෑල්ලේ කොන් හතර වැඩිය පාවිච්චි නොවන නිසා කළු පාටටම තියෙනවා. මැද නම් හුණු කූරු වැදිලා සුදු පාට වෙනවා. මකනේ කියන්නේ ඇතුලට  පුළුන් දාලා හදන පුංචි කොට්ටේ අහාට මෙහාට අතුල්ලපුවාම අකුරු මැකිලා යනවා. ඒකේ තියන සුදු හුණු දුවිලි කළු ලෑල්ල පුරාම ගිහින් ඒකෙම ආපහු තැන්පත් වෙනවා. කළු ලෑල්ලේ මැද ටික දවසක් යනකොට දිලිසෙන ලප දෙක තුනක් ඇති වෙනවා. එතන ලියනකොටකිරික්ගාලා දත් හිරි වැටෙන සද්දයක් ඇති වෙනවා. අකුරු ලිස්සලා යනවා. තවත් ටික දවසක් යනකොට මුළු ලෑල්ලම විදහට ලිස්සනවා. එතකොට ටීචර් තීරණය කරනවා දැන් ලෑල්ල කළු කරන්න කාලය හරි කියලා.

ඒක ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙවේ. ළමයිම කරගන්නත් ඕනෑ. ඒකට තෝරා ගන්නේ සිකුරාදා දවසක්. පන්තිය කොටස් තුනකට බෙදනවා. එක කොටසක් කළු  ලෑල්ල කළු කරන්න කැමති අය. මේ කණ්ඩායමේ නම් ඉන්නේ ඉස්කෝලේ ඕනම දේකට කැමැත්තෙන් ඉදිරි පත් වන ස්වේච්ඡා භටයන්. අනික් කොටස ලාම්පු දැලි ගේන අය. ගොඩට කැමැත්තෙන් ඉදිරිපත් වෙන අය වැඩියි. අනෙක් කොටස එඞරු කිරි ගේන අය. ඒකට කට්ටිය ඉදිරි පත් වෙන්නේ නැත්තේ වැඩේ අමාරු නිසායි සමහර අයට එඞරු ගස් හොයා ගන්න නැති නිසයි.

ලාම්පු දැලි ගන්න පුළුවන් චිමිනි ලාම්පුවේ දැල්ල වැඩි කරලා චිමිනිය උඩින් බාගෙට වගේ වහලා තිබ්බාම. එක පැත්තක හොඳට දැලි බැඳෙනවා. චිමිනිය නිවෙන්න ඇරලා පත්තර කොලයක් උඩට හොලවපුවාම දැලි කඩා ගෙන වැටෙනවා. එහෙම නැත්තං කරන්න වෙන්නේ කුප්පි ලාම්පුවක් පත්තු කරලා දෙපැත්තෙන් ගඩොල් දෙකක් තියලා උඩින් තහඩුවක් තියලා වටේ හොඳට වහන එක. එතකොට උඩ තහඩුවේ දැලි බැදෙනවා.

එඞරු කිරි එකතු කරන එක නම් අමාරුයි. හොඳ ඉවසීමක් තියෙන්නම වෙනවා. ගහෙන් නැට්ට කඩලා එතනට බෝතලේ අල්ලගෙන ඉන්නකොට බින්දුවෙන් බින්දුව කිරි වෑස්සෙනවා. බින්දු දහයක් විතර වැටුනාම තව කොලයක නැට්ට කඩලා බෝතලය අල්ලනවා. අන්තිමට ගහේ කඳ කඩලා අරගෙන කිරි එකතු කර ගන්නවා. කිරි රතු පාටයි.

ඉස්කෝලේ වෙනම තැන් දෙකක සතියේ සඳුදා ඉඳලාම බඩු එකතු කරනවා. පරණ රෙදි කෑලි, කෙසෙල් මුව ගේන්න පුළුවන් අය බාර ගන්නවා. සිකුරාදා පැය දෙකක් විතර මේ වැඩේට ඕන වෙනවා. එදාට ලෑල්ල කළු කරන්න එන ළමයි පරණ ඇඳුමක් අරගෙන ඇවිත් සුදු ඇඳුමට උඩින් ඇඳ ගන්නවා. පහන් දැලි දිය කරනවා එඞරු  කිරි වල. ඊට පස්සේ කෙසෙල් මුවේ දෙකට කපලා දැලි මිශ්රණයේ ඔබලා ලෑල්ලේ අතුල්ලනවා. ලෑල්ල කළු කරලා ඉවර වෙනකොට නැගලා හිටිය පුටුවෙයි, බිමයි , අත් දෙකෙයි දැලි තියනවා ලෑල්ලට වැඩිය. පන්තියේ අනිත් අය බිම සුද්ද කරලා පුටු සුද්ද කරලා ඉවර වෙනකලුත් අතේ ගෑවිච්ච දැලි යවා ගන්න අර ළමයින්ට බෑ. ඉතුරු පහන් දැලි ටිකයි එඞරු කිරි ටිකයි ළඟ පන්තියකට දෙනවා ඊළඟ පාර හිලව් කර ගන්න. 

සඳුදාට කළු ලෑල්ලේ දිස්නයට මුළු පන්තියම එළියයි. කළු පාට අඳුරුයි කීවට කළු ලෑල්ල එහෙම නෙවේ. ටීචර් වුනත් අකුරු ලියන්නේ ලෝබ කමට.

අපි ටිකක් ලොකු වෙද්දී කළු පාට තීන්ත වර්ගයක් ආව නිසා කළු කිරීම හරි ලේසියි. පුංචි තීන්ත බුරුසුවක්  අරගෙන එක පැත්තකට ගාන්න විතරයි තියෙන්නේ . ගාන පරක්කුවෙන් වේලෙනවා.  ඒත් දැං ඉස්කෝලවල තියෙන්නේ සුදු ලෑලි. ඒකටම පෑනුත් තියනවා. එක අතකට කළු ලෑලි ඉස්කෝලවලින් අයින් වෙච්ච එකත් හොඳයි. ලෑලි කළු කරන දවසට දෙමව්පියන්ටත් යන්න වෙයි. වගේ ඉවසීමකින් වැඩක් කරන්න අපේ ළමයින්ට නම් අමාරු වෙයි.